හිස් අහසේ කාසි මවා පෙන්වන විට, කාඩ්පැපැ එකකින් අභිරහස් ලෙස කාඩ් එකක් කැඳවන විට, සහ මැජික්කරුගේ සහායකයා අපගේ ඇස් ඉදිරිපිටම අතුරුදහන් වන විට අපි අවිශ්වාසයෙන් හිස වනා දමමු. ඇත්තෙන්ම ‘මැජික්’ කියා දෙයක් නැත, එසේනම් මැජික්කරුවන්ගේ උපක්‍රම මෙතරම් ඒත්තු ගැන්වෙන්නේ කෙසේද?
වසර ගණනාවක් පුරා මෙම මායාකාරයින්ව නොසලකා හැරීමෙන් පසුව, ස්නායු විද්‍යාඥයින් සහ මනෝවිද්‍යාඥයින් දැන් තේරුම් ගෙන ඇත්තේ මැජික් මායාකරුවන් මිනිස් මනස හැසිරවීමට භාවිතා කරන ක්‍රමවේදයන් තුළ වැදගත් අවබෝධයක් සැඟවී ඇති බවයි. මැජික් උපක්‍රම ස්වභාවධර්මයේ නීති කඩ කරන බවක් පෙනුනත්, ඇත්ත වශයෙන්ම ඒවා එසේ නොකරන බව අපි දනිමු. එබැවින්, මැජික් වල රහස රැඳී තිබිය යුත්තේ මිනිස් මොළය තුළය; එය ප්‍රයෝජනයට ගත හැකි දෝෂ සහ දුර්වලතා වලින් පිරී පවතී.
අවධානය යොමු නොකිරීම
මැජික් කලාව ගවේෂණය කිරීම සඳහා හොඳම ආරම්භක ලක්ෂ්‍යය වන්නේ මායාකරුවන් විසින්ම ඔවුන්ගේ ශිල්පය පුළුල් උපක්‍රම වර්ග තුනකට වර්ගීකරණය කිරීමයි: අවධානය වෙනතකට යොමු කිරීම (misdirection), මායාව (illusion) සහ බලෙන් තෝරාගැනීමට සැලැස්වීම (forcing). අවධානය වෙනතකට යොමු කිරීම මැජික් කලාවේ හදවතයි. එය ප්‍රේක්ෂකයන්ගේ අවධානය වංචනික ක්‍රියාවෙන් ඉවතට හරවා, මායාකරු විසින් තෝරාගනු ලබන වෙනත් දෙයක් වෙත යොමු කිරීමේ ක්‍රමයකි. ස්නායු විද්‍යාවට අනුව, මෙම ක්‍රමය රඳා පවතින්නේ මොළයට ඇත්තේ ඉතා සීමිත අවධානයක් සැපයීමේ හැකියාවක්ය යන කාරණය මතය.
එක් දෙයක් කෙරෙහි අවධානය යොමු කිරීම, සාමාන්‍යයෙන් පැහැදිලිව පෙනෙන වෙනත් දේවල් ගැන ඔබව අන්ධභාවයට පත් කළ හැකිය. මෙම අරුම පුදුම සංසිද්ධිය අවධානය යොමු නොකිරීමේ අන්ධතාව (inattentional blindness) ලෙස හැඳින්වේ. 1999 දී ඉලිනොයිස් විශ්ව විද්‍යාලයේ මනෝවිද්‍යාඥයින් විසින් මෙය මනාව ප්‍රදර්ශනය කරන ලදී. ඔවුන් පුද්ගලයන් හය දෙනෙකු වටරවුමක සිට පැසිපන්දු දෙකක් එකිනෙකාට පාස් කරගන්නා වීඩියෝවක් නිර්මාණය කළේය. පාස් කිරීම් ගණන ගණන් කරන ලෙස ඉල්ලා සිටි විට, වීඩියෝව නරඹන අයගෙන් අඩක් පමණ, ගෝරිල්ලෙකුගේ ඇඳුමකින් සැරසුණු අයෙකු ක්‍රීඩාව මැදින් ගොස් පපුවට ගසා ගන්නා ආකාරය දැකීමට අපොහොසත් විය.
මායාකරුවන් මෙම ‘අවධානය යොමු නොකිරීමේ අන්ධතාව’ අපගේ නහය යටදීම නිර්ලජ්ජිත වංචාවන් සිදු කිරීමට භාවිතා කරයි. යම් දෙයක් ‘අතුරුදහන්’ වන බවක් පෙනෙන විට, එය හුදෙක් ඔබගේ අවධානය නමැති ආලෝක කදම්භය වෙනත් තැනකට යොමු කර තිබියදී දර්ශනයෙන් ඉවත් වී තිබිය හැක.
වෙනත් අවස්ථාවලදී, මායාකරුවන්ට අවශ්‍ය වන්නේ ඔබේ අවධානය වෙනතකට යොමු කරනවාට වඩා එය රඳවා ගැනීමටය. මෑත අධ්‍යයනයන් මගින් වෘත්තීය මායාකරුවෙකු විවිධ උපක්‍රම සඳහා භාවිතා කළ විවිධ ආකාරයේ අත් චලනයන් දෙකක් සංසන්දනය කරන ලදී. ඉන් හෙළි වූයේ මන්දගාමී, වෘත්තාකාර අත් චලනයන් අපගේ අවධානය ආකර්ෂණය කර ගැනීමට සහ රඳවා ගැනීමට හොඳ බවත්, වේගවත්, සෘජු චලනයන් එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට අවධානය ඉක්මනින් වෙනතකට යොමු කිරීමට ප්‍රයෝජනවත් බවත්ය. අවධානය හැසිරවීමේ තවත් ක්‍රමයක් නම් හාස්‍යය යි. සමහර මායාකරුවන් සැඟවීමට විශේෂයෙන් අපහසු විශාල චලනයන් සඟවා ගැනීම සඳහා විහිළු භාවිතා කරයි. සිනහව මගින් මෙතරම් ඵලදායී ලෙස අවධානය වෙනතකට යොමු කරන්නේ ඇයිද යන්න තවමත් පැහැදිලි නැත.
නැති දේ දැකීම
ඊළඟට ඇත්තේ මායාවන් ය. ඒවා රඳා පවතින්නේ ඔබ දකිනවා යැයි සිතන බොහෝ දේ ඇත්ත වශයෙන්ම ඔබේ මොළය විසින් නිර්මාණය කරන ලද ඒවාය යන කාරණය මතය. අතුරුදහන් වන බෝලයේ මායාවේදී (vanishing ball illusion), මායාකරුවෙකු කුඩා බෝලයක් ඉහළට සහ පහළට විසි කරන අතරතුර ඔහුගේ දෑසින් එය අනුගමනය කරයි. ඔහු තුන්වන වරටත් බෝලය විසි කරන බවක් මවාපාමින්, බෝලය අතේ තබාගෙන, නමුත් තවමත් එය දෙස බලන්නාක් මෙන් ඔහුගේ දෑස් චලනය කරයි. මෙය විශ්වාසදායක ලෙස බෝලය ඉහළට විසි කර, පසුව ශූන්‍ය අහසේ අතුරුදහන් වීමේ මායාව නිර්මාණය කරයි.
මෙම උපක්‍රමය නරඹන අතරතුර මිනිසුන්ගේ ඇස් නිරීක්ෂණය කිරීමෙන් හෙළි වූයේ, සැබෑ විසි කිරීම් වලදී, විෂයයන්ගේ ඇස් චලනය බෝලයේ ගමන් පථය අනුගමනය කළ බවයි. නමුත් උපක්‍රමශීලී විසි කිරීමේදී, ඔවුන්ගේ ඇස් මායාකරුගේ ඇස් මතම රැඳී තිබුණි. මෙයින් පෙනී යන්නේ මොළය ඇස් අභිබවා ගොස් ඇත්ත වශයෙන්ම නොපවතින වස්තුවක රූපයක් නිර්මාණය කරන බවයි. එය එසේ කරන්නේ ඇයි? පිළිතුරේ කොටසක් සමාජීය ඉඟි වල (social cues) බලය තුළ පවතී – මේ අවස්ථාවේ දී, මායාකරුගේ දෑස් – මොළය තුළ අපේක්ෂාවන් ඇති කිරීමට. නොපවතින බෝලයේ චාපය අනුගමනය කරනවාට වඩා ඔබ ඔබේ දෑස් විසි කරන අත මතම තබා ගන්නේ නම් මෙම උපක්‍රමය එතරම් සාර්ථක නොවේ.
මෙම උපක්‍රමය දෘශ්‍ය සංජානනයේ දෝෂයක් මත ද රඳා පවතී. දෘෂ්ටි විතානය මගින් ග්‍රහණය කර ගන්නා තොරතුරු මොළයට ළඟා වීමට මිලි තත්පර 100 ක් පමණ ගත වේ. මෙම ප්‍රමාදය පියවා ගැනීම සඳහා, මොළය නුදුරු අනාගතයේදී ලෝකය කෙබඳු වේදැයි පුරෝකථනය කරන අතර එය සතුව ඇති සැබෑ තොරතුරු මත ක්‍රියා කරනවාට වඩා මෙම අනාවැකිය මත ක්‍රියා කරයි. මෝටර් රථයක් පැදවීම වැනි සැබෑ ලෝක තත්ත්වයන්හිදී මෙය ප්‍රයෝජනවත් වන නමුත්, එය මායාකරුවන්ට ප්‍රයෝජනයට ගත හැකි අවස්ථාවක් ද ලබා දෙයි.
තේරීමේ මායාව සහ මතකය හැසිරවීම
මායාකරුවන්ගේ තුන්වන මෙවලම වන්නේ බලෙන් තෝරාගැනීමට සැලැස්වීමයි (forcing). මෙය ඉලක්කයට නිදහස් කැමැත්තක් ඇති බවට මායාවක් ලබා දෙන ඕනෑම තාක්ෂණයකි, නමුත් ඇත්ත වශයෙන්ම ඔවුන්ට කිසිදු තේරීමක් නැත. මෙහි සම්භාව්‍ය උදාහරණය නම් ‘කාඩ්පතක් තෝරන්න, ඕනෑම කාඩ්පතක්’ යන උපක්‍රමයයි. එහිදී ඔබ තෝරාගත් දේ මායාකරු අද්භූත ලෙස දන්නා බවක් පෙනේ.
ශ්‍රේෂ්ඨ මායාකරුවන්, ගණන් කළ නොහැකි පැය ගණනක පුහුණුව තුළින්, දෘශ්‍ය, ශ්‍රව්‍ය සහ ස්පර්ශ ක්‍රමවල විස්මිත සංයෝජනයක් භාවිතා කරමින් අපගේ අවධානය, මතකය සහ හේතුඵල නිගමන හසුරුවයි. කෙසේ වෙතත්, ලොව ඇති ශ්‍රේෂ්ඨතම මැජික් සංදර්ශනය නම්, ඔබේ මොළය තුළ නිරන්තරයෙන්ම සිදුවන ක්‍රියාවලියයි.
ඔබේ මතකය අතීතයේ විශ්වාසදායක වාර්තාවක් සේ පෙනුනත්, එය එසේ නොවේ. අපට කිසිදා සිදු නොවූ සිදුවීම් පිළිබඳව පවා අපි ප්‍රබල ‘මතකයන්’ පහසුවෙන් ගොඩනඟා ගනිමු. අප යමක් මතක තබා ගන්නා සෑම අවස්ථාවකම, අපි ඇත්ත වශයෙන්ම ඉතිහාසය නැවත ලියන්නෙමු. ස්නායු විද්‍යාඥයින්ට බොහෝ කලකට පෙර මායාකරුවන් මෙම මොළයේ දෝෂය ගැන ඉගෙන ගත්හ. උපක්‍රමයක් අතරතුර, මායාකරුවෙකු බොහෝ විට තමන් දැන් කළ දේ මිනිසුන්ගේ මතකය හසුරුවන ආකාරයෙන් විස්තර කරයි. එබැවින්, මායාකරු ඔබේ සිත කියෙව්වා යැයි ඔබට හැඟුණත්, ඇත්තෙන්ම ඔවුන් කළේ ඔබේ සිතට අලුත් දෙයක් ලිවීමයි.
New Scientist ප්‍රකාශනයක්වන The Brain Everything You Need to Know කෘතියෙන්





ප්‍රතිචාරයක් ලබාදෙන්න