2025 නොවැම්බර් 21 සිකුරාදා

විශේෂ පුවත: ෆොසිල ඉන්ධන ඉවත් කිරිමට කැපවීමක් නැත්නම් සාකච්ඡා ප්‍රගතිය අවහිර කරන බවට රටවල් 29ක් තර්ජනය කර තිබියදීත් සමුළු නායකත්වය නව පිටපතක් නිකුත් කිරීමට කටයුතු කරයි.

ෆොසිල ඉන්ධන අදියර වශයෙන් ඉවත් කිරීම (phase-out) පිළිබඳ කිසිදු සඳහනක් නොමැතිව, Cop30 දේශගුණික සාකච්ඡාවල ප්‍රතිඵල පිළිබඳ නව කෙටුම්පත් පිටපතක් ප්‍රකාශයට පත් කර ඇත. ‌ෆොසිල ඉන්ධන අනුක්‍රමයෙන් ඉවත් කිරීමේ ක්‍රියාමාර්ගයකට සහය දක්වන රටවල්, එම කොන්දේසිය නොමැතිව කිසිදු එකඟතාවකට ඉඩ නොදෙන බවට තර්ජනය කර තිබියදීත් මෙය සිදුවී ඇත.

ෆොසිල ඉන්ධන අදියර වශයෙන් ඉවත් කිරීමට සහය දක්වන රටවල් 29ක්වත් බ්‍රසීල Cop සභාපතිත්වයට ලිපියක් යවා ඇති බව බ්‍රහස්පතින්දා රාත්‍රියේ ‘The Guardian’ පුවත්පත අනාවරණය කළේය. එවැනි කැපවීමක් ඇතුළත් නොවන කිසිදු එකඟතාවක් අවහිර කරන බවට ඔවුහු තර්ජනය කළහ. මෙය තීරණාත්මක සාකච්ඡාවල උණුසුම සැලකිය යුතු ලෙස ඉහළ නැංවීමකි. සිකුරාදා අවසන් වීමට නියමිත නමුත් සති අන්තය දක්වා ඇදී යාමට ඉඩ ඇති සාකච්ඡාවල ප්‍රතිඵලයට මෙම මාර්ග සිතියම ඇතුළත් කරන ලෙස කාන්දු වූ එම ලිපිය මගින් ඉල්ලා සිටියේය.

අඟහරුවාදා ප්‍රකාශයට පත් කරන ලද, සති දෙකක සාකච්ඡාවල විභව ප්‍රතිඵල පිළිබඳ පළමු කෙටුම්පතෙහි, “ෆොසිල ඉන්ධනවලින් බැහැර වීමේ සංක්‍රමණය” (transition away) සඳහා විභව මාර්ග සිතියමක් සකස් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමේ විකල්පයක් ඇතුළත් විය. නමුත් සිකුරාදා අලුයම සභාපතිත්වය විසින් ප්‍රකාශයට පත් කරන ලද “mutirão” (සාමූහික ප්‍රයත්නය) පිටපතෙහි මාර්ග සිතියම ගැන හෝ “ෆොසිල ඉන්ධන” යන යෙදුම ගැන හෝ කිසිදු සඳහනක් නොවීය.

මෙම යෝජනාවට රටවල් ප්‍රතිචාර දක්වන්නේ කෙසේද යන්න වහාම පැහැදිලි නොවූ නමුත්, සෞදි අරාබිය සහ රුසියාව ඇතුළු ඛනිජ තෙල් නිපදවන සමහර රාජ්‍යයන්ගෙන්ද (petrostates), ඉන්දියාව ඇතුළු විශාල ෆොසිල ඉන්ධන පාරිභෝගිකයින්ගෙන්ද මෙම විභව යෝජනාව ඉවත් කරන ලෙස බ්‍රසීලයට පීඩනය එල්ල වූ බව ‘The Guardian’ පුවත්පතට වැටහේ.

නියෝජිත කණ්ඩායම්වල කාර්යාල අසල සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේ කොටසක ගින්නක් ඇතිවීමට පෙර සහ සාකච්ඡා පැය හයකට වඩා වැඩි කාලයක් අත්හිටුවීමට පෙර, මාර්ග සිතියමට විරුද්ධ සමහර රටවල් බ්‍රහස්පතින්දා සාකච්ඡාවලින් ඉවත්ව යන බවට තර්ජනය කර තිබුණි.

මාර්ග සිතියමට පක්ෂව සිටින බොහෝ රජයන් එය සාකච්ඡා සඳහා “රතු ඉරක්” (red line) ලෙස සලකුණු කර ඇති බව ‘The Guardian’ විසින් දැක ඇති සභාපතිත්වය වෙත යොමු කළ ලිපියකින් පෙන්වයි.

එහි මෙසේ සඳහන් වේ: “ෆොසිල ඉන්ධනවලින් ඉවත්වීම සඳහා සාධාරණ, ක්‍රමානුකූල සහ සමානාත්මතාවයෙන් යුත් සංක්‍රමණයක් ක්‍රියාත්මක කිරීමේ මාර්ග සිතියමක් ඇතුළත් නොවන ප්‍රතිඵලයකට අපට සහාය දිය නොහැක. මෙම අපේක්ෂාව පාර්ශවකරුවන්ගෙන් අතිමහත් බහුතරයක් මෙන්ම විද්‍යාව සහ අපගේ කාර්යය දෙස සමීපව බලා සිටින ජනතාව ද බෙදා හදා ගනී. ගෝලීය තොග විමර්ශනයෙන් (Global Stocktake) පසුව අඛණ්ඩ පැවැත්ම සහ ප්‍රගතිය පෙන්නුම් කිරීමට ලෝකය මෙම Cop සමුළුව දෙස බලා සිටී. ඊට වඩා අඩු ඕනෑම දෙයක් අනිවාර්යයෙන්ම පියවරක් ආපස්සට තැබීමක් ලෙස පෙනෙනු ඇත.”

ගෝලීය තොග විමර්ශනය යන්නෙන් අදහස් කරන්නේ 2023 දී ඩුබායි හි Cop28 හිදී ගනු ලැබූ ඓතිහාසික තීරණයයි. එහිදී සියලුම රටවල් “ෆොසිල ඉන්ධන වලින් ඉවතට සංක්‍රමණය වීමට” පොරොන්දු වූ නමුත්, සංක්‍රමණය සඳහා කාලරාමුවක් හෝ එය සාක්ෂාත් කර ගන්නේ කෙසේද යන්න පිළිබඳ පියවරයන් දක්වා නොතිබුණි.

එම කැපවීම අත්සන් කළ දා සිට, සමහර රටවල් – ප්‍රධාන වශයෙන් සෞදි අරාබිය – එය ලිහිල් කිරීමට උත්සාහ කර ඇත. 2024 දී අසර්බයිජානයේ පැවති Cop29 සාකච්ඡාවලදී, විරුද්ධත්ව හමුවේ එම කැපවීම නැවත තහවුරු කිරීමට ගත් උත්සාහය අසාර්ථක විය.

මෙම වසරේදී, අදියර වශයෙන් ෆොසිල ඉන්ධන ඉවත් කිරීමට පක්ෂපාතී රටවල් වෙනස් උපාය මාර්ගයක් අනුගමනය කළහ. ෆොසිල ඉන්ධන අනුක්‍රමයෙන්ර බැහැර කිරීම සඳහා විය හැකි මාර්ග සිතියමක් සාකච්ඡා කිරීම පිණිස සියලුම රටවලට සහභාගී විය හැකි සංසදයක් (forum) සඳහා යෝජනා සකස් කිරීමට සමහරක් රටවල් පියවර ගත්හ. මෙය අදියර වශයෙන් ඉවත් කිරීම සඳහා ස්ථිර කාලසීමාවකට අත්සන් කිරීමට කිසිදු රටකට අවශ්‍ය නොකරන අතර, සියලුම රටවලට ඔවුන්ගේම ප්‍රතිපත්ති සහ මාර්ග තෝරා ගැනීමට ඉඩ සලසයි. මාර්ග සිතියම මෙම Cop සමුළුවේදී සම්පූර්ණ නොකරන නමුත් සම්පූර්ණයෙන්ම ප්‍රකාශ කිරීමට අනාගත Cop සමුළුවලදී අවම වශයෙන් වසරක් හෝ ඊට වැඩි කාලයක් ගතවනු ඇත.

රටවල් 80කට වැඩි ප්‍රමාණයක් මෙම මුලපිරීම සමඟ සම්බන්ධ වූ අතර, ඔවුන්ගේ සැලසුම් නිවේදනය කිරීම සඳහා අඟහරුවාදා මාධ්‍ය හමුවක් පැවැත්වීය.

නමුත් සෞදි අරාබිය, ඊජිප්තුව, ඉරානය සහ බොලිවියාව ඇතුළත් ලිහිල් කණ්ඩායමක් වන “සමාන අදහස් ඇති සංවර්ධනය වෙමින් පවතින රටවල්” (like-minded developing countries) නමින් හැඳින්වෙන කණ්ඩායමේ සමහර සාමාජිකයින්ගේ නායකත්වයෙන් යුත්, එවැනි කැපවීමකට තවමත් විරුද්ධ රටවලට මෙය දරාගත නොහැකි විය.

ෆොසිල ඉන්ධන අදියර වශයෙන් ඉවත් කිරීමට පක්ෂව ලිපියට අත්සන් කළ අය අතර: ඔස්ට්‍රියාව, බෙල්ජියම, චිලී, කොලොම්බියාව, කොස්ටාරිකාව, ක්‍රොඒෂියාව, චෙක් ජනරජය, එස්තෝනියාව, ෆින්ලන්තය, ප්‍රංශය, ජර්මනිය, ග්වාතමාලාව, හොන්ඩුරාස්, අයිස්ලන්තය, අයර්ලන්තය, ලිච්ටෙන්ස්ටයින්, ලක්සම්බර්ග්, මාෂල් දූපත්, මෙක්සිකෝව, මොනාකෝ, නෙදර්ලන්තය, පැනමාව, පලාවු, ස්ලොවේනියාව, ස්පාඤ්ඤය, ස්වීඩනය, ස්විට්සර්ලන්තය, එක්සත් රාජධානිය සහ වනුආටු ඇතුළත් වන බව ‘The Guardian’ පුවත්පතට වැටහේ.

කොලොම්බියාවේ පරිසර අමාත්‍ය අයිරින් වෙලෙස් ටොරෙස් ‘The Guardian’ වෙත මෙසේ පැවසුවාය: “මෙම ලිපිය මතු වූයේ සභාපතිත්වය විසින් ‘කැමති නම් ගන්න නැත්නම් යන්න’ (take-it-or-leave-it) යන ආකාරයේ පිටපතක් ඉදිරිපත් කිරීමෙන් පසුවයි. මෙම Cop සමුළුව ලබා දිය යුතු අභිලාෂය සහ ක්‍රියාත්මක කිරීමේ මට්ටමට එය ප්‍රමාණවත් නොවන බව අපි විශ්වාස කරමු – විශේෂයෙන් ෆොසිල ඉන්ධන අදියර වශයෙන් ඉවත් කිරීමේ මාර්ග සිතියමක් සඳහා විද්‍යාවෙන් සහ ලොව පුරා ජනතාවගෙන් පැහැදිලිවම සහාය ලැබෙන අවශ්‍යතාවය සම්බන්ධයෙන් එය ප්‍රමාණවත් නොවේ.

“මෙම Cop සමුළුවේ සාර්ථකත්වය ඕනෑම වියදමක් දරා පිටපතක් සම්මත කර ගැනීමෙන් මැනිය නොහැක. මෙම Cop සමුළුවේ සැබෑ සාර්ථකත්වය පවතින්නේ ප්‍රතිඵලයේ ගුණාත්මකභාවය මත ය. දුර්වල හෝ හිස් පිටපතක් සම්මත කිරීම දේශගුණික බහුපාර්ශ්විකත්වයේ අසාර්ථකත්වයක් සහ ජීවත්වීමට සුදුසු ග්‍රහලෝකයක් ලැබීමට සුදුසු අනාගත පරම්පරාවන් අසමත් කිරීමක් සංඥා කරනු ඇත.”

ජාත්‍යන්තර දේශගුණ දේශපාලන කේන්ද්‍රයේ (International Climate Politics Hub) අධ්‍යක්ෂිකා කැතරින් අබ්‍රෙයු මෙසේ පැවසුවාය: “වර්ධනය වන කණ්ඩායමක් මූලික ගල් හතරක් මත ගොඩනගා ඇති අභිලාෂකාමී පැකේජ ගනුදෙනුවක් නොමැතිව බෙලෙම් නගරයෙන් පිටව නොයන බව පැහැදිලිය: අනුවර්තනය වීම සඳහා මුදල්, දේශගුණික මූල්‍ය සඳහා වඩා හොඳ ගුණාත්මකභාවය සහ වගවීම, දේශගුණික දූෂණයේ විශාලතම ප්‍රභවයන් වන ෆොසිල ඉන්ධන සහ වන විනාශය මැඩපැවැත්වීම කෙරෙහි පැහැදිලි අවධානයක් යොමු කිරීම සහ සාධාරණ සංක්‍රමණයක් සමඟ ඒ සියල්ල මෙහෙයවීමට කැපවීම එම කරුණු හතරයි.”

ඇය වැඩිදුරටත් මෙසේ පැවසුවාය: “ප්‍රශ්නය වන්නේ කාලය ඉකුත් වෙමින් පවතින විට බ්‍රසීල සභාපතිත්වය ඔවුන්ට සවන් දීමට තෝරා ගනීද යන්නයි.”

බෙලෙම් හි සති දෙකක් පුරා පැවති සාකච්ඡා සිකුරාදා සවස අවසන් වීමට නියමිතව තිබූ නමුත් ගින්න හේතුවෙන් ප්‍රමාද වී ඇත – ගින්නෙන් කිසිවෙකුට තුවාල සිදුවී නැති නමුත් ස්ථානයට යම් හානියක් සිදුවී ඇත – සහ එය සති අන්තය දක්වාම පැවතීමට ඉඩ ඇත.

සාකච්ඡා අවසන් හෝරාවට ළඟා වන විට, ෆොසිල ඉන්ධනවලින් ඈත් වීමේ සංක්‍රමණය පිළිබඳ ආරවුල ප්‍රමුඛ වීමට ඉඩ ඇත. නමුත් 2015 පැරිස් ගිවිසුමේ දක්වා ඇති පරිදි පූර්ව කාර්මික මට්ටම්වලට වඩා සෙල්සියස් අංශක 1.5කට ගෝලීය උණුසුම සීමා කිරීමට රටවල ජාතික දේශගුණික සැලසුම් ඉතා දුර්වල බවට වන කාරණයට ප්‍රතිචාර දැක්වීම, මූල්‍ය, වෙළඳාම සහ විනිවිදභාවය පිළිබඳ ප්‍රශ්න, සහ දේශගුණික අර්බුදයේ බලපෑම්වලට අනුවර්තනය වීමට සංවර්ධනය වෙමින් පවතින රටවලට කොපමණ මුදලක් ලැබේද යන්න ඇතුළු අනෙකුත් ගැටළු ද විසඳා ගැනීමට ඉතිරිව ඇත.

ගාඩියන් පුවත්පතේ ෆියෝනා හාවි, බෙලෙම් (Belem) සිට

2025 නොවැම්බර් 21 සිකුරාදා, ග්‍රිනිච් වේලාවෙන් 09.07

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending