බළලුන් ගෘහස්ථකරණය වීමේ දීර්ඝ සහ සංකීර්ණ ගමන පිළිබඳ නව අධ්‍යයනයන් දෙකක් තොරතුරු හෙළි කරයි.
වන සතුන් ලෙස සිටි බළලුන්, ලොව පුරා මිලියන ගණනකගේ නිවෙස්වල සුවපහසු ආධිපත්‍යය දරන සුරතලුන් බවට පත්වීම දක්වා පැමිණි ගමන ඉතා දීර්ඝ එකකි. පසුගිය දා ප්‍රකාශයට පත් කරන ලද නව අධ්‍යයනයන් දෙකකින් අනාවරණය වී ඇත්තේ බළලුන් ගෘහස්ථකරණය (domestication) වීමේ මාවත විද්‍යාඥයන් මුලින් සිතුවාට වඩා බෙහෙවින් සංකීර්ණ වූ බවයි.
මින් එක් පර්යේෂණ පත්‍රිකාවක් ‘Science’ සඟරාවේ පළ වී ඇති අතර, එය උතුරු අප්‍රිකාව, යුරෝපය සහ මැද පෙරදිග පුරාණ වල් සහ ගෘහස්ථ බළලුන් පිළිබඳව අවධානය යොමු කරයි. ‘Cell Genomics’ හි පළ වූ අනෙක් අධ්‍යයනය පුරාණ චීනයේ බළලුන්ගේ ඉතිහාසය පිළිබඳව සොයා බලයි. මෙම සොයාගැනීම් එකිනෙක සසඳා බැලීමේදී පෙනී යන්නේ බළලුන් ගෘහස්ථකරණය විද්‍යාඥයන් සිතුවාට වඩා සෙමින් සහ අඩු සුමට බවකින් සිදුවූවක් බවයි.
මෙම අධ්‍යයනයන්ට සම්බන්ධ නොවූ මිසූරි විශ්ව විද්‍යාලයේ බළලුන් පිළිබඳ ජාන විද්‍යාඥ ලෙස්ලි ලයන්ස් පවසන්නේ, “ගෘහස්ථකරණය යනු ක්‍රියාවලියක්. එය එක් දිනකින් සියලුම බළලුන් ඔබේ උකුලට පැමිණීම වැනි දෙයක් නොවේ,” යනුවෙනි.
බළලුන් අපගේ නිවෙස්වලට පැමිණියේ කෙසේද යන්න තේරුම් ගැනීමට ගවේෂණය කිරීමේදී මෙම කණ්ඩායම් දෙකම මුහුණ දුන් ප්‍රධාන අභියෝගයක් වූයේ පුරාවිද්‍යාත්මක සාක්ෂිවල හිඟකමයි. බළලුන්ගේ අස්ථි ඉතා කුඩා වීම සහ බොහෝ විට කැණීම් වලදී හමුවන්නේ මිනිසුන් ආහාරයට ගන්නා සතුන්ගේ අස්ථි වීම ඊට හේතු විය හැක. එබැවින් මෙම ඉතිහාසය ගොඩනැගීම සඳහා තවදුරටත් පර්යේෂණ අවශ්‍ය වුවද, මෙම සතුන් ලෝකය ජය ගත් ආකාරය ගැන නව අවබෝධයක් මෙමගින් ලබා දෙයි.
අතීතය හාරා අවුස්සමින් ‘Cell Genomics’ පර්යේෂණ මගින් පර්යේෂකයන් උත්සාහ කළේ ගෘහස්ථ බළලුන් සහ ආසියානු වල් බළලුන් (Asian wildcats) අතර වෙනස හඳුනා ගැනීමටයි. මොවුන් ප්‍රමාණයෙන් සමාන වුවද හැසිරීමෙන් හාත්පසින්ම වෙනස් ය.
විද්‍යාඥයින් සොයා ගත් කරුණු වලට අනුව මෙම වල් බළලුන් වසර 3,500 ක් පමණ මිනිසුන් සමඟ ජීවත් වී ඇතත්, එය “අසාර්ථක වූ ගෘහස්ථකරණයක්” ලෙස පීකිං-සිංහුවා ජීව විද්‍යා මධ්‍යස්ථානයේ ජීව විද්‍යාඥ ලුවෝ ෂු-ජින් පවසයි.
ආසියානු වල් බළලුන් හෙවත් දිවි බළලුන් (Leopard cats) නැවතත් ඔවුන්ගේ ස්වභාවික වාසස්ථාන වෙත ගිය අතර, අදටත් සැඟවී ජීවත් වන අපගේ අසල්වැසියන් ලෙස පවතිනවා,” ලුවෝ සඳහන් කරයි.
ඒ වෙනුවට, සැබෑ ගෘහස්ථ බළලුන් චීනයේ ව්‍යාප්ත වී ඇත්තේ මීට වසර 1,400 කට පමණ පෙර ‘සේද මාවත’ (Silk Road) ඔස්සේ පැමිණීමෙන් පසුව බව අධ්‍යයනය යෝජනා කරයි.
මීට ප්‍රතිවිරුද්ධව, ‘Science’ සඟරාවේ පළ වූ පත්‍රිකාව යුරෝපය සහ උතුරු අප්‍රිකාව කෙරෙහි අවධානය යොමු කළේය. මෙම නව පර්යේෂණය සඳහා විද්‍යාඥයන් විසින් එම සතුන්ගේ න්‍යෂ්ටික DNA (Nuclear DNA – දෙමාපියන් දෙදෙනාගේම දායකත්වය අඩංගු ප්‍රධාන ජෙනෝමය විශ්ලේෂණය කරන ලදී.
විශේෂයෙන්ම මීට වසර දහස් ගණනකට පෙර තුර්කියේ විසූ බළලුන් පිළිබඳ නව විමර්ශනය ඉතා කුතුහලය දනවන සුළු විය. රෝමයේ ටෝර් වර්ගාටා විශ්ව විද්‍යාලයේ පුරාණ ජාන විද්‍යාඥ සහ අධ්‍යයනයේ සම කර්තෘ මාර්කෝ ඩි මාර්ටිනෝ පවසන්නේ, “පළමු වරට ඔවුන්ගේ න්‍යෂ්ටික ජෙනෝම දෙස බැලීමට ලැබීම ගැන මම ඉතා සතුටට පත් වුණා,” යනුවෙනි.
පැරණි විශ්වාසයන්ට වඩා හාත්පසින්ම වෙනස් දෙයක් මෙම නව විශ්ලේෂණයෙන් යෝජනා විය. එනම් නව ශිලා යුගයේ (Neolithic) මෙම බළලුන් සම්පූර්ණයෙන්ම වන සතුන් (pure wildcat)ව විසූ බවයි. චීනයේ සිදු කරන ලද විශ්ලේෂණයේ ප්‍රතිඵලවලට සමානවම, මෙයින්ද පෙනී යන්නේ බළලුන් ගෘහස්ථකරණය විද්‍යාඥයන් සිතුවාට වඩා ඉතා සෙමින් සිදු වූ බවයි.
“බළලා යනු සංකීර්ණ සත්ව විශේෂයක්; ඔවුන් ස්වාධීනයි,” යැයි රෝමයේ ටෝර් වර්ගාටා විශ්ව විද්‍යාලයේ ක්ලෝඩියෝ ඔටෝනි පවසයි. “ඔවුන් මිනිසුන් සමඟ පමණක් රැඳී සිටියේ නැහැ. ඔවුන් ප්‍රාදේශීය වල් බළලුන් සමඟ මිශ්‍ර වුණා.”
මෙම සොයාගැනීම් දෙකම යෝජනා කරන්නේ සැබෑ ලෙසම ගෘහස්ථකරණය වූ බළලුන් බිහිව ඇත්තේ මීට පෙර විශ්වාස කළාට වඩා බොහෝ කලකට පසුව, සමහරවිට වසර 2,000 කට පමණ පෙර බවයි. මෙම කාලරාමුව නිවැරදි නම්, එයින් ගම්‍ය වන්නේ බළලුන් මිනිස් ලෝකය තුළ කොතරම් වේගයෙන් ස්ථාපිත වී ඇත්ද යන්නත්, අපගේ මෙම සුරතල් මිතුරන් ගැන අප තව කොපමණ දේවල් ඉගෙන ගත යුතුව තිබේද යන්නත් ය.
මේගන් බාටෙල්ස් විසින් රචිත ලිපියක් ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න