සත්ව රාජධානිය තුළ මාතෘ ඝාතනය පිළිබඳ සුවිශේෂී—සහ බිහිසුණු—උදාහරණයක් ග්‍රහණය කර ගැනීමට විද්‍යාඥයින් සමත් වෙයි.

කුහුඹුවන්ට කතා කළ හැකි නම්, සමහර ජනපදවල උමං මාර්ගවලින් “රැජින මිය ගියා, රැජිනට ජය වේවා!” යන ඝෝෂාව ඇසෙනු ඇත. තමන්ගේ මාතෘ මූලිකාවියන් (matriarchs) වෙනුවෙන් මුළුමනින්ම කැප වී සිටින මෙම සාමූහික කෘමීන්, සමහර විට පාලන තන්ත්‍ර වෙනස්වීම්වලට ලක් වේ. එවැනි අවස්ථාවලදී බලය පැහැර ගන්නා ආක්‍රමණිකයෙක් ස්ථාපිත කුහුඹු ජනපදයකට රිංගා, සත්කාරක රැජින මරා දමා, ඒ වෙනුවට තමාට සේවය කරන ලෙස නේවාසික සේවක කුහුඹුවන්ව පොළඹවා ගනී. නමුත් විද්‍යාඥයින් Current Biology සඟරාවේ වාර්තා කරන පරිදි, මෙම ඊනියා පරපෝෂිත රැජිනන්ගෙන් සමහරක් ඊටත් වඩා කූට උපාය මාර්ගයක් අනුගමනය කරයි. එය ග්‍රීක ඛේදවාචකයකින් උපුටා ගත් දෙයක් ලෙස පෙනේ: එනම්, ජීව විද්‍යාත්මකව තමන්ගේම මව වන රැජිනව මරා දැමීමට සේවක කුහුඹුවන්ව මෙහෙයවීමයි.

මෙම මාතෘ ඝාතක හැසිරීම “සූරාකෑමේ නව මානයක්” නියෝජනය කරන බව, මෙම පර්යේෂණයට සම්බන්ධ නොවූ, රිවර්සයිඩ් හි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ කෘමි විද්‍යාඥවරියක සහ පරිණාමීය ජීව විද්‍යාඥවරියක වන ජෙසිකා පර්සෙල් පවසයි. “හැසිරීම් සහ අන්තර්ක්‍රියා පිළිබඳ පරෙස්සම් සහගත නිරීක්ෂණ අධ්‍යයනයන් මගින් ඇත්තෙන්ම විස්මිත සොයාගැනීම් කළ හැකි බවට මෙම අධ්‍යයනය කදිම මතක් කිරීමකි.”

මී මැස්සන්, බඹරුන් සහ කුහුඹුවන් තමන්ගේ අරමුණු සඳහා වෙනත් සත්ව විශේෂවල සාමූහික හැසිරීම් සූරාකෑමට නැවත නැවතත් උපාය මාර්ග සකස් කර ගෙන ඇති අතර, මෙය සමාජ පරපෝෂිතතාව (social parasitism) ලෙස හැඳින්වෙන සංසිද්ධියකි. උදාහරණයක් ලෙස, සමහර කුහුඹුවන් තමන්ගේ පැටවුන් ඇති දැඩි කිරීම සඳහා වෙනත් කෘමි විශේෂ මත රඳා පවතින අතර, තවත් සමහරු තමන්ගේ ජනපදවල ශ්‍රම බලකාය වැඩි කර ගැනීම සඳහා වෙනත් විශේෂවල පැටවුන් සොරකම් කරති. තවද, එහි රැජින මරා දැමීමෙන් පසු පවතින කුහුඹු ජනපදයක බලය පැහැර ගන්නා “තාවකාලික සමාජ පරපෝෂිතයන්” ද සිටී. මෙම විශේෂයන් විශේෂයෙන් දුර්ලභ ය.

මෙම විශේෂයේ රැජිනන් L. flavus නම් ඥාති විශේෂයේ ජනපද අත්පත් කර ගන්නා අතර, සියලුම L. flavus සේවකයන් මිය යන තෙක් ආක්‍රමණිකයාගේ බිත්තර ඇති දැඩි කිරීමට සත්කාරක සේවකයන්ට බල කරයි. අවසානයේ ඉතිරි වන්නේ පරපෝෂිත විශේෂයේ සාමාජිකයන් පමණි. මෙම රජමාළිගා කුමන්ත්‍රණය සියැසින් දැකීම සඳහා, ෂිමාඩා විසින් L. orientalis රැජිනක් වහල්භාවයේ සිටි L. flavus ජනපදයකට දමා කුහුඹුවන්ගේ හැසිරීම රූගත කළේය. වීඩියෝවෙන් කම්පන සහගත දෙයක් හෙළි විය: කුහුඹුවන් තමන්ගේම රැජින මරා දමයි. “මට වචන අමතක වුණා,” ටකසුකා පවසයි.

පසුව ටකසුකා L. japonicus නම් විශේෂය පරපෝෂිත කරන L. umbratus නම් ඥාති විශේෂයේ කුහුඹුවන් එකතු කර අධ්‍යයනය කළේය. පෙනී ගිය පරිදි, ඔවුන් ද අනුගමනය කරන්නේ එම බිහිසුණු ක්‍රියා පිළිවෙතමයි.

ආක්‍රමණික රැජින මුලින්ම සත්කාරක සේවකයන් සමඟ මිශ්‍ර වීමෙන් සැකය මග හරවා ගන්නා බව ටකසුකා සොයා ගත්තේය. ඇය ජනපදයේ විශේෂිත ගන්ධයන්ගෙන් තමන්ව ආවරණය කර ගනී. සත්කාරක රැජින සොයා ගැනීමෙන් පසු, බලය පැහැර ගන්නා ආක්‍රමණිකයා දුර්ගන්ධය සහිත උදරීය දියර ප්‍රවාහ කිහිපයකින් ඇයව තෙත් කරයි. මෙම ද්‍රව්‍යයේ ෆෝමික් අම්ලය අඩංගු විය හැකි බව ටකසුකා පැහැදිලි කරයි. එමඟින් රැජිනගේ ස්වාභාවික ගන්ධය වසන් කර ඇයව සතුරෙකු මෙන් ගඳ ගස්වයි—මේ අනුව ඇයව “මවකගේ සිට තර්ජනයක්” බවට පරිවර්තනය කරයි.

ආක්‍රමණිකයා ඉක්මනින් පසුබසින අතරතුර, සත්කාරක රැජිනගේ යටත් වැසියන් පහර දී තමන්ගේම රැජින විනාශ කර දමයි. ඉන්පසු පරපෝෂිත රැජින ආපසු පැමිණ බිත්තර දමා සේවකයන්ගේ පාලනය තමන් අතට ගනී. එම සේවකයන් මිය යන තෙක්ම නව රැජිනට සේවය කරයි.

මාතෘ ඝාතනය—ජීවීන් තමන්ගේ මව මරා දැමීම හෝ ආහාරයට ගැනීම—සත්ව රාජධානිය තුළ සාපේක්ෂව දුර්ලභ ය. එය සිදු වන විට, සාමාන්‍යයෙන් එය යම් පරිණාමීය වාසි ලබා දෙයි: උදාහරණයක් ලෙස, තමන්ගේම ශරීරයෙන් පැටවුන් පෝෂණය කිරීම මගින් මවකට තමන්ගේ ජාන ඉදිරියට ගෙන යාමේ අවස්ථාව වැඩි දියුණු විය හැකිය. කෙසේ වෙතත්, මෙම අවස්ථාවේ දී, එකම ජයග්‍රාහකයා වන්නේ මුල සිට තමන්ගේම ජනපදයක් ආරම්භ කිරීම හා බැඳුණු අවදානම් මඟ හරින පරපෝෂිත රැජින පමණි.

නමුත් පරපෝෂිත Lasius රැජිනන් සත්කාරක රැජිනන් කෙලින්ම මරා දමන්නේ නැතුව මේ සා කරදරයක් විඳින්නේ ඇයි? ඊට හේතුව බොහෝ විට දෙවනුව සඳහන් කළ ක්‍රමවේදය “ඉතා ම්ලේච්ඡ” වීම විය හැකි බව, මෙම නව වැඩකටයුතු සඳහා සම්බන්ධ නොවූ හෝහන්හයිම් විශ්ව විද්‍යාලයේ පරිණාමීය ජීව විද්‍යාඥ ක්‍රිස්ටියන් රේබලින් පවසයි. තමන්ගේ ගොදුරේ ගාත්‍රා, පියාපත් සහ ස්පර්ශක (antennae) කපා දැමීමෙන් පසු, ආක්‍රමණිකයා සත්කාරක රැජිනගේ හිස ගසා දමයි, නැතහොත් උගුරට දෂ්ට කරයි. එමගින් සාගින්නෙන් සෙමින් මිය යාමක් සහතික කරයි. මෙම විකල්ප දෙකම පරපෝෂිත රැජිනව සත්කාරක සේවකයන්ගේ ප්‍රහාරවලට ලක්වීමේ අවදානමට පත් කරයි. ඔවුන් සාමාන්‍යයෙන් තමන්ගේ මව දැඩි ලෙස ආරක්ෂා කරති. දියණිය කුහුඹුවන්ව හසුරුවා “කිලිටි වැඩේ ඔවුන්ටම කරන්නට ඉඩ හැරීම” වඩාත් ආරක්ෂිත බව රේබලින් පවසයි.

ෆයි ජේකොබ්ස් විසිනි – ෆයි යනු Science සඟරාවේ වාර්තාකාරියකි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending