දශක ගණනාවක් තිස්සේ තාරකා විද්‍යාඥයන් සිතුවේ යුරේනස්ගේ චන්ද්‍රයෙකු වන මිරැන්ඩා යනු පණ නැති, මිදුණු පාෂාණ ගෝලයක් බවයි. නමුත් දැන් නව අධ්‍යයනයකින් යෝජනා කරන්නේ, එම චන්ද්‍රයාගේ මතුපිටට යටින් ජලය – ඒ නිසාම ජීවයේ හැකියාවද – පවතින බවයි. මෙම සොයාගැනීම, කැපී පෙනෙන සොයාගැනීම් රැසක නවතම සිදුවීමක් පමණි. එමෙන්ම එය ජීවය සෙවීමේදී නව මංපෙත් ගවේෂණය කිරීමට තාරකා විද්‍යාඥයන්ව පොළඹවා ඇත.

සූර්යයාගේ සිට කිලෝමීටර් බිලියන 2.9ක් තරම් ඈතින් යුරේනස් වටා කක්ෂගත වන කුඩා මිරැන්ඩා චන්ද්‍රයා වෙත ලැබෙන්නේ ඉතා සුළු ආලෝකයක් හෝ තාපයකි. එබැවින් එහි මතුපිට මිදෙන උෂ්ණත්වයට වඩා බෙහෙවින් පහළ මට්ටමක පවතී – එය සෙල්සියස් අංශක −213°C කලාපයේ පමණ වේ.
න්‍යායාත්මකව, මෙතරම් කුඩා චන්ද්‍රයෙකු මිදුණු අයිස් කුට්ටියක් විය යුතුය. එබැවින් 1948 දී තාරකා විද්‍යාඥයන් මිරැන්ඩා සොයාගත් දා සිට, ඔවුන් සිතුවේ කිලෝමීටර් 471 ක විෂ්කම්භයක් පමණක් ඇති මෙම චන්ද්‍රයා, අයිස්වලින් වට වූ පාෂාණමය හරයකින් සමන්විත බවයි.
නමුත් දැන්, බාහිර සෞරග්‍රහ මණ්ඩලයේ පිහිටි මෙම අතිශය ශීතල චන්ද්‍රයාගේ මතුපිටට යටින් පුදුම සහගත දෙයක් පර්යේෂණ මගින් හෙළිදරව් කරගෙන තිබේ. නවතම ප්‍රතිඵලවලින් පෙනී යන්නේ මෙම ශීතල ගෝලය මත (හෝ ඇතුළත) ද්‍රව ජලය පවතින බවත්, එමගින් මිදුණු මතුපිටට යටින් ජීවීන් සොයාගැනීමේ හැකියාව විවෘත වන බවත්ය. මිරැන්ඩා යනු ජලය ගලා යා හැකි එවැනි කුඩා චන්ද්‍රයන් කිහිපයකින් එකක් පමණි.
මෙම සොයාගැනීම, ඈතින් පිහිටි අයිස් චන්ද්‍රයන් පිළිබඳව තාරකා විද්‍යාඥයන් දැන සිටි දේ අභියෝගයට ලක් කරයි. සෞරග්‍රහ මණ්ඩලයේ තවත් බොහෝ ස්ථානවල ජීවය පිළිබඳ සාක්ෂි සොයාගත හැකි බවට ද එය ඔවුන්ගේ ඇස් ඇර තිබේ.
කුඩා චන්ද්‍රයන් තුළ ද ජලය පවතී
මීට වසර බිලියන 4.6කට පමණ පෙර පෘථිවිය සෑදී ඇත්තේ, කුඩා වස්තූන් රාශියක් එකිනෙක ගැටී අවසානයේ සූර්යයා වටා කක්ෂගත වන අපගේ මෙම විශාල, ගෝලාකාර ග්‍රහලෝකය නිර්මාණය වීමෙනි.
පෘථිවියට උණුසුම්ව පැවතීමට සහ ද්‍රව ජලය පවත්වා ගැනීමට සාපේක්ෂව පහසු වී ඇත්තේ එය සූර්යයාට වඩාත් සමීපව පිහිටීම නිසාම පමණක් නොවේ. පෘථිවි හරය ද සෙල්සියස් අංශක දහස් ගණනකින් උණුසුම්ව පවතී. එයට අර්ධ වශයෙන් හේතු වී ඇත්තේ ග්‍රහලෝකය සෑදුණු අවස්ථාවේ පැවති ශේෂ වූ තාපය වන අතර, අර්ධ වශයෙන් පෘථිවි අභ්‍යන්තරයේ ඇති විකිරණශීලී මූලද්‍රව්‍ය මගින් නිරන්තරයෙන් නව තාපය ජනනය කිරීමයි.
අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ බොහෝ ග්‍රහලෝක පාලනය වන්නේ ද මෙවැනිම ක්‍රියාවලීන් මගිනි. නමුත් සෞරග්‍රහ මණ්ඩලයේ පිටත කෙළවරේ ඇති ඈත චන්ද්‍රයන් සහ අනෙකුත් වස්තූන් එසේ නොවේ. මේවායේ පැවති මුල් තාපය බොහෝ කලකට පෙර නැති වී ගොස් ඇති අතර, වැඩි තාපයක් ලබා ගැනීමට අපහසු ලෙස ඒවා සූර්යයාගෙන් බොහෝ ඈතින් පිහිටා ඇත. එසේම, ඒවායේ අභ්‍යන්තර උෂ්ණත්වය සැලකිය යුතු ලෙස ඉහළ නැංවීමට තරම් විකිරණශීලී ද්‍රව්‍ය ද ඒවායේ අඩංගු නොවේ.
එබැවින්, බාහිර සෞරග්‍රහ මණ්ඩලයේ ඇති මිරැන්ඩා වැනි කුඩා චන්ද්‍රයෙකු එහි හරය දක්වාම මිදී ගොස් ඇතැයි විද්‍යාඥයෝ උපකල්පනය කළහ. කෙසේ වෙතත්, මෙය සීමාව ඉක්මවා ගිය උපකල්පනයක් බවත්, තමන් කලින් විශ්වාස කළාට වඩා බොහෝ ආකාශ වස්තූන් මත ද්‍රව ජලය පැවතිය හැකි බවත් තාරකා විද්‍යාඥයන් දැන් වඩ වඩාත් විශ්වාස කරමින් සිටිති.
අභිරහස් මිරැන්ඩා
මිරැන්ඩා ගැන තාරකා විද්‍යාඥයන් දන්නේ කරුණු ස්වල්පයකි. යුරේනස් සහ එහි දන්නා චන්ද්‍රයන් 28 අසලින් ගමන් කර ඇත්තේ එක් අභ්‍යවකාශ යානයක් පමණි. ඒ, මීට වසර 40කට පමණ පෙර, එනම් 1986 දී, වසර අටක අභ්‍යවකාශ ගමනකින් පසු සාපේක්ෂව ප්‍රාථමික වූ වොයේජර් 2 යානය එහි පැමිණි අවස්ථාවේදීය.
එම යානයෙන් ලබාගත් ඡායාරූපවලින් පෙනී යන්නේ මිරැන්ඩාගේ මතුපිට මිදී ඇති නමුත්, එය ඉතා විශේෂිත බවයි. නාසා විද්‍යාඥයන් වරක් එය ෆ්‍රැන්කන්ස්ටයින්ගේ රාක්ෂයාට සමාන කළේ, එහි පෙනුම ඉතා අමුතු නිසාය. එය ග්‍රෑන්ඩ් කැනියම මෙන් 12 ගුණයක් ගැඹුරු ආගාධ වලින් පැළුණු, එකිනෙක මතින් ගිය පෘෂ්ඨයන්ගේ අවුල් සහගත එකතුවක් සේ දිස් විය.
පර්යේෂකයන් දැන් දශක ගණනක් පැරණි එම ඡායාරූප නැවත විශ්ලේෂණය කර, මිරැන්ඩා චන්ද්‍රයාගේ පරිගණක ආකෘතියක් නිර්මාණය කර ඇත. එමගින් ඔවුන්ට කාලය ආපස්සට ගොස්, චන්ද්‍රයාට මෙවැනි පෙනුමක් ලැබුණේ කෙසේදැයි සොයා බැලිය හැකිය. ඔවුන්ව පුදුමයට පත් කරමින්, මිරැන්ඩා තුළ වරක් චන්ද්‍රයාගෙන් අඩක් ආවරණය කළ කිලෝමීටර් 100ක් ගැඹුරු අභ්‍යන්තර සාගරයක් තිබිය යුතු බව ඔවුන් සොයාගෙන ඇත. එය තවමත් පැවතිය හැකිය.
මිරැන්ඩා මත ද්‍රව ජලය පැවතීමේ අදහස, නිසරු අයිස් චන්ද්‍රයෙකු පිළිබඳ සංකල්පයට පටහැනිය. නමුත් සමහර විද්‍යාඥයන් දැන් යෝජනා කරන්නේ මිරැන්ඩා වැනි චන්ද්‍රයෙකුට උදම් බල (tidal forces) හේතුවෙන් උණුසුම්, ජලයෙන් පිරි අභ්‍යන්තරයක් පවත්වා ගත හැකි බවයි.
චන්ද්‍රයෙකු ග්‍රහලෝකයක් වටා කක්ෂගත වන විට, ග්‍රහලෝකයේ විවිධ කොටස් මත ක්‍රියා කරන ගුරුත්වාකර්ෂණ ශක්තියේ වෙනස්කම් ඇති අතර, මෙය උදම් බල ඇති කරයි. උදම් බලවල බලපෑම වඩාත් ප්‍රබල වන්නේ ග්‍රහලෝකවලට ආසන්නතම චන්ද්‍රයන්ටය. විශේෂයෙන්ම එම චන්ද්‍රයන්ගේ කක්ෂ වෘත්තාකාර නොවන්නේ නම් හෝ අසල ඇති වෙනත් චන්ද්‍රයන්ගේ බලපෑමට ලක් වන්නේ නම් මෙම බලපෑම තවත් වැඩි වේ.
විචල්‍ය ගුරුත්වාකර්ෂණයෙන් අදහස් වන්නේ උදම් බල මගින් ‘අනනු’ ලබන චන්ද්‍රයන්ගේ හැඩය නිරන්තරයෙන් වෙනස් වන බවයි. ඔබ අත් දෙක එකට අතුල්ලන විට මෙන්, මෙය චන්ද්‍රයන්ගේ අභ්‍යන්තරයේ ඝර්ෂණයක් ඇති කරමින් තාපය ජනනය කරයි. තවද මෙම ඝර්ෂණ තාපයට අයිස් දිය කළ හැකිය.
ඇත්ත වශයෙන්ම, උදම් බල චන්ද්‍රයෙකුට කෙතරම් ප්‍රචණ්ඩ ලෙස බලපෑ හැකිද යත්, එහි මතුපිටට යටින් ඇති පාෂාණ පවා දිය වීමට පටන් ගත හැකිය. බ්‍රහස්පතිගේ ‘අයෝ’ (Io) චන්ද්‍රයාගේ අභ්‍යන්තරයේ සිදු වන්නේ මෙයයි. එහි ක්‍රියාකාරී ගිනි කඳු සිය ගණනක් ඇති අතර, භූගතව ඇති මැග්මා මතුපිටට පැමිණේ.
මීට වසර මිලියන 100-500 කට පෙර, මිරැන්ඩාගේ කක්ෂය යුරේනස්ගේ විශාල චන්ද්‍රයෙකු විසින් කැළඹීමට ලක් වූ බවට විශ්වාස කෙරෙන කාල වකවානුවකදී, මෙම අයිස් චන්ද්‍රයා මත ඉතා තීව්‍ර භූ විද්‍යාත්මක ක්‍රියාකාරීත්වයක් පැවති බව නව අධ්‍යයනයන්ගෙන් හෙළි වේ. මෙමගින් උදම් බල වඩාත් ප්‍රබල වී, චන්ද්‍රයා තවදුරටත් ‘ඇනීම’ නිසා අභ්‍යන්තරයේ අයිස් දියවී, වොයේජර් 2 යානය දුටු අසාමාන්‍ය මතුපිට රටා නිර්මාණය විය.
අද වන විට, මිරැන්ඩා යුරේනස් වටා සාපේක්ෂව සන්සුන්ව කක්ෂගත වන බැවින්, උදම් බල පෙර තරම් ප්‍රබල නොවනු ඇත. නමුත් අයිස් යට සාගරය නිර්මාණය වූ පසු, එය දිගු කලක් ද්‍රව ලෙස පැවතිය හැකිය. මන්දයත්, අයිස් පරිවාරකයක් ලෙස ක්‍රියා කරන නිසා ජලයට තාපය රඳවා ගැනීම පහසු වේ. ලුණු සහ ඇමෝනියා වැනි අනෙකුත් රසායනික සංයෝගවලට ද ජලයේ මිදෙන උෂ්ණත්වය අඩු කළ හැකි අතර, උෂ්ණත්වය 0°C ට වඩා පහත වැටෙන විට පවා එය ද්‍රව ලෙස පැවතීමට ඉඩ සලසයි.
එබැවින් මිරැන්ඩාගේ අයිස් යට තවමත් ද්‍රව ජලය පැවතීමට ඉඩ ඇත. එසේ නම්, සමහරවිට අනපේක්ෂිත වෙනත් ලෝකවල ද එය පැවතිය හැකිය.
ජීවය පිළිබඳ සාක්ෂි සෙවීමේ මෙහෙයුම්
ද්‍රව ජලය අඩංගු යැයි දැන් විශ්වාස කරන ඈතින් පිහිටි අයිස් චන්ද්‍රයන් කිහිපයකින් එකක් පමණක් මිරැන්ඩා වේ. කිලෝමීටර් 396ක විෂ්කම්භයක් පමණක් ඇති, ඊටත් වඩා කුඩා සෙනසුරුගේ චන්ද්‍රයෙකු වන මීමාස් (Mimas) ද, පසුගිය වසරේ විද්‍යාඥයන් විසින් එය විමර්ශනය කළ විට අනපේක්ෂිත ජල ලෝක තිබිය හැකි ලැයිස්තුවට එක් කරන ලදී.
කෙසේ වෙතත්, මීමාස් තරමක් අභිරහසකි. උදම් බල නිසා ඇතිවන භූ විද්‍යාත්මක ක්‍රියාකාරකම් සහිත අයිස් චන්ද්‍රයන්ගේ ලක්ෂණයක් වන පැලුම් සහ විවරයන් එහි මතුපිට දක්නට නොලැබේ. නමුත් තාරකා විද්‍යාඥයන් විශ්වාස කරන්නේ මීමාස් තුළ කෙසේ හෝ අභ්‍යන්තර සාගරයක් තිබිය හැකි බවයි. මන්දයත් එය සෙනසුරු වටා සිය කක්ෂයේ ගමන් කිරීමේදී, ජලයෙන් පිරවූ බමරයක් මෙන් අමුතු ලෙස වැනෙන බැවිනි.
මිරැන්ඩා සහ මීමාස් මත තවමත් අභ්‍යන්තර සාගර පවතී නම්, මෙම ඈත අයිස් චන්ද්‍රයන් පෘථිවියේ පවතින විද්‍යාත්මක අභිරහසක්ම පිළිබිඹු කරනවා විය හැකිය. අපගේ නිල් ග්‍රහලෝකය මත, ඇදහිය නොහැකි ස්ථානවල පවා ජීවය සශ්‍රීකව පවතී. සූර්යාලෝකය නොලැබෙන ඇන්ටාක්ටිකාවේ ඝන අයිස් තට්ටු යට ඇති විල්වල පවා ක්ෂුද්‍ර ජීවීන් සොයාගෙන ඇත. එබැවින් සමහර විට පාෂාණ පත්ලෙන් නිකුත් වන පෝෂ්‍ය පදාර්ථ මත යැපෙමින්, මෙම චන්ද්‍රයන්ගේ සාගර තුළ ද ප්‍රාථමික ජීවීන් බිහි වන්නට ඇත.
සෞරග්‍රහ මණ්ඩලයේ වඩාත් ඈතින් පිහිටි ග්‍රහලෝකයක් වන යුරේනස් වටා චන්ද්‍රයන් 28ක් කක්ෂගත වේ.
බ්‍රහස්පතිගේ යුරෝපා, ගැනිමීඩ් සහ කැලිස්ටෝ යන චන්ද්‍රයන් මෙන්ම සෙනසුරුගේ ටයිටන් සහ එන්සෙලාඩස් යන චන්ද්‍රයන් තුළ ද සාගර ඇති බවට තාරකා විද්‍යාඥයන් දැනටමත් වඩ වඩාත් විශ්වාස කරති. මිරැන්ඩා සහ මීමාස් ද ඊට එක් කළ විට, පෙර විශ්වාස කළාට වඩා අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ තවත් බොහෝ ස්ථානවල ජීවය ආරම්භ වීමට අවස්ථාව තිබෙන්නට ඇති බව පෙනේ.
යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය (ESA) සහ නාසා (NASA) යන දෙකම දැනටමත් බ්‍රහස්පතිගේ චන්ද්‍රයන් අධ්‍යයනය කිරීම සඳහා, අඩුම තරමින් දුරස්ථව හෝ, අභ්‍යවකාශ යානා යවා ඇත. 2030 දශකයේ මුල් භාගයේදී ‘ජුපිටර් අයිසි මූන්ස් එක්ස්ප්ලෝරර්’ (Jupiter Icy Moons Explorer) සහ ‘යුරෝපා ක්ලිපර්’ (Europa Clipper) යානා එහි ළඟා වූ විට, එම ග්‍රහලෝකයේ අයිස් චන්ද්‍රයන් පිළිබඳව, විශේෂයෙන්ම චන්ද්‍රයන්ගේ චුම්බක ක්ෂේත්‍ර පිළිබඳ නිවැරදි දත්ත ඇතුළුව, අපි තවත් බොහෝ දේ දැනගනු ඇත. මෙමගින් සාගරවල විශාලත්වය සහ ඒවායේ ලවණතාව හෙළි වනු ඇත.
නමුත් එහි ගැඹුරේ සැඟවී සිටිය හැකි සැබෑ ජීවීන් සොයා ගැනීමට නම් මීට වඩා දැවැන්ත මෙහෙයුම් අවශ්‍ය වනු ඇත. මෙය කිරීමට ඇති හොඳම ක්‍රමය නම්, අයිස් චන්ද්‍රයෙකු මත ගොඩබැස, අයිස් විදීමෙන් හෝ දිය කිරීමෙන් ද්‍රව ජලය වෙත ළඟා වී, ජීවය පිළිබඳ සාක්ෂි තිබේදැයි වාර්තා කිරීමට උපකරණ සහිත යානයක් යැවීමයි.
විද්‍යාඥයන් වැඩිම බලාපොරොත්තු තබා ඇති අයිස් චන්ද්‍රයන් දෙක වන බ්‍රහස්පතිගේ යුරෝපා හෝ සෙනසුරුගේ එන්සෙලාඩස් වෙත එවැනි මෙහෙයුමක් යැවීමට නාසා ආයතනය බොහෝ කලක සිට සැලසුම් කර ඇත. මේවායේ අයිස් තට්ටුවේ ඇති පැහැදිලි පැලුම් හරහා ජලය මතුපිටට කාන්දු වන අතර, එමගින් ජීවය සොයා ගැනීම පහසු විය හැකිය.
යුරේනස් ග්‍රහලෝකය සහ එහි චන්ද්‍රයන් අධ්‍යයනය කිරීමේ මෙහෙයුමක් වන ‘යුරේනස් ඕබිටර් ඇන්ඩ් ප්‍රෝබ්’ (Uranus Orbiter and Probe) ද සැලසුම් මට්ටමේ පවතී. නමුත්, මෑතකදී එක්සත් ජනපදයේ සිදු වූ දැඩි අරමුදල් කප්පාදු කිරීම් හේතුවෙන්, නාසා ආයතනයේ සහ ඒකාබද්ධව අරමුදල් සපයන බොහෝ ව්‍යාපෘතිවලට බලපෑම් එල්ල වනු ඇත. ‘යුරෝපා ක්ලිපර්’ මෙහෙයුමේ මීළඟ පියවර ලෙස වරක් සැලසුම් කළ ‘යුරෝපා ලෑන්ඩර්’ (Europa Lander) මෙහෙයුමට නාසා ආයතනය මේ වසරේදී අරමුදල් සැපයීම නතර කළේය. වාර්තා වන අන්දමට, තවමත් ක්‍රියාත්මක කිරීමට අවසර ඇති ‘යුරෝපා ක්ලිපර්’ මෙහෙයුම වෙනත් අරමුණක් සඳහා යොදාගැනීමට නාසා ආයතනය කටයුතු කරමින් සිටී. යුරේනස් මෙහෙයුම ද ප්‍රමාදයන්ට මුහුණ දීමට සිදු වුවද, එය තවමත් සැලසුම්වල පවතී.
වසර ගණනාවක් පුරා ග්‍රහලෝක වෙත අවධානය යොමු වී තිබූ පසුබිමක, කුඩා චන්ද්‍රයෙකු මත ජීවීන් පිළිබඳ සාක්ෂි සොයා ගතහොත් එය අතිශය උද්වේගකර සිදුවීමක් වනු ඇත. චන්ද්‍රයන් මත පදනම් වූ ජීවය පැවතීම, ජීවය වර්ධනය විය හැකි තවත් ස්ථාන ඇති බවට ඉඟි කරනු ඇත. එමගින් අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ පමණක් නොව, සමස්ත විශ්වය පුරාම ජීවය පැවතීමේ සම්භාවිතාව ඉහළ යනු ඇත.
හෙන්රික් බෙන්ඩික්ස් සයන්ස් ෆෝකස් සඟරාවට ලියූ ලිපියක් ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න