අප දත් මදින්නේ දත් දිරායාම (කුහර ඇතිවීම) වැළැක්වීමට සහ මුඛ දුගඳ පිරිසිදු කර ගැනීමටයි. නමුත් දන්තාලේප මගින් අපගේ මුඛය තුළ ඇති සංකීර්ණ පරිසර පද්ධතියට හෙවත් “මුඛ ක්ෂුද්‍ර ජීවී පරිසරයට” (Oral Microbiota) සිදුවන බලපෑම ගැන අප දන්නේ මොනවාද?

අපගේ මුඛය යනු මිනිස් සිරුරේ ක්ෂුද්‍ර ජීවීන් බහුලවම වෙසෙන ස්ථානයකි. එහි බැක්ටීරියා විශේෂ 700කට වඩා වාසය කරයි. මෙම ක්ෂුද්‍ර ජීවීන් දත් සහ විදුරුමස් මතුපිට “ජෛව පටල” (Biofilms) ලෙස හඳුන්වන ව්‍යුහයන් ලෙස ජීවත් වේ. මේවා අපට හිතකර මෙන්ම හානිකර ද විය හැක. එසේම අපගේ කෙළ (Saliva) තුළද මොවුන් බහුලව සිටින නිසා මෙම පරිසරය නිතර වෙනස් වන ගතික එකකි.

සෞඛ්‍ය සම්පන්න මුඛ පරිසරයක් තුළ සිටින බැක්ටීරියා, ආම්ලිකතාවය (pH අගය) පාලනය කිරීමට, ආහාර දිරවීමට සහ ස්වභාවික විෂබීජ නාශක සංයෝග නිපදවීමට උපකාරී වේ. කෙසේ වෙතත්, ආහාර රටාව, දුර්වල මුඛ සෞඛ්‍ය පුරුදු හෝ රෝගී තත්ත්වයන් නිසා මෙම සමතුලිතතාවය බිඳ වැටුණහොත් (Dysbiosis), හානිකර බැක්ටීරියා වර්ධනය විය හැක. දත් දිරායාමට සහ විදුරුමස් රෝගවලට ප්‍රධාන හේතුව වන්නේ මෙයයි.

මෑතකාලීන පර්යේෂණවලට අනුව, සමබර මුඛ ක්ෂුද්‍ර ජීවී පරිසරයක් පැවතීම අපගේ මුළු ශරීරයේම සෞඛ්‍යයට ඉතා වැදගත් වේ. එය හානිකර බැක්ටීරියා පාලනය කරමින් විදුරුමස් ආරක්ෂා කිරීමට සහ ආහාර දිරවීමට සහාය වේ.

දන්තාලේපවල සැබෑ කාර්යභාරය කුමක්ද?

දන්තාලේපවල මූලික අරමුණ වන්නේ බැක්ටීරියා මැරීම නොව, හානිකර බැක්ටීරියා වර්ධනය වන “ජෛව පටල” (Biofilms) කඩාකප්පල් කිරීමයි. දත් මැදීමේදී සිදුවන යාන්ත්‍රික ක්‍රියාවලිය සහ දන්තාලේපවල අඩංගු සියුම් රළු ද්‍රව්‍ය (Abrasives) මගින් දත් සහ විදුරුමස් මත බැඳී ඇති මෙම පටල ඉවත් කරයි.

බොහෝ දන්තාලේපවල ෆ්ලෝරයිඩ් (Fluoride) අඩංගු වේ. ෆ්ලෝරයිඩ් සෘජුවම බැක්ටීරියා මරා නොදමන නමුත්, එය දත්වල එනමලය ශක්තිමත් කරමින් අම්ල නිපදවන බැක්ටීරියා (උදාහරණයක් ලෙස Streptococcus mutans) මගින් දත්වලට සිදුවන හානිය අවම කරයි.

සමහර දන්තාලේපවල ට්‍රයික්ලෝසන් (Triclosan) හෝ සින්ක් (Zinc) වැනි ප්‍රති-බැක්ටීරියා කාරක අඩංගු වේ. මේවා මගින් හානිකර බැක්ටීරියා ඉලක්ක කළ ද, එමගින් අපට හිතකර බැක්ටීරියාවලට බලපෑමක් සිදුවේද යන්න පිළිබඳව විද්‍යාත්මක විවාද පවතී.

දන්තාලේප මගින් හිතකර බැක්ටීරියාවලට හානි සිදුවේද?

සමහර අධ්‍යයන යෝජනා කරන්නේ ඇතැම් ප්‍රති-බැක්ටීරියා ද්‍රව්‍ය මගින් මුඛයේ සිටින හිතකර බැක්ටීරියා ද විනාශ විය හැකි බවයි. නමුත් තවත් පර්යේෂණ පෙන්වා දෙන්නේ දත් මැදීමෙන් පසු මෙම ක්ෂුද්‍ර ජීවී පරිසරය ඉතා ඉක්මනින් යථා තත්ත්වයට පත්වන බවයි. එනම් මෙම බාධා කිරීම් තාවකාලික ය.

හානිකර බැක්ටීරියා නිසා ඇතිවන විදුරුමස් රෝග, හෘද රෝග, දියවැඩියාව සහ ගර්භණී සමයේ සංකූලතා සමඟ සම්බන්ධ බවට සාක්ෂි ලැබෙමින් පවතී. එබැවින් මුඛ සෞඛ්‍යය රැක ගැනීම ඉතා වැදගත් ය.

අනාගත දන්තාලේප සහ නිවැරදි පුරුදු

අනාගතයේදී නිෂ්පාදනය කෙරෙන දන්තාලේප, සියලු බැක්ටීරියා විනාශ කරනවා වෙනුවට, හානිකර බැක්ටීරියා පමණක් පාලනය කරමින් හිතකර බැක්ටීරියා ආරක්ෂා කරන අයුරින් (Microbiome-friendly) නිපදවීමට විද්‍යාඥයින් උත්සාහ කරයි. හිතකර බැක්ටීරියා වර්ධනය කරන ආර්ජිනින් (Arginine) වැනි ඇමයිනෝ අම්ල සහ ශාකමය ඖෂධ මේ සඳහා යොදා ගැනීමට පර්යේෂණ සිදු කෙරේ.

කෙසේ වෙතත්, වර්තමානයේ පවතින හොඳම උපදෙස වන්නේ:

  1. දිනකට දෙවරක් ෆ්ලෝරයිඩ් අඩංගු දන්තාලේපයකින් දත් මැදීම.
  2. දත් අතර පිරිසිදු කිරීම (Dental floss හෝ interdental brushes භාවිතයෙන්).

මෙම දින චර්යාව මගින් මුඛයේ ඇති බැක්ටීරියා ප්‍රමාණය (Bacterial load) අඩු කර ගත හැකි අතර, එමගින් මුඛ රෝග මෙන්ම අනෙකුත් ශාරීරික රෝග ඇතිවීමේ අවදානම ද අඩු කර ගත හැකිය.

( ‘The Conversation’ වෙබ් අඩවියේ පළ වූ, අයර්ලන්තයේ RCSI වෛද්‍ය හා සෞඛ්‍ය විද්‍යා විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නියම් කොෆී (Niamh Coffey), දන්ත වෛද්‍ය පීඨයේ ප්‍රධානී මහාචාර්ය ඇල්බට් ලියුන් (Albert Leung) සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඉසබෙල් ඔලෙගාරියෝ (Isabel Olegário) ලිපියකින් සැකසිණි).

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending