හිසකෙස් පැසීම යනු හුදෙක් වයසට යෑමේ කනගාටුදායක ලකුණක් ලෙස බොහෝ දෙනා සැලකුවද, නවතම විද්‍යාත්මක සොයාගැනීමකට අනුව එය පිළිකා සෛලවලට එරෙහිව අපේ ශරීරය ගෙන යන සටනක “ජයග්‍රාහී කැළලක්” ලෙස හැඳින්විය හැකිය.

මෑතකදී Nature Cell Biology සඟරාවේ පළ වූ අධ්‍යයනයකට අනුව, අපගේ හිසකෙස් සහ සමට වර්ණක ලබා දෙන සෛල, පිළිකාවක් ඇතිවීමට ඉඩ ඇති අවස්ථාවලදී ස්වයංව විනාශ වන ආකාරය හෙළි වී ඇත. මෙය ශරීරය පිළිකාවෙන් ආරක්ෂා කර ගැනීමට දරන උත්සාහයක කොටසකි.

සෛල බෙදීම නතර වන්නේ ඇයි?

හිසකෙස් වල වර්ණක නිපදවන සෛල (Melanocytes) යම් හානියකට ලක් වූ විට, ඒවා දිගින් දිගටම බෙදී යෑම වෙනුවට සම්පූර්ණයෙන්ම ක්‍රියාවිරහිත වීමට තීරණය කරයි. මෙමගින් දෝෂ සහිත සෛල හරහා අනතුරුදායක විකෘති (Mutations) පැතිර යාම වැළකේ. කෙසේ වෙතත්, කාලයත් සමඟ මෙලෙස වර්ණක නිපදවන සෛල ප්‍රමාණය අඩුවීම නිසා හිසකෙස් සුදු පැහැයට හැරේ.

හිසකෙස් පැසීම නැවැත්වීමට විද්‍යාඥයන් කාලයක සිට උත්සාහ කළද, මෙම නව සොයාගැනීමෙන් පෙනී යන්නේ සුදු කෙස් යනු පිළිකාවට එරෙහිව ශරීරය ක්‍රියාත්මක කරන වැදගත් ආරක්ෂක පද්ධතියක ප්‍රතිඵලයක් බවයි.

“මෙම ප්‍රතිචාරය මගින් දෝෂ සහිත සෛල හරහා අනතුරුදායක විකෘති පැතිර යාම වළක්වයි.”

මීයන් ඇසුරින් කළ පරීක්ෂණය

ටෝකියෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එමි නිෂිමුරාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම මීයන් ඇසුරින් කළ පරීක්ෂණයකදී මෙම සොයාගැනීම සිදු කරන ලදී. ඔවුන් සොයා ගත්තේ හිසකෙස් වලට වර්ණක ලබා දෙන මෙලනොසයිට් ප්‍රාථමික සෛල (Melanocyte stem cells) ස්වයංව විනාශ වන්නේ ඒවායේ DNA වල “දෙපැත්තම කැඩී යාමක්” (Double-strand break) සිදු වූ විට පමණක් බවයි.

නමුත් එම සෛල පාරජම්බුල කිරණ හෝ පිළිකාකාරක වැනි වෙනත් බලපෑම්වලට ලක් වූ විට, ඒවා විනාශ වූයේ නැත. ඒ වෙනුවට ඒවා දිගින් දිගටම බෙදී ගිය අතර, එහිදී විකෘති ඇතිවීමට වැඩි ඉඩක් නිර්මාණය විය. මෙය පිළිකාවක් ඇති වීමට පදනම දැමිය හැකිය.

අනාගත බලාපොරොත්තුව

වයසට යෑමත් සමඟ හිසකෙස් පැසීම සහ චර්ම පිළිකා (Skin cancers) යන දෙකම බහුල වීමට හේතුව මෙම සෛලවල ක්‍රියාවලිය හරහා තේරුම් ගත හැකිය.

විද්‍යාඥයන් පවසන්නේ මෙම සෛලීය ප්‍රතිචාරය තේරුම් ගැනීම සහ එය පාලනය කිරීමට හැකි වීම හරහා, යම් සෛලයක් පිළිකා සෛලයක් බවට පත්වීමට පෙර එය විනාශ කිරීමට නව ක්‍රමවේදයන් සොයා ගත හැකි වනු ඇති බවයි.

BBC Science Focus සඟරාව ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending