ක්‍රි.පූ. 260 දී, 26 හැවිරිදි ආකිමිඩීස් සිසිලියේ සිරකූස් (Syracuse) නගරයේදී එකල ප්‍රචලිත විද්‍යාවන් දෙකක් වූ තාරකා විද්‍යාව සහ ජ්‍යාමිතිය හදාරමින් සිටියේය. දිනක් වෙරළේ පාවී ආ ලෑලි කැබැල්ලක් සමඟ සෙල්ලම් කරමින් සිටි පිරිමි ළමුන් සිව්දෙනෙක් දෙස ආකිමිඩීස්ගේ අවධානය යොමු විය. ඔවුන් ඉණක් පමණ උස ගලක් මත මෙම ලෑල්ල සමබර කළහ. එක් ළමයෙක් ලෑල්ලේ එක් කෙළවරක වාඩි වී කකුල් දෙපසට දමා සිටි අතර ඔහුගේ මිතුරන් තිදෙනා අනෙක් කෙළවරට වේගයෙන් පැන්නෝය. එවිට තනිව සිටි ළමයා අහසට විසි විය.
ඉන්පසු ළමයි ලෑල්ල සමබර කර තිබූ ගල මත එහා මෙහා කරමින්, එහි ආධාරක ලක්ෂ්‍යය වෙනස් කළහ. දැන් ලෑල්ලෙන් හතරෙන් පංගුවක් පමණක් කෙටි පැත්තේ ඉතිරි විය. ළමුන් තිදෙනා කෙටි, ඉහළින් ඇති කෙළවරට නැග්ගාහ. හතරවන ළමයා ඉහළට එසවී තිබූ දිගු කෙළවරට පැන්නේය. ඒ සමඟම එය වැලි පොළොවට ගැටුණු අතර ඔහුගේ මිතුරන් තිදෙනා කැටපෝලයකින් විසිවන්නාක් මෙන් ඉහළට විසි විය.
ආකිමිඩීස් මේ දෙස මවිතයෙන් බලා සිටියේය. කුඩා බරකින් (එක් ළමයෙකුට) විශාල බරක් (ළමුන් තිදෙනෙකු) එතරම් පහසුවෙන් එසවීමට හැකි වූ මූලධර්ම තේරුම් ගැනීමට ඔහු අධිෂ්ඨාන කර ගත්තේය.
ආකිමිඩීස් එම ළමුන් සහ ලෑල්ල නිරූපණය කිරීම සඳහා ලී පටියක් සහ කුඩා ලී කුට්ටි භාවිතා කළේය. ඔවුන්ගේ ගල නිරූපණය කිරීමට ඔහු ත්‍රිකෝණාකාර කුට්ටියක් සාදා ගත්තේය. ලීවරයේ (Lever – “එසවීම” යන අර්ථය ඇති ලතින් වචනයකින් බිදී ආවකි) දෙපස විවිධ බර සංයෝජන සමබර කරමින් මිනුම් ලබා ගැනීමෙන් පසුව, ලීවර යනු යුක්ලීඩ්ගේ අනුපාතයන් (Euclid’s proportions) ක්‍රියාත්මක වන උදාහරණයක් බව ආකිමිඩීස් වටහා ගත්තේය. ලීවරයේ එක් එක් පැත්ත මත යොදන බලය (බර), සමබර ලක්ෂ්‍යයේ සිට ලෑල්ලේ ඇති දුරට සමානුපාතික විය යුතු බව ඔහු සොයා ගත්තේය. මෙලෙස ඔහු ලීවර පිළිබඳ ගණිතමය සංකල්පය සොයා ගත් අතර, එය ලොව නිර්මාණය වූ වඩාත්ම පොදු සහ මූලික එසවුම් පද්ධතියයි.
වසර පහළොවකට පසු, එනම් ක්‍රි.පූ. 245 දී, රන්කරුවෙකු තමාට වංචා කර ඇත්දැයි සොයා බලන ලෙස හීරොන් රජු ආකිමිඩීස්ට අණ කළේය. හීරොන් රජු රන්කරුවාට රත්රන් ලබා දී ඝන රන් ඔටුන්නක් සාදන ලෙස නියෝග කර තිබුණි. ඔටුන්න මුල් රත්රන් වල බරට සමාන වුවද, රන්කරුවා ඇතුළත වෙනත් ලාභ ලෝහයක් දමා ඒ වටා තුනී රන් තට්ටුවක් ආලේප කර ඇතැයි රජු සැක කළේය. ඔටුන්නට හානි නොකර එය ඝන රත්රන් වලින්ම සාදා ඇත්දැයි සොයා බැලීමට ආකිමිඩීස්ට නියෝග කෙරිණි.
එය කළ නොහැකි කාර්යයක් ලෙස පෙනුනි. දිනක් පොදු නාන තටාකයක සිටියදී ආකිමිඩීස් තම අත ජලය මතුපිට පාවෙනු දුටුවේය. අපැහැදිලි අදහසක් ඔහුගේ මනසේ ඇඳෙන්නට විය. ඔහු තම අත සම්පූර්ණයෙන්ම වතුර යටට ගෙන ගියේය. පසුව ඔහු අත ලිහිල් කළ විට එය නැවත පාවී ආවේය.
ඔහු ටබ් එකේ සිටගත්තේය. ටබ් එකේ ජල මට්ටම පහත වැටුණි. ඔහු නැවත වාඩි විය. ජල මට්ටම ඉහළ ගියේය.
ඔහු ටබ් එකේ දිගාවිය. වතුර මට්ටම තවත් ඉහළ ගිය අතර, ඔහුට තම සිරුරේ බර අඩු බවක් (සැහැල්ලුවක්) දැනුණි. ඔහු නැගී සිටියේය. ජල මට්ටම පහත වැටුණු අතර ඔහුට බරක් දැනුණි. ගිලී ඇති සිරුරට සැහැල්ලුවක් දැනෙන්නට නම් ජලය විසින් ඉහළට තල්ලු කරන බලයක් යෙදිය යුතු බව ඔහු තේරුම් ගත්තේය.
ඔහු සමාන ප්‍රමාණයේ ගලක් සහ ලී කුට්ටියක් ටබ් එකට ගෙන ගොස් දෙකම ගිල්වුවේය. ගල ගිලී ගිය නමුත් එහි බර අඩු බවක් දැනුනි. ලී කුට්ටිය ගිල්වීමට ඔහුට එය පහළට තල්ලු කිරීමට සිදු විය. එයින් අදහස් වූයේ වස්තුවේ බරට වඩා, වස්තුව මගින් විස්ථාපනය වූ (තැනින් ඉවත් වූ) ජල ප්‍රමාණයට අදාළ බලයක් ජලය මගින් ඉහළට යොදන බවයි. වතුරේ දී වස්තුවක් කෙතරම් බරකින් දැනේද යන්න වස්තුවේ ඝනත්වය (එකක පරිමාවක බර කොපමණද යන්න) සමඟ සම්බන්ධ විය යුතු බව ඔහු වටහා ගත්තේය.
රජුගේ ප්‍රශ්නයට පිළිතුරු දිය යුතු ආකාරය ආකිමිඩීස්ට වැටහුණේ එවිටය. ඔහු නැවත රජු වෙත ගියේය. එහි රහස ඝනත්වයයි. ඔටුන්න රත්රන් හැර වෙනත් ලෝහයකින් සාදා ඇත්නම්, එය බරින් සමාන විය හැකි නමුත් වෙනත් ඝනත්වයක් ඇති බැවින් වෙනස් පරිමාවක් (ඉඩක්) ගනු ඇත.
ඔටුන්න සහ ඊට සමාන බරකින් යුත් රත්රන්, වතුර භාජනයකට දමන ලදී. ඔටුන්න මගින් වැඩි ජල ප්‍රමාණයක් විස්ථාපනය වූ අතර එමඟින් එය ව්‍යාජ එකක් බව ඔප්පු විය.
වඩා වැදගත් දෙය නම්, ආකිමිඩීස් විසින් උත්ප්ලාවකතා මූලධර්මය (Principle of Buoyancy) සොයා ගැනීමයි: එනම්, වස්තූන් මගින් විස්ථාපනය කරන ජල ප්‍රමාණයට සමාන බලයකින් ජලය විසින් එම වස්තූන් ඉහළට තල්ලු කරයි.
විනෝදජනක කරුණු: ආකිමිඩීස් උත්ප්ලාවකතා සංකල්පය සොයා ගත් විට, ඔහු නාන තටාකයෙන් පැන “යුරේකා!” (Eureka!) යනුවෙන් කෑගැසුවේය. ඔහු විසින් ප්‍රසිද්ධියට පත් කළ එම වචනයේ තේරුම “මට හමුවුණා!” යන්නයි. පළමු රන් ආකර කම්කරුවන් තමන් රත්රන් සොයා ගත් බව පැවසීමට කෑගැසූ පසු කැලිෆෝනියා ප්‍රාන්තයේ ආදර්ශ පාඨය බවට පත් වූයේද එම වචනයයි.
The concept of buoyancy හෙවත් උත්ප්ලාවකතා සංකල්පය (වස්තුවක් මගින් විස්ථාපනය වන ජලයේ බරට සමාන බලයකින් ජලය විසින් වස්තුව මත ඉහළට තල්ලු කරන බලයක් යෙදීම) සහ ලීවර සංකල්පය (ලීවරයක එක් පැත්තකට පහළට යොදන බලය මගින් අනෙක් පැත්තේ ඉහළට එසවීමේ බලයක් නිර්මාණය වන අතර, එය ලීවරයේ දෙපස දිගට සමානුපාතික වේ) යන මේවා සියලු ප්‍රමාණාත්මක විද්‍යාවන්ගේ සහ ඉංජිනේරු විද්‍යාවේ පදනම වේ. අප අවට භෞතික ලෝකයේ සම්බන්ධතා අවබෝධ කර ගැනීම සහ ලෝකයේ භෞතික සංසිද්ධි විස්තර කිරීම සඳහා ගණිතමය ක්‍රම සකස් කිරීම සම්බන්ධයෙන් මානව වර්ගයා ලැබූ මුල්ම ජයග්‍රහණ මේවායින් නියෝජනය වේ. ගණන් කළ නොහැකි තරම් ඉංජිනේරු සහ විද්‍යාත්මක දියුණුවීම් සඳහා මෙම සොයාගැනීම් දෙක ඉවහල් වී ඇත.
(කෙන්ඩොල් හාවෙන් ලියූ 100 Greatest Science Discoveries of All Time කෘතියෙන්)





ප්‍රතිචාරයක් ලබාදෙන්න