පිළිකාවට මූලික හේතුව DNA වලට සිදුවන හානිය බව දීර්ඝ කාලයක් තිස්සේ සලකනු ලැබුණා. නමුත් එම න්‍යාය හොඳම අවස්ථාවේදී පවා දෝෂ සහිත බව පර්යේෂකයන් දැන් වටහාගෙන තිබෙනවා. ඒ වෙනුවට, මෙම රෝගය පිටුපස ඇති ගාමක බලය සම්පූර්ණයෙන්ම වෙනස් එකක් විය හැකියි. පුදුමයකට මෙන්, එය ශරීරයේ ප්‍රධාන සුවවීමේ ක්‍රියාවලියකට සම්බන්ධ්ධ.ය


පිළිකාව ආරම්භ වන්නේ කෙසේද? මෙම රෝගය නිසා වාර්ෂිකව සිදුවන ආසන්න වශයෙන් මිලියන 10ක මරණ සංඛ්‍යාවෙන් කොටසක් හෝ වළක්වා ගැනීමට අපට අවශ්‍ය නම්, මෙම ප්‍රශ්නය ඉතා වැදගත්. විද්‍යාඥයන් සිතුවේ ඔවුන් සතුව ප්‍රධාන පිළිතුර ඇති බවයි. දශක ගණනාවක පර්යේෂණවලින් පෙන්වා දී ඇත්තේ පිළිකාව ආරම්භ වන්නේ ශරීරයේ DNA වල හානිය එක්රැස් වූ විට බවයි.

නමුත් නව පර්යේෂණ මගින් හෙළිවන්නේ මෙම න්‍යායේ කේන්ද්‍රීය දෝෂයක් ඇති බවයි. මීට පෙර නොසලකා හරින ලද සංසිද්ධියක් පිළිකා වර්ධනයේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනවා. මෙම සොයාගැනීම අපගේ අවබෝධය සහ රෝගයට ප්‍රතිකාර කරන ආකාරය වෙනස් කළ හැකියි.

පිළිකාව දාම ප්‍රතික්‍රියාවක් ලෙස

පිළිකාව වර්ධනය වන්නේ ශරීරයේ සෛලවලට වර්ධනය පාලනය කරගත නොහැකි වූ විටයි. සාමාන්‍යයෙන් සෛල බෙදෙන්නේ ශරීරයට අවශ්‍ය වූ විට පමණයි. එම කාර්යය අවසන් වූ විට වර්ධනය නතර වෙනවා. පිළිකා සෛල මෙම නීති කඩ කරනවා; ඒවා පාලනයකින් තොරව දිගටම බෙදී යන අතර, අවසානයේදී ‘ගෙඩි’ (tumours) ලෙස හඳුන්වන අසාමාන්‍ය සෛල ගොඩවල් නිර්මාණය කරනවා.

පිළිකා සෛල මුල් ගෙඩියෙන් කැඩී රුධිරය හෝ වසා පද්ධතිය හරහා ගමන් කළ විට, ඒවා පෙනහළු, අක්මාව හෝ මොළය වැනි වැදගත් අවයවවල පදිංචි විය හැකියි. එහිදී ඒවාට වර්ධනය වී නව ගෙඩි සෑදිය හැකි අතර, එම අවයවවල ක්‍රියාකාරිත්වයට බාධා කළ හැකියි.

ඒ සමගම, පිළිකා සෛල ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ආරක්ෂක ක්‍රම මග හැරීමට ඉතා දක්ෂයි. ඒවා රසායනික චිකිත්සාව (chemotherapy) වැනි ප්‍රතිකාර වලට පවා ප්‍රතිරෝධී වෙනවා. මෙම ආක්‍රමණශීලී වර්ධනය, පැතිරීම සහ ප්‍රතිරෝධය යන සංකලනය නිසා පිළිකාව හානිකර වන අතර සටන් කිරීමට අපහසු වෙනවා.

(සෛල ජීව විද්‍යාඥ එලේන් ෆුක්ස්, ඇගේ පර්යේෂණ මගින් පිළිකා පිළිබඳ අපගේ අවබෝධයට අභියෝග කරයි. විකෘති පමණක් පිළිකා වර්ධනයට ප්‍රමාණවත් නොවන බව ඇය නිරීක්ෂණය කර ඇත.)

පිළිකාව පිළිබඳ සාම්ප්‍රදායික අවබෝධය නම්, විකෘති (සෛල DNA වල වෙනස්කම්) ඩොමිනෝ පිලි මෙන් එකින් එක සිදුවන බවයි. එය නව විකෘති සඳහා මග පාදමින්, ක්‍රමයෙන් සෛලය තව තවත් අස්ථාවර කරනවා. උදාහරණයක් ලෙස මහා බඩවැලේ පිළිකාවක් (colorectal cancer) ආරම්භ විය හැක්කේ පිළිකා-නිෂේධක (cancer-inhibiting) APC ජානයේ විකෘතියක් සමගයි. එමගින් සෛලයේ වර්ධනය මන්දගාමී කිරීමේ හැකියාව දුර්වල වෙනවා. නමුත් මෙය ගැටලුවක් බවට පත්වන්නේ, පිළිකා-ප්‍රවර්ධක (cancer-promoting) KRAS ජානයේ නව විකෘතියක් මගින් සෛලය වේගයෙන් වර්ධනය වීමට පටන් ගත්තොත් පමණයි.

මිලියන 10

වාර්ෂිකව පිළිකා හේතුවෙන් සිදුවන ආසන්න මරණ සංඛ්‍යාව.

මෙම නැගී එන පිළිකා සෛලය පාලනයකින් තොරව බෙදීමට පටන් ගන්නවා. MLH1 වැනි අලුත්වැඩියා කරන ජානයක (repair gene) නව විකෘතියක් සිදුවුවහොත්, සෛල බෙදීමේදී DNA වල සිදුවන දෝෂ අලුත්වැඩියා කිරීමේ හැකියාව දුර්වල වෙනවා. මෙය තවත් විකෘති එකතු වීමට හේතු වෙනවා.

සාමාන්‍යයෙන්, මෙතරම් දුරට මග වැරදුණු සෛලයක් ශරීරය ආරක්ෂා කර ගැනීම සඳහා ‘සියදිවි නසාගැනීමක්’ (suicide) සිදු කරනවා. නමුත් TP53 ජානය ද විකෘති වී ඇත්නම්, මෙම ආරක්ෂක පියවර ද අඩපණ වී, පිළිකාවට එහි වර්ධනය දිගටම කරගෙන යාමට ඉඩ සලසනවා.

දශක ගණනාවක් තිස්සේ පිළිකා පිළිබඳ විද්‍යාත්මක න්‍යාය මෙයයි. කෙසේ වෙතත්, පැරණි පැහැදිලි කිරීම්වල තීරණාත්මක කරුණක් මගහැරී ඇති බව නව සොයාගැනීම් හෙළි කරනවා.

පිළිකාව ආරම්භ වන්නේ කවදාදැයි පරිසරය තීරණය කරයි

නිව් යෝර්ක් හි රොක්ෆෙලර් විශ්ව විද්‍යාලයේ සෛල ජීව විද්‍යාඥ එලේන් ෆුක්ස්, පිළිකාව යනු හුදෙක් ජානමය රෝගයක් (purely genetic disease) ලෙස පවතින සම්භාව්‍ය අවබෝධය ප්‍රශ්න කරන පර්යේෂකයන්ගෙන් කෙනෙකි.

2024 සමාලෝචන ලිපියක, ෆුක්ස් ප්‍රධාන නිරීක්ෂණයක් කළා: එනම් පිළිකා සෛල මෙහෙයවනු ලබන්නේ විකෘති මගින් පමණක් නොවන බවයි. එක සමාන විකෘති ඇති පිළිකා සෛල පවා, ඒවා පවතින පරිසරය අනුව ඉතා වෙනස් ලෙස වර්ධනය විය හැකියි. එකම ගෙඩියක ඇති පිළිකා සෛල, එක් පටකයක (tissue) ආක්‍රමණශීලීව හැසිරෙමින් ව්‍යාප්ත විය හැකි (metastasise) අතර, වෙනත් පටකයක අක්‍රියව පැවතිය හැකියි.

එක් උදාහරණයක් නම් සමේ සෛලයි. සමහර අවස්ථාවලදී, හිරුගේ UV කිරණවලට නිරාවරණය වී පිළිකා ඇති කළ හැකි විකෘති එකතු වී තිබුණත්, ඒවා (පිළිකා) තවම ඇති කර නොමැතිව, සාමාන්‍ය ලෙස හැසිරෙනවා. යම් අවස්ථාවකදී සමට හානි වී තුවාලයක් ඇති වුවහොත්, එම විකෘති වූ සෛල ක්‍රියාත්මක වී චර්ම පිළිකාවක් දක්වා වර්ධනය විය හැකියි.

මෙම සියලු සොයාගැනීම් පෙන්වා දෙන්නේ විකෘති පමණක් පිළිකා වර්ධනයට හේතු නොවන බවයි. පිළිකාවක් ඇතිවන්නේ විකෘති වූ සෛලවලට නිශ්චිත සංඥා (signals) හෝ ඒවායේ පරිසරයෙන් යම් බලපෑමක් ලැබුණු විට පමණයි. එවැනි දේශීය බලපෑම්, නැගී එන පිළිකා සෛලය “තල්ලු” කර සක්‍රීය කරන අවට පටක වලින් පැමිණිය හැකියි. එසේත් නැතිනම්, ගෙඩියට නැවුම් ඔක්සිජන් සහ පෝෂ්‍ය පදාර්ථ ගෙන එමින්, නව රුධිර වාහිනී සෑදීම උත්තේජනය කරන හෝමෝන විය හැකියි.

සෛලීය පරිසරයේ මෙම නව වැදගත්කම, ඇතැම් පාරිසරික සාධක පිළිකා කාරක (carcinogenic) ලෙස පෙනෙන්නේ මන්දැයි පැහැදිලි කරනවා විය හැකියි. හිරුගේ UV ආලෝකයට සෘජුවම DNA වලට හානි කර විකෘති ඇති කළ හැකියි. නමුත් පිළිකා වර්ධනය ආරම්භ වන්නේ (triggered) පසුව ඇතිවන වායු දූෂණය, හෝමෝන කඩාකප්පල් කරන ද්‍රව්‍ය, ආසාදන, හෝ ශරීරයට බලපාන සහ සෛල වටා පරිසරය වෙනස් කරන ආහාර සහ ජීවන රටාවන් මගින් විය හැකියි.

(පාර-ජම්බුල විකිරණ (Ultra-violet radiation) මගින් සමේ සෛල වලට හානි කර විකෘති ඇති කළ හැකියි. නමුත් සමහර විට එය සිදු වන්නේ බොහෝ කලකට පසුවයි – සම නැවතත් හානි වූ විටක පමණක් එම විකෘති වූ සෛල චර්ම පිළිකා දක්වා වර්ධනය විය හැකියි.)

ප්‍රදාහය මගින් සෛල වලට “මතකයක්” ලබා දෙයි

කෙසේ වෙතත්, එලේන් ෆුක්ස්ට අනුව, වඩාත්ම වැදගත් පිළිකා කාරක සංඥා සමහරක් පිටතින් නොව, අපගේම ප්‍රතිශක්තිකරණ පද්ධතියෙන් පැමිණිය හැකියි. අපට තුවාල වූ විට, හෝ සන්ධියකට අධික බරක් යෙදවූ විට, ශරීරයේ ප්‍රතිශක්තිකරණ සෛල “ප්‍රදාහ තත්වයක්” (inflammatory state) ආරම්භ කරනවා: මෙම ප්‍රදාහය හානිය අලුත්වැඩියා කිරීමට උපකාරී වෙනවා.

මෙම ක්‍රියාවලිය පාලනය වන්නේ ‘සයිටොකයින්’ (cytokines) නම් ප්‍රබල ප්‍රතිශක්තිකරණ පණිවිඩකරුවන් (immune messenger) මගිනුයි. මේවා විවිධ ප්‍රතිශක්තිකරණ සෛල ආකර්ෂණය කර ගන්නා අතර, රුධිර වාහිනී පුළුල් කිරීමෙන් ඒවාට පහසුවෙන් ප්‍රවේශ වීමට ඉඩ සලසනවා. එසේම හානිකර ක්ෂුද්‍ර ජීවීන් ඉවත් කිරීමට, මිය ගිය පටක බැහැර කිරීම සම්බන්ධීකරණය කිරීමට සහ නව පටක සෑදීම උත්තේජනය කිරීමට ද ඒවා උපකාරී වෙනවා.

බොහෝ අවස්ථාවලදී, එවැනි ප්‍රදාහයක් යනු තුවාල සුව කරන සෞඛ්‍ය සම්පන්න සහ ස්වාභාවික ක්‍රියාවලියකි. නමුත් ප්‍රදාහයට ලක් වූ පටකයේ, සයිටොකයින් සහ සුවවීමේ ක්‍රියාවලියේ අපද්‍රව්‍ය යන දෙකම ඇතුළත් ප්‍රබල අණු මිශ්‍රණයක් (cocktail) අඩංගු වෙනවා. පිළිකා වර්ධනයට දායක විය හැක්කේ මෙම ද්‍රව්‍යයන් විය හැකියි.

ප්‍රදාහය, ‘නිදහස් රැඩිකලුන්’ (free radicals) ලෙස හඳුන්වන හානිකර ද්‍රව්‍ය බහුල වීමට හේතු වෙනවා. මේවා සෛල DNA වලට පහර දෙනවා. මෙමගින් APC සහ TP53 වැනි පිළිකා-නිෂේධක ජාන අක්‍රීය කර, සෛල හදිසියේම පිළිකා සෛල බවට පත්වීමට හේතු විය හැකියි.

ප්‍රදාහය මගින් පිළිකා අවදානම වැඩි කර එහි වර්ධනය වේගවත් කළ හැකි බව අප දන්නවා. නමුත් සෛල වටා ඇති ප්‍රදාහ පරිසරය, කලින් සිතුවාට වඩා බෙහෙවින් වැදගත් බව දැන් පෙන්වා දී තිබෙනවා. මෑත කාලීන පර්යේෂණවලින් පෙන්වා දී ඇත්තේ ප්‍රදාහයට, අනාගතයේදී ඇතිවිය හැකි ගැටලුවක් සඳහා සෛල “මුද්‍රා තැබිය” (brand) හැකි බවයි. වසර ගණනාවකට පසුව වුවද, පිළිකා වර්ධනය වීමේ වැඩි අවදානමක් එම සෛලවල දිගටම පැවතිය හැකියි.

2023 අධ්‍යයනයක දී, නිව් යෝර්ක් හි වෙයිල් කෝනෙල් වෛද්‍ය ආයතනයේ (Weill Cornell Medicine) ආචාර්ය රෝහිත් චන්ද්වානි මෙම සංසිද්ධිය ‘ප්‍රදාහ මතකය’ (inflammatory memory) ලෙස නම් කළා. මීයන් යොදාගත් අත්හදා බැලීම් වලදී ඔහු පෙන්වා දුන්නේ, ප්‍රදාහය මගින් සෛල DNA වලට දිගුකාලීන බලපෑමක් ඇති කරන බවයි – නමුත් ජාන කේතය (genetic code) වෙනස් නොකර.

මෙය විකෘතියක් නොවේ. නමුත් ‘අභිජාන වෙනසක්’ (epigenetic change) – එනම් DNA අනුපිළිවෙල වෙනස් නොකර, ජාන ප්‍රකාශ වන ආකාරය (how genes are expressed) ට බලපාන වෙනස් කිරීමක්. මෙම අවස්ථාවේදී, පිළිකා-ප්‍රවර්ධක KRAS ජානය අස්ථාවර වන අතර, පසුකාලීනව සෛල පිළිකා බවට පත්වීමට වැඩි අවදානමක් ඇති කරනවා.

ප්‍රදාහය ප්‍රතිකාර වලට බාධා කරයි

ප්‍රදාහය, වෛද්‍යවරුන් රෝගීන්ට ප්‍රතිකාර කිරීමට දරන උත්සාහයන් ද ව්‍යර්ථ කළ හැකියි. 2024 සමාලෝචන ලිපියක, චීනයේ සිචුවාන් විශ්ව විද්‍යාලයේ (Sichuan University) පර්යේෂකයෙකු වන ෂියාවේ වේ (Xiawei Wei) විස්තර කරන්නේ, ඇතැම් ප්‍රදාහකාරී ද්‍රව්‍ය මගින් පිළිකා සෛලවල ඇති ජාන සක්‍රීය කළ හැකි බවයි. එමගින් ඒවා රසායනික චිකිත්සාවට (chemotherapy) සහ විකිරණ චිකිත්සාවට (radiotherapy) ප්‍රතිරෝධී බවට පත් කරනවා.

12%

අග්න්‍යාශ පිළිකාවකින් (pancreatic cancer) වසර 5+ ක් දිවි ගලවා ගැනීමේ ආසන්න සම්භාවිතාව.

පිළිකා සෛල වෙත රුධිර සැපයුම වසා දැමීමෙන් ක්‍රියා කරන වෙනත් පිළිකා ප්‍රතිකාර ක්‍රමයක් ද කඩාකප්පල් වෙනවා. මන්ද, වෛද්‍යවරුන් එය වැළැක්වීමට උත්සාහ කළද, ප්‍රදාහය මගින් නව රුධිර වාහිනී සෑදීම උත්තේජනය කරමින්, ගෙඩියේ ඔක්සිජන් සහ පෝෂ්‍ය පදාර්ථ අවශ්‍යතා සපුරාලන නිසයි.

නමුත් ප්‍රදාහය පිළිකා ප්‍රවර්ධනය කරන නිසාම, ෂියාවේ වේ නව පිළිකා ප්‍රතිකාර වල හැකියාවක් පෙන්වා දෙනවා. එනම්, ගෙඩි වර්ධනය වීමට සහ ප්‍රතිකාරවලට ප්‍රතිරෝධය දැක්වීමට භාවිතා කරන සෛල වටා ඇති ප්‍රදාහ පරිසරය බිඳ දමන ප්‍රතිකාරයි. නව බලාපොරොත්තු තැබිය හැකි ඖෂධයක් වන්නේ ‘ඇස්පිරින්’ (aspirin) ය. එය අප සාමාන්‍ය වේදනා නාශකයක් ලෙස දන්නා අතර, මාංශ පේශි සහ සන්ධිවල ප්‍රදාහය සමනය කිරීමට ද ඊට හැකියි. ඇස්පිරින් වලට පිළිකා වැළැක්වීමට සහ ප්‍රතිකාර කිරීමට උපකාර කළ හැකි බවට අධ්‍යයන කිහිපයක් දැනටමත් යෝජනා කර තිබෙනවා.

ප්‍රතිකාර මගින් “මතකය” මැකිය හැකියි

රෝහිත් චන්ද්වානි හට වෙනස් ප්‍රවේශයක් තිබෙනවා. ඔහුගේ අරමුණ වන්නේ සෛලවල “මතකය” මකා දමන ප්‍රතිකාරයක් නිපදවීමයි. එවිට ඒවා පහසුවෙන් පිළිකා සෛල බවට පත් වන්නේ නැහැ. අත්හදා බැලීම් වලදී, MEKi (MEK inhibitor, MEK ප්‍රෝටීන අවහිර කිරීමෙන් ක්‍රියා කරන ඉලක්කගත පිළිකා ප්‍රතිකාරයක්) නම් ඖෂධය, KRAS ජානයේ අභිජාන වෙනස්කම් (epigenetic changes) අඩු කරන බව ඔහු පෙන්වා දී තිබෙනවා. එමගින් සෛලවලට, තමන් මීට පෙර ප්‍රදාහයට නිරාවරණය වූ බව “අමතක” වෙනවා. බලාපොරොත්තු වූ පරිදි, මෙහි ප්‍රතිඵලයක් ලෙස මීයන්ට පිළිකා ඇතිවීම අඩු වුණා.

මේ සියල්ලෙන් පිළිකාවට සම්පූර්ණ සුවයක් (cure) ලබා නොදුන්නත්, මෙම පාරිසරික වෙනස්කම් පිළිබඳ අවබෝධය, දියුණු කළ නව මුල් ප්‍රතිකාර ක්‍රමවලට මග පාදනු ඇති. එමෙන්ම, අභිජාන වෙනස්කම් ආපසු හැරවීමට සහ පිළිකා වර්ධනයක් වළක්වා ගැනීමට හැකි වන වැළැක්වීමේ ක්‍රම (prevention) සඳහා පවා මෙය මග පෑදිය හැකියි. ■

ගෝම් පාම්ග්‍රෙන් විසිනි

මෙම ලිපිය 2019 පෙබරවාරි මස New Scientist (Vol 241, Issue 3216) සඟරාවේ පළළුූ Surprised researchers ask: HAVE WE MISSED THE MOST IMPORTANT CAUSE OF CANCER?” ලිපිය අසුරෙන් සකස් කෙරිණි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending