මැදපෙරදිග මෙතරම් තෙල් සම්පතක් තිබීමට බලපෑ හේතුවම, අද එය එහි සිරවී පැවතීමටද හේතුව වී ඇත

මහාද්වීපික ගැටීමක් හේතුවෙන් වර්තමාන ඉරානය තුළ තෙල් නිධි සිර විය. හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) හරහා එම තෙල් ප්‍රවාහනය කිරීමට බාධා පැමිණ තිබෙන්නේ ද එම භූ විද්‍යාත්මක ගැටීම නිසාමයි.

භූ විද්‍යාව

ලෝකයේ තෙල් සහ ද්‍රව ස්වභාවික වායු (LNG) නැව්ගත කිරීම්වලින් පහෙන් එකක් සාමාන්‍යයෙන් ගමන් කරන්නේ පර්සියානු ගල්ෆ් කලාපයෙන් පිටතට විහිදෙන පටු හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ය. නමුත්, පෙබරවාරි 28 වන දින එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාර එල්ල කිරීමත් සමඟ මෙම සමුද්‍ර සන්ධිය ප්‍රායෝගිකව වැසී ගිය අතර, එය තෙල් සහ ගෑස් මිල සීඝ්‍රයෙන් ඉහළ යාමටත්, දැඩි බලශක්ති අර්බුදයක් පිළිබඳ බියක් ඇති කිරීමටත් හේතු විය.

මෙය භූ දේශපාලනික මෙන්ම භූ විද්‍යාත්මක ගැටලුවකි. පර්සියානු ගල්ෆ් කලාපයෙන් පිටවීමට මෙතරම් පටු මාර්ගයක් නිර්මාණය වීමට බලපෑ හේතුවෙන්ම, එම කලාපය තෙල් සහ ගෑස් නිධිවලින් පොහොසත් වීමට ද මඟ පෑදී ඇත: එනම් වසර මිලියන ගණනක් පුරා සිදු වූ මහාද්වීපික ගැටීමයි (Continental collision).

ඉරානය පිහිටා තිබෙන්නේ සෞදි අරාබිය සහ පර්සියානු ගල්ෆ් කලාපය අයත් අරාබි භූ තැටිය (Arabian tectonic plate), යුරේසියානු භූ තැටිය (Eurasian plate) සමඟ ගැටෙන සීමාවක ය. මෙම මහාද්වීප දෙක එකිනෙක ගැටීමෙන් පෘථිවි තලයට එල්ල වූ තෙරපුම නිසා ඉරානයේ සැග්‍රෝස් (Zagros) කඳු පන්තිය නිර්මාණය විය. මෙම කඳු පන්තිය අරාබි භූ තැටිය මත දැඩි පීඩනයක් එල්ල කරමින් එය නැමුණු අඩි රූලක් මෙන් පහළට නමයි. මෙම නැමීම නිසා පෘථිවි පෘෂ්ඨයේ පහත් මට්ටමක පිහිටි පූර්වභූමි ද්‍රෝණියක් (Foreland basin) නිර්මාණය වන අතර, එමඟින් අතිවිශාල හයිඩ්‍රොකාබන් ප්‍රමාණයක් සිර කර ගනී. මෙම ද්‍රෝණිය තුළ ජලය එක්රැස් වීමෙන් දිගු හා පටු පර්සියානු ගල්ෆ් කලාපය බිහි විය.

එංගලන්තයේ ඩර්හැම් විශ්ව විද්‍යාලයේ පෘථිවි විද්‍යාව පිළිබඳ මහාචාර්ය මාර්ක් ඇලන් පවසන්නේ, “පර්සියානු ගල්ෆ් කලාපයේ දෙපසම මැදපෙරදිග මෙතරම් විශාල තෙල් හා ගෑස් සංචිත පැවතීමට හේතුව භූ විද්‍යාත්මක සාධකවල එකතුවක්” බවයි.

වසර මිලියන සිය ගණනකට පෙර, වර්තමාන අරාබි භූ තැටියේ උතුරු කෙළවර “අක්‍රිය දාරයක්” (Passive margin) ලෙස පැවති බව බ්‍රිටිෂ් කොලොම්බියාවේ වික්ටෝරියා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය එඩ්වින් නිසන් පවසයි. යුග ගණනාවක් පුරා මුහුදු මට්ටම ඉහළ යාම සහ පහළ යාම හේතුවෙන් කාබනික ද්‍රව්‍යවලින් පොහොසත් ෂේල් (Shale), සිදුරු සහිත වැලිගල් (Sandstone), හුණුගල් (Limestone) සහ ලුණු තට්ටු එක මත එක තැන්පත් විය. අධික පීඩනය සහ තාපය යටතේ මෙම කාබනික ද්‍රව්‍ය තෙල් සහ ස්වභාවික වායු බවට පත් විය.

වසර මිලියන 30 කට පමණ පෙර, රතු මුහුද නිර්මාණය වීමත් සමඟ අරාබි භූ තැටිය යුරේසියාව දෙසට තල්ලු වී ගැටීමට පටන් ගත්තේය. රිය අනතුරකදී මෝටර් රථ දෙකක ඉදිරිපස කොටස් ඇඹරී යනවාක් මෙන්, මහාද්වීප දෙක එකිනෙක ගැටී හැකිළීමට හා නැමීමට ලක් විය. අරාබි සහ යුරේසියානු භූ තැටි වසරකට මිලිමීටර් 20ක වේගයෙන් තවමත් එකිනෙකා දෙසට ගමන් කරයි.

මෙම ගැටීමෙන් කිලෝමීටර් 1,600ක් දිග සැග්‍රෝස් කඳු පන්තිය නිර්මාණය විය. මෙම කඳුකරය තෙල් රඳවා ගැනීමට නොහැකි තරම් විකෘති වී ඇතත්, ඒ අසල පිහිටි භූගත නැවුම් (Folding) තුළ යෝධ තෙල් හා ගෑස් නිධි සිරවී ඇත.

සැග්‍රෝස් කඳු පන්තියේ බර නිසා පෘථිවි පෘෂ්ඨය පහත් වීමෙන් පර්සියානු ගල්ෆ් ද්‍රෝණිය නිර්මාණය විය. කඳුකරය නිසා පෘෂ්ඨය තෙරපීමට ලක්ව ඇති බැවින්, ගල්ෆ් කලාපය උපරිම වශයෙන් මීටර් 110ක් පමණක් ගැඹුරු වන අතර පළල කිලෝමීටර් 340කි. හෝමුස් සමුද්‍ර සන්ධිය අසලදී, ඕමානයේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කොටස් අයත් මුසැන්ඩම් අර්ධද්වීපය (Musandam Peninsula) නිසා මෙම මුහුදු මාර්ගය කිලෝමීටර් 55ක් දක්වා තවත් පටු වේ.

මෙම සමුද්‍ර සන්ධිය මෙතරම් පටු වීමට හේතුව මුසැන්ඩම් අර්ධද්වීපයේ ඇති දැඩි පාෂාණ සැග්‍රෝස් කඳු පන්තියට ලම්බකව පිහිටා තිබීමයි. මහාද්වීපික ගැටීමේදී මෙම අර්ධද්වීපය නිසා මුහුදු මාර්ගය “වතුර බටයක ඇති ගැටයක්” (Kink in a hose) මෙන් ඇඹරී පටු වී ඇත.

මහාචාර්ය ඇලන් පවසන පරිදි, “මෙම සමුද්‍ර සන්ධිය පවතින්නේ භූ විද්‍යාත්මක හේතූන් මත වුවද, වර්තමානයේ එහි බලපෑම වන්නේ නෞකා ගමන් කිරීමට ඇති ඉඩකඩ සීමා වීමයි. තෙල් නැව්වලට ගමන් කිරීමට ඇත්තේ ඉතා පටු ඉඩකි, එමෙන්ම ඒවා ගමන් කරන්නේ ඉරාන වෙරළට ඉතා ආසන්නවයි.”

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending