පැරණි සාගර ජීවීන්ගේ නිදාගැනීමේ පුරුදු අධ්‍යයනය කිරීමෙන් නින්දේ සම්භවය පිළිබඳව නව තොරතුරු අනාවරණය කරගත හැකිය.

Cassiopea andromeda නම් උඩුකුරු ජෙලිෆිෂ් සත්වයා දිනකට පැය 8 කට ආසන්න කාලයක් නිදා ගනී. (ඡායාරූප අනුග්‍රහය: Shahar Shabtai/Alamy)

ජෙලිෆිෂ් හෝ සී ඇනිමෝන (Sea anemones) යන සතුන් දෙවර්ගයටම මොළයක් නොමැත. එහෙත්, Nature Communications සඟරාවේ පළ වූ අධ්‍යයනයකට අනුව, මෙම සතුන් මිනිසුන්ට බෙහෙවින් සමාන ආකාරයකින් නිදා ගන්නා බව හෙළි වී ඇත. නින්ද පරිණාමය වූයේ අවම වශයෙන් එක්තරා දුරකට හෝ තනි ස්නායු සෛලවල ඇති DNA ආරක්ෂා කිරීමට සහ සතුන් අවදිව සිටින කාලය තුළ සිදුවන හානි යථා තත්ත්වයට පත් කිරීමට බවට වන මතය මෙම සොයාගැනීම් මගින් තවදුරටත් තහවුරු කරයි.

“ස්නායු සෛල (Neurons) ඉතා වටිනවා,” යැයි ඊශ්‍රායලයේ රමට් ගැන් හි බාර්-ඉලාන් විශ්වවිද්‍යාලයේ අණුක ස්නායු විද්‍යාඥ සහ මෙම අධ්‍යයනයේ සම-කර්තෘ ලියෝර් ඇපල්බෝම් පවසයි. “ඒවා බෙදෙන්නේ නැහැ, එබැවින් ඒවා නිරෝගීව තබා ගැනීම අත්‍යවශ්‍යයි.”

පෙර කරන ලද පර්යේෂණවලින් ජෙලිෆිෂ් සතුන් නින්දට සමාන තත්ත්වයකට පත්වන බව පෙන්වා දී තිබුණද, සී ඇනිමෝන සතුන් තුළ මෙම සංසිද්ධිය හඳුනාගත් පළමු අවස්ථාව මෙය වන අතර, සතුන් වර්ග දෙකේම නින්දේ රටාවන් විස්තරාත්මකව විග්‍රහ කළ පළමු අවස්ථාව ද මෙය වේ. “යම් පුද්ගලයෙකු නිදාගන්නා සත්ව විශේෂ ලැයිස්තුවට අලුත් සතෙකු එක් කරන සෑම අවස්ථාවකම, එය මෙම ක්ෂේත්‍රයට ඉතා වැදගත් පියවරක්,” යැයි විස්කොන්සින්-මැඩිසන් විශ්වවිද්‍යාලයේ නින්ද පිළිබඳ පර්යේෂක චියාරා සිරෙලි පවසයි.

සුවපත් කරන විවේකය

නින්ද යනු සතුන්ට අවදානම් සහගත තත්ත්වයකි. එය ඔවුන්ව විලෝපිකයන්ට සහ පාරිසරික අනතුරුවලට ගොදුරු වීමට ඉඩ සලසන අතර, ආහාර සෙවීම, ප්‍රජනනය හෝ පැටවුන් රැකබලා ගැනීම සඳහා ගත කළ හැකි කාලය එයින් අහිමි වේ. එසේ වුවද, මෙතෙක් අධ්‍යයනය කර ඇති ස්නායු පද්ධතියක් සහිත සියලුම සතුන් තුළ පරිණාමය විසින් නින්ද ආරක්ෂා කර ඇති බැවින්, එය මූලික ජීව විද්‍යාත්මක කාර්යයක් ඉටු කළ යුතු බවට විද්‍යාඥයෝ පුළුල් ලෙස එකඟ වෙති.

මධ්‍යගත ස්නායු පද්ධතියක් පරිණාමය වීමට පෙර සිටම නින්ද පැවති බවට වන මතය 2017 දී ප්‍රබල විය. ඒ, ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ස්නායු විද්‍යාඥ රවී නාත් සහ ඔහුගේ කණ්ඩායම ජෙලිෆිෂ් සතුන් තුළ නින්දට සමාන තත්ත්වයක් පවතින බව ඔප්පු කිරීමත් සමඟය. “නින්ද ඇති වූයේ ස්නායු සෛල සමඟ බවට හොඳ සාක්ෂි තිබෙනවා,” ඔහු පවසයි. “එහි මූලික කාර්යයක් තිබිය හැකි නමුත්, සෑම විශේෂයක්ම තමන්ගේම අවශ්‍යතා සපුරා ගැනීම සඳහා නින්ද හැඩගස්වාගෙන තිබෙනවා.”

අලුත්ම අධ්‍යයනය මගින් නින්ද වඩාත් නිවැරදිව අර්ථ දක්වන අතර, මොළයක් නොමැති නමුත් ස්නායු සෛල ඇති සතුන්ගේ සෛලීය මට්ටමින් නින්දේ බලපෑම කුමක්දැයි පරීක්ෂා කරයි. ඇපල්බෝම් සහ ඔහුගේ කණ්ඩායම විසින් රසායනාගාරයේදී මෙන්ම ෆ්ලොරිඩාවේ ස්වභාවික පරිසරයේදී කරන ලද පරීක්ෂණවලින් හෙළි වූයේ, මිනිසුන් මෙන් උඩුකුරු ජෙලිෆිෂ් සතුන් ද දිනකට පැය අටක් පමණ නිදාගන්නා බවයි. මෙම නින්දෙන් වැඩි ප්‍රමාණයක් රාත්‍රී කාලයේ සිදු වුවද, මධ්‍යහ්න කාලයේදී ද කෙටි නින්දක් (nap) ලබා ගැනීමට ඔවුන් පුරුදුව සිටිති. කණ්ඩායම විසින් Nematostella vectensis නම් සී ඇනිමෝන වර්ගයද අධ්‍යයනය කළ අතර එහි නින්ද ප්‍රථම වරට විස්තර කරන ලදී. එම සතුන් ද දිනෙන් තුනෙන් එකක් පමණ නිදාගත් අතර, ඔවුන්ගේ විවේකය වැඩිපුරම දක්නට ලැබුණේ අලුයම කාලයේදීය.

ස්නායු සෛල ප්‍රථමයෙන් මතු වූයේ වසර මිලියන සිය ගණනකට පෙර බව විශ්වාස කෙරේ. ජෙලිෆිෂ් සහ සී ඇනිමෝන වැනි මුල් කාලීන සතුන්ට විසිරී ගිය ස්නායු ජාලයක් තිබුණද මධ්‍යම ‘පාලන මධ්‍යස්ථානයක්’ තිබුණේ නැත. මෙම විශේෂ දෙකෙහිම කරන ලද අත්හදා බැලීම් වලදී, සතුන් අවදිව සිටින විට ස්නායු වල DNA හානි වැඩි වන බවත් නිදා සිටින විට ඒවා අඩු වන බවත් ඇපල්බෝම්ගේ කණ්ඩායම නිරන්තරයෙන් නිරීක්ෂණය කළහ. පර්යේෂකයන් පාරජම්බුල කිරණ (UV radiation) මගින් සතුන්ගේ DNA වලට හානි සිදු කළ විට, ඔවුන් වැඩිපුර නිදා ගැනීමෙන් ඊට ප්‍රතිචාර දැක්වූහ. මෙයින් විද්‍යාඥයන් නිගමනය කළේ සතුන් අවදිව සිටින විට සිදුවන DNA හානිය පිළිසකර කිරීමට වඩා වේගවත් වන නමුත්, නින්ද මගින් සෛලීය නඩත්තුව කාර්යක්ෂමව සිදු කිරීමට කාලය ලබා දෙන බවයි.

තවදුරටත් ගවේෂණය කිරීමට

සිරෙලි පවසන්නේ මෙම අධ්‍යයනය ඉතා නිවැරදි වුවත් එහි එක් සීමාවක් පවතින බවයි. එනම් DNA හානි සිදු කිරීමෙන් පසු අවදි කර තැබූ පාලක සත්ව කණ්ඩායමක් (control group) එහි නොසිටීමයි. ඇයගේ පර්යේෂණවලින් නින්ද මගින් DNA අලුත්වැඩියාව වේගවත් කරන බව පෙන්වන නමුත්, සතුන් සක්‍රීයව යමක් ඉගෙන නොගන්නා අවස්ථාවලදී පවා අවදිව සිටියදී මෙවැනි අලුත්වැඩියාවන් සිදුවිය හැකි බව ඇය පවසයි.

නින්ද පරිණාමය වූයේ කෙසේද සහ ඇයිද යන්න තේරුම් ගැනීමෙන්, නින්ද නොලැබීම සහ ස්නායු රෝග (neurodegenerative diseases) අතර පවතින සම්බන්ධය මෙන්ම මිනිස් මොළයේ කුඩා කොටස් අවදිව සිටියදී කෙටි වේලාවකට අක්‍රිය වීම වැනි සංසිද්ධීන් (local sleep) තේරුම් ගැනීමට උපකාරී වනු ඇතැයි ඇපල්බෝම් පවසයි. “මිනිසුන් තුළ නින්ද ඉගෙනීමට සහ මතකයට සහය වනවා, නමුත් එය විශේෂිත ස්නායු සෛල නඩත්තු කිරීම ගැනත් විය හැකියි.” ඔහුගේ කණ්ඩායම දැන් ස්නායු පද්ධතියක් නොමැති ස්පොන්ජ් (sponges) වැනි සතුන් සහ මිනිස් මොළයට සමාන ලක්ෂණ ඇති සිබ්‍රාෆිෂ් (zebrafish) වැනි සතුන් යොදාගෙන මෙම ප්‍රශ්න පිළිබඳව වැඩිදුර පර්යේෂණ කිරීමට සැලසුම් කරති.


ලින් පීපල්ස් (Lynne Peeples) නේචර් වෙබ් අඩවියට ලියූ ලිපියකිනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending