කතුවරුන්:

  • නිකොලා වොල්ෂ් – අධ්‍යාපනය පිළිබඳ මහාචාර්ය, UCL
  • ඩෙනිස් කිරොස් මාටිනෙස් – ස්ටර්ලින් විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා පීඨයේ අධ්‍යාපනය පිළිබඳ කථිකාචාර්ය
  • ලුසියානෝ ෆර්නැන්ඩස් සිල්වා – මහාචාර්ය, රසායන විද්‍යා සහ භෞතික විද්‍යා ආයතනය, ඉටජුබා ෆෙඩරල් විශ්වවිද්‍යාලය

දේශගුණික විපර්යාස, ජෛව විවිධත්වය අහිමි වීම සහ පරිසර දූෂණය වැනි අහිතකර බලපෑම් ඇතුළුව වේගයෙන් වෙනස් වන ලෝකයකට ප්‍රතිචාර දැක්වීමේදී, දේශගුණික විපර්යාස සහ තිරසාරභාවය පිළිබඳ අධ්‍යාපනය අතිශයින් වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.

දේශීය හා ගෝලීය පාරිසරික අභියෝගවලින් හැඩගැසෙන අනාගතයක ජීවත් වීමට තරුණ පරපුරට මග පෙන්වන්නේ බ්‍රසීලයේ සහ එංගලන්තයේ පමණක් නොව ලොව පුරා සිටින ගුරුවරුන් ය. කෙසේ වෙතත්, දේශගුණික විපර්යාස සහ තිරසාරභාවය පිළිබඳ ගැටළු ගැන ගුරුවරුන් තුළ ඉමහත් උනන්දුවක් හා කනස්සල්ලක් පැවතියද, පාසල් තුළ එම විෂයයන් ඉගැන්වීමට තරම් තමන් සන්නද්ධව සිටින බවක් බොහෝ ගුරුවරුන්ට නොහැඟේ.

එබැවින් ඔවුන්ට සහාය වීම සඳහා ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ හදිසි මැදිහත්වීමක් අවශ්‍යව ඇත.

පාරිසරික අර්බුද තේරුම් ගන්නේ කෙසේද සහ ඊට ප්‍රතිචාර දක්වන්නේ කෙසේද යන්න පිළිබඳව තරුණ මනස හැඩගස්වන්නේ ගුරුවරුන්ය. නිසි සහයෝගයක් නොලැබුණහොත්, අපේ කාලයේ පවතින හදිසි අභියෝගවලට මුහුණ දීමට නොහැකිව, සූදානමකින් තොරව සිසුන් පාසලෙන් ඉවත්ව යාමේ අවදානමක් පවතී. මෙය හුදෙක් අධ්‍යාපනික ගැටලුවක් පමණක් නොව සමාජීය අවදානමකි.

දේශගුණික විපර්යාස සඳහා ක්‍රියාමාර්ග ගත යුතු බවට මහජන ඉල්ලුමක් පැවතියද, එය යථාර්ථයක් බවට පත් කිරීමට අවශ්‍ය විශේෂඥ දැනුම සහ සම්පත් පාසල්වලට බොහෝ විට නොමැත. ගුරුවරුන් බලගැන්වීම යනු ශක්තිමත් ප්‍රජාවන් ගොඩනැගීමයි. මනාව සන්නද්ධ වූ ගුරුවරුන් හුදෙක් දැනුම සහ කුසලතා පමණක් නොව, ක්‍රියාකාරීත්වය සහ නායකත්වය ද දරුවන් තුළ පෝෂණය කරයි.

දරුවන්ට පාසලෙන් ලැබෙන අදහස් නිවසට ගෙන යාමටත්, පවුල්වලට බලපෑම් කිරීමටත්, ප්‍රාදේශීය මට්ටමේ වෙනස්කම් ඇති කිරීමටත් හැකියාව ඇත. එබැවින් දේශගුණික විපර්යාස සහ තිරසාර අධ්‍යාපනය යනු ඔරොත්තු දීමේ හැකියාව සහ පරිවර්තනය සඳහා වූ උත්ප්‍රේරකයකි.

එක්සත් ජාතීන්ගේ වාර්ෂික දේශගුණික සමුළුවේ (COP30) කොටසක් ලෙස දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කිරීමට ලොව පුරා නායකයින් බ්‍රසීලයට රැස්වෙමින් සිටී. ගුරුවරුන්ට සහ පාසල්වලට අවශ්‍ය සහයෝගය ලබා දීමේ වැදගත්කම ගෝලීය නායකයින්ට අවධාරණය කිරීමට මෙය කදිම අවස්ථාවකි.

පසුගිය වසර කිහිපය තුළ, දේශගුණික විපර්යාස සහ තිරසාරභාවය ඉගැන්වීමේ අත්දැකීම් ගවේෂණය කිරීම සඳහා අපි එංගලන්තයේ සහ බ්‍රසීලයේ ගුරුවරුන් සිය ගණනක් සමඟ කටයුතු කළෙමු. එහිදී ගුරුවරුන් තමන් මුහුණ දෙන බාධක සහ ඒවා ජය ගැනීමට ඔවුන්ට අවශ්‍ය සහයෝගය පිළිබඳව අප සමඟ බෙදා ගත්හ. භූගෝලීය සන්දර්භය වෙනස් වුවද, ඔවුන් මුහුණ දෙන ගැටළු බොහෝ දුරට සමාන ය.

පවතින බාධක

දැඩි ජාතික විෂය නිර්දේශයක් සහ තරඟකාරී විභාග කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන අධ්‍යාපන ක්‍රම, එංගලන්තයේ සහ බ්‍රසීලයේ ගුරුවරුන්ට (මෙන්ම ශ්‍රී ලංකාව වැනි රටවලටද) බාධක නිර්මාණය කරයි. පවතින අධ්‍යාපන ක්‍රම මගින් ගුරුවරුන්ට විභාග සඳහා අදාළ කරුණු කෙරෙහි මූලිකත්වය දීමට බල කෙරෙන අතර, දේශගුණික විපර්යාස සහ තිරසාරභාවය වැනි මාතෘකා සඳහා ලැබෙන්නේ සීමිත අවධානයකි.

තමන් උගන්වන තරුණ තරුණියන්ගේ සැබෑ ජීවිතයට අදාළ වන පරිදි දේශගුණික විපර්යාස සහ තිරසාරභාවය ඉගැන්වීම අභියෝගාත්මක බව රටවල් දෙකෙහිම ගුරුවරුන් වාර්තා කළහ.

තවත් සීමාවක් වන්නේ දේශගුණික විපර්යාස සහ තිරසාරභාවය තම ඉගැන්වීම්වලට ඒකාබද්ධ කිරීමට ගුරුවරුන්ට සහාය වන “වෘත්තීය පුහුණු අවස්ථා” (Professional learning opportunities) නොමැතිකමයි. මෙම පරතරය ඔවුන්ගේ වෘත්තීය ජීවිතය පුරාම පවතින අතර, බොහෝ විට තමන්ට මේ පිළිබඳ ප්‍රමාණවත් හෝ නිවැරදි දැනුමක් නොමැති බව ගුරුවරුන් පවසයි. මෙය ගුරුවරුන්ගේ ආත්ම විශ්වාසය අඩු කරන අතර පන්ති කාමරය තුළ ඔවුන්ගේ ක්‍රියාකාරකම් සීමා කරයි.

අවශ්‍ය දිරිගැන්වීම් සහ විසඳුම්

පාසල් පාලනය කරන ප්‍රාදේශීය සහ ජාතික ප්‍රතිපත්ති තුළ දේශගුණික විපර්යාස සහ තිරසාරභාවය පැහැදිලිව හඳුනාගෙන ඊට වටිනාකමක් ලබා දීම සහතික කිරීම මගින් රජයන්ට ගුරුවරුන්ට වඩා හොඳ සහායක් ලබා දිය හැකිය. ජාතික විෂයමාලා, ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් සඳහා වන වෘත්තීය ප්‍රමිතීන් සහ පාසල් පරීක්ෂණ රාමු (School-inspection frameworks) මීට ඇතුළත් විය හැකිය.

දේශගුණික විපර්යාස සහ තිරසාරභාවය අගය කරන පාසල් නායකයින් සිටීම කෙතරම් වැදගත්ද යන්න ගුරුවරුන් හඳුනාගෙන ඇත. පාසල් ප්‍රධානීන් විසින් පාසල් ප්‍රජාව පුරා සහයෝගය දක්වන සංස්කෘතියක් ඇති කරන විට, එය දේශගුණික හා තිරසාර අධ්‍යාපනයේ විශාල පරිවර්තනයක් සිදු කරයි.

සිය වෘත්තීය ජීවිතයේ ආරම්භයේ සිටම දේශගුණික විපර්යාස සහ තිරසාර අධ්‍යාපනය කෙරෙහි අවධානය යොමු කරන උසස් තත්ත්වයේ වෘත්තීය පුහුණුවක් ලැබීම සියලු ගුරුවරුන්ට ප්‍රයෝජනවත් විය හැකිය. ගුරුවරුන්ට එකිනෙකා සමඟ සහ තම සිසුන් සමඟ එක්ව ඉගෙනුම් ක්‍රියාවලිය සැලසුම් කිරීමට (Co-design) කාලය සහ සහයෝගය ලැබෙන විට, එය ගුරුවරුන්ගේ විශ්වාසය ගොඩනංවන අතර දරුවන්ට සහ තරුණයින්ට වඩාත් පොහොසත් ඉගෙනුම් අත්දැකීම් ලබා දෙයි.

නිගමනය

වේගයෙන් වෙනස් වන ලෝකයක් තුළ සැරිසැරීමට සහ එය හැඩගැස්වීමට තරුණ පරපුර සූදානම් කිරීම සඳහා දේශගුණික විපර්යාස සහ තිරසාර අධ්‍යාපනය අත්‍යවශ්‍ය වේ. නමුත් ගුරුවරුන්ට මෙම වගකීම තනිවම දැරිය නොහැක.

විෂයමාලා තුළට මෙම මාතෘකා ඇතුළත් කිරීමෙන් සහ ගුරුවරුන්ගේ වෘත්තීය පුහුණුව සඳහා දිගුකාලීන සහයෝගයක් ලබා දීමෙන්, පන්ති කාමර ක්‍රියාකාරීත්වයේ කේන්ද්‍රස්ථාන බවට පත් කළ හැකිය. මෙය තමන් ජීවත් වන ප්‍රජාවන් තුළ තරුණ තරුණියන්ගේ බලපෑම පුළුල් කළ හැකි අතර, නුසුදානම් පරම්පරාවක් බිහිවීමේ පුළුල් සමාජ අවදානම අවම කරයි.

ප්‍රතිපත්ති මහජන උනන්දුව හා ගැලපෙන බවටත්, සාක්ෂි මත පදනම් වූ ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඔරොත්තු දීමේ හැකියාව බවට පරිවර්තනය වන බවටත් සහතික කරමින්, ගුරුවරුන්ට සහාය වීම සඳහා නායකයින්ට කැපවීමට COP30 සමුළුව කදිම අවස්ථාවක් ලබා දෙයි.

Conversation UK අඩවියේ අනුග්‍රහයෙන්‍

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending