ජපානයේ බලාපොරොත්තු නොවූ ලෙස ශීත කාලයට කලින්ම ඉහළ ගිය ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් හේතුවෙන් පාසල් වසා දැමීම් සහ රෝහල්ගත කිරීම් සිදුවීම, අනෙකුත් රටවලට ඉදිරියේදී මුහුණ පෑමට සිදුවන තත්ත්වය පිළිබඳව විශේෂඥයින් කනස්සල්ලට පත් කර ඇති බව නේචර් සඟරාවේ (Nature magazine), රේචල් ෆීල්ඩ්හවුස් | 2025 ඔක්තෝබර් 17 වාර්තා කළාය.

ජපානයේ සෞඛ්‍ය බලධාරීන් ඉන්ෆ්ලුවෙන්සා වසංගත තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, දහස් සංඛ්‍යාත ජනතාවකට මෙම ශ්වසන වෛරසය ආසාදනය වී ඇත. පර්යේෂකයන් පවසන්නේ වසරේ මෙම කාලය තුළ මෙවැනි ආසාදන සංඛ්‍යාවක් වාර්තා වීම අසාමාන්‍ය බවයි. මෙය ගෝලීය වසංගතයක් (global pandemic) බවට පත්වීමට ඉඩක් නොමැති වුවද, ආසියාවේ සහ යුරෝපයේ ශීත ඍතුවට පිවිසෙන රටවල නව රෝග පැතිරීම් (outbreaks) සඳහා මූල බීජ සැපයිය හැකි බවට ඔවුහු පෙන්වා දෙති.
ඔක්තෝබර් 10 වන දා වන විට, ජපානයෙන් ඉන්ෆ්ලුවෙන්සා වෛරස් ආසාදිතයින් 6,013 දෙනෙකු වාර්තා වී තිබේ. පාසල් 100 කට අධික සංඛ්‍යාවක් වසා දමා ඇති අතර, සැප්තැම්බර් මාසයේදී උණ රෝගය සඳහා රෝහල් ගත කළ පුද්ගලයින් 287 දෙනාගෙන් අඩකට ආසන්න පිරිසක් වයස අවුරුදු 14 හෝ ඊට අඩු ළමුන් වීම විශේෂත්වයකි. ජපානයේ සෞඛ්‍ය, කම්කරු සහ සුභසාධන අමාත්‍යාංශය ඔක්තෝබර් 3 වන දා දිවයින පුරා වසංගත තත්ත්වයක් ප්‍රකාශයට පත් කළේය. යම් ප්‍රදේශයක, නිශ්චිත කාල පරිච්ඡේදයක් තුළ අපේක්ෂිත ආසාදන සංඛ්‍යාවට වඩා ඉහළ යාමක් සිදු වූ විට, එම තත්ත්වය වසංගතයක් (epidemic) ලෙස වර්ගීකරණය කෙරේ.
ඉන්ෆ්ලුවෙන්සා වෛරසය පැතිරීම සාමාන්‍යයෙන් සෑම වසරකම සෘතුමය වශයෙන්, විශේෂයෙන්ම සෞම්‍ය දේශගුණයක් ඇති රටවල ශීත ඍතුවේදී සිදු වේ. ජපානයේ, මෙම තත්ත්වය සාමාන්‍යයෙන් උදාවන්නේ නොවැම්බර් මස අග භාගයේදී ය. කෙසේ වෙතත්, මැලේසියාවේ සුබන්ග් ජයා හි මොනෑෂ් විශ්ව විද්‍යාලයේ (Monash University Malaysia) අණුක වෛරස් විද්‍යාඥයෙකු වන විනෝද් බාලසුබ්‍රමනියම් පවසන්නේ, මෙම වසරේ උණ රෝගය සඳහා ප්‍රතිකාර ගන්නා පුද්ගලයින්ගේ ඉහළ යාම සාමාන්‍යයට වඩා සති පහක් කලින් ආරම්භ වී ඇති බවයි.
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි පිහිටි, ඉන්ෆ්ලුවෙන්සා පිළිබඳ සමුද්දේශ සහ පර්යේෂණ සඳහා වන ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහයෝගිතා මධ්‍යස්ථානයේ (WHO Collaborating Centre for Reference and Research on Influenza) පර්යේෂකයෙකු සහ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකු වන ඉයන් බාර් පවසන්නේ, පසුගිය වසර කිහිපය තුළ ජපානයේ උණ සමය කලින් ආරම්භ වූ නමුත්, මෙතරම් ඉක්මනින් ආරම්භ නොවූ බවයි. “ඔක්තෝබර් මාසයේදී රෝගීන් කිහිප දෙනෙකු වාර්තා විය හැකි නමුත්, වසංගත මට්ටමේ සංඛ්‍යාවක් සාමාන්‍යයෙන් දක්නට ලැබෙන්නේ නැහැ,” යැයි බාර් මහතා පැවසීය.
COVID-19 වසංගතයෙන් පසු ජාත්‍යන්තර සංචාරක කටයුතු යළි ඉහළ යාම, මෙම උණ සමය කලින් ආරම්භ වීමට එක් හේතුවක් විය හැකි බව බාලසුබ්‍රමනියම් මහතා පවසයි. දේශගුණික විපර්යාස මෙන්ම, විශේෂයෙන්ම වැඩිහිටියන් සහ කුඩා ළමුන් සංසරණය වන වෛරසයට නිරාවරණය වීමේ අඩුව ද (a lack of exposure) මීට බලපාන අනෙකුත් සාධක අතර වේ.
ජපානයේ මේ වන විට සංසරණය වන වෛරස් ප්‍රභේද මොනවාද යන්න පිළිබඳ තොරතුරු තවමත් අනාවරණය වී නොමැත. එහෙත් බාර් මහතා පවසන්නේ, දක්ෂිණ අර්ධගෝලයේ ශීත ඍතුව අවසන් වීමත් සමග පසුගිය මාස දෙක තුළ ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වූ H3N2 නමැති ඉන්ෆ්ලුවෙන්සා A ප්‍රභේදය, ජපානයේ මෙම පැතිරීමට හේතු විය හැකි බවයි. “ඕස්ට්‍රේලියාවේ සිට විශාල පිරිසක් ජපානයට සංචාරය කරනවා,” ඔහු පවසයි. “එයින් අදහස් වන්නේ අර්ධගෝල දෙක අතර වෛරසය සම්ප්‍රේෂණය වීමට වැඩි අවස්ථාවක් පවතින බවයි.”
හුදකලා සිදුවීමක් නොවේ
මැලේසියාව ඇතුළු අනෙකුත් රටවල් ද H3N2 ප්‍රභේදය ප්‍රමුඛ වූ, කලින් ආරම්භ වූ උණ සමයන්ට මෙම වසරේ මුහුණ දුන් බව බාලසුබ්‍රමනියම් මහතා පවසයි. රොයිටර් පුවත් සේවයට අනුව, මැලේසියාව පුරා පාසල් සිසුන් 6,000 කට පමණ රෝගය ආසාදනය වී ඇති අතර සමහර පාසල් වසා දමා ඇත. ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය ද, විවිධ වෛරස් ප්‍රභේදයන් ප්‍රමුඛ වූ උණ රෝගීන්ගේ කලින් ඉහළ යාම් අත්විඳ ඇති බව බාර් මහතා සඳහන් කරයි.
දක්ෂිණ අර්ධගෝලයේ රටවල් මේ වන විට උණුසුම් කාලගුණික සමයන්ට පිවිසෙමින් සිටින බැවින් (එමගින් වෛරස් ව්‍යාප්තිය අඩු කරයි), ජපානයේ වත්මන් ඉන්ෆ්ලුවෙන්සා වසංගත තත්ත්වය ගෝලීය වසංගතයක් බවට පත්වීමට ඉඩක් නැති බව ඔහු (බාර් මහතා) පවසයි. “නමුත් මෙය ජපානයෙන් පිටතට ගොස් අසල පිහිටි වෙනත් රටවලට හෝ ජපානයේ සිට පවතින සංචාරක මාර්ගවල පිහිටි රටවලට ව්‍යාප්ත වීමට හොඳටම ඉඩ තිබෙනවා,” බාර් මහතා කියා සිටී. ශීත ඍතුවට පිවිසීමට ආසන්න ජාතීන් මෙවැනි රෝග පැතිරීම්වලට වඩාත් ගොදුරු වීමේ අවදානමකින් පසුවේ.





ප්‍රතිචාරයක් ලබාදෙන්න