හර්ජික් සිං දේශගුණික යුක්තිය වෙනුවෙන් පෙනී සිටින සංවර්ධන විශේෂඥයෙක්. පහත පළ වන්නේ ඒ් ඔහු කළ අපූරු ටෙඩ් කතාවක පිටපතයි:
මම දේශගුණික යුක්තිය වෙනුවෙන් පෙනී සිටින කෙනෙක්. ගොඩක් අය මගෙන් අහනවා, “හර්ජීත්, අප වටේ තියෙන මේ හැම අසුබවාදී, අඳුරු දෙයක් එක්ක ඔයා කොහොමද මේ වගේ සතුටින්, හිනා වෙලා ඉන්නේ?” මාව විශ්වාස කරන්න, මටත් තරහ යනවා. ඒකට ඔන්ලයින් ඕන තරම් සාක්ෂි තියෙනවා.
අපි මේ ජීවත් වෙන්නේ මිනිසා විසින්ම ඇති කරපු දේශගුණික අර්බුදයක කියන එක ගැන කිසිම සැකයක් නෑ. ඒත් මට මනුෂ්‍යත්වය ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. ඒ වගේම අපේ සාමූහික සුපිරි බලය ගැනත්. ඒ තමයි අනුවර්තනය වීමේ හැකියාව. අපි සියවස් ගාණක් තිස්සේ අනුවර්තනය වෙලා තියෙනවා. හැබැයි දැන් අවශ්‍ය වෙලා තියෙන මට්ටමයි, වේගයයි මීට කලින් කවදාවත් දැකලා නැති තරම්. ඒ නිසා අපි හැමෝටම තමන්ගේ කොටස ඉටු කරන්න වෙනවා.
මම ඔයාලට කම්ලේශ් කුෂ්වාහාගේ සුපිරි බලය ගැන කියන්නම්. එයා ඉන්දියාවේ නියඟයට නිතරම ගොදුරු වෙන බුන්දෙල්කන්ද් ප්‍රදේශයේ කාබනික ගොවියෙක්. ඒ පළාතේ මිනිස්සු යැපෙන්නේ වර්ෂා ජලයෙන් කරන කෘෂිකර්මාන්තයෙනුයි, සාම්ප්‍රදායික ළිං වලිනුයි. මගේ සංවිධානය වන ‘සටාට් සම්පදා’ හරහා 2017 ඉඳන් කම්ලේශ් එක්ක වැඩ කරපු නිසා, මට කියන්න පුළුවන් එයා සාමාන්‍ය ගොවියෙක් නෙවෙයි. එයා හිතන, සැලසුම් කරන, අනුවර්තනය වෙන්න දන්න කෙනෙක්. 2024 දරුණු උෂ්ණ තරංගය වෙලාවේ එයාගේ ජීවිතේ මීට වඩා ගොඩක් නරක අතට හැරෙන්න තිබුණා. නමුත්, බෝග වර්ග නුවණක්කාරව තෝරගන්නත්, කාලගුණය වෙනස් වෙනකොට වගා කරන කාලවල් වෙනස් කරන්නත් එයාට තිබුණු හැකියාවත්, ආණ්ඩුවේ සහයෝගයෙන් සූර්ය බලයෙන් ක්‍රියා කරන වාරි පොම්පයක් සවි කරගැනීමත් එයාගේ ජීවිතේ ලොකු වෙනසක් ඇති කළා. තමන්ගේ අස්වැන්නෙන් 50%ක් විතර නැති කරගත්ත ගොඩක් ගොවීන්ට වඩා හොඳින් අනුවර්තනය වෙන්න එයාට පුළුවන් වුණා. කම්ලේශ්ගේ කතාව ජීවත් වීම ගැන විතරක් නෙවෙයි, ඒක මනුෂ්‍ය ආත්මය ගැන කතාවක්. ඒක, මිනිස්සුන්ට නියම වෙලාවට, නියම විදිහේ සහයෝගය ලැබුණොත්, වෙනසක් ඇති කරන්න පුළුවන් කියන එක ගැන කතාවක්.
අපි දන්නවා දේශගුණික බලපෑම් වැඩිවෙනවා, අප වටා විනාශයන් දකිනවා. ඒ කියන්නේ අපි අනුවර්තනය වෙන්න ඕන. එතකොට මොකක්ද මේ අනුවර්තනය කියන්නේ? අනුවර්තනය කියන්නේ, අවිනිශ්චිත සහ අනපේක්ෂිත අලුත් දේශගුණික යථාර්ථයකට හැඩගැසීම සහ සූදානම් වීමයි. මම ඕක සරලව කියන්නම්. හිතන්න ඔයා ගෙදරින් එළියට බහින්නේ ටී-ෂර්ට් එකක් ඇඳගෙන, රස්නෙට වතුර බෝතලයක් අරගෙන, ඒත් එක්කම අනපේක්ෂිත වැස්සකට කුඩයකුත්, හවසට එන සීතලට ජැකට් එකකුත් අරගෙන කියලා. ඒක ටිකක් විකාරයක් වගේ පෙනෙන්න පුළුවන්, ඒත් එතකොට ඔයා හැම තත්ත්වයකටම සූදානම්. ඕක තමයි පුද්ගලික අනුවර්තනය. රටවල් වලට නම්, ඇත්තටම, බෑග් එකකට වඩා ගොඩක් දේවල් අවශ්‍ය වෙනවා. ප්‍රජාවන්, ආණ්ඩු සහ ගෝලීය ප්‍රතිපත්ති සම්පාදන මට්ටමේ වැඩ කරපු මගේ අවුරුදු 25ක අත්දැකීම් වල හරය වුණු මන්ත්‍රයක් මම ඔයාලත් එක්ක බෙදාගන්නම්. ඒ මන්ත්‍රය තමයි, “සංවර්ධනයක් නොමැතිව අනුවර්තනයක් පැවතිය නොහැක” කියන එක.
අපි මේක තව ටිකක් පැහැදිලි කරගමු. වෙරළබඩ රටවල් දෙකක් ගමු. එකක්, නෙදර්ලන්තය. සියවස් ගාණක ආයෝජන සහ බුද්ධිමත් සැලසුම්කරණය නිසා මුහුදත් එක්ක එකට පැවතිය හැකි භූමියක් ඔවුන් නිර්මාණය කරගෙන තියෙනවා. අනික, බංග්ලාදේශය. එහේ මිලියන ගාණක් මිනිස්සු ජීවත් වෙන්නේ දේශගුණික විපර්යාස වල ඉදිරි පෙළේ. ගංවතුර, නියඟ, සුළි කුණාටු සහ ඉහළ යන මුහුදු මට්ටම ඔවුන්ගේ ගෙවල් දොරවල්, ගොවිපළවල් සහ ජීවනෝපායන් විනාශ කරනවා. මේක භූගෝලීය පිහිටීම ගැන විතරක් නෙවෙයි, මේක සම්පත් වලට ප්‍රවේශය ගැන ප්‍රශ්නයක්. උදාහරණයක් විදිහට නෙදර්ලන්තය, විශාල ධනයක් රැස් කරගත්තේ බොහෝ දුරට ඔවුන්ගේ යටත් විජිත පාලනය හරහා. අනෙක් අතට, බංග්ලාදේශය ඒ වගේ ඓතිහාසික අසාධාරණකම් වලට ගොදුරු වුණා. කොලොම්බියා විශ්වවිද්‍යාල මුද්‍රණාලය විසින් ප්‍රකාශයට පත් කරන ලද, ආර්ථික විද්‍යාඥ උත්සා පට්නායික්ගේ පර්යේෂණයකින් හෙළිවෙනවා, බ්‍රිතාන්‍යයන් 1765 සිට 1938 දක්වා කාලය තුළ ඉන්දියානු උපමහාද්වීපයෙන් දළ වශයෙන් ඩොලර් ට්‍රිලියන 45ක් අරගෙන ගිය බව. දැන් හිතන්න ඒ උපමහාද්වීපයෙන් අරගෙන ගිය ධනයේ පරිමාව ගැන. ඒක ඒ කලාපය දැඩි දරිද්‍රතාවයකට ඇද දැම්මා. ඒ නිසා, දේශගුණික බලපෑම් වලට මුහුණ දෙන්න දැන් අවශ්‍ය කරන ඔරොත්තු දීමේ හැකියාව ඇති යටිතල පහසුකම් සහ ආයතන වල ආයෝජනය කරන්න බංග්ලාදේශය වගේ රටවලට තියෙන හැකියාව සීමා වුණා. බංග්ලාදේශය වගේම, මොසැම්බික් වගේ රටවල් දරුණු දේශගුණික බලපෑම් වලට මුහුණ දෙනවා අපි දකිනවා. ඔවුන්ට තව තවත් ණය ගන්න සිද්ධ වෙලා තියෙනවා. ප්‍රතිඵලය තමයි, ඔවුන් ණය සහ දරිද්‍රතාවයේ විෂම චක්‍රයක හිරවෙලා ඉන්න එක. පාඩම: සංවර්ධනයක් නොමැතිව අනුවර්තනයක් පැවතිය නොහැක.
දේශගුණික බලපෑම් වලට මුහුණ දෙන්නේ අඩු ආදායම් ලබන රටවල් විතරයි කියලත් අපි හිතන්න හොඳ නෑ. මීට අවුරුදු කීපයකට කලින් ජර්මනියේ ඇතිවුණු ගංවතුර මතකද? ඕස්ට්‍රේලියාවේ සහ කැනඩාවේ, දැනටත් තියෙන ලැව්ගිනි? ඇමරිකාවට නිතර නිතර බලපාන සුපිරි කුණාටු? මේ හැම දෙයක්ම, ශක්තිමත් විදුලිබල පද්ධති, හදිසි සේවා, අනතුරු ඇඟවීමේ පද්ධති තියෙන මේ රටවල හැකියාවන්ට පවා අභියෝගයක් සහ දරාගන්න බැරි දෙයක් වෙලා. නමුත් ඇත්ත කතාව නම්, ඔවුන් ඩොලර් බිලියන ගණන් පාඩු ලබනවා. ඔයාලා අහනවා ඇති ඇයි? ඇයි ඒ අයට? මොකද දේශගුණික අර්බුදය ඔවුන්ටත් බලපායි කියලා ඔවුන් කවදාවත් බලාපොරොත්තු වුණේ නෑ. මම අවුරුදු ගාණක් තිස්සේ සාකච්ඡා දිහා බලාගෙන ඉන්නවා. ඔවුන් හැමතිස්සෙම හිතුවේ මේක සංවර්ධනය වෙමින් පවතින රටවල ප්‍රශ්නයක් කියලා. ඒකට හාත්පසින්ම වෙනස්ව, ඔවුන් දිගින් දිගටම පොසිල ඉන්ධන නිස්සාරණය වැඩි කළා. අපි හැමෝම දන්නවා දේශගුණික අර්බුදයට හේතුව ඒක කියලා. මම මේ කතා කරන්නේ ගල් අඟුරු, තෙල් සහ ගෑස් ගැන. පාඩම: ඔබ අනුවර්තනය වුණේ නැත්නම්, දේශගුණික බලපෑම් වසර ගණනාවක සංවර්ධන ජයග්‍රහණ ඛාදනය කරාවි. තවත් පොසිල ඉන්ධන කියන්නේ, තවත් දේශගුණික බලපෑම්. ඒකෙන් තවත් අලාභ හා හානි සිදුවෙනවා. හරි, ඒක තමයි බරපතළ කොටස.
අපි දැන් හොඳ ආරංචි ටිකක් ගැන කතා කරමු. අනුවර්තනය පිළිබඳ ගෝලීය කොමිසමේ සහ ලෝක සම්පත් ආයතනයේ අධ්‍යයනයන් වලින් පෙන්නලා තියෙනවා, අනුවර්තනය වෙනුවෙන් ආයෝජනය කරන හැම ඩොලරයකින්ම, පසුව ආපදා ප්‍රතිචාර සඳහා වියදම් කරන ඩොලර් හතරේ සිට 10කට වඩා වැඩි ප්‍රමාණයක් ඉතුරු කරගන්න පුළුවන් කියලා. ඒක පුදුම සහගත ආයෝජන ප්‍රතිලාභයක් නේද? ඉතින්, සුරක්ෂිත අනාගතයක් සඳහා දැන්ම අනුවර්තනය වීමට ආයෝජනය කරන්න ඉතා ශක්තිමත් ආර්ථිකමය පදනමක් තියෙනවා.
අපි බිම් මට්ටමෙන්, නගර වලින් සහ ප්‍රතිපත්ති මට්ටමෙන් තවත් උදාහරණ කීපයක් ගමු. මම ඔයාලව ආයෙත් බංග්ලාදේශයට එක්කගෙන යන්නම්. එහේ ගොවිපළවල් මාස ගණන් වතුරෙන් යටවෙලා තියෙනවා අපි දකිනවා. ඒකේ තේරුම මොකක්ද? බෝග නෑ, කෑම නෑ. ඒත් මම මගේ ඇස් දෙකෙන්ම දැකලා තියෙනවා, බංග්ලාදේශයේ කොච්චර ගොවීන් පිරිසක් මේ පාවෙන ගොවිපළවල් නිර්මාණය කරගෙන තියෙනවද කියලා. ඔයාලා ඒ ගැන අහලා තියෙනවද? ඔවුන් දේශීය උණ බම්බු යොදාගෙන, පස් සහ කොම්පෝස්ට් වලින් සරු පාත්ති හදනවා. ඉතින් ගංවතුර එනකොට, මේ ගොවිපළවල් පාවෙලා, අස්වැන්න වතුරට උඩින් ආරක්ෂිතව තියාගන්නවා. ඒක කොච්චර අපූරුද? ඒ කියන්නේ ඔයාගේ ගොවිපළවල් පීනන්න ඉගෙන ගන්නවා. නගර වලිනුත් උදාහරණ තියෙනවා. මැලේසියාවේ ක්වාලාලම්පූර්, චීනයේ ෂැංහයි සහ ටියැන්ජින්, සහ සිංගප්පූරුව ‘ස්පොන්ජ් නගර’ වෙන්න තීරණය කරලා තියෙනවා. අතිරික්ත ජලය එක්ක සටන් කරනවා වෙනුවට, ඔවුන් ඒකත් එක්ක මිතුරු වෙන්න වැඩ කරනවා. ඒකේ තේරුම මොකක්ද? ඒ කියන්නේ තවත් හරිත අවකාශයන්. වතුර උරාගන්න පදික වේදිකා, තවත් උද්‍යාන, තවත් නාගරික තෙත් බිම් සහ තවත් වහල උඩ උද්‍යාන වගේ දේවල්. ඉතින් මොකක්ද බලපෑම? ඔවුන් ගංවතුරට වඩා හොඳින් මුහුණ දෙන්න සූදානම් වෙනවා විතරක් නෙවෙයි. මේ දේවල් වලින් වාතයත් ස්වභාවිකව පිරිසිදු වෙනවා, අසල්වැසි ප්‍රදේශ සිසිල් කරනවා, ඒ වගේම නගරය හැමෝටම වඩාත් ප්‍රසන්න සහ සෞඛ්‍ය සම්පන්න තැනක් කරනවා.
දැන් අපි ප්‍රතිපත්ති මට්ටම දිහාත් බලමු. අප්‍රිකාවේ තියෙන විශාලතම දේශගුණික-අනුවර්තන වැඩසටහනක් වෙන ඉතියෝපියාවේ ‘ඵලදායී සුරක්ෂිතතා ජාල වැඩසටහන’ නියං කාලවලදී ආහාර ආධාර දෙනවා විතරක් නෙවෙයි, මිලියන ගාණක් ජනතාව සම්බන්ධ කරගෙන පස් සහ ජල සංරක්ෂණ ව්‍යුහයන්, කුඩා වාරි ව්‍යාපෘති හදනවා, ඒ වගේම හායනයට ලක්වූ ඉඩම් නැවත පණ ගන්වනවා. දැන්, ඒක සාමාන්‍ය බුද්ධියේ විශිෂ්ට නිර්මාණයක්. ක්ෂණික සහන සඳහා තියෙන සම්පත, දීර්ඝකාලීන අනුවර්තනය සහ ඔරොත්තු දීමේ හැකියාව සඳහා ආයෝජනය කරන්න ඔවුන් පාවිච්චි කරනවා.
ඒත් ඒකට ඩොලර් බිලියන සිය ගණනක් අවශ්‍ය වෙයි. ඉතින් ඔයාටයි මටයි මොනවද කරන්න පුළුවන්? දේවල් දෙකක්. එකක්, අපිට අනුවර්තනය වෙන්න පුළුවන් වෙන්න, හැම රටකම ඔරොත්තු දීමේ ප්‍රතිපත්ති සහ භාවිතාවන් තියෙන බවට අපි වග බලාගන්න ඕන. ඒ වගේම අපි පොසිල ඉන්ධන වලින් ඈත් වෙන්නත් ඕන. ඒකට වඩාත් නිර්භීත මුලපිරීමක් අවශ්‍ය වෙයි, ඒ හරහා අප සැමට සාධාරණ සහ යුක්ති සහගත සංක්‍රාන්තියක් ඇති කරගන්න පුළුවන්. ඒ සඳහා, අපට පොසිල ඉන්ධන ගිවිසුමක් අවශ්‍යයි.
ඒ වගේම සම්පත් නොමැති සංවර්ධනය වෙමින් පවතින රටවලට, දේශගුණික අර්බුදයට බොහෝ දුරට වගකිව යුතු ධනවත් රටවලින් සහයෝගය ලැබෙන බවට අපි සහතික වෙන්න ඕන. ඔවුන්ට විශාල වගකීමක් තියෙනවා.
දෙවෙනියට, ආණ්ඩු වලින් එහාට ගිහින්, වෙනසක් ඇති කරන්න ඔයාට ඔයාගේ අනුවර්තන සුපිරි බලය පාවිච්චි කරන්න පුළුවන්. ඒකට ඔයා දේශගුණ විද්‍යාඥයෙක් වෙන්න ඕන නෑ. ඔයා අධ්‍යාපනඥයෙක් නම්, දේශගුණික විපර්යාස ගැන උගන්වනවා විතරක් නෙවෙයි, ඊළඟ පරම්පරාව ක්‍රියාත්මක වෙන්න සූදානම් කරවන්න, ඔවුන්ව දිරිමත් කරන්න. ඔයා ඉංජිනේරුවෙක් නම්, ඔයාට පුළුවන් අනුවර්තනයේ ටෝනි ස්ටාක් වෙන්න. නවෝත්පාදන කරන්න, නිර්මාණ සහ තාක්ෂණය හදන්න, දේශගුණික අවදානම් කළමනාකරණය කරගන්න අවශ්‍ය මිනිස්සු එක්ක ඒවා බෙදාගන්න. ඔයා කලාකරුවෙක් හෝ අන්තර්ගත නිර්මාණකරුවෙක් නම්, සංකීර්ණ දත්ත සහ සංකල්ප සරල කරන්න. කවියක් ලියන්න, සින්දුවක් කියන්න. මිනිසුන්ගේ හදවත් වලට සහ මනසට කතා කරන්න, එවිට ඔවුන්ට සතුටින් සහ බලාපොරොත්තුවෙන් ඔරොත්තු දීමේ හැකියාව ගැන ඉගෙන ගන්න පුළුවන්.
දේශගුණික විපර්යාස අප ඉදිරියටම පැමිණ ඇති බවත්, එය දිනපතාම අවිනිශ්චිතතාවය සහ අනපේක්ෂිත බව ගෙනැවිත් ඇති බවත් කියන යථාර්ථය අපි පිළිගන්න පටන් ගමු. අපි කරන සෑම ක්‍රියාවක් දෙසම දේශගුණික දෘෂ්ටියකින් බලන්න ඕන, එවිට අපට අනුවර්තනය සහ සංවර්ධනය අත්වැල් බැඳගෙන ඉදිරියට ගෙනියන්න පුළුවන්. මාව විශ්වාස කරන්න, සාමූහිකව, හැම තැනම විසඳුම් සහ බලාපොරොත්තුව පතුරුවමින් අපට වඩාත් සුරක්ෂිත අනාගතයක් ගොඩනගන්න පුළුවන්.
ස්තූතියි.





ප්‍රතිචාරයක් ලබාදෙන්න