අපේ සෞර ග්‍රහ මණ්ඩලය ද ඇතුළත් ක්ෂිරපථය මන්දාකිණියේ (ගැලැක්සිය) ඇතුළත මධ්‍යයේ (හරයේ) සැලකිය යුතු ප්‍රමාණයක් දැනගැනීමට නොහැකි අඥාත පදාර්ථ (dark matter) ඇති බවට මෙතෙක් ලැබී ඇති හොඳම සාක්ෂි සොයා ගැනීමට අන්තර් ජාතික තාරකා විද්‍යාඥයන් පිරිසක් සමත් වෙති. ක්ෂිරපථය ගැලැක්සියේ පිටත ප්‍රදේශවල පමණක් නොව එහි හරය තුළද අඥාත පදාර්ථ බහුලව ඇතැයි යනුවෙන් කලක සිට ගොඩනැගී තිබූ මතය මෙම සොයා ගැනීමෙන් තහවුරු වේ. සිය විශ්ලේෂණය සඳහා පර්යේෂකයන් අඥාත පදාර්ථ පිළිබඳ විශේෂිත මොඩල යොදා ගෙන නැත. එහෙත්, වඩාත් සාධ්‍ය හා ප්‍රායෝගික වන්නේ කුමන මොඩල ද යන්න හඳුනා ගැනීම පිණිස මේ ගැලැක්සියේ හරය ගැන තවදුරටත් අධ්‍යයනය කිරීම උපකාරීවෙතැයි පර්යේෂකයෝ විශ්වාස කරති.

වායු, ධූලි, හා තාරකා ආදී දිසි පදාර්ථවල (දැකිය හැකි පදාර්ථ) ගුරුත්වාකාර්ෂණ බලයෙන් පමණක් එකට ඈදී තිබෙන විට බලාපොරොත්තු විය හැකි ප්‍රමාණයට වඩා ක්ෂීරපථය වැනි ගැලැක්සි වේගයෙන් භ්‍රමණය වන්නේය යන කාරණාව පදනම් කරගෙන විද්‍යාඥයෝ ප්‍රථමයෙන්ම අඥාත පදාර්ථවල පැවැත්ම ගම්‍ය කරගත්හ. අදිසි පදාර්ථයන්ගේ ගුරුත්වා කර්ෂණයෙන් ගැලැක්සි වස්තු එකට ඈඳී තිබෙන බව ඒ අනුව පැහැදිලිය. එහෙත්, ක්ෂිර පථයෙහි හරය තුළ අඥාත පදාර්ථ පැතිරී ඇති ආකාරය මැන බැලීම මෙතෙක් විද්‍යාඥයන්ට අපහසු කාර්යයක් වී තිබුණි. ඊට බලපෑ හේතුව වූයේ ගැලැක්සියේ හරය තුළ සාම්ප්‍රදායික පදාර්ථයන්ගේ පැතිරීමේ ගතිකයන් නිසා ඇතිවන සංකීර්ණතාව නිසා අඥාත පදාර්ථ ඇත්තේ කොයිබ දැයි නිශ්චිතව දැන ගැනීමට තාරකා විද්‍යාඥයන්ට ඇති කරන  අපහසුතාවයයි. මෙම අන්තර්ජාතික පිරිස ක්ෂිර පථය පිළිබඳ මෑතක සිදුකෙරුණු නිරීක්ෂණ ගණනාවක් එකට එක්කර ගැලැක්සියේ හරය කෙතරම් වේගයකින් භ්‍රමණය විය යුතු ද යන්න ගැන ඇති  අනාවැකි හා සංසන්දනය කර ඇත.

අනතස්තාරිය (interstellar) වායු, තාරකා චලනයන් සහ ආන්තස්තාරිය මේසරවලට (මෑතක බිහිවූ සුවිශාල තාරකා වටකොට ඇති ඝන අනුක ද්‍රව්‍යවල  චලනයන් අධ්‍යයනය කරන විද්‍යාව සඳහා  යොදා ගන්නේ මේසරය) අදාළ මිනුම් 2780ක් පර්යේෂකයන්ගේ සැලකිල්ලට ලක් කෙරිණ. අපේ ගැලැක්සියේ මධ්‍යයේ සිට Kpc ඒකක හෙවත් කිලෝ පාසික (පාසික දහසක් හෙවත් අලෝක වර්ෂ 32600 ක දුරක්) 3-20ක දුරකින් භ්‍රමණය වන  අනුපාතය ගැන මේවායින් තොරතුරු සැපයේ. වඩාත් පැහැදිලි කර ගන්නේ නම් අපේ සූර්යයා පිහිටියේ ක්ෂිර පථය මධ්‍යයේ සිට කිලෝපාසික 8ක් ඈතිනි. ඒ අතර ගැලැක්සියේ සුවිශාල දේහය කිලෝපාසික 18ක අරයක් ඇතුළත පවතී. පර්යේෂක කණ්ඩායම මෙම දත්ත එකට එක්කොට විවිධ දුර ගණනාවකින් ගලැක්සියේ කෝණික ‍ප්‍රවේගයක් සොයා ගත්හ. ඒවා, ගැලැක්සියේ අඥාත පදාර්ථ නොතිබුණි නම් එහි කෝණික ප්‍රවේගයන් ගත යුතු අගයන් සමග අනතුරුව සංසන්දනය කෙරිණ. මෙය අසීරු කාරණයක් වන්නේ, පෘථිවියේ ජීවත් වන අපද ගැලැක්සිය තුළ සිට එය සමග භ්‍රමණය වන හෙයිනි. මේ නිසා අනෙක් වස්තුන්ගේ දුර හා වෘත්ත චලිතය තීරණය කිරීම දුෂ්කර වේ. ‘ක්ෂිරපථය ගැලැක්සිය තුළ තාරකාවල නිශ්චිත පැතිරීම ගැන සඳහන් ලේඛනවල පූර්ණ එකඟතාවක් ඇත්තේ නැතැ’ යි පර්යේෂක කණ්ඩායමේ ෆේබියෝ ඉසෝකෝ ප්‍රකාශ කරයි. ක්ෂිර පථය ගැලැක්සිය ගැන අධ්‍යයනයේ යෙදෙන බොහෝ පර්යේෂකයන් තමන්ට අභිමත දෘශ්‍යමාන පදාර්ථයන්ගේ රූප අධ්‍යයන විද්‍යාත්මක මොඩල තෝරා ගන්නා බව ඉසොකෝ පෙන්වා දෙයි.  මෙම පර්යේෂක කණ්ඩායම, කෙසේ වෙතත්, සිය අධ්‍යයනයේදී ලේඛන ගත පිළිගත හැකි මොඩල සියල්ලම සැලකිල්ලට ගත්හ. අඥාත පදාර්ථ නොමැති නම් තාරකාවල මෙම පැතිරීම පුරෝකථනය කළ හැකි භ්‍රමණ චක්‍රය ගණන් බැලීමට ඔවුන් විසින් එම මොඩල යොදා ගනු ලැබීය. එහෙත් ඉන් එකක්වත් නිරීක්ෂණය කරන ලද භ්‍රමණ චක්‍රය හා පෑහුනේ නැතැයි ඉසෝකෝ කියයි. එයින් ගම්‍ය වන්නේ, ගැලැක්සියේ ඇතැයි තාර්කිකව නිගමනයට එළැඹිය හැකි සමස්ථ ස්කන්ධය සමග මෙකී මොඩලවලින් විස්තරවන තාරකා වස්තු පැතිරීම නොගැලපේය යන්නයි. එසේ නම් ව්‍යප්ත වූ ස්කන්ධයක් තිබිය යුතුය.

කිලෝපාසික 3-20 අතර වූ විවිධ අර ( radii  ) ගණනාවකදී නිරීක්ෂිත හා සෛධාන්තික භ්‍රමණ චක්‍ර අතර වෙනස් කම් පර්යේෂක කණ්ඩායම විසින් ගණනය කර බලන ලදි. කිලෝ පාසික 3 කදී සංඛ්‍යාලේඛණාත්මක වැදගත්කම සාපේක්ෂ අඩු අගයක් ගත්ත ද කිලෝ පාසික 6-7 ට ඔබ්බෙන් එය ඒකක 5σ නමින් හැඳින්වෙන ප්‍ර‍මාණය ඉක්මවා ඉහළ නගිමින් සෑම අරයකදීම වෙනස්කම් දක්නට ලැබී ඇත. මෙම ඒකක 5σ සංඛ්‍යාව, අංශු භෞතික විද්‍යාවේ නව සොයාගැනීමක් සලකුණු කරයි.

 

Physics World – the member magazine of the Institute of Physics ලිපිය ඇසුරෙනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending