එදිනෙදා ජීවිතයේ සාමාන්‍යයෙන් භාවිත වන පාරිභෝගික භාණ්ඩ සහ ද්‍රව්‍ය වල අඩංගු ඇතැම් රසායන වලට ගර්භණී අවස්ථාවේ අනාවරණය වන මව්වරුන්ට ලැබෙන දරුවන්ගේ බුද්ධි මට්ටම බාලවියේදී අඩු තලයක තිබිය හැකි බව අධ්‍යයනයකින් හෙළිවෙයි. ගර්භණී අවස්ථාවේ එවැනි රසායන වලට ආනාවරණය වන වයස අවුරුදු 7 ළමුන් බුද්ධි පරීක්‍ෂණවලදී එම වයසේ සෙසු දරුවන්ට වඩා පසුබෑමක් දක්වන බව ඉන් කියැවෙයි. ඇතැම් සබන් වර්ග, නිය පින්තාරු ද්‍රව්‍ය, හිසකෙස් දියර විදින (hair sprayers) ෂවර තිර (shower curtains) වැහි කබා, වියළන ඇතිරිලි ආදියෙහි අඩංගු, සුවිකාරක (පහසුවෙන් නැමිය හැකි හා වාත්තු කළ හැකි plasticizer)  ලෙස යොදා ගන්නා තෙලේට් (phthalates) නම් රසායන මීට දායක වන බවයි, පර්යේෂකයන්ගේ අදහස.

අංගරාග (විලේපන) සඳහා යොදාගන්නා තෙලේට් වලින් ආරක්‍ෂාව පිළිබඳ අවදානමක් එල්ලවෙතැයි ඇමරිකාවේ ආහාර හා ඖෂධ පරිපාලනය වෙත සාක්‍ෂි ලැබී නැත. එහෙත් ඇමරිකා එක්සත් ජනපදයේ පාරිභෝගික නිෂ්පාදන ආරක්‍ෂක කොමිසම තෙලේට වර්ග හයක් ළමුන්ගේ සෙල්ලම් බඩුවලට යෙදීම තහනම් කර ඇත. මෙම රසායන වලට ගර්භණී කාන්තාවන් අනාවරණය වීම සමිබන්ධයෙන් දැනට ඇමරිකාවේ නීති රීති පනවා නැති අතර එරට භාණ්ඩවල මෙම රසායන අඩංගු බවට සාමාන්‍යයෙන් සඳහන් කරන්නේද නැත.

මේ සම්බන්ධයෙන් කාලාන්තරයක් තුළ බලපෑම ගැන සොයා බලන එකම අධ්‍යයනය මෙය වේයැ’යි ප‍්‍රධාන පර්යේෂිකා පෑම් ෆැක්ටර් ලිට්වැක් පවසන්නීය. ඇය, නිව්යෝක් නුවර, කොළාම්බියා සරසවියේ මහජන සෞඛ්‍ය පාසලෙහි මහාචාර්යවරියකි. කෙසේ වෙතත්, මෙම අධ්‍යයනයෙන් සොයා බලන්නේ රසායන හා භාණ්ඩ අතර ඇති සම්බන්ධතාව මිස හේතු ඵල සම්බන්ධතාව නොවන බව ඇය පෙන්වා දෙයි. නිව්යෝක් නුවර අඩු ආදායම්ලාභී පවුල්වල කාන්තාවන් 328 දෙනෙක් පර්යේෂණය සඳහා තෝරාගනු ලැබුහ. ගර්භණී අවස්ථාවේ සිට දරුවාට වයස අවුරුදු හතක් ගතවන තුරු පරීක්‍ෂාව සිදු කෙරිණ.

ගර්භණී අවස්ථාවේ අග දී කාන්තාවන්ගේ මුත‍්‍රාවල අඩංගු තෙලේට් ප‍්‍රමාණය පර්යේෂකයෝ මැන බැලූහ. පසුව දරුවාට වයස අවුරුදු හතක් ගතවු විට, මානසික ක‍්‍රියාකාරිත්වයේ අංශ හතරක් පිළිබඳව බුද්ධි පරීක්‍ෂණ පැවැත්විණ. මුත‍්‍රාවල අඩංගු තෙලේට් ප‍්‍රමාණය පදනම් කරගෙන මෙම කාන්තාවන් කණඩායම් හතරකට බෙදනු ලැබීය. මුත‍්‍රාවල තෙලේට් වැඩියෙන්ම අඩංගු මව්වරුන්ගේ දරුවන්, තෙලේට් අඩුවෙන් අඩංගු මෑණිවරුන්ගේ දරුවන්ට වඩා බුද්ධි ඵලය (IQ) අඩුබව හෙළිදරව් විය. මවගේ බුද්ධි ඵලය, ගර්භණී අවස්ථාවේ ඇය මධ්‍යසාරය භාවිතා කිරීම, මවගේ අධ්‍යාපනය, විවාහක තත්ත්වය මෙන්ම දරුවාගේ උපත් බර වැනි බුද්ධි ඵලයට බලපෑ හැකි අනෙක් සාධක සැලකිල්ලට ගනිමින් පරීක්‍ෂා කළ අවස්ථාවේදී ද ඉහත ප‍්‍රතිඵල එලෙසම පැවතිනැයි පර්යේෂකයෝ පවසති.

තෙලේට් හා BPA (තතු හි පළවූ තාප කඩදාසි වල මුද්‍රිත බිල්පත් අල්ලන්නේ ප්‍රවේසමෙන්  නමැති ලිපිය බලන්න) වැනි සමාන රසායන හා ළමාවියේ ස්ථුල බව හා ඇදුම රෝගය අතර සබඳතාවක් ඇති බව දැනටමත් සොයාගෙන ඇති කරුණකි. අවුරුදු තුනක් වයසැති ළමුන්ගේ චාලක කුසලතා ගැන ෆැක්ටර්-ලිට්වැන් හා ඇගේ පර්යේෂක සහායකයන් මීට කලින් පරීක්‍ෂණ පවත්වා තිබුණ අතර ඒවායේ ප‍්‍රතිඵලද මෙයට සමාන විය.

ගර්භණී අවස්ථාවේ තෙලේට භාවිතය සම්බන්ධයෙන් රෙගුලාසි පනවා නැතත් මයික්‍රොවේව් උඳුන්වල ප්ලාස්ටික් භාණ්ඩවල බහා ආහාර පිසීම, සුවඳකැවු නිෂ්පාදන භාවිතය ආදියෙන් වැළකී සිටීම ප්ලාස්ටික් භාණ්ඩ වෙනුවට වීදුරු භාණ්ඩවල ආහාර ගබඩාකර තැබීම ප‍්‍රඥාගෝචරයයැ’යි කියා සිටින ඇය මෙම චර්යාවන් ගර්භනීන්ට පමණක් නොව කොයි කාටත් සුදුසු බව පෙන්වා දෙයි.

මෙම අධ්‍යයනය පරිපූර්ණ මෙන්ම උසස් මට්ටමේ අධ්‍යනයක් වගේම ප‍්‍රතිඵල ගැන සැලකිලිමත් වන්නක් ද බව උතුරු කැරොලිනාවේ, ගෝලීය මහජන සෞඛ්‍ය පාසලේ වසංගත අධ්‍යයන මහාචාරිණී ස්ටෙප්නි එන්ගල් කියා සිටී. ඇය මෙම පර්යේෂණයට සහභාගී වී නැත. නිරීක්‍ෂණ අධ්‍යයනවල ප‍්‍රතිඵල වෙනත් සාධක මගින් ද අර්ධ වශයෙන් පැහැදිලි කිරීමේ ඉඩකඩ තිබෙන බව පෙන්වා දෙන ඒන්ගල් ස්ථිර නිගමනවලට එළඹීම පිණිස මෙම ක්‍ෂේත‍්‍රයේ තව තවත් පර්යේෂණ සිදු කළ යුතු බව පවසයි.

තෙලේට් අඩංගු නිෂ්පාදන භාවිතය සම්පුර්ණයෙන්ම නතර කිරීම දැනට කළ නොහැකි වුවත් හැකිතාක් දුරට ඒවා ප‍්‍රයෝජනයට ගැනීම අඩුකිරීම මැනවයි යන්න පර්යේෂකයන්ගේ අදහසයි. (ලිංගික හා තයිරොයිඞ් හෝමෝන හානිය සහ මධ්‍යම ස්නායු පද්ධතියේ සාමාන්‍ය ක‍්‍රියාකාරිත්වයට බලපාන මොළයේ dopamine සංවේදී ක‍්‍රියාකාරිත්වය ඇතුඵව) ශාරිරීක වර්ධනය, සමිබන්ධයෙන් සතුන් යොදාගෙන කරන ලද අධ්‍යයන වලින් පසුව සිද්ධාන්ත ගණනාවක් මෙම පර්යේෂක කණ්ඩායම මගින් ගොඩ නගා ගනු ලැබ ඇත.

 

Scientific American සඟරාවේ Prenatal Exposure to Chemicals Tied to Lower IQ at Age 7ලිපිය ඇසුරෙනි.

මුල් පර්යේෂණ ලිපිය 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending