කේට් මාවල් සහ ටිම් ලෙන්ටන්, තම නවතම කෘති තුළින්, දේශගුණික විපර්යාස මගින් ඇති කළ හැකි දුෂ්කර හැඟීම් පිළිබඳව සාකච්ඡා කරති. එම හැඟීම් ධනාත්මකව මෙහෙයවා ගන්නේ කෙසේදැයි ඔවුන් මැඩලින් කෆ් සහ රෝවන් හූපර්ට පවසති.

සෑම දිනකම පාහේ ප්‍රවෘත්තිවල දරුණු පාරිසරික අනතුරු ඇඟවීම් සහ ආන්තික කාලගුණික සිදුවීම් වාර්තා වන විට, දේශගුණික අර්බුදය ගැන සිතීමෙන් වැළකී සිටීමට පෙළඹීම පහසුය. නමුත් අපගේ වෙනස් වන ග්‍රහලෝකයේ කටුක යථාර්ථය සමඟ දිනපතා පොරබැදීමට සිදුවන දේශගුණ විද්‍යාඥයින්, මේ තත්ත්වයට මුහුණ දෙන්නේ කෙසේද? දේශගුණික විපර්යාස උත්සන්න වීමෙන් ඇතිවන ප්‍රබල හැඟීම් කළමනාකරණය කර ගැනීම ගැන ඔවුන්ගෙන් අපට ඉගෙන ගත හැක්කේ කුමක්ද? එමෙන්ම මෙම හැඟීම් අපගේ වාසියට යොදා ගත හැකි ක්‍රම තිබේද?

New Scientist සඟරාව මෑතකදී නිව්යෝර්ක් හි වෙසෙන දේශගුණ විද්‍යාඥවරියක වන කේට් මාවල් (Kate Marvel) සහ එක්සත් රාජධානියේ එක්සටර් (Exeter) විශ්වවිද්‍යාලයේ දේශගුණ විද්‍යාඥයෙකු වන ටිම් ලෙන්ටන් (Tim Lenton) සමඟ සාකච්ඡාවකට එක් විය. ඔවුන් දෙදෙනාම වසර ගණනාවක් තිස්සේ, වායුගෝලයේ හරිතාගාර වායු සාන්ද්‍රණය වැඩිවීමට අපගේ ග්‍රහලෝකය ප්‍රතිචාර දක්වනු ඇත්තේ කෙසේදැයි ආකෘති නිර්මාණය කර ඇත. එමෙන්ම, දේශගුණික හදිසි තත්ත්වය සමඟ කටයුතු කිරීමට සහ එයට මුහුණ දීමට හොඳම ක්‍රම පිළිබඳව ඔවුන් දෙදෙනාම මෑතකදී තම දැක්ම සාරාංශ කොට දක්වමින් ග්‍රන්ථ ප්‍රකාශයට පත් කළහ.

බැලූ බැල්මට, මේවා එකිනෙකට බෙහෙවින් වෙනස් පොත් දෙකකි. මාවල්ගේ Human Nature කෘතිය, දේශගුණික විපර්යාස පිළිබඳ විද්‍යාව ගවේෂණය කරන රචනා මාලාවකි. එහි සෑම රචනාවක්ම අර්බුදයට දක්වන වෙනස් චිත්තවේගීය ප්‍රතිචාරයක් වටා කේන්ද්‍රගත වේ. ඊට හාත්පසින්ම වෙනස්ව, ලෙන්ටන්ගේ Positive Tipping Points කෘතිය, ආත්ම විමර්ශනයට වඩා ක්‍රියාමාර්ග ගැනීමට ප්‍රමුඛත්වය දෙයි. එය නිවැරදි සමාජ, ආර්ථික සහ තාක්ෂණික මැදිහත්වීම් තුළින් වඩාත් පිරිසිදු ලෝකයකට රැඩිකල්, පද්ධතිමය වෙනසක් ඇති කළ හැකි බවට බලගතු තර්කයක් ගොඩනඟයි.

කෙසේ වෙතත්, මෙම පොත් දෙකෙහිම හරය වන්නේ, අපගේ චින්තනය සහ ක්‍රියාවන් නව රාමුවකට ගෙන ඒම සඳහා දේශගුණික විපර්යාස වටා ඇති අපගේ හැඟීම් වැළඳ ගන්නේ කෙසේද යන්නයි. මෙම සංවාදයේදී, ලෙන්ටන් සහ මාවල්, පෘථිවියේ අපගේ අනාගතය පිළිබඳව අප කෝපය, බිය, ආඩම්බරය සහ බලාපොරොත්තුව යන සියල්ල එකවරම දැනිය යුත්තේ මන්දැයි හෙළි කරයි.

රෝවන් හූපර් (RH): කේට්, ඔබේ පොත අපගේ වෙනස් වන ග්‍රහලෝකය ගැන දැනිය හැකි ක්‍රම නවයක් ගැනයි. අපි කෝපයෙන් පටන් ගමුද?

කේට් මාවල් (KM): කෝපය පිළිබඳ පරිච්ඡේදය ලියන්නට පහසුම එකක් වුණා. මට කතා කරන්නට අවශ්‍ය වුණේ දේශගුණික විපර්යාස සිදුවන බව අප සොයාගත් ආකාරය පිළිබඳ ඉතිහාසය ගැනයි. මට ඇත්තටම කෝපයක් ඇති කරන්නේ, විද්‍යාඥයින් දේවල් සොයා ගැනීමේ ඉතිහාසය, ඒ ගැන බොරු කියූ මිනිසුන්ගේ ඉතිහාසය සමඟ බද්ධ වී තිබීමයි.

මම පර්යේෂණ කණ්ඩායමක් ගැන කතාවක් කියනවා. ඔවුන් උත්සාහ කරන්නේ වායුගෝලයේ ඇති අතිරික්ත කාබන් ඩයොක්සයිඩ් වලින් වැඩි ප්‍රමාණයක් පැමිණෙන්නේ ෆොසිල ඉන්ධන වලින් බව තහවුරු කරන්න. ඒක ඔප්පු කරන්න ඔවුන් ඇත්තටම නිර්මාණශීලී පරීක්ෂණ සැලසුම් කරනවා. ඔවුන් සතුව සාගරයේ මිනුම් ගනිමින් වටේ යන විශාල නැවක් තියෙනවා. අවසානයේදී ඔවුන් දේශගුණික ආකෘතියක් නිර්මාණය කරනවා, ආපසු හැරී බලද්දී ඉතා නිවැරදි අනාවැකි පළ කරපු. මේ ඔක්කොම කළේ කවුද දන්නවද? ඒ එක්සොන් (Exxon) සමාගම. ඒක මට ඇත්තටම ලොකු කෝපයක් ඇති කරනවා. ඔවුන් ඒ ගැන දැනගෙන හිටියා කියන එක.

RH: කෝපය ක්‍රියාත්මක වීමට පෙළඹවීමක් විය හැකිද?

KM: මම එහෙම බලාපොරොත්තු වෙනවා. ඔබ කෝපයෙන්ම පමණක් සිටින නරක මාර්ගයකට යොමු වීම හරිම පහසුයි. සමාජ මාධ්‍ය අනිවාර්යයෙන්ම මේකට දිරිගන්වනවා, ඔබට තව තවත් කෝපය ඇති කරන දේවල් පෙන්වනවා, නමුත් එය ඵලදායී කෝපයක් නෙවෙයි.

RH: ඔබේ පොත විස්මය, වරදකාරී හැඟීම, බිය, ශෝකය, පුදුමය, ආඩම්බරය, බලාපොරොත්තුව සහ ආදරය ගැනත් කතා කරනවා. ඔබ මෙම හැඟීම් කළමනාකරණය කරගත් ආකාරය ගැන අපට කියන්න පුළුවන්ද?

KM: මට කරන්න අවශ්‍ය වුණේ, දේශගුණික විපර්යාස ගැන දැනෙන්නට එක ක්‍රමයක් නැහැ කියන කාරණය වැළඳ ගැනීමටයි. තනි හැඟීමක් ඇති කිරීමට නිර්මාණය කරපු දේවල් කියවද්දී මම හරිම කලකිරීමකට පත් වුණා. එක්කෝ, බය වෙන්න, නැත්නම් කෝප වෙන්න, නැත්නම් බලාපොරොත්තු තියාගන්න විතරයි කියනවා. ඒක මට එතරම් ප්‍රයෝජනවත් බවක් දැනුණේ නැහැ. මට පිළිගන්න අවශ්‍ය වුණා, ඔබ පෘථිවි ග්‍රහලෝකයේ ජීවත් වෙනවා නම්, ඔබට ‘වුවමනා එපාකම් පිළිබඳ ගැටුමක්’ (conflict of interest) තිබෙන බව. මේ ස්ථානයට වෙන දේ ගැන ඔබ සැලකිලිමත්. මොකද ඔබ දන්න හැමෝම ජීවත් වෙන්නේ මෙතන.

RH: ටිම්, දේශගුණික විපර්යාස අධ්‍යයනය කිරීමත් සමඟ එන හැඟීම් සමඟ කටයුතු කිරීම ඔබට කොහොමද?

ටිම් ලෙන්ටන් (TL): මම අධ්‍යයනය කරමින් ඉන්නේ ඇත්තෙන්ම දරුණු, ඉතා නරක විය හැකි දේශගුණික “හැරවුම් ලක්ෂ්‍ය” (tipping points) ගැන. තර්කානුකූලව බැලුවොත්, ඒ සමහරක් දැනටමත් දිග හැරෙන්න පටන් අරන්. ලෝකයේ බිලියන භාගයක් දක්වා ජනතාවක් තම ජීවනෝපාය සඳහා රඳා පවතින නිවර්තන කොරල්පර අපට අහිමි වෙමින් පවතිනවා.

වසර 20 කට ආසන්න කාලයක් මම මේ දේවල් දෙස කෙළින්ම බලාගෙන ඉන්නවා. ඉතින්, බලාපොරොත්තුව සඳහා තාර්කික පදනමක් සොයාගත හැකිදැයි බැලීමට, සංකීර්ණ පද්ධති අවබෝධ කර ගැනීමේ මගේ මානසික මෙවලම් කට්ටලය භාවිතා කළ යුතු බව මට තේරුණා. අපි මේ කරදරයෙන් ගොඩ ඒමට අවශ්‍ය වෙනස වේගවත් කළ හැකි බවට විශ්වාසනීය තර්කයක් ගොඩනඟන්න පුළුවන්ද? මේක කරන්න පුළුවන් බවට සාක්ෂි තියෙනවා කියලා දකින්න, මට පොතේ පර්යේෂණ කරන්නම වුණා, බොළඳ බලාපොරොත්තුවකින් මාවම රවටා ගන්නවා කියලා නෙවෙයි.

RH: ඉතින් ඒක තාර්කික, භාවිතා කළ හැකි බලාපොරොත්තුවක්ද?

TL: එය “කොන්දේසි සහිත සුබවාදී බවක්”. මම සුබවාදී වෙන්නේ, සමහර අය පොත කියවයි, ඔවුන්ගෙන් කොටසක් මා සමඟ මේ ගමනට එකතු වෙයි කියන පදනම මත. ඉතිහාසය අපට උගන්වන්නේ, අවසානයේදී සියල්ලන්ම වෙනස් වීමේ හැරවුම් ලක්ෂ්‍යයට ගෙන ඒමට අවශ්‍ය වන්නේ ජනතාවගෙන් කුඩා කොටසකගේ වෙනසක් පමණක් බවයි.

මැඩලින් කෆ් (MC): ටිම්, ඔබේ වෘත්තීය ජීවිතයේ වැඩි කාලයක් යොමු වෙලා තියෙන්නේ මේ “හැරවුම් ලක්ෂ්‍ය” කියන අදහසට. මේ සංකල්පයට අලුත් අයට, ඒවා මොනවාද?

TL: හැරවුම් ලක්ෂ්‍ය කියන්නේ, කුඩා වෙනසක් පද්ධතියක තත්ත්වයට හෝ ඉරණමට විශාල බලපෑමක් ඇති කරන මොහොතවල්. දේශගුණයේ නරක හැරවුම් ලක්ෂ්‍ය ගත්තොත්, පෘථිවි පද්ධතියේ විශාල කොටස් — ප්‍රධාන අයිස් තට්ටු, සාගර සංසරණයේ අංශ, ජෛවගෝලයේ විශාල කොටස් — වලට “විකල්ප ස්ථාවර තත්ත්වයන්” (alternative stable states) තියෙනවා කියලා අපි දන්නවා. ඒවා එක තත්ත්වයකින් තවත් තත්ත්වයකට තල්ලු කරන්න පුළුවන්. උදාහරණයක් ලෙස, ඇමසන් වැසි වනාන්තරය හායනයට ලක් වූ වෙනත් වනාන්තරයකට හෝ සැවානා තත්ත්වයකට තල්ලු වෙන්න පුළුවන්.

MC: ධනාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් (positive tipping point) කියන්නේ මොකක්ද?

TL: සමාජ වෙනස්කම්වලදීත් හැරවුම් ලක්ෂ්‍ය ඇතිවිය හැකි බව පෙන්වන, විවිධ ක්ෂේත්‍රවල අඩ සියවසකට අධික කාලයක් පුරා පැවති ශාස්ත්‍රීය දැනුම මම මෙහිදී යොදා ගන්නවා. දේශපාලන විප්ලව සහ විරෝධතා කොහෙන්දෝ මතුවෙලා හදිසියේම විශාල වීම ගැන අපි හැමෝම දන්නවා. නමුත් ඉතිහාසය අපට උගන්වනවා, සමහර විට තාක්ෂණයේ හදිසි සහ ආපසු හැරවීමට අපහසු වෙනස්කම් සිදුවන බව. පවතින තාක්ෂණයක් අභිබවා නව තාක්ෂණයක් පැතිරී යන හැරවුම් ලක්ෂ්‍ය තියෙනවා.

RH: මට මතක් වෙන පැහැදිලි දේශගුණික උදාහරණය තමයි විද්‍යුත් වාහන. ඇත්තෙන්ම, සූර්ය බලශක්තිය දැන් කොතරම් ලාභදායීද කියනවා නම්, එය ඇත්තටම වේගයෙන් පැතිරෙනවා. අපි ධනාත්මක හැරවුම් ලක්ෂ්‍ය ඇති කරන්නේ කොහොමද?

TL: ආර්ථිකය කාබන්හරණය කිරීමේදී, දැනට පවතින වේගයට වඩා පස් ගුණයකට වඩා වේගයෙන් යා යුතු බව පිළිගනිමින්, ධනාත්මක හැරවුම් ලක්ෂ්‍ය ඉදිරියට ගෙන ඒමට හැකි ක්‍රියාමාර්ග ගැන අපි සිතිය යුතුයි. වාසනාවකට, අප සෑම කෙනෙකුටම මේ ගැන යමක් කිරීමට හැකියාව (agency) තිබෙනවා.

වඩාත්ම මූලික මට්ටමේදී, සමහර විට අපට මස් අනුභවය අඩු කිරීම වැනි නව හැසිරීමක් හෝ විද්‍යුත් වාහන හෝ සූර්ය පැනල වැනි නව තාක්ෂණයක් අනුගමනය කරන්නෙකු විය හැකියි. අපට බොහෝ විට විශ්‍රාම වැටුප් අරමුදලක් ඇති අතර, එය ආයෝජනය කර ඇත්තේ කොහේදැයි දැඩි ප්‍රශ්න ඇසිය යුතුයි.

දැනටමත් සිදුවී ඇති ධනාත්මක හැරවුම් ලක්ෂ්‍යවල කතාව ආරම්භ වන්නේ සමාජ ක්‍රියාකාරීන් හෝ නවෝත්පාදකයින්ගෙනුයි. මූලික නව තාක්ෂණය දියුණු කිරීමට දැඩි උනන්දුවක් දක්වන අය, හෝ වෙනසක් ඇති කිරීමට අවශ්‍ය සහ අනෙක් සියල්ලන්ටම පෙර එම හැකියාව දකින ක්‍රියාකාරීන්ගෙනුයි.

MC: කේට්, අපි දේශගුණික විපර්යාස ගැන සිතීමෙන් ඇතිවන සෘණාත්මක හැඟීම් ගැන ටිකක් කතා කළා. නමුත් ධනාත්මක හැඟීම්වල බලපෑම ගැන මොකද? ධනාත්මක ක්‍රියාමාර්ග දිරිගැන්වීමට ඒවාට ඉටු කළ හැකි කාර්යභාරය කුමක්ද?

KM: මම පොත ආරම්භ කළේ “විස්මය” (wonder) කියන හැඟීමෙන්. මොකද, ඔබ මොහොතකට නතර වෙලා, අපි ජීවත් වන මේ ග්‍රහලෝකය ගැන සහ අපි ඒක යම් තරමකට හෝ තේරුම් අරගෙන ඉන්නවා කියන කාරණය ගැන හිතුවොත්, ඒක ඇදහිය නොහැකි දෙයක්. සම්බන්ධතා ගොඩනඟා ගැනීමට සහ සංවාද ආරම්භ කිරීමට එය ඇත්තෙන්ම ප්‍රයෝජනවත් මෙවලමක්.

බොහෝ වෙලාවට, මම දේශගුණ විද්‍යාඥවරියක් කියලා කාටහරි කිව්වම, ඔවුන් හිතන්නේ මම එකපාරටම ඔවුන්ට බැන වදීවි කියලයි. නමුත් ඔබ විස්මයෙන් පටන් ගත්තොත්, ඔබ සංවාදයක් පටන් ගන්නේ, “ඔබ දන්නවද පෘථිවියේ ජලය, පෘථිවියටත් වඩා පැරණි වෙන්න පුළුවන් බව?” කියලා ඇහුවොත්, මිනිස්සු කියයි, “ආ, ඒක පුදුමයිනේ” කියලා. ඔවුන් ඔබ සමඟ කතා කරන්න වැඩි ඉඩක් තියෙනවා. පුළුල් පරාසයක හැඟීම් වැළඳ ගැනීම සන්නිවේදන උපාය මාර්ගයක් ලෙස ප්‍රයෝජනවත්.

විද්‍යාත්මක හා සමාජ විද්‍යාත්මක සාහිත්‍යයේ මෙම හැඟීම් දැනීම සඳහා සහයෝගයක් තියෙනවා. අපි මේ දුෂ්කර කාර්යය කිරීම ගැන අපට ආඩම්බරයක් දැනෙන්න පුළුවන්. වෙනසක් ඇති කිරීමේදී ගැඹුරු තෘප්තියක් තියෙනවා. සමාජ විද්‍යා සාහිත්‍යය කියනවා, ආදරය යනු දේශගුණික ක්‍රියාකාරීත්වය සඳහා ඇති ප්‍රබලම පෙළඹවීමේ සාධකය විය හැකියි කියලා. මිනිසුන් ක්‍රියා කිරීමට පෙළඹෙන්නේ ඔවුන් තම ප්‍රජාවට, පවුල්වලට, දරුවන්ට ආදරය කරන නිසයි. ඒ හැඟීම කොතරම් බලවත්ද කියලා අපි දන්නවා.

මම බලාපොරොත්තුව ගැන සම්පූර්ණ පරිච්ඡේදයක්ම ලියලා තියෙනවා, මට බලාපොරොත්තුව සමඟ ඉතා සංකීර්ණ සම්බන්ධතාවයක් තිබුණත්. මට හිතෙන්නේ, මිනිස්සු හැමවිටම මගෙන්, “අපිට දේශගුණික විපර්යාස විසඳන්න පුළුවන් වෙයි කියලා ඔබ බලාපොරොත්තු වෙනවද?” කියලා අහන එක, මට නම්, ඔබ නානකාමරය පිරිසිදු කරන්න බලාපොරොත්තු වෙනවද? කියලා අහනවා වගේ. ඒක මෝඩ ප්‍රශ්නයක්. ඔබ කළ යුත්තේ කුමක්දැයි දන්නවා, ගිහින් නානකාමරය පිරිසිදු කරන්න.

ටිම් කියනවා වගේ, අපට අවශ්‍ය බොහෝ විසඳුම් අප සතුව තියෙනවා. අපි දැනටමත් මේ ගමන් මාර්ගවල ඉන්නේ. අපට අවශ්‍ය වන්නේ ඒවා ප්‍රපාතයෙන් එහාට තල්ලු කිරීමයි. අපි ඒ සමාජ හැරවුම් ලක්ෂ්‍යය පසු කළ යුතුයි.

RH: අපිට මේ හැඟීම්වලට මුහුණ දෙන්න වෙනවා නේද? සමහරවිට අපි මේ ගැටලුව හරියටම ග්‍රහණය කරගෙන නැත්තේ ඒක එක හේතුවක් වෙන්න පුළුවන් – එය අපට මුහුණ දීමට නොහැකි තරම් විශාලයි.

KM: සම්පූර්ණයෙන්ම. මම මේ දේවල් ගැන දවස තිස්සේම හිතනවා, මට තවමත් ඒක හරියටම තේරෙන්නේ නැහැ. මට ඒක මගේ ඔළුවට දාගන්න බෑ. මේක මූලිකවම සෑම කාර්මික මානව ක්‍රියාකාරකමකින්ම ඇතිවන ගැටලුවක්. CO2 සහ අනෙකුත් හරිතාගාර වායු වායුගෝලයේ හොඳින් මිශ්‍ර වෙලා තියෙන නිසා, එය වචනාර්ථයෙන්ම මේ ග්‍රහලෝකයේ ජීවිතයේ සෑම අංශයකටම බලපානවා.

ඒක හරිම සැහැල්ලු සහ කළමනාකරණය කළ හැකි දෙයකට ලඝු කරන්න උත්සාහ කරන එක කරන්නම බැරි දෙයක්. මේක මොකක්ද, මේකේ තේරුම මොකක්ද, අපි මේකට මොකද කරන්නේ කියලා ඇත්තටම තේරුම් ගන්න ජීවිත කාලයක්, නැත්නම් ජීවිත කාල ගාණක් යන වැඩක්.

බොහෝ ඇමරිකානුවන් දේශගුණික විපර්යාස ගැන කනස්සල්ලෙන් ඉන්නවා, එක්සත් ජනපද රජය යමක් කළ යුතුයි කියලත් හිතනවා. නමුත් ඔබ ජනමත විමසුම් බැලුවම, බොහෝ ඇමරිකානුවන් සිතන්නේ අනෙක් ඇමරිකානුවන් එසේ නොසිතන බවයි. ඉතින් මම හිතන්නේ, ඒ නිසයි, දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් පුද්ගලයෙකුට කළ හැකි බලවත්ම දෙයක් තමයි ඒ ගැන කතා කිරීම. මොකද ඔබ ඒ ගැන කතා කරනකොට, ඔබට තේරෙනවා, සමහරවිට මම එච්චර තනි පුද්ගලයෙක් නෙවෙයි කියලා. සමහරවිට මම තනිවෙලා නැහැ කියලා.

RH: ඔබේ පොත් කියෙව්වට පස්සේ මිනිස්සු මොනවා කරනවටද ඔබ කැමති?

KM: තමන්ට, තම ප්‍රජාවට සහ තමන් කවුද යන්න නිසා තමන්ට සවන් දෙන අයට ගැලපෙන (resonate) දේශගුණික කතාන්දර පවසන ආකාරය ගැන මිනිසුන් සිතනවාට මම කැමතියි.

TL: මම බලාපොරොත්තු වෙන්නේ, කලින් ඉතා බිය උපදවන, බල රහිත තත්ත්වයක් ලෙස හැඟෙන්නට තිබූ දෙයක් තුළ, පාඨකයන් ක්‍රියා කිරීමට බලයක් ලැබුණු බවක් දැනෙනු ඇතැයි කියලයි. ඒ වෙනුවට ඔවුන්ට තමන්ට යමක් කළ හැකිය යන හැඟීම (sense of agency) දැනෙනවාට මම කැමතියි.


(මෙය New Scientist හි The World, the Universe and Us පොඩ්කාස්ට් වැඩසටහනේ එන සම්මුඛ සාකච්ඡාවක සංස්කරණය කරන ලද අනුවාදයකි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending