
සහරා කාන්තාරයේ අති දුෂ්කර ප්‍රදේශයක සිදුකළ කැණීම්වලින් අතිවිශාල නව ඩයිනෝසර විශේෂයක් සොයා ගැනීමට පාෂාණධාතු විද්‍යාඥයන් සමත්ව සිටිති. ලතින් භාෂාවෙන් ‘විශ්මයජනක’ යන අර්ථය ඇතිව ‘ස්පයිනෝසෝරස් මිරාබිලිස්’ (Spinosaurus mirabilis) ලෙස නම් කර ඇති මෙම දැවැන්තයා, මීට වසර මිලියන 95කට පෙර වර්තමාන බටහිර අප්‍රිකාවේ නයිජර් (Niger) රාජ්‍යයට අයත් භූමියේ ජීවත් වී ඇත. සාමාන්‍යයෙන් මෙවැනි මසුන් දඩයම් කරන ඩයිනෝසරයන් හමුවන වෙරළබඩ කලාපවලින් ඔබ්බට වන්නට මෙම සත්වයා හමුවීම විශේෂත්වයකි.
දෙමහල් බස් රථයක දිගින් යුක්ත, ටොන් ගණනාවක් බරැති මෙම නව විශේෂය, අනෙකුත් ස්පයිනෝසෝරයන්ගෙන් පහසුවෙන් වෙන්කර හඳුනාගත හැක්කේ උගේ හිසේ ඇති ‘කිරිච්චියක’ (Scimitar) හැඩය ගත් ශිඛාව (Crest) නිසාය. මෙම ලක්ෂණය කොතරම් අසාමාන්‍යද යත්, 2019 වසරේදී මෙය මුලින්ම ගොඩගන්නා විට පර්යේෂකයන්ට එය හඳුනාගත නොහැකි වූ අතර, එහි වැදගත්කම වටහා ගත්තේ 2022 දී නැවත එම ස්ථානයට ගොස් තවත් සාම්පල සොයා ගැනීමෙන් පසුවය.
“මෙම සොයාගැනීම ඉතා හදිසි මෙන්ම විශ්මයජනක එකක්,” යැයි චිකාගෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පෝල් සෙරෙනෝ (Paul Sereno) පවසයි. Science සඟරාවේ පළ වූ මෙම පර්යේෂණ වාර්තාව මෙහෙයවන ලද්දේ ඔහු විසිනි.
ඔහු වැඩිදුරටත් මෙසේ පැවසීය: “කැණීම් කඳවුරේ සිටියදී අපේ කණ්ඩායමේ සාමාජිකයෙකු හමු වූ අස්ථි කොටස් ත්‍රිමාණ (3D) තාක්ෂණයෙන් එකලස් කර හිස්කබල නිර්මාණය කළ පසු, එය ලැප්ටොප් පරිගණකයකින් පළමු වරට නැරඹූ මොහොත මට කිසිදා අමතක නොවේ. මෙම සොයාගැනීමේ සැබෑ වැදගත්කම අපට වැටහුණේ එවිටයි.”
මීට පෙර හමු වී ඇති ස්පයිනෝසෝරස් පොසිල බොහොමයක් හමු වී ඇත්තේ පුරාණ වෙරළ තීරයන් ආසන්නයෙනි. දිගු හොටක් සහ කේතුකාකාර දත් සහිත මෙම සතුන් වර්තමාන කිඹුලන් මෙන් මසුන් දඩයම් කිරීමට මැනවින් හැඩගැසී සිටියහ. මොවුන් ජලයේ කොතරම් කාලයක් ගත කළේද යන්න පිළිබඳව විද්‍යාඥයන් අතර තවමත් විවාදයක් පවතී. ඇතැමෙක් පවසන්නේ මොවුන් දක්ෂ පිහිනුම්කරුවන් බවයි. තවත් පිරිසක් පවසන්නේ ඔවුන් වැඩි කාලයක් නොගැඹුරු ජලයේ සැරිසරන්නට ඇති බවයි.
කෙසේ වෙතත්, මෙම නව විශේෂය හමු වී ඇත්තේ ආසන්නතම වෙරළ තීරයේ සිට කිලෝමීටර් සිය ගණනක් ඈතින් වීම විශේෂත්වයකි. පර්යේෂකයන් පවසන්නේ එකල නයිජරයේ මෙම ප්‍රදේශය වෙරළබඩ පරිසරයක් නොව, ගංගා හරහා ගලා ගිය වනාන්තරවලින් ගහණ භූමියක් වූ බවයි.
“මම මේ ඩයිනෝසරයා දකින්නේ අඩි 6.5ක් (මීටර් 2ක්) පමණ ගැඹුරු ජලයේ වුවත් තමන්ගේ ශක්තිමත් පාදවලින් ඇවිද යා හැකි, නමුත් බොහෝ විට නොගැඹුරු ජලයේ මසුන් දඩයම් කළ ‘නිරයේ කොකෙකු’ (Hell heron) ලෙසයි,” සෙරෙනෝ පවසයි.
ස්පයිනෝසෝරස් පවුලේ මෙම නව විශේෂය පිළිබඳව තවමත් නොදන්නා කරුණු බොහෝය. මෙම පර්යේෂණයට සම්බන්ධ නොවූ, එඩින්බරෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ස්ටීව් බෲසාටි පවසන්නේ, “මෙය දිගු කලක් තිස්සේ අබිරහස් ඩයිනෝසරයෙකු වූ නමුත්, අලුතින් හමුවන සෑම පොසිලයක් සමඟම සැබෑ ස්පයිනෝසෝරයාගේ ස්වරූපය අපට ටිකෙන් ටික පැහැදිලි වෙමින් පවතිනවා,” යනුවෙනි.
ෆෝකස් සයන්ස් සඟරාවෙන්



ප්‍රතිචාරයක් ලබාදෙන්න