අපේ ජීවිතවල සුලබ සංසිද්ධියක් නොවූවත් හීනෙන් ඇවිදීම මෙන් ම හීනෙන් ‘දෙඩවීම’ ගැන අපි කවුරුත් අසා ඇත්තෙමු. හීනෙන් ඇවිදීම නින්දට වැටී ප‍්‍රථම පැය කිිහිපය තුළ සිදුවිය හැකි සංසිද්ධියකි. මුළු නිදන කාලයෙන් ‘‘ගැඹුරු නින්ද ’’ ලෙස දැක්වෙන අවධිය තුළ තමයි කෙනෙකු හීනෙන් ඇවිදින්නෙ, වාඩිවී සිටින්නේ හෝ හිටගෙන සිටිමින් අවදියෙන් සිටින්නෙකු ලෙස හැසිරෙන්නේ. අවදියෙන් සිටින්නා සේ හැසිරුණාට ඇත්ත වශයෙන් ම ඔවුන් තවමත් සිටින්නේ නින්දෙහි ය. ඒ නිසාම සිහි අවුල් ගතියකින් සිටිනා සේ ද පෙනී යා හැකිය. මේ අවදියේ පසුවන්න ‘හීනෙන් ඇවිදින්නන්’ නැගිට තත්පර කිහිපයක සිට හෝ පැය භාගයකටත් වැඩි කාලයක් තිස්සේ එහෙ මෙහෙ ඇවිදීමට පුළුවන. ඔවුන්ගේ ඇස් විවෘතව පැවතියත් ඔවුන් අවදියෙන් සිටින විට මෙන් ඔවුනට ලෝකය දැකිය නොහැක. එහෙ මෙහෙ සක්මන් කිරීමෙන් පසුව බොහෝ ‘හීනෙන් ඇවිදින්නෝ’ වෙනත් කෙනෙකුගේ මගපෙන්වීමක් හෝ පෙළඹීමක් නොමැතිව තනිවම නැවත නිදාගත් තැනටම පැමිණෙති. රාත‍්‍රී කාලයේ සිදු කළ මේ ‘නිදි සක්මන’ ගැන එවැන්නන් බොහෝ දෙනකුට උදෑසන අවදිවීමෙන් පසු ව මතකයක් නොමැත.

විද්‍යාඥයන් ගණන් බලා ඇති අන්දමට සියළු ළමුන් අතුරෙන් සියයට 15 ක් පමණ නිරන්තර පදනමක් මත හීනෙන් ඇවිදිති. හීනෙන් ඇවිදීමට බලපාන නිශ්චිත හේතුව ගැන විශේෂඥයන්ට වැටහීමක් නැත. එහෙත් අධ්‍යයනවලින් පෙනී යන්නේ පවුලේ ආරට හීනෙන් ඇවිදීමේ ප‍්‍රවණතාවක් ඇතිවිය හැකි බවයි. තවත් විශේඥයන් පිරිසක් කියා සිටින්නේ, අසනීප, උණ, ක්ලමථය(stress) හෙවත් මානසික ආතතිය හා නිදි වැරීම හේතු කොටගෙන හීනෙන් ඇවිදීම සිදුවිය හැකි බවයි. හීනෙන් ඇවිදීමේ දී තුවාලයක් සිදුකර ගැනීම හැරුණු කොට හීනෙන් ඇවිදීම ම ගත්තොත් අනතුරුදායක නොවේ. එහෙත් මෙය නිතර සිදුවන ක‍්‍රියාවලියක් නම් වෛද්‍යවරයෙකු මුන ගැසීම යෝග්‍යය. නින්දෙන් ඇවිදීමට පිළියම් කිරීමක් නැතත් ඊට හේතු මොනවාදැයි නිර්ණය කර එවැනි සිදුවීම් අවම කරගැනීම සඳහා උපදෙස් දීමට වෛද්‍යවරයාට හැකිවෙනු ඇත. බොහෝ විට වයසින් වැඩෙත් ම මේ පුරුද්ද ඉබේටම වාගේ නැති වී යන අතර වෙනත් අයෙකු හීනෙන් ඇවිදිනවා දකින විට එම තැනැත්තා හෝ තැනැත්තිය බියවන සේ තිගැස්සෙන සේ හැසිරීමෙන් වැළකීම යෝග්‍යය. නින්දෙන් ඇවිදින්නා ‘ඇහැරවීමට’ යාමෙන් අන්දමන්ද ස්වභාවයකට හෝ බියට පත්විය හැකිය.

හීනෙන් ඇවිදිනාවාසේම අසාමන්‍ය හැසිරීමක් වනුයේ හීනෙන් කතා කිරීමයි. ‘නින්දෙන් දෙඩවීමට’ යෙදෙන ඉංග‍්‍රීසි විද්‍යාත්මක නාමය somniloquy  යන්නයි. මෙය තරමක සුලබ සංසිද්ධියක් වුවත් වෛද්‍ය ගැටළුවක් ලෙස සාමාන්‍යයෙන් නොසැලකේ. හීනෙන් දොඩවන අය සාමාන්‍යයෙන් වරකට එසේ කරන්නේ තත්පර 30 ක් පමණ කාලයක් තුළය. එහෙත් රාත‍්‍රිය පුරාම එලෙස දෙඩවීමේ සිද්ධි ඇතිවිය හැකිය. හීනෙන් දොඩවන දේ ඔවුන් අවදියෙන් සිටින විට කතා කරන දේවලට වඩා හාත්පසින් ම වෙනස් දෙයක් වන්නට ද පුළුවන. බොහෝ දෙනෙකුට තමුන් නින්දේ දී කතා කළ දේ මතක තිබෙන්නේ නැත. අවුරුදු දහයක් පමණ වයස වනතුරු ළමුන්ගෙන් සියයට 50 ක් ම නින්දේ දී කතා කරන බව විශේෂඥයෝ කියති. එහෙත් වයස්ගත වී වැඩිහිටි අවදියට පත්වීමෙන් පසුව ද හීනෙන් කියැවීම දිගටම කරගෙන යන්නේ සියයට 5 ක් පමණකි. නින්දේ දී කතා කරන ළමුන් හා වැඩිහිටි දෙපිරිසම සෑම රාත‍්‍රියකම නින්දෙන් දොඩවන්නේ නැත. හීනෙන් ඇවිදීම මෙන් ම හීනෙන් දෙඩවීම ද ආරට එන්නක් විය හැකි බව පර්යේෂකයන්ගේ මතයයි. එමෙන් ම හීනෙන් දෙඩවීම ද අසනීප, උණ ක්ලමථයට සම්බන්ධ යයි සැලකේ. සාමාන්‍යයෙන් හීනෙන් දෙඩවීමට වෛද්‍ය ප‍්‍රතිකාර පැතිය යුතු වන්නේ නැතත් එය සුබ නින්දකට බාධාවක් බවට පත්වන්නේ නම් රාත‍්‍රී යේ හොඳ නින්දකට මග පාදා ගැනීම සඳහා උපකාර සෙවීම වටනේය.

Wonderopolis හි  Why Do People Walk and Talk in Their Sleep? ලිපිය ඇසුරෙනි 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending