බොහෝ කැස්බෑවුන්, කිඹුලන් සහ අනෙකුත් උරගයන්ගේ ලිංගිකත්වය තීරණය වන්නේ ඔවුන්ගේ බිත්තර රක්කවන උෂ්ණත්වය මත ය. ගෝලීය උණුසුම ඉහළ යාම ඔවුන්ගේ විනාශයට හේතු විය හැකිය.

නිව්සීලන්තයේ කුඩා දූපත්වල පමණක් දක්නට ලැබෙන ‘ටුවාටාරා’ (tuatara) නම් උරගයා, වාසස්ථාන සීමා වීම සහ ලිංගික අනුපාතය වෙනස් වීම යන භයානක තත්ත්වයන්ට දැනටමත් මුහුණ දී සිටී.

තරු එළියෙන් පමණක් ආලෝකමත් වූ සයිප්‍රසයේ උතුරු වෙරළ තීරයේ පිහිටි අලගාඩි වෙරළේ හුරුපුරුදු වැලි මතින් හරිත මුහුදු කැස්බෑවියක වෙරළට ඇදී එයි. ඇය සිය ගමනේදී කිසිදු විලෝපිකයෙකු දෙස අවධානය යොමු නොකරයි; අද ඇගේ දවසයි.

ඇයට සරිලන ස්ථානයක් හමු වූ විට, ඇය උණුසුම් වැලි අතර ලැගුම් ගෙන ගැඹුරු වළක් හෑරීමට පටන් ගනී. කිසිම දෙයකට ඇගේ අවධානය වෙනතකට යොමු කළ නොහැක; ඇය සිටින්නේ යම්කිසි අර්ධ සිහිමුර්ජා තත්ත්වයක (trance) මෙනි. ඇය තෙතමනය සහිත බිත්තර 100 ක් පමණ එම වළ තුළට හෙළයි. ඇගේ කාර්යය අවසන් වන තුරු මිනිසුන් ඇය අසලට පැමිණ ඇගේ කටුව මැන බැලුවද, බිත්තර අතර උෂ්ණත්ව මානයක් තැබුවද ඇය එතැනින් ඉවත් නොවේ. බිත්තර දැමීම විනාඩි 20 කින් පමණ අවසන් කළද ඇගේ කාර්යය තවමත් නිම වී නැත. ඉතා ඕනෑකමින් තවත් පැය කිහිපයක් වෙහෙස මහන්සි වී වැලිවලින් එම බිත්තර වසා දමයි. ඉන්පසු ඇය ආපසු හැරී සාගරයට ඇදී යයි.

මාස දෙකකින් පමණ ඇගේ පැටවුන් එම වැලිවලින් මතුවී ජලය සොයා වේගයෙන් දිව යනු ඇත. ඔවුන්ට තනිවම ජීවත් වීමට සිදු වනු ඇත—ඔවුන්ගේ මව ඔවුන් රැකබලා ගැනීම අවසන් කර ඇත. තම දරුවන්ට අත්වන අමුතු ඉරණම ඇය කිසිදා නොදනී: බිහිවන සියලුම පැටවුන් පාහේ ගැහැණු සතුන් වනු ඇත.

බොහෝ උරගයන් සාමාන්‍ය පෘෂ්ඨවංශීන්ගෙන් වෙනස් වන්නේ ඔවුන්ගේ ලිංගිකත්වය තීරණය වන්නේ ජාන මගින් නොවන බැවිනි. මිනිස් සෛල තුළ පවතින X සහ Y වැනි ලිංගික වර්ණදේහ ඔවුන් සතුව නැත. ඒ වෙනුවට ඔවුන්ගේ කූඩුවේ (Nest) උෂ්ණත්වය ඔවුන් පිරිමි හෝ ගැහැණු බවට පත්වීමට බලපායි.

හරිත මුහුදු කැස්බෑවුන් සඳහා, බිත්තර රැක්කවීමේ තීරණාත්මක කාලසීමාව තුළ උෂ්ණත්වය සෙල්සියස් අංශක 29 (ෆැරන්හයිට් අංශක 84) පමණ නම්, බිහිවන පැටවුන් පිරිමි සහ ගැහැණු ලෙස සමාන අනුපාතයකින් යුක්ත වේ. නමුත් කූඩුව උණුසුම් වන තරමට ගැහැණු සතුන් බිහිවීම වැඩි වේ. අලගාඩි වෙරළේ අඳුරු වැලි මත බිත්තර රක්කවන්නේ සෙල්සියස් අංශක 33 හෝ 34 ක ඉහළ උෂ්ණත්වයකය. එහි ප්‍රතිඵලයක් ලෙස බිහිවන මුළු පැටවුන් කණ්ඩායමම පාහේ ගැහැණු සතුන් වේ.

උෂ්ණත්වය මත පදනම්ව ලිංගිකත්වය තීරණය වන උරගයන්—බොහෝ කැස්බෑවුන් මෙන්ම සියලුම කිඹුල් වර්ග (crocodilians), සමහර හූනන්/ගල්ලෙල්ලන් සහ නිව්සීලන්තයේ සිටින ‘ටුවාටාරා’ වැනි සතුන්—පෘථිවියේ වසර මිලියන සිය ගණනක් පැවති දේශගුණික වෙනස්වීම්වලට මුහුණ දී නොනැසී පැවති පරම්පරාවලට අයත් වේ. එහෙත් වර්තමානය වන විට මිනිසා විසින් සිදුකරන වාසස්ථාන විනාශය සහ පෘථිවියේ සමතුලිතතාවය බිඳ වැටීම නිසා ඔවුන්ට මින් පෙර කිසිදා මුහුණ නොදුන් ගැටලුවලට මුහුණ දීමට සිදුව ඇත.

උරග ජෛව විද්‍යාව තුළ පැටවුන්ගේ ලිංගිකත්වය තීරණය කිරීමට උෂ්ණත්වය මත යැපීම සිදුවන්නේ කෙසේද යන්න තවමත් අභිරහසකි.

ගෝලීය උණුසුම විවිධ වර්ගයේ උරගයන්ට විවිධ ආකාරයෙන් බලපායි. උෂ්ණත්වය ඉහළ යාම කැස්බෑවුන් ගැහැණු සතුන් බවට පත් කරන අතර, කිඹුල් පවුලේ සතුන්ගේ (crocodilians) පිරිමි පැටවුන් වැඩිපුර බිහි වීමට හේතු වේ. විද්‍යාඥයන් අනාවැකි පළ කර ඇත්තේ වර්ෂ 2100 වන විට කිඹුලන්ගේ සම්පූර්ණ පරම්පරා ලිංගික අනුපාතය අතිශය අසමතුලිත වී තනි ලිංගයකට සීමා වනු ඇති බවයි.

උෂ්ණත්වය ඉහළ යාම නිසා උරග පරම්පරා පිරිමි හෝ ගැහැණු ලෙස පමණක් බිහි වුවහොත්, එම විශේෂයන් වඳවී යාම වැළැක්විය නොහැක: ප්‍රජනනය සඳහා අවස්ථා අඩු වනු ඇත; ගහණයන් අතර අන්තර්-අභිජනනය (inbred) සිදු විය හැකිය. දැනටමත් වෙනත් පීඩනයන් නිසා වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති විශේෂයන්ට ප්‍රජනනය සඳහා සහකරුවෙකු සොයා ගැනීම දුෂ්කර වනු ඇත. සමහර සතුන් තම කූඩු තනන චර්යාවන් වෙනස් කරමින් පවතින තත්ත්වයන්ට හැඩගැසීමට උත්සාහ කරයි. නමුත් දේශගුණික විපර්යාස වේගවත් වන විට, ඔවුන්ට එම වේගයට හැඩගැසීමට හැකි වේද යන්න මත ඔවුන්ගේ පැවැත්ම තීරණය වනු ඇත.

උෂ්ණත්වය මත පදනම් වූ ලිංගිකත්වය තීරණය වීම ඇත්තෙන්ම අමුතු සංසිද්ධියකි. ජෝර්ජියා විශ්ව විද්‍යාලයේ පරිසර විද්‍යාඥ බෙන්ජමින් පැරට් පවසන පරිදි, ඇමරිකානු කිඹුලා (Alligator) වැනි සතුන්ගේ බිත්තර සෙල්සියස් අංශක 32 ට වඩා මඳක් අඩුවෙන් රක්කවන්නේ නම් පිරිමි සහ ගැහැණු පැටවුන් සමානව බිහිවන අතර, උෂ්ණත්වය මඳක් වැඩි වූ විට පිරිමි සතුන් වැඩි වේ. “සෙල්සියස් අංශක දෙකක වෙනසක් පවා විශාල බලපෑමක් කරනවා,” ඔහු පවසයි.

කැස්බෑවුන් සහ කිඹුලන් වැනි සතුන් පරිණත වීමට වසර ගණනාවක් ගත වේ. නිදසුනක් ලෙස, මුහුදු කැස්බෑවුන් පරිණත වීමට වසර 40 ක් පමණ ගත විය හැකිය. ඉලිනොයිස් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ රාචෙල් බෝඩන් පවසන්නේ, එකම උණුසුම් ගිම්හානයක් මගින් එම සතුන්ගේ පරම්පරාවල ලිංගිකත්වය තීරණය වීම තේරුම් ගැනීම අසීරු බවයි.

සයිප්‍රසයේ අලගාඩි වෙරළේ වැලි මතින් දැන් බිහි වූ හරිත මුහුදු කැස්බෑ පැටවුන් ඇදී යයි. එහි පවතින අධික උෂ්ණත්වය නිසා බිහිවන පැටවුන් සියල්ලම පාහේ ගැහැණු සතුන් වේ.

පර්යේෂණ තවදුරටත් සංකීර්ණ වන්නේ උපතේදී කිඹුල් හෝ කැස්බෑ පැටියෙකු පිරිමි ද ගැහැණු ද යන්න හඳුනා ගැනීම පවා විශේෂඥයන්ට අපහසු බැවිනි. කිඹුලෙකුගේ ලිංගික අවයව පැහැදිලිව හඳුනා ගැනීමට මාස හයක් පමණ ගත වේ.

හූනන් සහ ගල්ලෙල්ලන් (Lizards) අතර ලිංගිකත්වය තීරණය වීම වඩාත් සංකීර්ණ වේ. සමහර විශේෂ ජාන මත පදනම් වන අතර සමහර විශේෂ උෂ්ණත්වය මත පදනම් වේ. ටැස්මේනියාවේ ජීවත් වන ‘ස්නෝ ස්කින්ක්’ (snow skink) නම් සතාගේ ඉහළ කඳුකරයේ ජීවත් වන ගහණයන් ජාන මත පදනම් වන අතර පහත් බිම්වල ගහණයන් උෂ්ණත්වය මත පදනම් වේ.

න්‍යායාත්මකව, අද ජීවත් වන උරගයන්ට වසරේ මුල් කාලයේදී බිත්තර දැමීමෙන් හෝ සෙවන සහිත ස්ථාන තෝරා ගැනීමෙන් බිත්තර සිසිල්ව තබා ගැනීමට හැකි විය යුතුය. නමුත් ඒ සඳහා සතුන්ට උෂ්ණත්ව වෙනස වටහා ගැනීමටත්, වෙනස් ආකාරයකින් කටයුතු කිරීමටත් හැකියාව තිබිය යුතුය.

සයිප්‍රසයේ කැස්බෑවුන් ආරක්ෂා කිරීමේ සංගමයේ සොෆී ඩේවි සහ ඇගේ කණ්ඩායම රාත්‍රී කාලයේ වෙරළේ කැස්බෑවුන් බිත්තර දමන ආකාරය නිරීක්ෂණය කරති. 1990 දශකයේ සිට හරිත මුහුදු කැස්බෑවුන් සෑම වසරකම දිනකට වඩා වැඩි වේගයකින් කලින් බිත්තර දැමීම ආරම්භ කර ඇති බව පෙනී යයි. ඔවුන් උණුසුමට ප්‍රතිචාර දක්වමින් තම පුරුදු වෙනස් කරමින් සිටිති. “නමුත් එය කළ හැක්කේ යම් සීමාවකට පමණයි,” විද්‍යාඥ ඇනට් බ්‍රොඩ්රික් පවසයි.

වාසනාවකට මෙන්, කැස්බෑ පරම්පරාවක පිරිමි සහ ගැහැණු අනුපාතය 50-50 තිබීම අත්‍යවශ්‍ය නොවේ. ගැහැණු සතුන් වැඩිපුර සිටීම කැස්බෑ ගහණය වැඩි වීමට කෙටි කාලීනව උපකාරී විය හැකිය. මන්දයත් ගැහැණු සතෙකු බිත්තර දමන්නේ වසර දෙක තුනකට වරක් වුවද, පිරිමි සතෙකුට සෑම වසරකම සහකරුවෙකු විය හැකි බැවිනි.

තත්ත්වය වඩාත් බරපතල වන්නේ ‘ටුවාටාරා’ (tuatara) වැනි සතුන්ටය. මොවුන් වසර මිලියන 250 කට පෙර වෙනම පරම්පරාවකින් පැවත එන්නන් වේ. අද ඔවුන් ජීවත් වන්නේ නිව්සීලන්තයේ කුඩා දූපත් කිහිපයක පමණි. ඔවුන්ගේ ලිංගිකත්වය ද උෂ්ණත්වය මත පදනම් වන අතර, වාසස්ථාන සීමා වී ඇති බැවින් ඔවුන්ට වෙනත් ස්ථාන කරා යාමට නොහැක. උෂ්ණත්වය ඉහළ යාම නිසා පිරිමි සතුන් පමණක් බිහි වුවහොත්, මෙම සුවිශේෂී සත්ව විශේෂය පෘථිවියෙන් සදහටම වඳවී යනු ඇත.

ටුවාටාරා සතුන් වඳවී ගියහොත්, වසර බිලියන කාලක පරම්පරාවක ඉතිහාසය අවසන් වනු ඇත. ඔවුන් නිව්සීලන්තයේ ස්වදේශික මාඕරි වැසියන්ට සංස්කෘතික වශයෙන් ද අතිශය වැදගත් වේ. මාඕරි කතාන්දරවල ටුවාටාරා දැනුමේ සංකේතයක් හෝ ඉදිරියේදී සිදුවන විපතක පෙරනිමිත්තක් ලෙස සැලකේ.

එසේ වුවද, ලබන වසන්තයේදී ද ටුවාටාරා සතුන් සිරිත් පරිදි තම කටයුතු කරනු ඇත. ගැබ්බර ගැහැණු සතුන් අව්ව සහිත ස්ථාන කරා රොක් වනු ඇත. සෑම මවක්ම තම ශක්තිමත් පාද සහ නිය උපයෝගී කරගෙන බිත්තර සඳහා වළක් හාරනු ඇත. ඇය කුඩා බිත්තර ප්‍රමාණයක් දමා, ඒවා පසෙන් සහ වෘක්ෂලතාවලින් වසා දමනු ඇත. තවත් සති දෙකක් පමණ ඇය තම කූඩුව ආරක්ෂා කරනු ඇත. ඉන්පසු ඇය තමාට කළ හැකි උපරිමය කළ බව දන්නා සේ එතැනින් ඉවතට යනු ඇත.


එලිසබෙත් ප්‍රෙස්ටන් විසිනි, සයන්ටිෆික් අමෙරිකන් සඟරාවෙනි

https://www.scientificamerican.com/article/global-warming-could-skew-reptile-sex-ratios-and-lead-to-extinctions/

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending