පාඩම් කිරීම වෙනුවට තේරුම් ගැනීමට මුල්තැන දෙන්නේ කෙසේද යනුවෙන් රිචඩ් ෆයින්මන් කළ වීඩියෝවක සිංහල පරිවර්තනය අප මීටපෙර ඉදිරිපත් කළා. පහත පළ වන්නේ ‘ප්‍රශ්නය අවධානය පවත්වා ගැනීමට නොහැකිවීම නොව බලෙන් අවධානය යොමු කිරීමට තැත් කිරීමයි’ යනුවෙන් ඉගෙන ගන්නා ශිල්පක්‍රම ගැන කතාකරන ෆයින්මන්ගේ ඊ ළඟ වීඩියෝ වේ සිංහල පරිවර්තනය මෙසේයි.
“හිතලා බලන්න, ඇත්තටම ප්‍රශ්නෙ ඔයාට අවධානය යොමු කරන්න (focus) බැරි එක නෙවෙයි නම්? ප්‍රශ්නෙ තියෙන්නේ ඔයා ඒක කරන්න උත්සාහ කරන විදිය වැරදි නම්?
ගොඩක් අය අවධානය යොමු කරන එක දිහා බලන්නේ හරියට යුද්ධයක් දිහා බලනවා වගේ. එයාලා වාඩි වෙලා, කරන වැඩේ දිහා රවාගෙන බලන් ඉඳලා, හිතේ හයියෙන් විතරක් බලහත්කාරයෙන් අවධානය ගන්න උත්සාහ කරනවා. ඉතින් හිත වෙනස් වෙනකොට, එයාලට කේන්ති යනවා, ඊට පස්සේ තව තදින් උත්සාහ කරනවා. මේක හරිම වෙහෙසකරයි. ඒ වගේම, මේකෙන් වැඩක් වෙන්නෙත් නෑ.
අපේ මොළේ වැඩ කරන්නේ බලහත්කාරයට නෙවෙයි, එතන තියෙන වාතාවරණයට (conditions) අනුව. ඔයාට මතකද අන්තිම වතාවට ඔයා වැඩක සම්පූර්ණයෙන්ම ගිලිලා හිටපු වෙලාව? සමහර විට පොතක් කියව කියව ඉද්දි පැය ගාණක් ගියා දැනුනෙවත් නැතුව ඇති. එහෙම නැත්නම් ප්‍රශ්නයක් විසඳ විසඳ ඉද්දි කන්න බොන්නත් අමතක වෙන්න ඇති. අන්න ඒ තත්ත්වය ඇති වුණේ බලහත්කාරයෙන් නෙවෙයිනේ. එතන වෙන දෙයක් සිද්ධ වුණා. ප්‍රශ්නෙ තමයි, ඒ මොකක්ද? අපිට ඒ වාතාවරණය ඕනකමින්ම හදාගන්න පුළුවන්ද?
උත්තරේ තමයි ‘ඔව්’. හැබැයි මුලින්ම අපි තේරුම් ගන්න ඕන ඇයි අවධානය යොමු කරන එක මේ තරම් අමාරු කියලා.
සාමාන්‍යයෙන් වෙන්නේ මෙන්න මේකයි. ඔයා හිතාගන්නවා වැදගත් වැඩකට අවධානය යොමු කරන්න ඕන කියලා. හිතන්නකෝ අමාරු පාඩමක් හරි විසඳන්න තියෙන සංකීර්ණ ප්‍රශ්නයක් හරි කියලා. ඔයා හොඳ අරමුණක් එක්ක වාඩි වෙනවා. මුල් විනාඩියක් දෙකක් ඔයා වැඩේ ඉන්නවා. ඊට පස්සේ අවධානය එහා මෙහා යන්න ගන්නවා. පස්සේ කරන්න තියෙන වැඩක් ගැන මතක් වෙනවා. එහා කාමරේ සද්දයක් ඇහෙනවා. උදේ වෙච්ච කතාවක් මතක් වෙනවා. හැම පාරම ඔයා ආයෙත් ඇදලා අරන් වැඩේට හිත යොදවනවා. හැබැයි ඒක එන්න එන්නම අමාරුයි. මේ විදියට හිත ආපහු අරගන්න දරන මානසික වෙහෙස, අර කරන වැඩේටත් වඩා මහන්සියි.
ගොඩක් අය හිතන්නේ එයාලට ‘අවධානය යොමු කිරීමේ ප්‍රශ්නයක්’ තියෙනවා කියලා. නෑ, එයාලට තියෙන්නේ ‘වැඩේ පටන් ගන්න හදාගත්ත ක්‍රමයේ’ ප්‍රශ්නයක්. අපේ මොළේ හැදිලා තියෙන්නේ නීරස හෝ තේරුම් ගන්න අමාරු දේවල්වලට දිගටම අවධානය දීගෙන ඉන්න නෙවෙයි. ඒක අඩුපාඩුවක් නෙවෙයි, ඒක විශේෂත්වයක්. ස්වභාවධර්මයේදී, සතෙක් වැරදි දේකට අවධානය දීගෙන හිටියොත් ඌ බඩගින්නේ මැරෙයි, නැත්නම් වෙන සතෙක්ගේ කෑමක් වෙයි. අපේ අවධානය යොමු කරන පද්ධතිය පරිණාමය වෙලා තියෙන්නේ මොකක්ද වැදගත් කියලා හොයන්න නිතරම ස්කෑන් කරන්න. ඉතින් ඔයාගේ මොළේ නිතරම වැඩෙන් එළියට යනවා නම්, ඒකෙන් කියන්නේ පණිවිඩයක්. ඒ තමයි “තවම වැඩේට හරියන වාතාවරණය හැදිලා නෑ” කියන එක.
ඉතින් මොකක්ද මේ හරි වාතාවරණය? මේක අපි කොටස් තුනකට කඩලා බලමු.
පළවෙනි මූලධර්මය: අවධානය කියන දේ යන්නේ කුතුහලය (curiosity) පස්සෙන්. විනය (discipline) පස්සෙන් නෙවෙයි. ඔයාට තේරුමක් නැති, තේරෙන්නේ නැති දෙයකට තදින් හිත යොදවන්න බෑ. අවධානය ගන්න කලින්, ඔයා ඒ ගැන උනන්දුවක් ඇති කරගන්න ඕන. මේක අනිත් පැත්ත ගැහුවා වගේ හිතෙයි, හැබැයි මෙහෙම කරලා බලන්න.
වාඩි වෙලා බලෙන් පාඩම් කරනවා වෙනුවට, මුල් විනාඩි කිහිපය ගන්න ඒ පාඩමේ කුතුහලයක් දනවන යමක් හොයාගන්න. මේක “රසවත් විය යුතුයි” කියලා ඔයා හිතන දෙයක් නෙවෙයි, ඔයාව ඇත්තටම පුදුම කරන දෙයක්. පාඩමේ මාතෘකාව දිහා බලලා අහන්න, “මේකෙන් උත්තර දෙන්න හදන්නේ මොන ප්‍රශ්නෙටද?” කියලා. පිටු පෙරලලා බලලා අමුතු දෙයක් හොයාගන්න. අරමුණ තේරුම් ගන්න එක නෙවෙයි, මොළේට විසඳගන්න ඕන කරන ගැටලුවක් හොයාගන්න එක. මේකට විනාඩි 3ක් විතර යයි. හැබැයි ඒකෙන් හැමදේම වෙනස් වෙනවා. දැන් ඔයා වැඩේ පටන් ගන්නකොට, ඔයා බලෙන් අවධානය ගන්නවා නෙවෙයි, ඔයාගේ මොළේ එයාට දැනගන්න ඕන දේ දිහාට ඇදිලා යනවා. ඒක දැනෙන්නේ හාත්පසින්ම වෙනස් විදියකට.
දෙවෙනි මූලධර්මය: අවධානයට පැහැදිලි ඉලක්කයක් ඕන. බොඳවෙච්ච අරමුණු අවධානය විසිරුවනවා. “මම ෆිසික්ස් පාඩම් කරන්න ඕන” කියන එක පරල් වැඩියි. මොළේ දන්නේ නෑ මොකක්ද අල්ලගන්න ඕන කියලා. හැබැයි, “මම තේරුම් ගන්න ඕන ඇයි මේ සමීකරණයට මේ හැඩේ ආවේ” කියලා හිතුවොත්, ඒකෙන් අවධානයට අල්ලගන්න නිශ්චිත දෙයක් ලැබෙනවා.
මේ අත්හදා බැලීම කරන්න: ඔයා මග ඇර ඇර හිටපු අමාරු වැඩක් ගන්න. පටන් ගන්න කලින්, ඔයාට ඒකෙන් හොයාගන්න ඕන එකම එක ප්‍රශ්නයක් ලියාගන්න. ඉගෙන ගන්න ඕන දේ නෙවෙයි, ඔයාට ඇත්තටම දැනගන්න ඕන දේ. ඊට පස්සේ ඒ ප්‍රශ්නෙ හිතේ තියාගෙන කියවන්න. එතකොට ඔයාට පෙනෙයි ඔයාගේ අවධානය තෝරා බේරාගැනීම් කරනවා. ප්‍රශ්නෙට අදාළ දේවල් කැපිලා පේනවා. අදාළ නැති දේවල් නොපෙනී යනවා. ඉලක්කයක් දුන්නොත් හිත දුවන එක නවතිනවා. නැත්නම් ඒක දිගටම හොයනවා.
තුන්වෙනි මූලධර්මය: මේක සරලයි වගේ පෙනුනට ගොඩක් අය වරද්ද ගන්න තැනක්. පටන් ගන්න කලින් බාධාවන් (friction) අයින් කරන්න. වැඩේ පටන් ගන්න තියෙන හැම පුංචි බාධාවක්ම ඔයාට තීරණයක් ගන්න සිද්ධ කරනවා. තීරණ ගන්න කොට අවධානය වියදම් වෙනවා. පැන්සලක් හොයන්න නැගිටින්න වෙනවා නම්, ඒක බාධාවක්. නතර කළේ කොතනද කියලා හොයන්න වෙනවා නම්, ඒක බාධාවක්. මේසෙ උඩ අපිළිවෙල නම්, ඒක බාධාවක්. මේවා පොඩි දේවල් වගේ පෙනුනට, එකතු වුණාම ලොකුයි. එතකොට මොළේ ඉගෙන ගන්නවා “මේක පටන් ගන්න හරි අමාරුයි” කියලා. ඊට පස්සේ ඒක ප්‍රතික්ෂේප කරනවා.
විසඳුම තමයි කලින් ලෑස්ති වෙන එක. බඩු ටික ලං කරගන්න. පොතේ පිටුව පෙරලලා තියන්න. ඔක්කොම ළඟට ගන්න. වාඩි වුණාම ඔයයි වැඩෙයි අතරේ මොකුත් තියෙන්න බෑ. මේකෙන් තමයි වැඩේ පටන් ගන්න අදිමදි කරන මොළයක් සහ වැඩේට නිකන්ම අවතීර්ණ වෙන මොළයක් අතර වෙනස හදන්නේ.
දැන් තමයි වැඩේ රසවත් වෙන්නේ. මේ කුතුහලය, පැහැදිලි ඉලක්ක සහ බාධාවන් අයින් කිරීම කියන දේවල් කෙලින්ම ‘අවධානය’ ගැන නෙවෙයි. මේවා ඊට කලින් එන දේවල්. අපි ඒකට කියමු “ගැම්ම” (momentum) කියලා. මොළේ හරි දක්ෂයි දැනට කරන දේ දිගටම කරගෙන යන්න. අමාරුම දේ දිගටම අවධානයෙන් ඉන්න එක නෙවෙයි, වැඩේට අවතීර්ණ වෙන එකයි.
හිතන්න හොඳ අසව්වක් තියෙන බර දොරක් ගැන. තල්ලු කරන්න පටන් ගන්නකොට අමාරුයි, හැබැයි චලනය වෙන්න ගත්තට පස්සේ දිගටම යවන්න ලේසියි. අවධානයත් එහෙමයි. පටන් ගන්න ඕන ශක්තිය වැඩියි, හැබැයි පටන් ගත්තට පස්සේ පවත්වාගෙන යන්න ලේසියි. ඒකයි මුල් විනාඩි පහ වැදගත් වෙන්නේ. බලෙන් නැතුව නියම උනන්දුවෙන් මුල් විනාඩි පහ කරගත්තොත්, ඉතුරු පැය ලේසියි. හැබැයි ඔයා මුල ඉඳන්ම බලෙන් කරන්න ගත්තොත්, ඔයා කවදාවත් ඒ ගැම්ම ගන්නේ නෑ. ඔයා කරන්නේ දොර තල්ලු කර කර ඉන්න එක විතරයි.
ඉතින් සම්පූර්ණ ක්‍රමය මේකයි: අවධානය ගන්න උත්සාහ කරන්නත් කලින්, වටපිටාව සකස් කරන්න. ඇත්තටම උනන්දුවක් තියෙන දෙයක් හොයාගන්න. නිශ්චිත ප්‍රශ්නයක් හදාගන්න. බාධාවන් අයින් කරන්න. ඊට පස්සේ විතරක් පටන් ගන්න.
හැබැයි මෙතන ඊට වඩා ගැඹුරු දෙයක් වෙනවා. ගොඩක් අය හිතන්නේ අවධානය කියන්නේ යමක් තේරෙනකම් ඒ දිහා බලාගෙන ඉන්න එක කියලා. අවබෝධය වැඩ කරන්නේ එහෙම නෙවෙයි. නියම අවධානය කියන්නේ සක්‍රීය දෙයක්. ප්‍රශ්න අහන එක, සම්බන්ධතා ගොඩනගන එක, දන්න දේවල් එක්ක අලුත් දේ සසඳන එක. “මේකේ තේරුමක් තියෙනවද? මේක කලින් දේට සම්බන්ධ වෙන්නේ කොහොමද? මේක වෙනස් වුණොත් මොකද වෙන්නේ?” වගේ ප්‍රශ්න අහනකොට තමයි අවධානය රැඳෙන්නේ. නිකන් කියවන එක හරි අහන් ඉන්න එක හරි වෙහෙසකරයි, මොකද මොළේ දන්නවා එයා ඇත්තටම මුකුත් ප්‍රොසෙස් කරන්නේ නෑ කියලා.
මේක අමුතු දෙයක්: මොළේට තේරෙන්නේ නැති දෙයකට අවධානය දීගෙන ඉන්න බෑ, මොළේ ඒක තේරුම් ගන්න සක්‍රීයව උත්සාහ කරන්නේ නැත්නම්. ආයෙත් කියවන්න ඒක. තේරෙන්නේ නැති දේකට බලෙන් අවධානය දෙන්න බෑ. ඔයා කරන දේ වෙනස් කරන්න ඕන. ඔයා ඒ ව්‍යාකූලත්වයත් එක්ක ගනුදෙනු කරන්න ඕන. මොකක්ද තේරෙන්නේ නැත්තේ කියලා අහන්න. රූප සටහනක් අඳින්න. සරල උදාහරණයක් හදන්න. එහෙම කළාම අවධානය දුවන එක නවතින්නේ අල්ලගන්න දෙයක් තියෙන නිසා. ඔයා දැන් නිකන් තොරතුරු උරාගන්නවා නෙවෙයි, අදහස් එක්ක පොරබදනවා. මොළේ ඒකට කැමතියි.
අපි ප්‍රායෝගික වෙමු. හිතන්න ඔයාට හරිම අමාරු දෙයක් කරන්න තියෙනවා කියලා. ලොකු පොතක්, අමාරු ගණිත ගැටලුවක් වගේ. සාමාන්‍ය ක්‍රමය තමයි මුල ඉඳන් පටන් ගෙන ඉස්සරහට තල්ලු කරගෙන යන එක. ලේසි දේවල්වලට ඒක හරි, හැබැයි අමාරු දේවල්වලදී අවධානය කැඩෙනවා.
ඒ වෙනුවට මෙහෙම කරන්න: පාඩමේ මැදට යන්න. රූප සටහනක්, සමීකරණයක් දිහා බලන්න. තේරුම් ගන්න උත්සාහ කරන්න එපා. නිකන් බලලා අහන්න, “මේක තේරුම් ගන්න නම් මම මොනවද දැනගන්න ඕන?” කියලා. ඔයාගේ අනුමාන ලියන්න. ඊට පස්සේ ආපහු මුලට ගිහින් ඒ දේවල් හොයන්න. දැන් ඔයාගේ මොළේට ප්‍රශ්න තියෙනවා, ඒ ප්‍රශ්න විසින් ඔයාගේ අවධානය මෙහෙයවනවා.
තව ක්‍රමයක් තියෙනවා: කියවන්න කලින්, පොත වහලා ඔයා ඒ මාතෘකාව ගැන දැනට දන්න හැමදේම ලියන්න. දන්නේ ටිකක් වුණාට කමක් නෑ. මේකෙන් ඔයාගේ දැනුම ඇහැරවනවා වගේම, නොදන්න තැන් මොනවද කියලා දැනෙනවා. ඊට පස්සේ කියවනකොට ඔයා බිංදුවෙන් පටන් ගන්නේ නෑ. ඔයා හිස්තැන් පුරවනවා. මොළේ මේකට ගොඩක් කැමතියි.
දැන් අපි කතා කරමු අවධානය කැඩුනම මොකද කරන්නේ කියලා. මොකද ඒක වෙනවනේ. කවුරුත් පැය ගාණක් එක දිගට ඉන්නේ නෑ. ගොඩක් අය කරන්නේ එක්කෝ කේන්ති අරන් බලෙන් ආපහු එනවා, නැත්නම් “මට බෑ” කියලා අතඇරලා දානවා.
මේකයි කරන්න ඕන: හිත වෙන තැනක කියලා දැක්කම, ඒක විනිශ්චය කරන්න එපා. අලුත් ප්‍රශ්නයකින් ආපහු පටන් ගන්න. නිකන් කියෙව්වා විතරයි කියලා තේරුණොත්, නවත්තන්න. යාන්ත්‍රිකව ආපහු කියවන්න එපා. අහන්න “මම මොකක්ද මේ තේරුම් ගන්න හැදුවේ?” කියලා. උත්තරයක් නැත්නම්, අන්තිමට මතක තැනට ගිහින් නිශ්චිත යමක් අල්ලගන්න. වැදගත් වාක්‍යයක්, සම්බන්ධතාවයක් වගේ අලුත් ඇතුළුවීමේ දොරක් හොයාගන්න. මේකට තත්පර 30ක් යයි. හැබැයි ඒකෙන් අවධානයට ඕන වටපිටාව ආපහු හැදෙනවා. කාලයත් එක්ක ඔයා මේකට දක්ෂ වෙනවා. ඔයාට කලින්ම තේරෙනවා අවධානය ගිලිහෙන බව.
තව දෙයක්, ගැඹුරු අවධානය කියන්නේ එක දිගට තියෙන දෙයක් නෙවෙයි. ඒක ස්පන්දනය වෙනවා (pulses). තදින් අවධානය තියෙනවා, ඊට පස්සේ පොඩ්ඩක් ලිහිල් වෙලා ඉගෙන ගත්ත දේ තැන්පත් කරගන්නවා. ඊට පස්සේ ආපහු තද වෙනවා. මේක සාමාන්‍යයි. ප්‍රශ්නෙ වෙන්නේ අර ලිහිල් වෙන වෙලාවෙදී ඔයා “අවධානය කැඩුනා” කියලා කලබල වෙලා බලෙන් කරන්න ගියාමයි. ඒකෙන් ස්වභාවික රිද්මය කැඩෙනවා. විනාඩි 10-15කට පස්සේ මොළේට පොඩි විවේකයක් ඕන කියලා තේරුම් ගන්න. ලොකු විවේකයක් නෙවෙයි, පොඩ්ඩක් අහක බලලා, හුස්මක් අරන්, ඉගෙන ගත්ත දේ ගැන හිතලා ආපහු එන්න. මේ රිද්මයත් එක්ක වැඩ කළාම පැය ගාණක් වැඩ කරන්න පුළුවන්. මේක මැරතන් එකක් නෙවෙයි, හෘද ස්පන්දනයක් වගේ.
අපි මේක ප්‍රායෝගික සැලැස්මකට ගමු. ඔයාට පැය තුනක් තියෙනවා අමාරු වැඩක් කරන්න.
- පටන් ගන්න කලින් විනාඩි 5ක් ගන්න ඔයාට අත්පත් කරගන්න ඕන දේ පැහැදිලි කරගන්න. “ප්‍රගතියක් ලබනවා” වගේ නෙවෙයි, නිශ්චිත ප්‍රශ්නයක් ලියාගන්න.
- තව විනාඩි 5ක් අරන් බඩු ලෑස්ති කරගන්න, බාධාවන් අයින් කරන්න.
- දැන් පටන් ගන්න. හැබැයි අමාරුම කොටසින් නෙවෙයි. ඊට සම්බන්ධ ලේසි දෙයකින් පටන් ගන්න. කලින් කරපු දේ බලන්න, නැත්නම් ලේසි උදාහරණයක් කරන්න. ගැම්ම ගන්න.
- විනාඩි 10-15 කට පස්සේ, ඔයා වැඩේට අනුගත වුණාම, අමාරු කොටසට යන්න. දැන් ඔයාට ගැම්ම තියෙනවා.
- විනාඩි 30-40ක් තදින් වැඩ කරන්න.
- ඊට පස්සේ ඇත්ත විවේකයක් ගන්න. ෆෝන් එක බලන එක නෙවෙයි. නැගිටලා ඇවිදින්න, ජනේලෙන් එළිය බලන්න, විනාඩි 5ක් මනස නිදහස් කරන්න. මේ වෙලාවේ තමයි දැනුම තැන්පත් වෙන්නේ.
- ආපහු ඇවිත් පටන් ගන්න.
තුන්වෙනි පැය වෙනකොට ඔයාට බලෙන් අවධානය ගන්න ඕන නෑ. ඔයා වැඩේට අහුවෙලා ඉන්නේ. මොළේට ඕන දිගටම කරන්න. නියම අවධානය කියන්නේ ඒකයි. තල්ලු කරනවා නෙවෙයි, ඇදිලා යනවා.
මතක තියාගන්න, කොච්චර වෙලා හිටියද කියන එකට වඩා කොයි තරම් ගුණාත්මකද කියන එකයි වැදගත්. බලෙන් ඉන්න පැය 4කට වඩා සක්‍රීයව ඉන්න පැය 1 වටිනවා. මොළේ ස්වභාවිකව වැඩ කරන විදියට වැඩ කරන්න. මොළේට වැදගත් කියලා හිතෙන, තේරුම් ගන්න පුළුවන් දේට අවධානය යනවා. අවධානය යන්නේ නැත්නම් එක්කෝ ඒක වැඩක් නෑ කියලා හිතෙනවා, නැත්නම් තේරෙන්නේ නෑ. විසඳුම තව මහන්සි වෙන එක නෙවෙයි. කුතුහලය හරහා ඒක වැදගත් කරගන්න එක සහ ප්‍රශ්න හරහා ඒක තේරුම් ගන්න පුළුවන් මට්ටමට ගේන එකයි.
මේක ඉගෙන ගන්න විතරක් නෙවෙයි, ප්‍රශ්න විසඳන්න, අලුත් දේවල් නිර්මාණය කරන්න වගේ හැම දේටම අදාළයි. කුතුහලය හොයන්න. නිශ්චිත වෙන්න. බාධාවන් අයින් කරන්න. ගැම්ම ගන්න. රිද්මයට වැඩ කරන්න.
අවධානය කියන්නේ විරුද්ධාභාසයක් වගේ දෙයක්. බලෙන් කරන්න හැදුවොත් ඒක ප්‍රතිරෝධය දක්වනවා. හැබැයි හරි වාතාවරණය හැදුවොත්, ඒක ඉබේම වෙනවා. ඒක ලේසි නිසා නෙවෙයි, ඔයා මොළේ හැදිලා තියෙන විදියට වැඩ කරන නිසා. නියම දක්ෂතාවය වෙහෙසෙන එක නෙවෙයි, අවධානය ස්වභාවිකව එන තත්ත්වය හදාගන්න එකයි. එකක් ඔයාව මහන්සි කරනවා, අනික ඔයාට ශක්තිය දෙනවා.
ඉතින් ප්‍රශ්නෙ කොහොමද බලෙන් අවධානය ගන්නේ කියන එක නෙවෙයි. කොහොමද බල කරන එක නවත්තලා, ඒකට ඉඩ හදලා දෙන්නේ කියන එකයි.
මේක ප්‍රයෝජනවත් කියලා හිතුණා නම්, එක දෙයක් කරන්න. අත්හදා බලන්න. ඔයා අතඇරලා දාලා තියෙන අමාරු වැඩක් ගන්න. විනාඩි 5ක් අරන් ඒකේ එක රසවත් ප්‍රශ්නයක් හොයාගන්න. වටපිටාව හදලා, පටන් ගන්න. බලෙන් කරන එක නවත්තලා, වාතාවරණය හැදුවම මොකද වෙන්නේ කියලා ඔයාම බලන්න. ඒ වෙනස ඔයාව පුදුම කරාවි.
(c) තතු පරිවර්තනයක්





ප්‍රතිචාරයක් ලබාදෙන්න