ඇන්ටාක්ටිකාවේ මුහුදු අයිස් අහිමි වීම පිළිබඳව අප දැන් වඩා හොඳින් තේරුම් ගැනීමට පටන් ගෙන ඇත – එය විනාශකාරී ප්‍රතිවිපාක ගෙන දිය හැකි ස්ථිර වෙනසක් විය හැකි බව නිව් සයන්ටිස්ට් සඟරාවට ලිපියක් ලියමින් මැඩලින් කෆ්‍්‍ කියයි.

ඇන්ටාක්ටිකාවේ මුහුදු අයිස් මට්ටම වාර්තාගත ලෙස පහළ ගොස් ඇත

ඇන්ටාක්ටිකාව ආපසු හැරවිය නොහැකි දේශගුණික හැරවුම් ලක්ෂ්‍යයක් පසු කර තිබිය හැකි බවට විද්‍යාඥයෝ අනතුරු අඟවති. 2016 වසරේ සිට මුහුදු අයිස් සෑදීමේ හදිසි කඩාවැටීම, මිනිසා විසින් ඇති කරන ලද සාගර උණුසුම් වීමට සම්බන්ධ බවට සාක්ෂි එන්න එන්නම තහවුරු වෙමින් පවතී.
දශක ගණනාවක් පුරා, ගෝලීය උෂ්ණත්වය ඉහළ ගියද, ඇන්ටාක්ටික් මුහුදු අයිස් මට්ටම සාපේක්ෂව ස්ථාවරව පැවතුණි. කෙසේ වෙතත්, 2016 දී එය හදිසියේම වෙනස් වූ අතර, මුහුදු අයිස් ප්‍රමාණය ශීඝ්‍රයෙන් පහත වැටෙන්නට පටන් ගත්තේය.
2023 පෙබරවාරි මාසයේදී, ඇන්ටාක්ටික් මුහුදු අයිස් නව වාර්තාගත අවම මට්ටමක් සනිටුහන් කළේය. එය වසර හතක් තුළ අඩුම මුහුදු අයිස් ප්‍රමාණය වාර්තා වූ තුන්වන ගිම්හානය විය. 2023 සැප්තැම්බර් මාසයේදී ද මෙම මුහුදු අයිස් සඳහා වාර්තාගත අඩු උපරිමයක් දක්නට ලැබුණි.
දේශගුණික ආකෘති මගින් ඇන්ටාක්ටිකාවේ මුහුදු අයිස් අහිමි වීම වේගවත් වනු ඇතැයි බොහෝ කලක සිට පුරෝකථනය කර තිබුණි. නමුත් 2016 සිට සිදු වූ පහත වැටීමේ වේගය සහ විශාලත්වය දේශගුණික විද්‍යාඥයින් පුදුමයට පත් කර ඇති අතර, පර්යේෂකයන් මෙම වෙනස පැහැදිලි කිරීමට දැඩි උත්සාහයක යෙදී සිටිති. පසුගිය සතියේ, මෑතකාලීන වෙනස්කම් දේශගුණික හැරවුම් ලක්ෂ්‍යයක් නියෝජනය කරන්නේද යන්න සාකච්ඡා කිරීම සඳහා විද්‍යාඥයින් ලන්ඩනයේ රාජකීය සංගමයේදී හමු විය.
උණුසුම් වන ජලය
දේශගුණයේ සහ කාලගුණයේ ස්වාභාවික විචල්‍යතාවයට මෙම හදිසි සංක්‍රාන්තිය පැහැදිලි කළ නොහැකි බව ලොස් ඇන්ජලීස් හි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ මර්ලින් රෆායෙල් පවසයි.
මුහුදු අයිස් මැනීම සඳහා වූ චන්ද්‍රිකා වාර්තා ආරම්භ වූයේ 1979 දී ය. ඇන්ටාක්ටික් කාලගුණ මධ්‍යස්ථාන වලින් ලබාගත් ප්‍රොක්සි දත්ත භාවිතා කරමින්, රෆායෙල් සහ ඇගේ සගයන් එම කාල ශ්‍රේණිය 20 වන සියවසේ ආරම්භය දක්වා දීර්ඝ කළහ.
ඓතිහාසික දත්ත මත පමණක් පදනම්ව, 2023 වසරේ මුහුදු අයිස් අවමය සිදුවීමේ සම්භාවිතාව සියයට 0.1 කට වඩා අඩු බව ඔවුහු නිගමනය කළහ. “මුහුදු අයිස් සම්බන්ධයෙන් අප ඇත්තෙන්ම දකින්නේ අන්ත හැසිරීමක්” යැයි ඇය රාජකීය සංගමයේ රැස්වීමේදී ඉදිරිපත් කිරීමකදී පැවසුවාය.
අයිස් සෑදීමේ මෙම හදිසි පහත වැටීම දේශගුණික හැරවුම් ලක්ෂ්‍යයක ලක්ෂණ පෙන්නුම් කරන බව ජර්මනියේ ඇල්ෆ්‍රඩ් වෙගනර් ආයතනයේ ඇලෙක්සැන්ඩර් හෝමාන් පවසයි. මෙම වෙනස හදිසියේ සිදු වූ බවත්, එය සමස්ත මහාද්වීපයටම බලපෑ බවත්, ඇන්ටාක්ටිකාවේ පුළුල් දේශගුණයට සහ පරිසර විද්‍යාවට විශාල බලපෑම් ඇති කරනු ඇති බවත් ඔහු නියෝජිතයින්ට පැවසීය.
“අප දැන් දකින්නේ සමස්ත ඇන්ටාක්ටික් මුහුදු අයිස් පද්ධතියම එකක් ලෙස ප්‍රතිචාර දක්වන බවයි,” ඔහු රැස්වීමේදී ‘New Scientist’ සඟරාවට පැවසීය. “තවද අප නිරීක්ෂණය කරන වෙනස්කම් ඉතා දිගු කාලීන වන අතර, ඒවා පද්ධතිය තුළ දිගු කලක් රඳවා තබා ගන්නා බවක් පෙනේ.”
මෙයට හේතුව මුහුදු අයිස් පද්ධතිය මත පැටවුණු වෙනසක් බව හෝමාන් පවසන අතර, උණුසුම් වන සාගර ජලය මෙම හදිසි පහත වැටීමට පිටුපසින් ඇති බවට නව පර්යේෂණ මගින් දැන් යෝජනා කෙරේ. මිනිස් ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයක් ලෙස වායුගෝලයේ සිරවී ඇති අතිරික්ත තාපයෙන් සියයට 90 ක් පමණ ලෝකයේ සාගර විසින් අවශෝෂණය කරගෙන ඇත.
ඇන්ටාක්ටිකාවේ, උණුසුම්, ගැඹුරු සාගර ජලය සාමාන්‍යයෙන් මිශ්‍ර මතුපිට ජලයෙන් වෙන් කර තබන්නේ සීතල, මිරිදිය තට්ටුවක් මගිනි. එහෙත් හෝමාන් සහ ඔහුගේ සගයන් විසින් කරන ලද නව පර්යේෂණයකින් යෝජනා වන්නේ දක්ෂිණ සාගරයේ සුළගේ වේගයේ සහ ලවණතාවයේ වෙනස්වීම් හේතුවෙන් 2015 සිට මෙම මායිම් ස්ථරය සැලකිය යුතු ලෙස දුර්වල වී ඇති බවයි. එහි ප්‍රතිඵලයක් ලෙස උණුසුම්, ගැඹුරු සාගර ජලය මතුපිටට උඩුගැලීම වැඩි වී, අයිස් දියවීමට හේතු වී ඇත. දේශගුණික විපර්යාසවල ප්‍රතිඵලයක් ලෙස මෙම ගැඹුරු සාගර ජලය උණුසුම් වෙමින් පවතින බව අධ්‍යයනවලින් පෙනී යයි.
“අයිස් සෑදීමේ හදිසි පහත වැටීම දේශගුණික හැරවුම් ලක්ෂ්‍යයක ලක්ෂණ පෙන්නුම් කරයි”
දේශගුණික පද්ධතියේ ස්වාභාවික විචල්‍යතාව සාගරයේ ලවණතාවට සහ සුළඟට සිදු වූ වෙනස්කම් අවුලුවා තිබිය හැකි බව හෝමාන් පවසයි. නමුත් ඔහු අනතුරු අඟවන්නේ, මෙය ගැඹුරු සාගර ජලයේ ගබඩා වී තිබූ මිනිසා විසින් ඇති කරන ලද උණුසුම් වීමේ බලපෑම් මුදා හැර ඇති බවයි. ඇත්ත වශයෙන්ම, මෙහි අර්ථය විය හැක්කේ, උණුසුම් වන සාගර ජලයේ බලපෑම දැන් ඇන්ටාක්ටිකාවට දැනෙමින් පවතින බවත්, එය එහි නව මුහුදු අයිස් සෑදීම සීමා කරන බවත්ය.
මෑතකාලීන සංසරණ වෙනස්කම් ආපසු හැරවිය හැක්කේ උඩුගැලීමේ බලපෑම මැඩපැවැත්වීමෙන් හෝ විශාල ග්ලැසියරයක් දියවීමෙන් ලැබෙන මිරිදිය ශීඝ්‍රයෙන් ගලා ඒම වැනි දක්ෂිණ සාගරයේ ලවණතාවයේ හදිසි වෙනසකින් පමණක් බව හෝමාන් පවසයි. නමුත් අනාගතයේදී පද්ධතිය කෙසේ ප්‍රතිචාර දක්වනු ඇත්ද යන්න ඉතා අවිනිශ්චිත බව ඔහු පවසයි.
මෙම මෑතකාලීන වෙනසේ ප්‍රතිවිපාක විනාශකාරී විය හැකිය. ඇන්ටාක්ටිකාවේ මුහුදු අයිස් ගොඩබිමෙහි ඇති ග්ලැසියර සහ අයිස් තට්ටු ස්ථාවර කිරීමට උපකාරී වේ. ප්‍රමාණවත් තරම් මුහුදු අයිස් සෑදීමෙන් තොරව, ඒවා දියවීමේ වේගය වේගවත් වනු ඇති අතර, එය දරුණු ගෝලීය මුහුදු මට්ටම ඉහළ යාමකට හේතු විය හැක. ගෝලීය මුහුදු මට්ටම මීටර් 58 කින් ඉහළ නැංවීමට ප්‍රමාණවත් ජලය ඇන්ටාක්ටික් අයිස් තට්ටුවේ අඩංගු බවට ගණන් බලා ඇත.
පරාවර්තක සුදු අයිස් වලට වඩා අඳුරු සාගර ජලය සූර්යයාගෙන් වැඩි තාපයක් අවශෝෂණය කරන බැවින්, ඇන්ටාක්ටික් මුහුදු අයිස් අහිමි වීම පෘථිවි පෘෂ්ඨයේ දීප්තියට බලපානු ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස තවදුරටත් උණුසුම් වීම සිදුවේ.
මේ අතර, දක්ෂිණ සාගරයේ ගැඹුරු ජලයේ ගබඩා වී ඇති කාබන් ගිගාටොන් සිය ගණනක්, වැඩි වූ ගැඹුරු ජල උඩුගැලීම හරහා වායුගෝලයට මුදා හැරිය හැකි බව පර්යේෂණ මගින් යෝජනා කෙරේ.
දශක ගණනාවක් තිස්සේ සාවද්‍ය සහ අඩු විභේදන ආකෘති සමඟ පොරබැදීමෙන් අනතුරුව, මෙවැනි දේශගුණික ප්‍රතිපෝෂණ බලපෑම් ඇන්ටාක්ටිකාවේ කෙසේ ක්‍රියාත්මක විය හැකිද යන්න විද්‍යාඥයින් තේරුම් ගැනීමට පටන් ගෙන ඇත්තේ දැන් ය.

නේචර් සඟරාවෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending