
භ්‍රමණය වන හිස් දෙකකින් යුත්, සැලසුම්ගත සුපිරි-විශාල පාවෙන සුළං ටර්බයිනයක්, වත්මන් විශාලතම සුළං වඩා දෙගුණයක පමණ බලශක්ති ප්‍රමාණයක් ජනනය කරනු ඇත.
වර්තමානයේ චීන වෙරළට ඔබ්බෙන් පරීක්ෂා කෙරෙමින් පවතින ලොව විශාලතම සුළං ටර්බයිනයේ තල, බෝයිං 777 ගුවන් යානයක පියාපත්වල පළල මෙන් දෙගුණයකටත් වඩා දිගු ය. ඊට මෙගාවොට් (MW) 26ක බලශක්තියක් ජනනය කළ හැකි අතර, එය තනි ටර්බයින සඳහා වන ගෝලීය සාමාන්‍ය අගය මෙන් දෙගුණයකටත් වඩා වැඩිය. නමුත් එහි වාර්තාව බිඳ වැටීමට ආසන්න ය: දකුණු චීනයේ පිහිටි ‘Ming Yang Smart Energy’ නම් සමාගමක් විසින් මීට වඩා දෙගුණයක් බලවත්, වෙරළෙන් ඔබ්බෙහි පිහිටුවන තවත් සුළං ටර්බයිනයක් පිළිබඳව නිවේදනය කර ඇත.
මෙගාවොට් 50ක ධාරිතාවකින් යුත් මෙම සුපිරි-විශාල ව්‍යුහය, සාගර මතුපිට පාවී යන ලෙස නිර්මාණය කර ඇති අතර, ටයිෆූන් සුළි කුණාටුවලට ඔරොත්තු දිය හැකි බව සමාගම පවසයි. මෙම වසරේ අගභාගයේදී ටර්බයිනය නිෂ්පාදනය ආරම්භ කිරීමටත්, ලබන වසරේදී එය යෙදවීමටත් (deploy) එම සමාගම සැලසුම් කර ඇත.
‘Siemens Gamesa’ වැනි බටහිර නිෂ්පාදකයින් ද වඩ වඩාත් විශාල ටර්බයින සඳහා යොමු වෙමින් සිටිය ද, 2022 දී චීන රජය වෙරළෙන් ඔබ්බෙහි සුළං ගොවිපළවල් සඳහා ලබා දුන් සහනාධාර නැවැත්වීමෙන් පසුව, මෙම ප්‍රවණතාව චීනය තුළ විශේෂයෙන් ප්‍රමුඛ වී ඇත. එමඟින් සංවර්ධකයින්ට (developers) මුදල් ඉතිරි කර ගැනීමේ ක්‍රම සෙවීමට බල කෙරුණි. චීනයේ ගුවැන්ග්ඩොං පළාත් ආණ්ඩුවේ සහාය ලබන පර්යේෂණ ආයතනයක් වන ‘Yangjiang Offshore Wind Energy Laboratory’ හි අධ්‍යක්ෂ Zhu Ronghua පවසන්නේ, විශාල ටර්බයින භාවිතා කිරීම යනු එකම බල ප්‍රමාණයක් ජනනය කිරීමට අවශ්‍ය වන්නේ ටර්බයින අඩු සංඛ්‍යාවක් බවයි. “වෙරළෙන් ඔබ්බෙහි සුළං ගොවිපළක් තැනීමේ පිරිවැයෙන් සියයට 70 ත් 80 ත් අතර ප්‍රමාණයක් වන ප්‍රවාහන, ඉදිකිරීම් සහ ස්ථාපන ගාස්තු ඔබට ඉතිරි කර ගත හැකියැ’යි,” Zhu පවසයි.
හිස් දෙකකින් යුත් ටර්බයින (Twin-Headed Turbines)
සාමාන්‍යයෙන්, වැඩි ධාරිතාවක් සහිත ටර්බයිනයක් භෞතිකව ද විශාල වේ. මෙයට හේතුව, වැඩි සුළං ප්‍රමාණයක් ග්‍රහණය කර ගැනීමට සහ එක් වටයකින් (sweep) වැඩි විදුලියක් ජනනය කිරීමට දිගු තල අවශ්‍ය වීමයි. ‘Dongfang Electric’ විසින් නිෂ්පාදනය කරන ලද, වත්මන් වාර්තාකරු ටර්බයිනය කෙතරම් විශාල ද යත්, එහි කුළුණ තට්ටු 63ක අහස උසට නැඟි ගොඩනැගිල්ලක් තරම් උස ය.
නමුත් ‘Ming Yang’ සමාගම වෙනස් ප්‍රවේශයක් ගනිමින් සිටී: එහි මහා-යන්ත්‍රයට (megamachine) එන්ජින් සහ තල කට්ටල එකක් නොව දෙකක් ඇත; ඒ එකකිනෙකට මෙගාවොට් 25ක බලශක්තියක් ජනනය කළ හැකිය. ඒවා තනි වේදිකාවක් මත Y-හැඩැති කුළුණකින් ආධාරක කර ඇත. එහි එක් එක් තල මීටර් 145ක් දිගු වන අතර, එය නිදහසේ ප්‍රතිමාවේ උස මෙන් තුන් ගුණයකි. මෙම සැලසුම ගොඩනැඟී ඇත්තේ දකුණු චීන මුහුදේ දැනට ක්‍රියාත්මක වන, මෙගාවොට් 16 ක, ලොව ප්‍රථම හිස්-දෙකේ ටර්බයිනයේ ආකෘතිය මත වන අතර, එය ටර්බයින දෙකක නිමැවුම එකක් ලෙස ඒකාබද්ධ කරයි. “මෙම පරිමාණයෙන් මෙය සාර්ථක වුවහොත්, මෙම ආකෘතිය පාවෙන සුළං කර්මාන්තයේ ‘ක්‍රීඩාව වෙනස් කරන්නෙකු’ (game changer) විය හැකියි,” යනුවෙන් නෝර්වීජියානු පර්යේෂණ සමාගමක් වන ‘Rystad Energy’ හි වෙරළෙන් ඔබ්බෙහි සුළං විශ්ලේෂකයෙකු වන Umang Mehrotra පවසයි.

(Eve Lu; මූලාශ්‍ර: Ming Yang Smart Energy ඉදිරිපත් කිරීම, චීන සුළං බලශක්ති 2025, බීජිං, 2025 ඔක්තෝබර් (හිස්-දෙකේ මෙගාවොට් 50 ටර්බයිනය); Dongfang Electric Wind Power (මෙගාවොට් 26 ටර්බයිනය); ජාතික උද්‍යාන සේවය (නිදහසේ ප්‍රතිමාව); ගෝල්ඩන් ගේට් පාලම, මහාමාර්ග සහ ප්‍රවාහන දිස්ත්‍රික්කය (ගෝල්ඩන් ගේට් පාලම); එම්පයර් ස්ටේට් ගොඩනැගිල්ල (එම්පයර් ස්ටේට් ගොඩනැගිල්ල))
කැලිෆෝනියාවේ පිහිටි ලාභ නොපමෝන ‘Global Energy Monitor’ ආයතනයේ පුනර්ජනනීය බලශක්ති පර්යේෂිකාවක වන Han Yujia, වඩාත් සිත් ගෙන ඇත්තේ, කර්මාන්තයේ වාර්ෂික සාමාන්‍ය වර්ධන වේගය වන මෙගාවොට් 2-3ක් අභිබවා යමින්, එකවර මෙගාවොට් 20කට වඩා වැඩි ප්‍රමාණයකින් ටර්බයිනයක ධාරිතාව වැඩි කිරීමට ‘Ming Yang’ සමාගම අදහස් කිරීමයි.
මෙගාවොට් 50 ටර්බයිනයට ටයිෆූන් සුළි කුණාටුවලට එරෙහිව “ප්‍රබල හැකියාවක්” ඇති බව ‘Ming Yang’ පැවසුවද, එය එසේ කරන්නේ කෙසේද යන්න පිළිබඳ වැඩි විස්තර තවමත් ලබා දී නැත. මූලාකෘතියක් (prototype) ලෙස සේවය කළ යුතු මෙගාවොට් 16 ආකෘතිය, පැයට කිලෝමීටර් 150කට වඩා වැඩි රගසා සුළං කුණාටුව ඇතුළුව, පසුගිය වසර තුළ ටයිෆූන් කුණාටු කිහිපයකටම ඔරොත්තු දී ඇත. ‘OceanX’ ලෙස හැඳින්වෙන මෙම ආකෘති පෙළේ ප්‍රධාන නිර්මාණකරු වන Wang Chao පවසන්නේ, එහි ඔරොත්තු දීමේ හැකියාවට එක් හේතුවක් වන්නේ එය මුහුදු පත්ලේ තනි ලක්ෂ්‍යයකට ගැට ගසා (tethered) තිබීම බවයි. එබැවින් එය “සුළං දිශා දර්ශකයක් (weather vane) මෙන්” අංශක 360ක් භ්‍රමණය විය හැකි අතර, අධික සුළං පවතින විට සමබරව පැවතිය හැකිය. එම ලක්ෂණයෙන් අදහස් වන්නේ, සුළඟ වඩාත් ප්‍රබල සහ ස්ථාවර ස්ථාන වන, වෙරළෙන් ඈත, ගැඹුරු ජලයේ මෙම ටර්බයිනය ස්ථාපනය කළ හැකි බවයි.
නමුත් නව මාදිලිය සැලකිය යුතු ලෙස විශාල වනු ඇති බැවින්, “විශාල අවදානම්” තිබිය හැකි බව Mehrotra පවසයි. තවද, සාමාන්‍යයෙන් එකිනෙක පසෙකින් පිහිටන ටර්බයින අතර තැබිය යුතු පරතරය පිළිබඳ පිරිවිතරයන්ට (specifications) සාපේක්ෂව, රොටර් යන්ත්‍ර දෙක තනි වේදිකාවක් මත මෙතරම් සමීපව තිබීම නිසා, ඒවා සුමටව බලය ජනනය කිරීම සහතික කිරීමේදී තාක්ෂණික දුෂ්කරතා ඇතිවිය හැකි බව ඔහු පවසයි. ‘Ming Yang’ සමාගමේ නියෝජිතයෙක් ‘Scientific American’ සඟරාවේ අදහස් විමසීමට ප්‍රතිචාර දැක්වූයේ නැත.
යූ සියෝ යැංග් විසින් (‘Scientific American’ සඟරාවෙනි)





ප්‍රතිචාරයක් ලබාදෙන්න