දැවැන්ත සමීක්ෂණයකට අනුව පිළිකා රෝගීන්ගෙන් තුනෙන් එකකට වඩා වැඩි ප්‍රමාණයක් වළක්වා ගත හැකිය. ලොව පුරා වාර්තා වන නව පිළිකා රෝගීන්ගෙන් 40%ක් පමණ වළක්වා ගත හැකි මට්ටමේ පවතින බව රටවල් 200කට ආසන්න සංඛ්‍යාවක පිළිකා වර්ග දුසිම් ගණනක් විශ්ලේෂණය කරමින් සිදු කරන ලද ප්‍රථම ගවේෂණයකින් හෙළි වී තිබේ.මෙම අධ්‍යයනයට අනුව, 2022 වසරේදී වාර්තා වූ පිළිකා රෝග විනිශ්චයන් මිලියන හතක් පමණ “වෙනස් කළ හැකි අවදානම් සාධක” (modifiable risk factors) සමඟ සම්බන්ධ වී ඇත. එනම්, රෝගය වැළඳීමේ සම්භාවිතාව අඩු කිරීම සඳහා වෙනස් කළ හැකි, පාලනය කළ හැකි හෝ කළමනාකරණය කළ හැකි පුරුදු මීට හේතු වී තිබේ. සමස්තයක් ලෙස ගත් කල, ලොව පුරා පිළිකා රෝගීන් වාර්තා වීමට ප්‍රධානතම හේතුව ලෙස දුම්කොළ භාවිතය හඳුනාගෙන ඇති අතර, ආසාදන සහ මද්‍යසාර භාවිතය පිළිවෙළින් දෙවන සහ තුන්වන ස්ථාන ගනී.
ප්‍රංශයේ ලියොන්හි පිහිටි ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිළිකා පිළිබඳ ජාත්‍යන්තර පර්යේෂණ ආයතනයේ පිළිකා වසංගත රෝග විද්‍යාඥ සහ මෙම අධ්‍යයනයේ සම-කර්තෘ හැනා ෆින්ක් පවසන්නේ, මෙවැනි අවදානම් සාධක මඟ හැරීම අනාගත පිළිකා බර අඩු කර ගත හැකි ප්‍රබලතම ක්‍රමයක් බවයි.මෙම අධ්‍යයනය අද දින Nature Medicine සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලදී.කනස්සල්ලට කරුණක් වන්නේ පිළිකාව ලොව පුරා රෝගාබාධ හා මරණ සඳහා ප්‍රධාන හේතුවක් ලෙස පවතින අතර, වත්මන් ප්‍රවණතා දිගටම පැවතුණහොත් ඉදිරි දශක කිහිපය තුළ රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කිරීමයි. මීට පෙර කරන ලද අධ්‍යයනයන් ඇස්තමේන්තු කර තිබුණේ ගෝලීය පිළිකා මරණවලින් 44%ක් පමණ වළක්වා ගත හැකි හෝ පාලනය කළ හැකි හේතු නිසා සිදුවන බවයි. කෙසේ වෙතත්, පෙර දත්ත බොහෝ දුරට අවධානය යොමු කළේ රෝගීන් සංඛ්‍යාවට වඩා මරණ සංඛ්‍යාව පිළිබඳව බව ෆින්ක් පෙන්වා දෙයි.මෙම අඩුව පිරවීම සඳහා, ෆින්ක් සහ ඇගේ සගයන් රටවල් 185ක පිළිකා වර්ග 36ක් සඳහා 2022 වසරේ ගෝලීය දත්ත පරීක්ෂා කළහ. දුම්කොළ භාවිතය, මද්‍යසාර පරිභෝජනය සහ ආසාදන වැනි පිළිකා ඇති කරන බවට තහවුරු වූ අවදානම් සාධක 30ක් මෙම අධ්‍යයනයට ඇතුළත් විය.මද්‍යසාර සහ දුම්පානය2022 වසරේදී ලොව පුරා නව පිළිකා රෝගීන් මිලියන 18.7ක් වාර්තා විය. ඉන් මිලියන 7.1ක් හෙවත් 38%ක් පමණ වළක්වා ගත හැකි හේතු මත පදනම් වූ ඒවා වේ.
- දුම්කොළ භාවිතය: වළක්වා ගත හැකි පිළිකා රෝගීන්ගෙන් 15%කට වගකිව යුතු ප්‍රධානතම සාධකයයි.
- ආසාදන: දෙවන ස්ථානය (10%).
- මද්‍යසාර: තෙවන ස්ථානය (3%).
පෙනහළු, ආමාශය සහ ගැබ්ගෙල පිළිකා, වළක්වා ගත හැකි සමස්ත පිළිකා රෝගීන්ගෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් නියෝජනය කරයි.
කාන්තාවන් අතර වාර්තා වූ නව පිළිකා රෝගීන් මිලියන 9.2න් 30%ක් පමණ වළක්වා ගත හැකි මට්ටමේ පැවතුණි. ඉන් 11%කට වඩා වැඩි ප්‍රමාණයක් මානව පැපිලෝමා වයිරසය (HPV) වැනි ආසාදන නිසා ඇති වූ ගැබ්ගෙල පිළිකා වේ. මෙවැනි රෝගීන් වැඩිපුරම වාර්තා වන්නේ උප සහරා අප්‍රිකාව වැනි අඩු සහ මධ්‍යම ආදායම් ලබන කලාපවලිනි. මේ අතර, උතුරු ඇමරිකාව සහ යුරෝපය වැනි ඉහළ ආදායම් ලබන කලාපවල කාන්තාවන් අතර පිළිකා සඳහා ප්‍රධානතම හේතුව වූයේ දුම්පානයයි.
පිරිමින් සම්බන්ධයෙන් ගත් කල, ලොව පුරා ප්‍රධානතම අවදානම් සාධකය වූයේ දුම්පානයයි. එය වළක්වා ගත හැකි පිරිමි පිළිකා රෝගීන් මිලියන 4.3න් හතරෙන් එකකට පමණ වගකියයි. අප්‍රිකාව, ආසියාව සහ දකුණු ඇමරිකාවේ ඇතැම් ප්‍රදේශවල ආසාදන දෙවන ස්ථානයට පත්ව ඇති අතර මද්‍යසාර භාවිතය ඊළඟ ස්ථානයේ පසුවේ.
ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන්හි QIMR බර්ග්හොෆර් වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛද්‍ය වසංගත රෝග විද්‍යාඥ ඩේවිඩ් වයිට්මන් පවසන්නේ, මෙම අධ්‍යයනය පිළිකා පාලන උත්සාහයන් දෙගුණ කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දෙන ඉතා වැදගත් කාර්යයක් බවයි. කලාප අතර නිවැරදි සංසන්දනයන් කිරීමට මෙම දත්ත පර්යේෂකයන්ට මහත් පිටුවහලක් වනු ඇත.
විවිධ කලාපවල පිරිමින් සහ ගැහැණුන් සඳහා බලපාන ප්‍රධාන අවදානම් සාධක මත පදනම්ව පිළිකා වැළැක්වීමේ උපාය මාර්ග සකස් කිරීමට මෙම සොයාගැනීම් යොදා ගනු ඇතැයි ෆින්ක් බලාපොරොත්තු වේ. “සියලු දෙනාටම එකම ක්‍රමවේදයක් භාවිත කළ නොහැකියි,” ඇය වැඩිදුරටත් පවසයි.
නේචර් (Nature) සඟරාවට, ජෙමා කොන්රෝයි ලියූ ලිපියක් ඇසුරෙන්





ප්‍රතිචාරයක් ලබාදෙන්න