අධික මට්ටමේ වායු දූෂණයකට නිරාවරණය වීම, පුද්ගලයෙකුට ඩිමෙන්ශියාව (Dementia) හෙවත් නූගුණ වර්ධනය වීමේ අවදානම වැඩි කරයි. එය වෙනත් දිගුකාලීන රෝගාබාධ සඳහාද දායක වේ.

වායු දූෂණයට රථවාහන දුමෙන් සහ නිවසේ ගිනි උදුන්වල දර පිලිස්සීමෙන් නිකුත් වන ඉතා කුඩා අංශු ඇතුළත් වේ. වායු දූෂණය ඩිමෙන්ෂියාවට හේතු වන බව නිශ්චිතවම පැවසිය නොහැකි වුවද, වැඩි වායු දූෂණයකට නිරාවරණය වන පුද්ගලයින්ට ඩිමෙන්ශියාව වැළඳීමේ සම්භාවිතාව වැඩිය.

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) වායු දූෂණය සඳහා මාර්ගෝපදේශ සකස් කර ඇත. නගර විසින් පිළිපැදිය යුතු විවිධ දූෂක ද්‍රව්‍යවල නිර්දේශිත සීමාවන් එහි සඳහන් වේ. එක්සත් රාජධානියේ බොහෝ ස්ථාන මෙම දූෂක වාර්තා කරන අතර, බොහෝ විට ඒවා නිර්දේශිත සීමාවන් තුළ පවතී.

වායු දූෂණයට වඩා, ඩිමෙන්ෂියාව වර්ධනය වීමේ අවදානම කෙරෙහි වෙනත් ජීවන රටාවේ සාධක වැඩි බලපෑමක් ඇති කරන බව දන්නා කරුණකි.


ඩිමෙන්ෂියා අවදානම අඩු කරගන්නේ කෙසේද?

ඩිමෙන්ෂියා අවදානම අඩු කර ගැනීමට ඇති හොඳම ක්‍රමය වන්නේ ජීවිත කාලය පුරාම යහපත් සෞඛ්‍යයක් පවත්වා ගැනීමයි.

ඔබේ ජීවන රටාවේ සමහර හැසිරීම් වෙනස් කිරීමෙන් ඩිමෙන්ශියා අවදානම අඩු කර ගත හැකි බවට ප්‍රමාණවත් සාක්ෂි පවතී.


වායු දූෂණයේ සෞඛ්‍යමය බලපෑම

වායු දූෂණය විවිධ වායු, රසායනික සංයෝග, ලෝහ සහ අංශුමය ද්‍රව්‍ය (particulate matter) ලෙස හඳුන්වන කුඩා අංශු වලින් සමන්විත වේ. බොහෝ පර්යේෂණ අවධානය යොමු කර ඇත්තේ සියුම් අංශුමය ද්‍රව්‍ය (fine particulate matter) ලෙස හඳුන්වන වායු දූෂණයේ එක් අංගයක් කෙරෙහිය. මේවා මිනිස් හිසකෙස්වල පළලට වඩා 40 ගුණයක් කුඩා අංශු වේ. ඒවා රථවාහන දුමෙන් හෝ නිවසේ දර පිලිස්සීමෙන් මුදා හැරිය හැකිය.

දිගුකාලීනව හෝ අධික මට්ටමේ වායු දූෂණයකට නිරාවරණය වීම අනතුරුදායක විය හැකිය. එමගින් පෙනහළු සහ හදවතට බලපාන සෞඛ්‍ය තත්ත්වයන් ඇතිවිය හැකිය.

වායු දූෂණය සහ හෘද හෝ පෙනහළු සෞඛ්‍යය අතර සම්බන්ධය සඳහා බොහෝ සාක්ෂි ඇතත්, මොළයේ සෞඛ්‍යයට ඇති බලපෑම එතරම් පැහැදිලි නැත. සම්බන්ධයක් තිබේද, එය කෙතරම් ප්‍රබලද, සහ එයට නිශ්චිතවම හේතු වන්නේ කුමක්ද යන්න පෙන්වීමට තවත් බොහෝ පර්යේෂණ අවශ්‍ය වේ.


ඩිමෙන්ෂියා අවදානම කෙරෙහි වායු දූෂණයේ බලපෑම

වායු දූෂණය සහ ඩිමෙන්ෂියාව අතර සම්බන්ධය වඩාත් හොඳින් තේරුම් ගත යුතුය. වායු දූෂණයට නිරාවරණය වීමේ මට්ටම, කාලය සහ ජීවිතයේ කුමන අවධියේදී නිරාවරණය වීම ඩිමෙන්ෂියාන්ශියා අවදානමට බලපාන්නේ කෙසේදැයි අපි දැනට නොදනිමු. කුඩා වායු දූෂක අංශු මොළයට ඇතුළු විය හැකි බවට සාක්ෂි ඇතත්, මොළයේ සෞඛ්‍යයට වායු දූෂණයේ බලපෑම සම්පූර්ණයෙන් අවබෝධ කර ගැනීමට තවත් පර්යේෂණ අවශ්‍ය වේ.

2022 දී, වෛද්‍යමය බලපෑම් පිළිබඳ කමිටුවක් විසින් අධ්‍යයන 70ක් සමාලෝචනය කරන ලදී. එම සාක්ෂිවලට අනුව, වායු දූෂක සහ මතකය හා චින්තන ගැටලු වර්ධනය වීම අතර සම්බන්ධයක් පවතින බව පෙනී යයි. වායු දූෂණය හදවතට සහ රුධිර සංසරණ පද්ධතියට ඇති කරන බලපෑම්, මොළයට රුධිර සැපයුමට බලපා සනාල ඩිමෙන්ෂියාව (vascular dementia) ඇතිවීමට හේතු විය හැකි බවට විශ්වාස කෙරේ.


මොළය සහ වායු දූෂණය පිළිබඳ පර්යේෂණ

මැග්නටයිට් (Magnetite) නම් යකඩ වර්ගයක් සියුම් අංශුමය ද්‍රව්‍ය තුළ දක්නට ලැබෙන අතර, ඉන්ධන දහනය කිරීමෙන් ඒවා වාතයට මුදා හැරේ. නමුත් එය මොළය තුළ ස්වාභාවිකවද නිපදවේ. මෙක්සිකෝ නගරයේ සහ මැන්චෙස්ටර්හි පුද්ගලයන්ගේ මොළ පටක පිළිබඳ අධ්‍යයනයකින් තහවුරු වූයේ වායු දූෂණයෙන් ලැබෙන මැග්නටයිට්, රුධිරය හරහා හෝ නාසයේ තුනී පටලය හරහා මොළයට ඇතුළු විය හැකි බවයි.

මෙම අංශු, ඇල්සයිමර් රෝගය ඇති පුද්ගලයින්ගේ මොළයේ බහුලව දක්නට ලැබෙන ඇමිලොයිඩ් තැන්පතු (amyloid plaques) තුළ දක්නට ලැබුණි. කෙසේ වෙතත්, මැග්නටයිට් මෙම තැන්පතු සෑදීමට හෝ මොළයේ සෛල මියයාමට සම්බන්ධ බවට මෙම අධ්‍යයනයෙන් සාක්ෂි සපයා නැත.

චින්තන හැකියාවන් පිළිබඳ පර්යේෂණ

  • මීයන් යොදාගෙන කළ අධ්‍යයනවලින් හෙළි වූයේ වායු දූෂණයට නිරාවරණය වීම ඉගෙනීම, මතකය සහ චාලක කුසලතා දුර්වල කළ බවයි.
  • කැනඩාවේ ඔන්ටාරියෝහි මිලියන 6.6ක ජනතාවක් යොදාගෙන 2016දී ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ, ප්‍රධාන මාර්ගයක සිට මීටර් 300කට වඩා දුරින් ජීවත් වන අයට සාපේක්ෂව, මීටර් 50ක් ඇතුළත ජීවත් වන අයට ඩිමෙන්ෂියාව වැළඳීමේ සම්භාවිතාව 7% කින් වැඩි බවයි.
  • කැනඩාවේ ක්විබෙක්හි සිදු කරන ලද තවත් විශාල අධ්‍යයනයකින් හෙළි වූයේ නයිට්‍රස් ඔක්සයිඩ් හෝ සියුම් අංශුමය ද්‍රව්‍යවලට නිරාවරණය වීමත් සමඟ ඩිමෙන්ෂියා අනුපාතය වැඩි වූ බවයි.
  • මතකය සහ චින්තන ගැටලු ඇති පුද්ගලයින් 18,000කගේ පමණ මොළයේ ස්කෑන් පරීක්ෂණ යොදාගත් අධ්‍යයනයකින් හෙළි වූයේ, වාතයේ ගුණාත්මක භාවය අඩු ප්‍රදේශවල ජීවත් වන පුද්ගලයින්ගේ මොළයේ ඇමිලොයිඩ් තැන්පත් වීමේ සම්භාවිතාව වැඩි බවයි.

මෙම අධ්‍යයනයන් වායු දූෂණය ඩිමෙන්ෂියාවට හේතු වන බවට ඔප්පු නොකරයි. ඒවායින් යෝජනා කළ හැක්කේ චින්තන ගැටලු හෝ ඩිමෙන්ෂියාව සහ වායු දූෂණය අතර කිසියම් සම්බන්ධතාවයක් ඇති බව පමණි. කාර්යබහුල මාර්ගයක ජීවත් වීම හා සම්බන්ධ වෙනත් සාධක, එනම් අධික ශබ්ද දූෂණය, ආතතිය සහ නින්ද නොමැතිකම වැනි දේ ද ඩිමෙන්ෂියා අවදානමට බලපෑ හැකිය.

සයින්ටිෆික් ඇමෙරිකන් සඟරාව ඇසුරෙන්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending