ලොව පුරා කොහේ හෝ සෑම දිනකම අකුණු කුණාටු පවතින අතර හැම තත්පරයක් පාසාම අකුණු සැර 100ක් පමණ පොළොවට පාත්වේ. එසේවුවත්, අකුණු කෙටීම් ගැන අපේ දැනුම පුදුමයකට වගේ තවමත් පවතින්නේ අල්ප මට්ටමකයි. අකුණු කෙටීම කෙතරම් සුලභ දෙයක් ද කීවොත් එය අලූතෙන් කතා කිරීමට තරම් උචිත මාතෘකාවක් නෙවේ යයි සිතෙන්නට ද ඉඩ ඇත. මෙය මිනිසා මේ ලෝකයේ පහළවීමටත් පෙර සිට සිදුවන ස්වාභාවික සංසිද්ධියක් වුවත් ඒ පිළිබඳ අපේ දැනුම අල්ප වීමට හේතුව අකුණු සැර අධ්‍යයනය කිරීමේ ඇති අපහසුවයි. ඊට එක් හේතුවක්, අකුණු සැර වදින්නේ කොයිබට ද කොයි මොහොතේ ද යන්න පුරෝකතනයට හෙවත් කලින් කීමට ඇති අපහසුවයි. එහෙයින් අකුණු සැර ගැන අලූතෙන් අනාවරණය කර ගත හැකි ‘අභිරහස් ‘වල අඩුවක් නම් ඇතිවන්නේ නැත. මෙම ලිපියෙන් අප බලාපොරොත්තු වන්නේ අලූත්ම අධ්‍යයනවලින් අණාවරණය කර ගැනුණු එවැනි තොරතුරු කිහිපයක් ගැන කතාබහ කිරීමටයි.‍

අකුණු සැර පටන් ගන්නේ අභ්‍යවකාශයෙන් ද?

අකුණු සැර හට ගන්නා නිශ්චිත හේතු කාරක ගැන පර්යේෂකයන්ට තවමත් පැහැදිලි අවබෝධයක් නැතත් ඒවා පටන් ගැනෙන්නේ අභ්‍යවකාශයෙන් ද යන්න ගැන ඔවුන්ගේ අවධානය යොමුව පවතී. මේ සම්බන්ධ ප‍්‍රධාන මත (න්‍යාය) දෙකකි. ඉන් වඩාත් ප‍්‍රචලිත මතය වන්නේ කුණාටුවක් අභ්‍යන්තරයේ ඇති අයිස් හෝ ජල අංශු මගින් අකුණු සැර මුදා හැරෙන බවයි. අකුණු කුණාටුවක් මතුවී ගෙන එන අවස්ථාවේ, හිම කැට හා අයිස් වේගයෙන් පහතට ඇදෙයි. එවිට ඒවා, වායුගෝලයේ ඇති උඩට ඇදෙන උණුසුම් දියර බින්දු පොඩිති සමග ගැටේ. මෙසේ පෙරමුණු දෙක ඝට්ටනය වෙද්දී දියර බින්දු පොඩිතිවලින් වැරෙන් ඇදී යන ඉලෙක්ට්‍රෝන අයිස්වලට හා වී සිටියි. එමගින් කුණාටුවේ ඉහළ ප‍්‍රදේශයන්හි ඇති ජලය ධන වශයෙන් ද පහළ යටින් ඇති අයිස් ඍණ වශයෙන් ද  ආරෝපිත (charge) වේ.

කුණාටුවේ මතු පිටට ආසන්න වෙන්න විදුලිය ක්ෂේත‍්‍ර electrical fields වර්ධනය වේ. එනිසා කුනාටුව මතුපිටකුඩා මෝචන (discharges) ඇතිවේ. ‘‘කෙසේ හෝ මේ කුඩා මෝචන එකට එක්වී විශාල මෝචන බවට පත්වෙයි. අවසානයේ ඒවා ‘පෙරටුගාමීව’ විශාල විදුලිය පුපුරක්  ලෙස සෑදෙයි” යනුවෙන් ජෝශප් ඞ්වයර් පවසයි. ඞ්වයර් ෆ්ලොරිඩා තාක්ෂණ ආයතනයේ සේවයේ  නියුතු අකුණු  පරීක්ෂකයෙකි. මෙකී ‘‘පෙරටුගාමියා” වාතය හරහා කිලෝමීටර 360,500 ක වේගයෙන් ගමන් කරන අතර අකුණු ගැසීමේ දී උෂ්ණත්වය සෙල්සියස් අංශක 30,000ක් තරම් – ඒ කියන්නේ සූර්යයාගේ මතුපිට උෂ්ණත්වය මෙන් පස් ගුණයක් තරමට ඉහළ යන බව කාඩිෆ් සරසවියේ මෝගන්-බොට්ටි (Morgan-Botti)        අකුණු විද්‍යාගාරයේ ක‍්‍රිස් ස්ටෝන් පවසයි.

ඉදිරිපත්වී ඇති අනෙක් න්‍යාය හඳුන්වන්නේ  ‘ඉලෙක්ට්‍රෝන පලායෑමේදි සිදුවන බිඳවැටීම’ (electron runaway breakdown) යනුවෙනි. ඉන් උපකල්පනය කෙරෙන්නේ සම්පූර්ණයෙන්ම අලූත් සංසිද්ධියකි. එම මතයට අනුව  විදුලිය මෝචනයට හේතුවන්නේ අභ්‍යවකාශයෙන් එන අන්තරීක්ෂ කිරණ වශයෙන් හැඳින්වෙන අධි ශක්ති අංශුය. මේවා බොහොමයක් තාරකා පුපුරා යෑම වැනි  බලගතු සිද්ධි මගින් පුපුරා ඉවතට යන ප්‍රෝටෝනයි. අභ්‍යවකාශය හරහා ගමන් කරන්නාවූ අන්තරීක්ෂ කිරණ පෘථිවියේ ඉහළ වායුගෝලයේ වදින විට අතිශය ජවසම්පන්න අයනීකෘත අංශු වර්ෂා නිපදවේ. ආලෝකයේ වේගයට ආසන්නවෙන තුරුම ඒවායේ වේගයද වර්ධනයවේ. මේ  අංශු වර්ෂා මගින් විශාල වැහි කුණාටු වලාකුළක අකුණු මුදා මුදාහැරීම කරන අතර එය සිදුවීමට වලාකුළේ ආරම්භක විදුලි කේෂත‍්‍රය එතරම් විශාල විය යුතු ද නොවේ.

BBC Knowledge (Asia Edition) August, 2014 ඇසුරින් සකස් කළේ සරත් කැල්ලපොත

 

One response to “අකුණුසැර ගැන අපට ඇත්තේ අල්ප දැනුමක්”

  1. Hey I am not getting your mail to my normal email connection. Today I
    had to use basic HTML connection and I was surprised to see a lot of
    missed mail.

    Ashoka Jayarathne

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending