මැදපෙරදිග අර්බුදය උත්සන්න වීමත් සමඟ ලොව තීරණාත්මකම තෙල් ප්‍රවාහන මර්මස්ථානය වන හෝමුස් සමුද්‍ර සන්ධිය දිගින් දිගටම වසා තැබුණහොත්, ඉන්දියාවේ බලශක්ති සුරක්ෂිතතාව අතිශය අවදානම් තත්ත්වයකට පත්වනු ඇති බව බ්‍රිතාන්‍ය යේ ගාඩියන් පුව්තපත වාර්තා කරයි.

බිලියන 1.4කට අධික ජනගහනයක් වෙසෙන ඉන්දියාව, තම දැවැන්ත බලශක්ති අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා අවශ්‍ය අමු තෙල්වලින් 88%ක් පමණ ආනයනය කරයි. එයින් 40%ක් පමණ ලැබෙන්නේ පර්සියානු ගල්ෆ් කලාපය සහ ඕමාන් බොක්ක යා කරන පටු වුවත් අත්‍යවශ්‍ය නාවික කොරිඩෝවක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා මැදපෙරදිගිනි.

පසුගිය සතියේ ඇමරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාර එල්ල කිරීමෙන් පසු හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් ප්‍රවාහනය නතර විය. ඊට ප්‍රතිචාර වශයෙන් ඉරාන විප්ලවීය බලකාය එම නාවික මාර්ගයේ පාලනය තමන් සතු බව ප්‍රකාශ කළ අතර, එම මාර්ගය තරණය කිරීමට උත්සාහ කරන ඕනෑම නෞකාවකට මිසයිල හෝ ඩ්‍රෝන ප්‍රහාර එල්ල විය හැකි බවට අනතුරු ඇඟවීය.

කර්මාන්ත විශ්ලේෂක Kpler ආයතනයට අනුව, ඉන්දියාව සතුව දැනට වාණිජමය අමු තෙල් බැරල් මිලියන 100ක පමණ තොගයක් පවතින අතර, එයින් දින 40ක් හෝ 45ක් පමණ ඔවුන්ගේ අවශ්‍යතා පියවා ගත හැකිය.

යුක්රේනය තුළ පුටින්ගේ ආක්‍රමණ සඳහා අරමුදල් සපයන බවට එල්ල වූ චෝදනා මත, සහනදායී රුසියානු තෙල් මත යැපීමෙන් ඉවත් වීමට ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප්ගේ දැඩි බදු සහ සම්බාධක පසුගිය මාස කිහිපය තුළ ඉන්දියාවට බලපෑම් කළේය. කෙසේ වෙතත්, මැදපෙරදිග පවතින අස්ථාවරත්වය හේතුවෙන් අමු තෙල් මිල ඉහළ යාම නිසා, තම බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කර ගැනීමට ඉන්දියාවට යළිත් මොස්කව් වෙත හැරීමට සිදුවනු ඇත.

හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමෙන් පසු රුසියානු අමු තෙල් විශාල වශයෙන් ආනයනය කිරීමට ඉන්දියාව “අලුත් උනන්දුවක්” දක්වා ඇති බව රුසියානු නියෝජ්‍ය අගමැති ඇලෙක්සැන්ඩර් නොවැක් අඟහරුවාදා රජයේ රූපවාහිනී නාලිකාවකට පැවසීය.

ඉන්දීය නිලධාරීන් මේ පිළිබඳව නිල වශයෙන් අදහස් දක්වා නොමැති වුවද, ඉන්දියාව අමු තෙල් සහ ස්වභාවික වායු යන දෙඅංශයෙන්ම “විකල්ප සොයමින්” සිටින බවත්, එක් මාර්ගයක් වැසුනහොත් තවත් අවස්ථාවක් විවෘත වනු ඇති බවට “සාධාරණ විශ්වාසයක් පවතින” බවත් රජයේ ආරංචි මාර්ග රොයිටර් පුවත් සේවයට පවසා ඇත.

ඉන්දියාවේ ස්වභාවික වායු අවශ්‍යතාවය සම්බන්ධයෙන් තත්ත්වය වඩාත් සංකීර්ණ වී ඇත්තේ ඔවුන් ඒ සඳහා අබුඩාබි සහ කටාර් රාජ්‍යයන් මත බෙහෙවින් යැපෙන බැවිනි. ඉරානයෙන් එල්ල වන ප්‍රහාර හමුවේ එම රටවල් දෙකම නිෂ්පාදන සහ අපනයන කටයුතු නතර කර ඇත. ඉදිරියේදී ඇතිවිය හැකි හිඟයට මුහුණ දීම සඳහා ඉන්දීය සමාගම් මේ සතියේ සිට ඇතැම් කාර්මික පාරිභෝගිකයන් වෙත සපයන ගෑස් ප්‍රමාණය සීමා කිරීමට පටන් ගෙන තිබේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending