ඔබට ඔබේ බුද්ධි ඵලය වර්ධනය කළ හැකිද?
බුද්ධිය ප්‍රමාණකරණය කවදත් පහසු කාර්යයක් ලෙස සැලකුනේ නැත. විශේෂයෙන්ම, මොළයේ විශාල පදාර්ශයන් බුද්ධියට අදාල වන බවක් පෙනී යාම සහ එහෙයින් පැහැදිලිවම වාගේ එය එක් තනි දෙයක් නොවන බව පෙනී යාම හේතුවෙනි. එහෙත් එය එසේ ව වුවද විවිධ වර්ගයේ බුද්ධි ඵල පරීක්ෂණ(IQ tests) ගණනාවක ලකුණු පෙන්නුම් කරන්නේ එක් වර්ගයක පරික්ෂණයකදී සුවිශේෂී දක්ෂතා හෝ අදක්ෂතා හෝ දක්වන අය අනෙකුත් වර්ගවල බුද්ධිඵල පරීක්ෂණවලදී ද, ඒ ආකාරයටම දක්ෂතා හෝ අදක්ෂතා හෝ දක්වන බවයි. මෙය තනි පොදු බුද්ධි සාධකයකට, එනම් g තුළට කාවැද්දිය හැකිය. එය, ශාස්ත්‍රාලීය සාර්ථකත්වයට, ඉහළ ආදායමකට සහ යහපත් සෞඛ්‍යයට මගපෑදීමට සලසන බුද්ධිය සමග මැනවින් සහසම්බන්ධ වේ.
එහෙයින් බුද්ධිය වැඩිවීම පැහැදිලිවම යහපත් දෙයකි. ඉතින්, අපට එය වැඩි වැඩියෙන් ලබා ගැනීමේ හැකියාවක් තිබේද?
ප්‍රථමයෙන්ම, අසුබ ආරංචිය දක්වමු. පුළුල්ව සලකා බලන විට ඔබේ බුද්ධිය ඔබ උපතින්ම උරුමකරගනු ලැබූ ජාන මගින් තීරණය කරනු ලැබ ඇත. නිවුන්නන්(twins) විශාල සංඛ්‍යාවක් සම්බන්ධව කරන ලද අධ්‍යයන පෙන්නුම් කරන්නේ, වෙන වෙනම ඇති දැඩි කළ සර්වසම නිවුන්නන්ගේ(identical twins) IQ ලකුණු, එකට ඇති දැඩි කළ සර්වසම නොවන නිවුනන්න්ගේ IQ ලකුණුවලට වඩාත් සමාන බවක්ය . වෙනත් වචනවලින් කියතොත්, පොදු ජාන, පොදු පරිසරයන්ට වඩා වැඩි බලපෑමක් ඇති කරයි. ඉන් හැඟෙන්නේ ඇති දැඩි කිරීමට(nurture) වඩා ස්වභාවධර්මය(nature) වැදගත් බවයි.
එහෙත් වටපිටාව, අඩුතරමින් ළමා වියේදීවත්, කිසිම කාර්යයක් ඉටු නොකරන බවක් මින් නොහැඟේ. මොළය මෝරමින් සිටිනා වකවානුව තුළ පෝෂණයේ සිට අධ්‍යාපන හා උත්තේජනය දක්වා වූ සෑම දෙයක්ම බුද්ධිමය චින්තනය සඳහා අවශ්‍ය ව්‍යුහයන් ගොඩනැගීමෙහිලා විශාල කාර්ය භාරයක් ඉටු කරයි. යහපත් පෝෂණයක් නොලබන එමෙන්ම අධ්‍යාපනය හරිහැටි නොලබන ළමයි ජානමය විභවයෙන් නිසි ඵල ලබානොගනිති.
කෙසෙවෙතත්, මනා පෝෂණයක් හා අධ්‍යාපනයක් ලබන ළමුන් අතරේ වුවද වටාපිටාවේ බලපෑම කාලයක් සමග හීන වී යයි. යොවුන් ළමයින් තුළ බුද්ධිමය මැනීමේ ලකුණු අතරේ දැකිය හැකි වෙනස්කම්වලින්(විචලනයන්ගෙන්) සියයට 30 ක් සඳහා වගකියන්නේ ජාන ය. යොවුන් වැඩිහිටි තත්ත්වයට පත්වන විට එම ප්‍රතිශතය 60 සිට 80 දක්වා ඉහළ නගී. වෙන වෙනම ඇති දැඩි වූ සර්වසම වැඩිහිටි නිවුන්නු IQ පරීක්ෂණවල දී එක සමානම වාගේ ලකුණු ලබා ගනිති. එකම කුටුම්භයක වසන දරුකමට හදාවඩාගත් අයගේ IQ පරීක්ෂණවලදී කාර්ය සාධනයෙහි වෙනස නන්නාඳුනන අයගේ මෙනි. මෙහිදී එළඹිය හැකි නිගමනය වන්නේ බුද්ධිය පෝෂණය කිරීමෙහිලා, (සුවිශේෂව අමානුෂික පරිසරයක් නොවේ නම්) පවුල් වටාපිටාවන් බොහොමයක් එක ලෙස ඵලදායි වේ — තරුණ වැඩිහිටියන්ගේ බුද්ධි ඵලය ඔවුන් ඇති දැඩිවන්නේ කොයිබද යන්න නොතකා එක සමාන වනු ඇත.
උපරිම සංජානන හැකියාව
ඉතින් මේ විදිහට ජාන විශාල කාර්ය භාරයක් ඉටු කරන්නේ නම් වැඩිහිටියන්ට තමන්ගේ බුද්ධි ඵලය වැඩිකර ගැනීමෙහිලා කළ හැකි යමක් වේද? කටයුතු යෙදී ඇති ආකාරයට නම් එතරම් දෙයක් කළ නොහැක. අනෙක් අතට කළ හැකි දෙයක් නැත්තේම ද නොවේ. මෙහිදී මතක තබා ගත යුතු කාරණය වන්නේ IQ පරීක්ෂණ සැලසුම් කර ඇත්තේ අපගේ උපරිම සංජානන හැකියාව මැනීම සඳහාය. අප එදිනෙදා ජීවිතයේ දී එපමණ මට්ටමකින් ක්‍රියාකළොත්, එසේ ක්‍රියාකරන්නේ බොහොමත්ම කලාතුරකිනි. නින්ද නොමැතිකම, ආතතිය(stress), කුසගින්න, ලෙඩ රෝග සහ (මත්පැන් පානය නිසාවෙන් ඇතිවන) හිසරදය(hangover) යන මේ සියල්ල, බුද්ධියද ඇතුළුව අපගේ සංජානන මෙවලම් සියල්ල මොට කර දමයි. ඉතින් ඔබගේ බුද්ධි ඵලය උපරිමයට ගෙන ඒම සඳහා හොඳම මග ඒවා මග හරවා ගැනීමයි.
දිගු කාලයේදී මොළබලය රැකගැනීම ද අවශ්‍ය වේ. නිදන්ගත අසනීප, මද්‍යසාර අවභාවිතය, දුම්පානය සහ හිසට ඇතිවන අනතුරු මගින් රාශීභූත (එකට එකතුවන) හානි පැමිණේ. එහෙත් එවැනි හානි වළක්වා ගත හැකිය.
සංජානන ක්‍රියාකාරිත්වයට ඇතිවන හානි මන්දගාමී කිරීමේ හෝ ආපස්සට හැරවීමේ ක්‍රියාකාරී ක්‍රමද පවතී. මෙතෙක් සොයාගෙන ඇති වඩාත් ඵලදායී ක්‍රමයවන්නේ ශාරිරික අභ්‍යාසයයි. ශාරිරික අභ්‍යාස, හෘද්වාහිනී හෙවත් හෘත්සනාල සෞඛ්‍යය(cardiovascular health) ආරක්ෂා කිරීමෙන් මොළයට සිදුවන හානි වළකාලයි. ‘සෞඛ්‍ය සම්පන්න සිරුරක් යනු සෞඛ්‍යසම්පන්න මනසක්’ යන්න සුලබ යෙදුමක් විය හැකියි. එහෙත් එය සුලබ වන්නේ එය සැබෑවක් නිසාවෙනි. එසේ වුවද, බුද්ධි ඵලය වැඩිකිරීම සඳහා වූ මොළ පුහුණුව ලෙස බොහෝ විට හුවා දක්වනු ලැබුව ද මානසික අභ්‍යාස මගින් වර්ධනය වනු ලබන්නේ අභ්‍යාසයට (පුහුණුවට) ලක් කෙරෙන සුවිශේෂී කුසලතාව පමණකි. එපමණක් ද නොව එසේ වර්ධනය වනු ලබන කුසලතාව මොළ පුහුණුව වැඩ සටහනින් බාහිර කාර්යකට යොදා ගැනීමට හැකිද යන්න ගැන සාක්ෂි විරලය.
ක්ෂණික විසඳුමක්
මත්ද්‍රව්‍ය මගින් තවත් ක්ෂණික විසඳුමක් මගින් සැපයේ. කැෆේන් සහ නිකටින් යන දෙකම, සාවධානබව(alertness) කෙටි කාලඡේද තුළ වර්ධනය කරන අතර කෙනෙකුගේ උපරිම කාර්ය සාධන මට්ටමට ආසන්නයට ක්‍රියාකාරීවීමට උදව්විය හැකි වීමට පුළුවන. වෙනත් කාරණා සඳහා සැලසුම් කරන ඖෂධ (බෙහෙත්), ‘බුහුටි බෙහෙත්‘ ලෙස පුළුල් ලෙස යොදා ගැනේ.
ස්මරණය සහ ඒකාග්‍රතාව වර්ධනය පිණිස Ritalin සහ Adderall ඖෂධ බහුලව යොදා ගන්නා බව විශ්වවිද්‍යාල සිසුන් අතර සමීක්ෂණ බොහෝ විට වාර්තා කරයි. මේ දෙකම අවධානය හීන අධික්‍රියාකාරිත්ව ආබාධය (attention-deficit hyperactivity disorder –ADHD) යන්නට ප්‍රතිකාර කිරීමට යොදා ගැනේ.
තවත් එවැනි ජනප්‍රිය ඖෂධයක් වන්නේ modafinil ය. මෙය, (හදිසියේ දැඩි නින්දට වැටෙන ආබධයක් වන) නිද්‍රාලුව(narcolepsy) ඇතුළු නින්ද සම්බන්ධ ආබාධ සඳහා ප්‍රතිකාර කිරීමට යොදා ගන්නක් වුවද එයට මහන්සි ගතිය අඩුකිරීමටද අවධානය රඳවා තබා ගැනීමටද හැකියාව ඇත. කෙසේ වෙතත් එවැනි ඖෂධ බුද්ධිය වැඩිකරන්නේ නැත. ඒවායින් තර කෙරෙන්නේ ස්මරණය හෝ සාවධාන බව වැනි සංජානනයේ ඇතැම් අංග පමණි. එහෙත් බොහෝ දෙනෙකු, අතුරුඵල ලෙස ඇති විය හැකි අවදානම් දැරීමට හෝ නෛතික අනුමැතිය ලබා ගැනීමට හෝ අකමැතිය.
ස්වභාවික මොළ වර්ධකයන් ලෙස ‘සුපිරි ආහාර’ ජනප්‍රියවීම ද එමගින් පැහැදිලි කළ හැක. නිල් බදරිය, සැමන්, අලිගැට පේර, කිරි රහිත චොක්ලට්(dark chocolate) ආදී සුපිරි ආහාර ආරක්ෂාකාරී යයි සලකුණත්. එතරම් ඵලදයී නොවන්නට පුළුවන. ඒවා ප්‍රයෝජනවත බවක් පෙනී යන්නේ නම් ඒ, ශරීරයේ සාමාන්‍ය සෞඛ්‍යය ප්‍රවර්ධනය වීම හේතුවෙනි.
සමහරු පාරකපාල සරල ධාරා උත්තේජනය (transcranial direct current stimulation — tDCS) පවා අත්හදා බලති. මෙහිදී සිදුකරන්නේ මොළය හරහා දුර්වල විද්‍යුත් ධාරාවක් යැවීමෙන් ක්‍රියාකාරි ස්මරණය, මනෝමය ගණිතය. නිරමාණශීලිත්වය වැනි සුවිවිශේෂී ක්‍රියාකාරකම් වර්ධනයයි. මේ සඳහා ඇති උපකරණ මිල අඩුය. එහෙත් සාර්ථකත්වය ගැන පරස්පර කියාපෑම් වාර්තා වේ.
ජීවිතය පුරාවට වර්ධනය වන එක් වර්ගයක බුද්ධියක් පවතී යන්න සුබ ආරංචියයි. තර්කනයට, උගෙනීමට හා රටා හඳුනාගැනීමට ඇති හැකියාව මැනීම සිදුකරන අස්ථිර බුද්ධිය (fluid intelligence) සහ ජීවිතය පුරාවට අත්පත් කරගන්නා අපේ සමස්ත දැනුම් සහ අත්දැකීම් සම්භාරය වන පළිඟුපේන බුද්ධිය (crystallised intelligence) අතර වෙනස වැඩි පර්ය්ෂක පිරිසක් පෙන්වා දෙති. අස්ථිර බුද්ධිය වයසට යාම සමග මන්දගාමී වන අතර පළිඟුපේන බුද්ධිය දිගටම වැඩිවෙයි. ඉතින් වයසට යද්දී අනෙක් කාරණාවලදී මදක් මන්දගාමී බවක් පෙන්නුවද උත්සාහයක් නොදරාම අපි දිනෙන් දිනම දක්ෂ බවට පත්වන්නෙමු.
සමහරුන්ට වඩාත් හොඳ මොළ පිහිටලා තියනවාද?
1955 දී පැවැත්වූ අයින්ස්ටයින්ගේ ශවපරීක්ෂණයේ දී(autopsy), ඔහුගේ මොළය යම් ආකාරයක අවප්‍රාප්තියක්() බවට පත්වුණා: ඔහුගේ මොළය විශාල වෙතැයි කවුරුත් හිතුවත් පරීක්ෂාවේ දී හෙළි වුණේ අයින්ස්ටයින්ගේ මොළය සාමාන්‍යයට වඩා මදක් කුඩා බවයි. ඇත්තවශයෙන්ම, අධ්‍යයන හඟවන්නේ මොළයෙහි ප්‍රමානය සහ බුද්ධිය අතර ඇත්තේ අවම සම්බන්ධයක් බවයි. පෙණි යන අන්දමට වඩාත් වැදගත් වන්නේ ප්‍රමාණය නොව ගුණත්වයයි.
එක් වැදගත් සාධකයක් වන්නේ, අපේ නියුරෝන එකිනෙක හා කොපමණ හොඳින් කතා බහේ යෙදෙන්නේ ද යන්නයි. වඩාත් බුද්ධිමත් අයගේ මොළ තුල වඩාත් කාර්යක්ෂම නියුරෝන පද්ධති ඇති බවක් පෙණේ.
තවත් වැදගත් සාධකයක් වන්නේ, නියුරෝන තන්තු ආවරණය කරන පරිවරණ මේදමය කොපුව හෙවත් වැස්ම වන myelin ය. හොඳින් පරිවරණය කරනු ලැබූ විට ස්නායු ආවේග වේගයෙන් ගමන් කරයි.
THE BRAIN – A User’s Guide (New Scientist Publication 2018)නම් ග්‍රන්ථයේ INTELLIGENCE නම් වන තුන්වැනි පරිච්ඡේදයෙහි Can you boost your IQ? යන කොටස ඇසුරෙනි