විශ්වය ප්‍රසාරණය වෙමින් පවතින බව සිත් ඇදගන්නා සුළු කරුණක් වුවත්, එය බොහෝ මිනිසුන්ව අතරමං කරන ප්‍රශ්නයක්ද නිර්මාණය කරයි: එය වර්ධනය වන්නේ නම්, එය ප්‍රසාරණය වන්නේ කුමක් තුළටද? අපගේ මොළය පුරුදු වී ඇත්තේ යම් වස්තුවක් වෙනත් අවකාශයක් තුළට ගමන් කරන හෙවත් ප්‍රසාරණය වන ආකාරය සිතින් මවා ගැනීමටයි. එනිසා විශ්වය වෙනත් දෙයක් තුළට තල්ලු වෙමින් පවතිනවා යැයි සිතීම ස්වාභාවිකය. නමුත් යථාර්ථය අප සිතන ආකාරයට ක්‍රියාත්මක නොවේ. විශ්වය ප්‍රසාරණය වන බව පැවසීමේදී එහි තේරුම කුමක්දැයි වටහා ගැනීමට උපකාරී වන පැහැදිලි කිරීම් කිහිපයක් මෙන්න.


ප්‍රසාරණය යනු අවකාශයම දිගහැරීමයි

විද්‍යාඥයන් ප්‍රසාරණය ගැන කතා කරන විට, ඔවුන් අදහස් කරන්නේ වි්යේ ඇති මන්දාකිණි (galaxies) දැනටමත් පවතින හිස් අවකාශයක් හරහා පියාසර කරන බව නොවේ. මෙහිදී සිදුවන්නේ අවකාශයේ ව්‍යුහයම දිගහැරීමයි (stretching). එමගින් මන්දාකිණි අතර ඇති දුර වැඩි වේ. ඔබට සීමාවක් පෙන්වා “එතනින් එහා තියෙන්නේ මොකක්ද?” කියා ඇසීමට නොහැකි වන්නේ එබැවිනි. මෙම වෙනස සිදුවන්නේ විශ්වය තුළමය, එයට පිටතින් ඇති දෙයක් තුළට නොවේ.


විශ්වයට පිටත කෙළවරක්. දාරයක් නැත

විශ්වය යනු විශාල ශූන්‍යතාවක පාවෙන බුබුලක් මෙන් සිතීම පහසු වුවත්, නූතන විද්‍යාවට අනුව එයට භෞතික දාරයක් කිසිසේත්ම නැත. අවකාශය දිගින් දිගටම පවතින අතර, ප්‍රසාරණය එකවරම ඒ සියල්ල මත ක්‍රියාත්මක වේ. එයින් අදහස් වන්නේ විශ්වය විශාල බහාලුමක් පුරවමින් නොමැති බවයි. සියල්ල එයම වන බැවින්, එයට වර්ධනය වීමට බලා සිටින බාහිර කිසිවක් නැත.


බැලූන උපමාවේ සීමාව

පුම්බන බැලූනයක් යනු ප්‍රසාරණය ගැන යොදන ප්‍රයෝජනවත් උපමාවකි. මන්ද, එය විශාල වන විට එහි මතුපිට ඇති සියලුම ලක්ෂ්‍ය එකිනෙකින් ඈත් වන ආකාරය එයින් පෙන්වයි. නමුත් බැලූනය වටා වාතය ද ඇත. එම නිසා මිනිසුන් විශ්වය වටාද යමක් තිබිය යුතු යැයි සිතති. සංසන්දනය අසාර්ථක වන්නේ එතැනදීය. බැලූනය මෙන් නොව, විශ්වය වටා “පිටත වාතයක්” නොමැත. එහි ප්‍රසාරණය එය තුළම අන්තර්ගතය.


දුර වැඩි වන විට ප්‍රසාරණය වේගවත් වේ

මන්දාකිණි එකිනෙකින් දුරස් වන තරමට, ඒවා එකිනෙකින් ඈත් වන වේගයද වැඩි බවක් පෙනේ. මෙම බලපෑම නිසා විශ්වය වෙනත් අවකාශයකට වේගයෙන් දිවයනවා වැනි හැඟීමක් ඇති කරයි. ඇත්ත වශයෙන්ම, එම හැඟීම ඇති කරන්නේ අවකාශය දිගහැරීම පමණි. මන්දාකිණි බාහිර ශූන්‍යතාවක් හරහා ගමන් නොකරන අතර, ප්‍රසාරණය වන අවකාශය මගින් ඒවා එකිනෙකින් ඈත් කරනු ලැබේ.


විශ්වය යනු “සියල්ල” යි

මෙම ප්‍රශ්නය ව්‍යාකූල වීමට එක් හේතුවක් නම් විශ්වයට සියල්ල ඇතුළත් වීමයි. අවකාශය, කාලය, පදාර්ථය සහ ශක්තිය යන සියල්ලම එහි කොටසකි. එයින් අදහස් වන්නේ එයට පිටතින් ප්‍රසාරණය වීමට කිසිවක් නොමැති බවයි. ප්‍රසාරණය යනු වෙනත් කලාපයකට ගමන් කිරීමක් නොවේ. එය විශ්වය තුළම ඇති දුර ප්‍රමාණයේ පරිමාණය වෙනස් වීමකි.


දෘශ්‍ය සීමාව තාප්පයක් නොවේ

මහා පිපිරුමේ (Big Bang) සිට ආලෝකයට ගමන් කිරීමට කාලය ලැබී ඇති දුර දක්වා පමණක් අපට දැකගත හැකිය. එම ක්ෂිතිජය නිසා දාරයක් ඇති බවක් හැඟුණද, එය අපට නිරීක්ෂණය කළ හැකි දේවල සීමාවක් පමණි. එම ක්ෂිතිජයෙන් ඔබ්බටද අවකාශය පවතින අතර, එහිද ප්‍රසාරණය සිදුවේ. අපට එය නොපෙනීමෙන් එය නතර වන බවක් අදහස් නොවේ.


අවකාශය වක්‍ර හැඩැති විය හැකිය

අවකාශයට වක්‍ර හැඩයක් තිබිය හැකිය. එය හරියට ගෝලයක මතුපිට මෙනි. ඔබට පෘථිවිය වටා කෙළවරක් සොයා නොගෙන නිමක් නැතිව ගමන් කළ හැකිය. එසේ නම්, ප්‍රසාරණය සඳහා පිටත අවකාශයක් අවශ්‍ය නොවේ. එය හුදෙක් වෙනත් දෙයකට තෙරපීමකට වඩා, අවකාශය නැවත හැඩගැසෙමින් විශාල වීමකි.


මෙය මෙහෙයවන්නේ අඳුරු ශක්තියයි

ප්‍රසාරණයේ ත්වරණය, විශ්වයේ බොහෝමයක් සෑදී ඇති අභිරහස් බලයක් වන අඳුරු ශක්තිය (dark energy) සමඟ සම්බන්ධ වේ. එය ඇතුළතින් අවකාශය දිගහරින අතර කාලයත් සමඟ මන්දාකිණි වේගයෙන් ඈත් කරයි. අඳුරු ශක්තිය සෑම තැනකම එක හා සමානව ක්‍රියා කරන බැවින්, එය තල්ලු කරන දිශාවක් හෝ බාහිර අවකාශයක් නොමැත. එය විශ්වයේම ගුණාංගයකි.


බහු-විශ්ව සංකල්පය

සමහර න්‍යායන්ට අනුව අපගේ විශ්වය යනු විශාල බහු-විශ්වයක (multiverse) ඇති බොහෝ බුබුලු වලින් එකක් විය හැකිය. එය සත්‍යයක් නම්, ප්‍රසාරණය යනු එකිනෙකට යාබදව බුබුලු සෑදෙනවා මෙන් දිස්විය හැකිය. කෙසේ වෙතත්, වෙනත් විශ්වයන් නිරීක්ෂණය කිරීමට ක්‍රමයක් නොමැති බැවින්, මෙය තවමත් සමපේක්ෂනයක් පමණි. ඒවා පැවතියද, අපගේ ප්‍රසාරණය තවමත් පිටතින් රඳා නොපවතින අභ්‍යන්තර ක්‍රියාවලියකි.


කාලයද අවකාශය සමඟ ප්‍රසාරණය වේ

ප්‍රසාරණය යනු භෞතික අවකාශය ගැන පමණක් නොවේ. කාලය ගලායාම විශ්වයේ ව්‍යුහය සමඟ සම්බන්ධ වී ඇති අතර, එයින් අදහස් වන්නේ කාලයම ප්‍රසාරණයේ කොටසක් බවයි. විශ්වය වෙනත් දෙයකට ගමන් කරනවා යැයි සිතීම තේරුමක් නැත්තේ එබැවිනි. අවකාශය සහ කාලය යන දෙකම විශ්වය වර්ධනය වන විට එකටම නැවත හැඩගැසෙමින් පවතී.


සෑම දෙයක්ම එක හා සමානව ප්‍රසාරණය නොවේ

මන්දාකිණි, තරු සහ ග්‍රහලෝක ගුරුත්වාකර්ෂණය මගින් එකට බැඳී පවතින නිසා, ඒවා ප්‍රසාරණයත් සමඟ දිගහැරෙන්නේ නැත. ප්‍රසාරණය පෙනෙන්නේ ගුරුත්වාකර්ෂණයට දේවල් එකට තබාගත නොහැකි දැවැන්ත පරිමාණයේදී පමණි. ප්‍රසාරණය යනු ශූන්‍යතාවයකට පැතිරීමක් නොවන බව තේරුම් ගැනීමට මෙය උපකාරී වේ.


මේ ප්‍රශ්නයෙන් පෙනෙන්නේ අපගේ පරිකල්පන සීමාවන්ය

අපගේ එදිනෙදා අත්දැකීම්වලදී වස්තූන් යම් අවකාශයක් තුළට ගමන් කිරීමට අප පුරුදු වී සිටිමු. එබැවින් පිටතින් කිසිවක් නොමැතිව විශ්වය ප්‍රසාරණය වන බව සිතීම අස්වාභාවික බවක් දැනේ. ප්‍රශ්නය මෙතරම් ව්‍යාකූල වන්නේ එබැවිනි. යථාර්ථය නම්, විශ්වය වෙනත් කිසිවක් තුළට ගමන් නොකරයි. වෙනස් වන්නේ අවකාශයේම ව්‍යුහයයි. එය අපගේ එදිනෙදා දෘෂ්ටිකෝණයට ග්‍රහණය කර ගැනීමට අපහසු දෙයකි.

The Nature Network වෙබ් අඩවියේ විට්මෝර්ගේ ලිපියකිනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending