ඒකාබද්ධ ක්‍රියාමාර්ග සාධාරණීකරණය කිරීම සඳහා දේශගුණික තර්ජනය බැහැර කිරීම හෝ අතිශයෝක්තියට නැංවීම අවශ්‍ය නොවේ.

මීට වසර පහළොවකට පෙර, මගේ මිතුරෙකු සහ උපදේශකයෙකු වූ දේශගුණ විද්‍යාඥ ස්ටීවන් ෂ්නයිඩර් පැවසූ දෙයක් මගේ මතකයේ රැඳී තිබේ. දේශගුණය වෙනස්වීම සම්බන්ධයෙන් ගත් කල, “ලෝක විනාශය” සහ “(එය) ඔබට හොඳයි” යන අන්ත දෙකම “සිදුවීමට ඉතාම අඩු සම්භාවිතාවක් ඇති ප්‍රතිඵල දෙක” බව ඔහු පැවසීය.

ස්ටීව්ගේ මෙම කියමන අදට වඩාත් උචිත බව හැඟේ. බ්‍රසීලයේ බෙලෙම් (Belém) හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ 30 වන දේශගුණික විපර්යාස සමුළුව (COP30) අතරතුර, මාධ්‍යවල පළවන නොමඟ යවනසුලු දේශගුණික පණිවිඩ මගින් මෙම අන්ත දෙකම ප්‍රවර්ධනය කරනු ලබයි.

එක් අන්තයක සිටින්නේ කෝටිපති පරිත්‍යාගශීලී බිල් ගේට්ස්ගේ ක්‍රියාකලාපයයි. මානව වර්ගයා මුහුණ දෙන අනෙකුත් ප්‍රධාන ගැටලුවලට සාපේක්ෂව දේශගුණික අර්බුදය හදිසි බවින් අඩු බව තර්ක කරමින් ඔක්තෝබර් 28 වැනි දින ප්‍රකාශනයක් නිකුත් කිරීම මගින් ඔහු දේශගුණික ක්‍රියාකාරීන් මවිතයට පත් කළේය. කණගාටුදායක කරුණ නම්, මිනිස් ක්‍රියාකාරකම් නිසා ඇති වූ ගෝලීය උණුසුම හේතුවෙන් නිර්මාණය වීමට වැඩි ඉඩක් තිබූ, වාර්තාගත ඉතිහාසයේ ප්‍රබලතම අත්ලාන්තික් සුළි කුණාටුව ජැමෙයිකාවට කඩා වැදුණු විනාශකාරී අවස්ථාවේදීම මෙම ප්‍රකාශනය එළිදැක්වීමයි.

ගෝලීය උණුසුම “ඔබට හොඳ” යැයි ගේට්ස් වක්‍රව පැවසුවේ නැත, නමුත් ඔහුගේ තර්ක එම ආකල්පයට ආසන්න ය: එනම් දේශගුණය සම්බන්ධයෙන් දැනටමත් ප්‍රමාණවත් ප්‍රගතියක් ලබා ඇති බැවින්, ඒ වෙනුවට දරිද්‍රතාවය සහ රෝග වැනි වඩාත් හදිසි යැයි ඔහුට හැඟෙන ප්‍රශ්න විසඳීමට අප මූලිකත්වය දිය යුතු බවයි.

මෙය දේශගුණික ක්‍රියාමාර්ග සහ මහජන සෞඛ්‍යය අතර පවතින වැරදි හුවමාරුවක් (false trade-off) බවට මා සහ අනෙකුත් දේශගුණ විශේෂඥයින්ගෙන් එල්ල වූ දැඩි විවේචන නොතකා, ගේට්ස් තම මතයේම එල්බ සිටියේය. Axios ප්‍රවෘත්ති සේවය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී “ඔවුන් ජීවත් වන්නේ කුමන ලෝකයකද?” යැයි ඇසූ ඔහු, “මැලේරියාව තුරන් කිරීම සඳහා උෂ්ණත්වය අංශක 0.1 කින් ඉහළ යාමට වුවද තමා ඉඩ දෙන” බව වාර්තාකරුවන්ට පැවසීය.

ඇත්තෙන්ම, ගේට්ස් ජීවත් වන්නේ කුමන ලෝකයකද? මානව සෞඛ්‍යය පිළිබඳ ගැටලු විසඳීමේ වියදමින් දේශගුණික ක්‍රියාමාර්ග ගත යුතුය යන අදහස ඔප්පු කළ හැකි මිත්‍යාවකි (fallacy). අපගේ Science Under Siege (2025) කෘතියේදී, ටෙක්සාස් හි හූස්ටන්හි බේලර් වෛද්‍ය විද්‍යාලයේ මහජන සෞඛ්‍ය විද්‍යාඥ පීටර් හෝටෙස් සහ මම, මෙම අභියෝග ඇත්ත වශයෙන්ම වෙන් කළ නොහැකි ආකාරය විස්තර කර ඇත්තෙමු. මිනිසුන් විසින් ඇති කරන ලද දේශගුණික විපර්යාස, COVID-19 සඳහා සිදු වූවාක් මෙන්, වසංගත රෝග සහ මැලේරියාව වැනි වාහකයන් මගින් බෝවන රෝග උග්‍ර කරනු ඇත. සීඝ්‍රයෙන් උණුසුම් වන ලෝකයක් තුළ “මැලේරියාව තුරන් කිරීමට” ගේට්ස් හෝ වෙනත් අයෙකු යෝජනා කරන්නේ කෙසේද යන්න ගැටලුවකි. මෙය හුදෙක් පහර දීමට පහසු වන පරිදි සැබෑ තර්කය විකෘති කර ගොඩනැගූ තර්කයකි.

ගේට්ස්ගේ මෙම ස්ථාවරය වෙනස් කිරීම, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු දේශපාලනයේ සිටින දේශගුණික විපර්යාස අවතක්සේරු කරන්නන් සහ ෆොසිල ඉන්ධන යෝජකයින් විසින් ද, The Wall Street Journal සහ New York Post වැනි මාධ්‍ය කොටස් විසින් ද සමරනු ලැබීය — ගේට්ස් විසින් ඔවුන් ඔහුගේ ස්ථාවරය විග්‍රහ කළ ආකාරය ප්‍රතික්ෂේප කර තිබුණද මෙය එසේම සිදුවිය.

මේ අතර, ඊට ප්‍රතිවිරුද්ධ ‘ලෝක විනාශය’ (end of the world) යන අන්තයේ සිටින්නන්ගෙන් ලැබෙන සහායක් ද නැත. “දැන් ප්‍රමාද වැඩි විය හැක,” යැයි කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් හි නිදහස් ලේඛක රොබට් හන්සිකර් මීට මසකට පමණ පෙර Counterpunch ප්‍රවෘත්ති වෙබ් අඩවියේ සඳහන් කළේය. මෙවැනි විනාශය පිළිබඳ කතාන්දර බොහෝ විට මාධ්‍ය ආයතන මගින් තවදුරටත් තීව්‍ර කරනු ලබන්නේ, දැනටමත් පසු කර ඇති බව කියන තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍ය (tipping points) ගැන හුස්ම හිරවන සිරස්තල පළ කරමින්, බලපෑම්වල ස්වභාවය අතිශයෝක්තියට නංවමිනි. මෙය සාමූහික බලාපොරොත්තු සුන්වීමක් (hopelessness) ඇති කරයි.

Science Under Siege (2025) කෘතියේ සම කර්තෘ මයිකල් ඊ. මෑන් (Michael E. Mann) විසිනි. (නේචර් සඟරාවෙන්)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending