ළමා මානසික පීඩනය වලක්වා ගනිමු
ළමා මානසික පීඩනය බොහෝ විට දුර්බෝධ මානසික කම්පන තත්ත්වයකි. වර්ධනය වෙමින් සිටින ළමයාගේ මොළයට මෙයින් වන හානිය හේතුවෙන් දිගුකාලීන ඉගෙනුම් අපහසුතා, ගැටලු සහගත චර්යාවන්, ශාරීරික සහ මානසික සෞඛ්‍යය ගැටලු ඇතිවීමේ අවස්ථා ඉහළ යාම ආදී වශයෙන් දරුවකු ලොකු මහත් වීමේ දී නොසිදුවිය යුතු අන්දමේ බලපෑම් ඇති වේ. අප මීට පෙර ලිපියේ ද ඒ ගැන කතා කළෙමු. ඒ අනුව චෛතසික අප යෙදුම හෙවත් අපචාරය ළමයකුට හිංසා කිරීමේ වඩාත් ම හානිකර ස්වරූපය විය හැකිය. මන්ද, එය චෛතසික සහ ශාරීරික සෞඛ්යය කෙරෙහි පමණක් නොව ඔවුන්ගේ සමාජ හා ඥාන සංවර්ධනයට බලපාන හෙයිනි.
මේ නිසාවෙන් සමාජයක් ලෙස ළමා මානසික පීඩනය වලක්වා ගැනීම වෙනුවෙන් අපගේ සාමූහික වගකීමක් ඇත. මෙය මනාව ඉටු කරගැනීමට නම් අප ළමයින්ගෙ වර්ධනය සෞඛ්යය සහ ආරක්ෂාව නංවන සේවාවන් සහ පිළිවෙත් ආරම්භ කිරීමටත් ඒවාට සක්‍රීයව සහයෝගය දීමටත් ක්රියා කළ යුතුය. එමෙන්ම ළමුන්ගේ හා ඔවුන්ගේ පවුල් වල මූලික අවශ්යතා සපුරාලන ප්රතිපත්ති හා වැඩසටහන් ක්රියාත්මක කරන ලෙස නිර්තිසම්පාදකයන්ට සහ සෙසු වගකිවයුතු අංශවලට බලකර සිටිය යුතු වේ.
තවද, එවැනි ක්‍රියාමාර්ග වලින් ලැබෙන යහපත්, ඵලදායී ප්‍රතිඵල තවත් ඉහල නැංවීමට හැකි වන පරිදි පර්යේෂණ පුහුණු සහ මහජන අධ්‍යාපනික වැඩසටහන් ක්‍රියාවට නැංවීම වෙනුවෙන් පෙනී සිටිය යුතුය. මොන විදිහට මොන හැඩය හෝ මොන ස්වරූපයක වත් එමෙන්ම මොනම හේතුවක් නිසාවෙන් වත් කිසිම ළමයකු, කිසිම අපයෙදුමට ලක්විය යුතු නොවෙයි. වෙනදාට වඩා මේ ප්‍රශ්නය ගැන අවබෝධය සමාජය තුළ යම් පමණකට ඉහළ ගොස් ඇත ද එය ප්‍රමාණවත් මට්ටමකට පැමිණ ඇතැයි කිව නොහේ. එහෙයින් මහජන දැනුවත් කිරීමේ වැඩසටහන් වෙනුවෙන් ප්‍රමාණවත් ආයෝජනයක් සමස්ත සමාජය කළ යුතු වන අතර ළමා මානසික පීඩනය වළක්වාගනු වස් පුද්ගලයන් වශයෙන් සහ සමාජය වශයෙන් ඉටු කළ හැකි කාර්ය භාරයන් හඳුනා ගනීමෙහිලා ජනතාවට උපකාර කල යුතුවේ. මෙවැනි සවිබල ගැන්වීම් සමාජය තුල උපකාරක ප්‍රජාවන් බිහි කිරීමට මග පාදනු ඇත.
සමාජයක බොහෝ ළමුන්ට දෙමාපිය, වැඩිහිටි ආදීන්ගේ ආදරය කරුණාව හා ඇප උපකාර ඇතිව සිය ළමා කාලය ගත කිරීමේ අවස්ථාව ඇතත් අවාසනාවන්ත ලෙස තවත් විශාල පිරිසක් ළමා මානසික පීඩනයට ගොදුරු වෙති. බොහෝ දෙමවුපියන් හිතාමතා දරුවා පීඩනයට ලක් කරන්නේ නම් ඒ කලාතුරකිනි. එහෙත් ඔවුන්ගේ සිතේ පාලනය බිදුනු විට ළමයා පීඩනයට පත් කොට පසුව තමන්ම මහත්සේ පශ්චාත්තාපයට පත්ව පීඩා විඳිති. එවැනි දෙමවුපිය, වැඩිහිටි ආදීන්ට ඉහත උපකාරක සේවාවන්ගේ සේවාවන් පහසුවෙන් ලබා ගැනීමට ඉඩකඩ සලසා දිය යුතුය. ආදර බර කරුණාබර දෙමාපිය වැඩිහිටි ආදීන්ගේ සිතෙහි පාලනය බිඳී යාමෙන් සිදුවන විපාකයන් පිටුදැකීමට මෙවැනි සේවාවන් පිටිවහලක් වේ.
බොහෝ සමාජවල තරුණ පිරිසට ඇත්තේ විවාහ දිවිය සහ දරු සැපත ගැන සොඳුරු සිහිනයන්ය. මෙය බෙහෙවින් ස්වභාවිකය. එහෙත් ඔවුන් බොහෝදෙනෙකුට, පවුල් දිවියේ වගකීම හා යථාර්තයන් ගැන ඇත්තේ අල්ප මාත්‍ර දනුමකි. එවැන්නන්හට මාර්ගෝප සේවාවන් සපයන යාන්ත්‍රණ හො ආයතන ද බොහෝ විට හිඟය. පවුල් ජීවිතයට ඇතුළත් වීමට පෙර(හෝ එසේ නොවේ නම් අඩුම තරමින් ඇතුලුවත්වන අලුතම) පාහේ දරුවන් හදා වඩා ගැනීම හෙවත් දෙමව්පියකරණය(parenting) ගැන වැටහීමක් සහ මනා අවබෝධයක් ලබාදීම ඉවත නොදැමිය හැකි සමාජ වගකීමකි. පවුල් ජීවිතය ගත කරමින් ළමයින් හදාවඩා ගැනීමේ වගකීම හා බරපතළකම ගැන මෙහිදී ඔවුනට වැටහීමක් ලැබෙන අතර එහිදී ඇතිවන පීඩනය, මානසික ආතතිය, කාංසාව, දරා ගැනීමේ හැකියාව වර්ධනය කර ගැනීමට උගත යුතුය. මෙය ළමා මානසික හිංසනය අඩුකර ගැනීමට බෙහෙවින් බලපාන්නක් විය හැකියි.
ළමයි හදා වඩා ගැනීමේ වගකීම පවුලේ එක් සාමාජිකයෙකුට හෝ දෙදෙනකුට (සාමාන්‍යයෙන් දෙමාපියන් හෝ වැඩිහිටි සහෝදර හා ඥාතීන්) පමණක් නොපවරා කවුරුත් පවුලක් හැටියට එක්ව එකිනෙකාට උදව් උපකාර කරන්නේ නම් ළමා මානසික හිංසනය අවම කරගත හැක. එහෙත්, (තනිව දැරිය නොහකි මට්ටමක බරක් තනිව දරාගැනීමට යමෙන් පීඩිතවන එවැන්නන් අතින්) බොහෝවිට සිදුවන්නේ මේ වගකීම හා යුතුකම පැහැර හැර සියල්ලන් එකතුව ළමයා අපහසුවට පත් කිරීම හා සාමූහිකව හිංසනයට ලක් කිරීමයි. නැතිනම් එකිනෙකාට ඇඟිල්ල දිගු කර ගනිමින් ළමයා මුල්කරගෙන අඩ දබර කර ගැනීමයි. මේ අවස්ථා දෙකේ දී ම දරුවා දරුණු මානසික පීඩනයට ලක්වේ.
වර්තමාන සමාජයේ වැඩිහිටි බොහෝ දෙනා ගෙවන කාර්යබහුල, වෙහෙසකර ජීවිතය නිසා බොහෝ පවුල්වල (වත්පොහොසත්කම් වලින් අඩුවක් නැති පවුල් වල පවා) සාමාජිකයන්ට ළමයාගේ ශාරීරික, මානසික, ලිංගික, සෞඛ්‍යය, අධ්‍යාපනය, හා සමාජමය අවශ්‍යතා හරි හැටි සොයා බැලීමට ඇති අවස්ථා අඩු වී ඇති බවක් බැලූ බැල්මට පෙනී යයි. ‘කෝ අනේ ඕවට වෙලාවක්’ යන්න මේ ගැන නිතර ඇසෙන කතාවකි. එහෙත් නිසි ලෙස කාලය කළමනාකරණය කිරීමෙන් සහ පවුල් සංවිධාන ව්‍යුහය විධිමත් කිරීමෙන් මේ සඳහා සහයක් සපයාගත හැකිය. මන්ද, වෙන මොන හේතුවක් නිසාවත් ළමයාගේ අවශ්‍යතා ඉවත නොදැමිය හැකි හෙයිනි.
දෙමව්පිය වැඩිහිටි ආදීන් මත්පැන් මත්ද්‍රව්‍ය හෝ වෙනත් දුරාචාරයන්ට ඇබ්බැහිවී ඇත්නම් ළමයාගේ අනාගතය ගැන සලකා යම් උපදේශක සේවාවකට යොමුවී ඒවා මගහරවා ගැනීමට ක්‍රියා කළ යුතුය. දෙමව්පියන් වැඩිහිටියන් චිත්තාවේගයෙන් දරුවාට හදිසියේ බැණ වැදුණත් වහාම කරුණාව දක්වා ළමයා ක්ෂමා කරවා ගන්න. එවැනි ක්‍රියා දරුවාගේ විශ්වාස සහ ගොඩනැගීමට උපකාරී වනු ඇත.
යම් වැරැද්දක් ළමයා අතින් සිදු වූ විට එය මගහරවා ගැනීම පිණිස කාරුණිකව මගපෙන්වීම මිස ‘බත් ගිල ගිල ඉන්න තඩියා’, ‘කිසි වැදගත්කමකට නැති එකෙක්’, ‘අපේ හත්මුතු පරම්පරාවක මේ වගේ එකෙක් නෑ‘ යනාදී වශයෙන් ළමයින්ට පරිභව කිරීමෙන් වලකින්න. ළමයාට නිතර නිසි ගෞරවය ලබා දෙන්න. එය ළමයාගේ මානසික ශක්තිය වර්ධනයට බලපානු ඇත. පසුකලෙක ඔහු සමාජයේ ගෞරවයට පාත්‍ර වෙන්නේ ඔබ ලබාදෙන මෙම වටිනාකම නිසයි.
මානසික සහ ශාරීරික හිංසනයට ලක් නොවී, නින්දා පරිභව නොලැබ, ආදරය, කරුණාව පිරි පැරිසයක හැදී වැඩී මානසිකව ශක්තිමත් වන දරුවෙකු අනාගතයේ දී තම පවුලටත්, මුලු මහත් සමාජයටත් කෙතරම් වැඩ දායක වනු ඇත් ද?
දෙමා පියන්ට සහ දරුවන්ට වැදගත්වන උපදෙස් කිහිපියක් දැන කෙටියෙන් ඉදිරිපත් කරමු:
නිශ්චිත වරදකට නිශ්චිත විනය මාර්ගයක් ගන්නා අතරම එවැන්නක් අවශ්‍යවුයේ මන්දැයි කාරුණිකව ළමයාට පැහැදිලි කර දෙන්න. ප්‍රශංසා කිරීමෙන් හා නිසි ඇගැයීමට ලක් කිරීමෙන් ළමයාගේ යහපත් පුරුදු හා හැසිරීම් නිතර ධෛර්යවත් කරන්න. ප්‍රධානම කාරණාව වන්නේ ඔබේ කේන්තිය පාලනය කර ගැනීමයි.
- ළමුන්ගේ පැත්තෙන් ගත් විට ඔබ නිතර කිසිවකුගේ අතවරයකට, හිංසාවට පත් වන්නේනම් වෙනත් වැඩිහිටියනට හා පවුලේ හිතවතුන්ට නොබියව, නොවළහා දන්වා සිටින්න. තවත් දඩුවමට ලක් වේ යයි බියෙන් වරද සඟවාගෙන පීඩාවට පත්වීම ඔබටම කරගන්නා හානියකි.
අනෙක් අතට පවුලේ තත්ත්වය අනුව ගෙදර දොරේ කටයුතු වලට හැකි අයුරින් උදව් වීමෙන්, බාල සොයුරු සොයුරියන් ගැන සොයා බැලීමෙන්, වැඩිහිටියන් පීඩාවට පත්වන අන්දමේ ක්‍රියාවන්ගෙන් වැළකී සිටීමෙන් වැඩිහිටියන්ගේ ආතතිය පහත දමා ඔවුන් කෝපයෙන් හැසිරීම වලක්වා ගැනීමට ආධාර විය හැකිය. එය පවුලේ සාමයට මෙන්ම ඔබගේ මානසික සුවයට ද හේතු වේ.
eschooltoday හි පළවන Your basic guide to emotional child abuse ලිපියෙහි Effects of emotional child abuse යන කොටස ඇසුරෙනි අතිරේක කරුණු Prevent Child Abuse America(2019) වෙබ් අඩවියේ Preventing Emotional Abuse යන ලිපිය ඇසුරෙනි