දර්ශනවාදයේ පවතින පැරණිතම ප්‍රශ්නයකට පිළිතුරු සෙවීමේ යතුර ස්නායු විද්‍යාව (Neuroscience) සතුව තිබිය හැකිය.

අපට “නිදහස් කැමැත්තක්” (Free Will) තිබේද නැද්ද යන්න දාර්ශනිකයන් වසර සිය දහස් ගණනාවක සිට විවාද කරන ප්‍රශ්නයකි. 1980 දශකයේ මුල් භාගයේදී, මෙම විවාදය අවසානයේ විසඳී ඇති බව පෙනෙන කෙටි මොහොතක් උදා විය. එම විසඳුම ලැබුණේ දර්ශනවාදයෙන් නොව, ස්නායු විද්‍යාවෙනි.

එම පිළිතුර තරමක් කනගාටුදායක විය: එනම් ස්වකැමැත්ත හෙවත් Free Will කියා දෙයක් නොමැති බවයි. ස්නායු විද්‍යාඥ බෙන්ජමින් ලිබෙට් (Benjamin Libet) විසින් කරන ලද පරීක්ෂණවලින් පෙනී ගියේ, පුද්ගලයෙකු යම් තීරණයක් ගත් බව දැන ගැනීමටත් පෙර, මොළය විසින් එම තීරණය ගෙන අවසන් බවයි. එය හරියට අපේ සිතුවිලි සහ ක්‍රියාවන් පාලනය කරන අදෘශ්‍යමාන නූල් සූත්‍රයක් විද්‍යාව විසින් හෙළි කළාක් මෙනි.

නමුත් වර්තමාන විද්‍යාඥයන් නිදහස් කැමැත්ත නොමැති බවට වන මෙම මතය ගැන මෙන්ම, මොළයේ ස්කෑන් පරීක්ෂණ (Brain scans) මගින් මෙය කවදා හෝ ස්ථිරවම ඔප්පු කළ හැකි යැයි යන මතය ගැනත් දැඩි සැකයකින් පසුවෙති. ඒ ඇයි?


ඔබ තීරණයක් ගන්නේ කෙසේද?

නිදහස් කැමැත්ත පිළිබඳ ප්‍රශ්නය දාර්ශනිකයන්ට භාර දීම වඩාත් සුදුසු වුවද, ස්නායු විද්‍යාඥයන්ට එය මග හැරිය නොහැක. මානව මොළය තීරණ ගන්නා ආකාරය පිළිබඳ පරීක්ෂණ මගින් මනෝ විද්‍යාව සහ ස්නායු විද්‍යාව ගැන වැදගත් තොරතුරු රාශියක් හෙළි වී ඇත.

“අවසානයේදී අප යනු හුදෙක් ජෛව විද්‍යාවකි (Biology). අපට පාලනයක් නොමැති එම ජෛව විද්‍යාව පරිසරය සමඟ අන්තර් ක්‍රියා කරයි. ඉන් ඔබ්බට කිසිවක් නැත.”

ලිබෙට්ගේ 1980 පරීක්ෂණය සරල විය. ඔහු ස්වේච්ඡා සේවකයන්ගේ මොළයේ ක්‍රියාකාරිත්වය EEG යන්ත්‍රයකට සම්බන්ධ කර, ඔවුන්ට බොත්තමක් එබීමට අවශ්‍ය වේලාව තීරණය කරන ලෙස පැවසීය. ඔවුන් තීරණය ගන්නා විට තත්පර කටුවක් වැනි චලනය වන ලක්ෂ්‍යයක් දෙස බලා සිටිය යුතු විය. ඔවුන් බොත්තම එබීමට තීරණය කළ මොහොතේ එම ලක්ෂ්‍යය තිබූ ස්ථානය සටහන් කර ගත යුතු විය.

මෙහිදී ලිබෙට් සොයා බැලුවේ “සූදානම් වීමේ විභවය” (Readiness Potential) නමැති මොළයේ ක්‍රියාකාරිත්වයයි. එය මාංශ පේශි චලනයකට පෙර මොළයේ ඇතිවන සූදානමකි. පුදුමයට කරුණක් වූයේ, පුද්ගලයා බොත්තම එබීමට තීරණය කළ බව දැන ගැනීමට මිලි තත්පර 200කට පෙර, මොළයේ මෙම සූදානම් වීමේ විභවය සටහන් වීමයි.

එහි අර්ථ නිරූපණය වූයේ, අප දැනුවත්ව යම් ක්‍රියාවක් කිරීමට පෙර, අපේ යටි සිත (unconscious processes) එම තීරණය ගෙන අවසන් බවයි. නමුත් පසුව ආ පර්යේෂකයන් මෙයට විරුද්ධ විය. ඔවුන් තර්ක කළේ ලිබෙට් පරීක්ෂා කළේ ඉතා සරල, සහජාස ක්‍රියාවන් (instinctual decisions) බවයි. රැකියාවක් තෝරා ගැනීම හෝ විවාහ වීම වැනි සංකීර්ණ තීරණවලදී මෙය මෙසේම වේද?


ප්‍රතිවිරුද්ධ මතයක් (A Counterpoint)

ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රොබට් සපොල්ස්කි (Robert Sapolsky) තර්ක කරන්නේ ස්වකැමැත්ත යනු අපේ මනස විසින් නිර්මාණය කරන ලද මායාවක් බවයි. “අණු (molecules) ප්‍රතික්‍රියා කරනවාද නැද්ද යන්න තීරණය කරන්නේ නැහැ. වස්තූන් ගුරුත්වාකර්ෂණයට අවනත වෙනවාද යන්න තීරණය කරන්නේ නැහැ. අපේ ජෛව විද්‍යාවත් රසායන විද්‍යාව සහ භෞතික විද්‍යාවට වඩා වැඩි දෙයක් නොවේ නම්, අපත් ඒවායේ නියමයන්ට බැඳී සිටිනවා,” ඔහු පවසයි.

අනෙක් අතට, සමහර විද්‍යාඥයන් විශ්වාස කරන්නේ ස්වකැමැත්ත පවතින්නේ ඉතා කුඩා “ක්වොන්ටම් ලෝකය” (Quantum realm) තුළ බවයි. ක්වොන්ටම් සිද්ධාන්තයට අනුව අංශුවල හැසිරීම කලින් තීරණය කළ නොහැකි (random) බැවින්, අපේ මොළයේ සිදුවන ක්වොන්ටම් ක්‍රියාවලීන් නිදහස් කැමැත්තට මග පාදනවා විය හැකිය. නමුත් සපොල්ස්කි පවසන්නේ අහඹු බව (randomness) යනු නිදහස් කැමැත්ත නොවන බවයි.


එය දාර්ශනිකයන්ට භාර දෙන්න

ස්නායු විද්‍යාඥවරියක සහ දාර්ශනිකවරියක වන මහාචාර්ය ඇඩිනා රොස්කීස් (Adina Roskies) පවසන්නේ ස්නායු විද්‍යාව මගින් ස්වකැමැත්ත පිළිබඳ ප්‍රශ්නයට පිළිතුරු දිය නොහැකි බවයි. “නිදහස යනු කුමක්ද යන්න දාර්ශනිකව තේරුම් ගැනීමට පෙර, විද්‍යාවෙන් එය සෙවීම පලක් නැත,” ඇය පවසයි.

“විද්‍යාව පෙන්වා දෙන්නේ නිදහස් කැමැත්ත යනු විවිධ පරාසයන් (Spectrum) සහිත දෙයක් බවයි.”

රොස්කීස්ගේ මතය අනුව, ස්වකැමැත්ත පුද්ගලයාගෙන් පුද්ගලයාට සහ අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් වේ. 2019 දී කරන ලද පරීක්ෂණයකින් හෙළි වූයේ, පරිත්‍යාගයක් සඳහා ආයතනයක් තෝරා ගැනීම වැනි සදාචාරාත්මක සහ ගැඹුරු තීරණ ගන්නා විට, ලිබෙට් සොයාගත් “සූදානම් වීමේ විභවය” මොළයේ ඇති නොවන බවයි. මෙයින් පෙනී යන්නේ ගැඹුරු චින්තනයක් අවශ්‍ය තීරණවලදී අපේ මොළය ක්‍රියා කරන්නේ වෙනස් ආකාරයකට බවයි.

අවසාන නිගමනය

විද්‍යාවට නිදහස් කැමැත්ත පවතින්නේද යන්න ගැන අවසන් පිළිතුරක් දිය නොහැකි වුවද, මෙම පර්යේෂණ ඉතා වටිනා වේ. විශේෂයෙන්ම අපරාධ යුක්ති විනිශ්චය පද්ධතියේදී (Justice system), පුද්ගලයෙකු කළ වැරැද්දකට ඔහු කොතරම් දුරට වගකිව යුතුද යන්න තීරණය කිරීමට මොළයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ අවබෝධය වැදගත් වේ.

ස්නායු විද්‍යාවට අප නිදහස් නැතැයි කියා ස්ථිරවම පැවසිය නොහැකි නම්, අප විමසිය යුත්තේ “අප කෙතරම් දුරට නිදහස් යැයි සිතීමට අපට පුළුවන්ද?” යන්නයි.


BBC Science Focus සඟරාවට නේට් ෂාපින් ලි්‍යූ ලිපියක් ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending