පෘථිවිය දැන් දශකයකට සෙල්සියස් අංශක 0.35ක පමණ වේගයකින් උණුසුම් වෙමින් පවතින බව නව විශ්ලේෂණයකින් හෙළි වේ.

පසුගිය වසර කිහිපය තුළ උෂ්ණත්ව වාර්තා බිඳ වැටී ඇති බැවින්, ගෝලීය උණුසුම ඉහළ යාම වේගවත් වී තිබේද සහ එසේ නම් ඒ ඇයිද යන්න පිළිබඳව පර්යේෂකයන් ගවේෂණය කරමින් සිටී. උණුසුම් වීම ඉහළ යන වේගය වැඩි වී ඇති බවට බොහෝ විද්‍යාඥයෝ එකඟ වෙති. මෙයට ප්‍රධානතම හේතුව වන්නේ ජාත්‍යන්තර නැව්ගත කිරීම් සඳහා හඳුන්වා දුන් ඉන්ධන රෙගුලාසි හේතුවෙන් වායු දූෂණය අඩු වීමයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස සූර්යාලෝකය අභ්‍යවකාශයට පරාවර්තනය කරන සහ තාපය රඳවා ගන්නා වලාකුළු නිර්මාණය කිරීමට උදවු වන දූෂක අංශු ප්‍රමාණය වායුගෝලයේ අඩු වී ඇත. “දත්ත දෙස බැලූ සැනින් උණුසුම් වීම වේගවත් වී ඇති බව කෙනෙකුට පැහැදිලිවම පෙනෙනවා,” යැයි ජර්මනියේ පෝට්ස්ඩෑම් දේශගුණික බලපෑම් පර්යේෂණ ආයතනයේ දේශගුණ විද්‍යාඥ ස්ටෙෆාන් රහ්ම්ස්ටෝර්ෆ් (Stefan Rahmstorf) පවසයි.

රහ්ම්ස්ටෝර්ෆ් සහ මේන් ප්‍රාන්තයේ සංඛ්‍යාලේඛනඥයෙකු වන ග්‍රාන්ට් ෆොස්ටර් (Grant Foster) පවසන්නේ ගෝලීය උණුසුම දශකයකට සෙල්සියස් අංශක 0.35 ක පමණ වේගයකින් ඉහළ ගොස් ඇති බවට තමන් සතුව ප්‍රබල සාක්ෂි ඇති බවයි. මෙය පෙර ඇස්තමේන්තුවලට වඩා වේගවත් අගයකි. කාලගුණික සංසිද්ධීන් සහ ගිනිකඳු පිපිරීම් වැනි දේශගුණික උච්චාවචනයන් ඇති කරන ස්වභාවික සාධකවල බලපෑම ඉවත් කරමින් මෙම විශ්ලේෂණය සිදු කර ඇති බැවින්, මෙය වඩාත් නිවැරදි චිත්‍රයක් ලබා දෙන බව ඔවුන් පවසයි.

ස්වභාවික සාධක සැලකිල්ලට ගැනීම

2023 සහ 2024 වසරවල වාර්තාගත ඉහළ ගෝලීය උෂ්ණත්වයට දායක වූ ප්‍රබල “එල් නිනෝ” (El Niño) කාලගුණික සංසිද්ධියේ බලපෑම මෙම විශ්ලේෂණයෙන් ඉවත් කර ඇත. එම බලපෑම ඉවත් කළද, උණුසුම් වීමේ වේගය පැහැදිලිවම ඉහළ ගොස් ඇති බව රහ්ම්ස්ටෝර්ෆ් පවසයි. ඔවුන්ගේ පර්යේෂණය සඳහා නාසා (NASA) ආයතනය විසින් සපයන ලද දත්ත ඇතුළුව ලොව බහුලව භාවිතා වන දත්ත කට්ටල පහක් උපයෝගී කරගෙන ඇත.

මිනිසුන් පොසිල ඉන්ධන දහනය කිරීම සහ තාපය රඳවා ගන්නා වායූන් වායුගෝලයට මුදා හැරීම හේතුවෙන් ගෝලීය උෂ්ණත්වය ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. රහ්ම්ස්ටෝර්ෆ් පවසන පරිදි, 2030 වසර වන විට පෘථිවිය 2015 පැරිස් ගිවිසුමේ සීමාව වන සෙල්සියස් අංශක 1.5 ඉක්මවා යාමට වැඩි ඉඩක් ඇත.

සමහර විද්‍යාඥයන් පවසන්නේ වර්තමාන වේගය දශකයකට සෙල්සියස් අංශක 0.27 ක් පමණ වන බවයි. බර්ක්ලි අර්ත් (Berkeley Earth) ආයතනයේ ප්‍රධාන විද්‍යාඥ රොබට් රෝඩ් (Robert Rohde) ඇස්තමේන්තු කරන්නේ වත්මන් උණුසුම් වීමේ වේගය දශකයකට සෙල්සියස් අංශක 0.30 ක් පමණ වන බවයි. කෙසේ වෙතත්, උණුසුම් වීම වේගවත් වෙමින් පවතින බවටත්, කාබන් විමෝචනය අඩු කිරීම සඳහා කඩිනම් පියවර ගත යුතු බවටත් ලොව බොහෝ දේශගුණ විද්‍යාඥයෝ එකඟ වෙති.

ප්‍රාදේශීය උණුසුම් කලාප

ගෝලීය උණුසුම නිසා කුණාටු, ගංවතුර, නියඟය සහ වෙනත් කාලගුණික සිදුවීම් වඩාත් දරුණු වෙමින් පවතී. “World Weather Attribution” පර්යේෂණ කණ්ඩායමට අනුව, 2025 වසරේදී මෙවැනි සිදුවීම් හේතුවෙන් ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවක් අවතැන් වී ඇත.

තවත් අධ්‍යයනයකින් පෙනී යන්නේ ලෝකයේ ඇතැම් ප්‍රදේශවල ගෝලීය උණුසුම අනෙක් ප්‍රදේශවලට වඩා වේගයෙන් ඉහළ යන බවයි. කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ දේශගුණ විද්‍යාඥ ක්ලෝඩි බියුලියු (Claudie Beaulieu) පෙන්වා දෙන පරිදි, ගිනිකොනදිග චීනය සහ ගිනිකොනදිග මෙක්සිකෝව මෙවැනි ශීඝ්‍රයෙන් උණුසුම් වන “උණුසුම් කලාප” (Hotspots) ලෙස හඳුනාගෙන ඇත. චීනය සහ මෙක්සිකෝව වායු දූෂණය පාලනය කිරීමට පියවර ගෙන ඇති බැවින්, මින් පෙර උණුසුම මර්දනය කරමින් තිබූ දූෂක අංශු දැන් ඉවත් වීම මෙයට හේතුව විය හැකි බව විද්‍යාඥයෝ විශ්වාස කරති.

නේචර් සඟරාවට ඇලෙක්සැන්ඩ්‍රා විට්සෙ (Alexandra Witze) ලියූ වාර්තාවකින්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending