මෙය හුදෙක් අපිරිසිදු පුරුද්දකට එහා ගිය ගැටළුවක් විය හැක.
වැසිකිළි පෝච්චිය මත වාඩි වී සිටින අතරතුර ඔබේ දුරකථනය භාවිතා කිරීමෙන් ඔබේ සෞඛ්‍යයට බරපතල ප්‍රතිවිපාක ඇති විය හැකිය. ‘PLOS One’ ජර්නලයේ පළ වූ මෑතකාලීන අධ්‍යයනයකට අනුව, මෙම පුරුද්ද නිසා ඔබට අර්ශස් (Haemorrhoids/Piles) වැළඳීමේ අවදානම වැඩි විය හැකිය. අර්ශස් යනු ගුද මාර්ගයේ හෝ ඒ අවට නහර ඉදිමීම වන අතර එමගින් වේදනාව සහ ලේ ගැලීම සිදුවිය හැක.
ඇමරිකාවේ විද්‍යාඥයින් පිරිසක් විසින් කොලොනොස්කොපි (Colonoscopy) පරීක්ෂාවකට (කැමරාවක් ආධාරයෙන් රෝගියෙකුගේ බඩවැල් පරීක්ෂා කිරීමේ ක්‍රියාවලියක්) භාජනය වූ වැඩිහිටියන් 125 දෙනෙකු යොදාගෙන සමීක්ෂණයක් සිදු කරන ලදී. සහභාගිවන්නන් ඔවුන්ගේ ජීවන රටාවන් සහ වැසිකිළි පුරුදු පිළිබඳ ප්‍රශ්නවලට පිළිතුරු දුන් අතර, කොලොනොස්කොපි පරීක්ෂණ සිදු කළ වෛද්‍යවරු ඔවුන්ට අර්ශස් තත්ත්වය ඇත්දැයි පරීක්ෂා කළහ.
සමස්තයක් ලෙස, සහභාගී වූවන්ගෙන් 66% ක් පැවසුවේ ඔවුන් වැසිකිළියේ සිටියදී ස්මාර්ට් ජංගම දුරකථන භාවිතා කරන බවයි. බොහෝ දෙනෙක් සමාජ මාධ්‍ය (Social media) පරිශීලනය කිරීම හෝ ප්‍රවෘත්ති කියවීම සිදු කරන බව පිළිගත්හ. වැසිකිළියේදී දුරකථන භාවිතා කරන්නන්, භාවිතා නොකරන්නන්ට වඩා වයසින් අඩු අය වීමට වැඩි ඉඩක් තිබුණි.
අර්ශස් අවදානම හා සම්බන්ධ කායික ක්‍රියාකාරකම්, වයස සහ ආහාර රටාව වැනි වෙනත් සාධක සඳහා ගැලපීම් කිරීමට විද්‍යාඥයින් සංඛ්‍යානමය විශ්ලේෂණයන් (Statistical analysis) භාවිතා කළහ.
එහිදී ඔවුන් සොයා ගත්තේ වැසිකිළියට දුරකථන රැගෙන ගිය පුද්ගලයින්ට, එසේ නොකළ අයට වඩා අර්ශස් වැළඳීමේ අවදානම 46% කින් වැඩි බවයි.
ඔබේ අවධානය දුරකථනය වෙත යොමු වූ විට වැසිකිළියේ වාඩි වී ගත කරන කාලය වැඩි වීමට ඉඩ ඇත. ඇත්ත වශයෙන්ම, මෙම අධ්‍යයනයේ දී වැසිකිළියේ දුරකථන භාවිතා කරන්නන්ගෙන් 37% ක් පිළිගත්තේ තමන් වරකට විනාඩි පහකට වඩා වැඩි කාලයක් වැසිකිළියේ ගත කරන බවයි. නමුත් දුරකථන භාවිතා නොකරන අයගෙන් එසේ ගත කරන්නේ 7.1% ක් පමණි.
මෙම අමතර කාලය ගත කිරීම මගින් දුරකථන භාවිතා කරන්නන්ගේ ගුද ප්‍රදේශයට වැඩි පීඩනයක් එල්ල වන බවත්, එමගින් ගුද පටක ඉදිමී අර්ශස් බවට පත්වීමේ අවදානම වැඩි කරන බවත් විද්‍යාඥයින් යෝජනා කළහ.
මෙම අධ්‍යයනයේ ජ්‍යෙෂ්ඨ කතුවරිය සහ හාවඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය උපදේශිකාවක වන වෛද්‍ය ට්‍රිෂා පැස්රිචා (Dr. Trisha Pasricha) ‘BBC Science Focus’ වෙත පැවසුවේ ඔබ කිසිසේත්ම ඔබේ ස්මාර්ට් ජංගම දුරකථනය වැසිකිළියට රැගෙන නොයා යුතු බවයි.
“එය ඔබ මූලිකවම කළ යුතු කාර්යයෙන් ඔබේ අවධානය වෙනතකට යොමු කරයි.”
ඔබ එසේ රැගෙන යන්නේ නම්, විනාඩි පහක කාලයක් (Timer) සකසා ගන්නා ලෙස ඇය නිර්දේශ කරයි. නමුත් සමාජ මාධ්‍ය මෙන් කාලය පිළිබඳ හැඟීම නැති කිරීමට විශේෂයෙන් නිර්මාණය කර නොමැති, සඟරාවක් වැනි පැරණි ක්‍රමයේ විනෝදාංශයක් තෝරා ගැනීම වඩාත් යෝග්‍ය බව ඇය පවසයි.
BBC Science Focus සඟරාවෙන්





ප්‍රතිචාරයක් ලබාදෙන්න