දර්ශනවාදීන් දිගු කලක් තිස්සේ පීඩාවට පත් කළ අභිරහසක් විද්‍යාඥයන් විසින් ලිහා ගැනීමට පටන් ගෙන ඇත.

විඥානය යනු ඔබ අත්දකින සෑම දෙය වේ. එය විටක ඔබේ මතකයේ රැඳී ඇති තනුවකි, තව විටක එය චොකලට් මූස් (chocolate mousse) වල පැණිරසයි, දත් කැක්කුමක වේදනාවයි, ඔබේ දරුවා කෙරෙහි ඇති දැඩි ආදරයයි සහ අවසානයේ සියලු හැඟීම් අවසන් වන බවට ඇති තිත්ත දැනුමයි.

මෙම අත්දැකීම්වල ආරම්භය සහ ස්වභාවය (සමහර විට මේවා ‘Qualia’ ලෙස හැඳින්වේ) අතීතයේ සිට වර්තමානය දක්වා අභිරහසක්ව පවතී. ටෆ්ට්ස් විශ්වවිද්‍යාලයේ ඩැනියෙල් ඩෙනට් වැනි සමහර නූතන දර්ශනවාදීන් තර්ක කරන්නේ විඥානය යනු හුදු මායාවක් (Illusion) බවයි. එනම්, ඔවුන් පවසන්නේ මෙම අත්දැකීම් පවතින්නේ නැති බව හෝ විද්‍යාවෙන් ඒවා කිසිදා අධ්‍යයනය කළ නොහැකි බවයි.

බොහෝ විද්වතුන් විඥානය පවතින දෙයක් ලෙස පිළිගන්නා අතර විද්‍යාව විස්තර කරන වෛෂයික ලෝකය සමඟ එහි ඇති සම්බන්ධය තේරුම් ගැනීමට උත්සාහ කරති. මීට වසර කිහිපයකට පෙර, ෆ්‍රැන්සිස් ක්‍රික් සහ මම විඥානය පිළිබඳ දාර්ශනික සාකච්ඡා පසෙක තබා එහි භෞතික සලකුණු සෙවීමට තීරණය කළෙමු. මොළයේ පටක වල ඇති සුවිශේෂී ලක්ෂණය කුමක්ද? ඒ හරහා විඥානය හටගන්නේ කෙසේද?

අපි විශේෂයෙන් සොයන්නේ විඥානයේ ස්නායුක සහසම්බන්ධතා (Neuronal Correlates of Consciousness – NCC) ය. එනම්, යම් නිශ්චිත විඥානමය අත්දැකීමක් ඇති කිරීම සඳහා ප්‍රමාණවත් වන අවම ස්නායුක යාන්ත්‍රණයන් ය. උදාහරණයක් ලෙස, ඔබට දත් කැක්කුමක් අත්විඳීමට ඔබේ මොළයේ කුමක් සිදු විය යුතුද?

විඥානයේ ස්නායුක සහසම්බන්ධතා

NCC අර්ථ දැක්වීමේදී “අවම” යන්න වැදගත් වේ. මොළය සමස්තයක් ලෙස NCC එකක් ලෙස සැලකිය හැකි වුවද, විඥානය පවතින ස්ථානය තවදුරටත් පටු කළ හැකිය. නිදසුනක් ලෙස, අපේ සුෂුම්නාව (Spinal cord) සලකන්න. බෙල්ලේ ප්‍රදේශයේ සුෂුම්නාවට හානි වූ රෝගීන්ගේ අත් පා පණ නැති වුවද, ඔවුන් පෙර පරිදිම ජීවිතය අත්දකිති – ඔවුන්ට පෙනේ, ඇසේ, හැඟීම් දැනේ සහ මතකය පවතී.

එසේත් නැතිනම් මොළයේ පසුපස කොටසට යටින් ඇති අනුමොළය (Cerebellum) සලකන්න. එය චලනයන් පාලනය කිරීමට සම්බන්ධ වේ. එහි මොළයේ සෙසු කොටස්වලට වඩා හතර ගුණයක ස්නායු සෛල පවතී. නමුත් රෝගාබාධ නිසා අනුමොළයේ කොටස් අහිමි වූවන්ගේ විඥානයට හානියක් නොවේ. ඔවුන්ට තමන් ගැන හැඟීමක් පවතී, අතීතය මතකයි. එබැවින් අනුමොළය විඥානය ඇති කිරීමට සෘජුව දායක නොවන බව පෙනේ.

විඥානය හටගන්නේ මොළයේ පිටත පෘෂ්ඨය වන මස්තිෂ්ක බාහිකයේ (Cerebral cortex) ඇති අළුමය පදාර්ථය (Gray matter) තුළ බව සාක්ෂි මගින් පෙනී යයි. පර්යේෂණවලට අනුව, මොළයේ පසුපස ඇති “Posterior hot zone” ලෙස හඳුන්වන ප්‍රදේශය අප දකින, අසන දේ පිළිබඳ විඥානය ඇති කිරීමට ප්‍රධාන වශයෙන් දායක වේ. මොළයේ ඉදිරිපස කොටස (Prefrontal cortex) ඉවත් කළද විඥානයට විශාල හානියක් සිදු නොවන බව නිරීක්ෂණය කර ඇත.

විඥාන මීටරය (The Consciousness Meter)

සිහිමුර්ජා වූ හෝ අකර්මන්‍ය වූ පුද්ගලයන් තුළ විඥානය පවතීද නැද්ද යන්න නිවැරදිව හඳුනාගත හැකි උපකරණයක් වෛද්‍ය විද්‍යාවට අත්‍යවශ්‍ය වේ. 2000 දශකයේ මුල් භාගයේදී ගුලියෝ ටොනෝනි (Giulio Tononi) සහ මාර්සෙලෝ මැසිමිනි (Marcello Massimini) විසින් “Zap and Zip” නම් තාක්ෂණයක් හඳුන්වා දෙන ලදී. මෙහිදී මොළයට චුම්බක ශක්තියක් ලබා දී (Zap), ඒ හරහා ඇතිවන විද්‍යුත් සංඥාවල සංකීර්ණත්වය පරිගණක ඇල්ගොරිතමයක් මගින් මනිනු ලබයි (Zip). යමෙකු අවදියෙන් සිටින විට මෙම අගය ඉහළ වන අතර, ගැඹුරු නින්දේදී හෝ නිර්වින්දනය වූ විට එය අඩු වේ.

මූලික න්‍යායක් කරා

විඥානය පිළිබඳ වඩාත් ප්‍රචලිත න්‍යායන් දෙකකි:

  1. ගෝලීය ස්නායුක වැඩබිම (Global Neuronal Workspace – GNW): මෙම න්‍යායට අනුව, මොළයට ලැබෙන තොරතුරු විවිධ පද්ධති වෙත සමස්තයක් ලෙස ප්‍රචාරය වූ විට විඥානය හටගනී. අනාගතයේ පරිගණක වලටද විඥානය ඇතිවිය හැකි බව මෙයින් යෝජනා වේ.
  2. සංකලන තොරතුරු න්‍යාය (Integrated Information Theory – IIT): මෙය ආරම්භ වන්නේ අත්දැකීමෙන්ම ය. ඕනෑම සංකීර්ණ හා අන්තර් සම්බන්ධිත යාන්ත්‍රණයක ව්‍යුහය තුළ හේතු-ඵල සබඳතා පවතී නම්, එහි යම් මට්ටමක විඥානයක් පවතින බව ටොනෝනි පවසයි. විඥානය යනු පද්ධතියේ ව්‍යුහය තුළම ගොඩනැගිය යුත්තක් මිස පරිගණකයකින් ගණනය කළ හැක්කක් නොවන බව IIT හෙවත් සංකලන තොරතුරු න්‍යාය පවසයි.

අවසානයේදී අපට අවශ්‍ය වන්නේ සතුටුදායක විද්‍යාත්මක න්‍යායකි. ටොෆු (Tofu) වැනි මෘදු පටක සහිත රාත්තල් තුනක අවයවයක් (මොළය) ජීවිතය පිළිබඳ හැඟීමක් ඇති කරන්නේ කෙසේද යන ප්‍රධාන ගැටලුව විසඳීමට තවත් දශක ගණනාවක පර්යේෂණ අවශ්‍ය වනු ඇත.

සයන්ටිෆික් ඇමෙරිකන් සඟරාවට ක්‍රිස්ටොෆ් කොච් ලියූ ලිපියකිනි.

https://www.scientificamerican.com/article/what-is-consciousness/

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending