අසීරු තත්ත්වයන් යටතේ හැදී වැඩෙන ප‍්‍රිමාටේස් වර්ගයේ සත්තු, පහසු ළමා කාලයක් ගෙවන සතුන් තරම් ආයු කාලයක් භුක්ති නොවිඳිති.

අසීරු කාලවකවානුවල හැදී වැඞීම, බැබුන් සතුන්ගේ ආයු කාලය කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කරන බව නව අධ්‍යයනයකින් හෙළිවෙයි. ජීවිතයේ මුල් කාලයේ දීම ඇතිවන විපත්ති වෙනත් සමාජ ප‍්‍රිමාටේස් සතුන්ගේ — එනම් මානවයන්ගේ සෞඛ්‍යයට හා ආයුෂ කෙරෙහි බලපෑමක් ඇති කරන බව මෙයට කලින් සිදු කරන ලද අධ්‍යයන වලින් පෙන්නුම් කර තිබුණ ද වන සතෙකුගේ උපතේ සිට මරණය දක්වා පිළිබඳ විවිධ අවදි ගැන අධ්‍යයනයක් සිදු කෙරුණු මුල්ම අවස්ථාව මෙය වෙයි. ජීවිතයේ මුල් කාලයේ අපහසුතා කෙටි වැඩිහිටි ආයුකාලයකට සම්බන්ධ කෙරෙන මෙම සොයා ගැනීමෙන් හැඟී යන්නේ ආයු කාලය කෙටි වීම හුදෙක් නූතන ජීවන රටාවේ පීඩනයන්ගේ ප‍්‍රතිඵලයක් නොව අපේ පරිණාමීය ඉතිහාසයේ දිගු කාලයක් තිස්සේ පවතින අංගයක් බවයි.

148745_69931_1431

ළමා කාලයේ දරුණු ජීවිතයක් අත් විඳීමත් වැඩිහිටියෙකු බවට පත්වීමෙන් අනතුරුව ඉක්මණින් මිය යාමත් අතර ස්ථිරසාර සම්බන්ධයක් සොයා ගැනීම පහසු කාර්යයක් නොවන බව ඔප්පු වී ඇත. මානවයන් සම්බන්ධයෙන් සිදු කළ අධ්‍යයනයන්ගෙන් පැහැදිලි වූ කාරණාවක් වූයේ ළමා කාලයේ දී දුම්පානය හා මද්‍යසාර භාවිතය වැනි අයහපත් සෞඛ්‍ය පුරුදු මෙන්ම සෞඛ්‍ය සත්කාරක සේවා පහසුවෙන් ලබා ගැනීමට අවස්ථාව නොතිබීම යන සියල්ල ආයු කාලය කෙරෙහි බලපෑමක් ඇති කරන බවයි. එහෙත්, මෙකී බාලවියේ පීඩනයන්ගේ සෘජු ජීව විද්‍යාත්මක බලපෑම තෝරා බේරා ගැනීම අසීරු කාර්යයක් විය.

මෙය පහසු කිරීම සඳහා පර්යේෂකයෝ වනගතව ජීවත්වන බැබුන් වෙත යොමු වූහ. එම බැබුන් සතුන්ට දුම්බීමට හෝ මද්‍යසාර පානය කිරීමට නොහැක. සෞඛ්‍ය සේවා සැපයීමක් ගැන සිතන්නටවත් අවශ්‍ය වන්නේ නැත. 1971 ප‍්‍රින්ස්ටන් සරසවියේ ෂොන්  ඕල්ට්මාන් ආරම්භ කළ ඇම්බොසෙලි බැබුන් පර්යේෂණ ව්‍යාපෘතියේ(Amboseli Baboon Research Project) විද්‍යාඥයෝ මෙම අධ්‍යයනය සඳහා නැගෙනහිර අප‍්‍රිකාවේ සැවානා බැබුන් 1,500 කට වැඩි සංඛ්‍යාවක් සම්බන්ධයෙන් එක්රැස් කරගත් දත්ත යොදා ගත්හ. ඔවුන් ඒවා උපයෝගී කරගත්තේ නියඟය, බැබුන් මවගේ අඩු සමාජයීය මට්ටම, මව සමාජීය වශයෙන් කොන්වීම හෝ මව මියයාම වැනි ජීවිතයේ මුල් කාලයේ ඇතිවන පීඩාවන් බැබුන් පැටව් ලොකු මහත් වී වැඩිහිටි දිවියට එළඹි විට ඔවුන්ගේ ආයුකාලය කෙටි කිරීමට බලපාන්නේ දැයි පරීක්ෂා කර බැලීමටය.

alberts_2_1eb6f43f-7c10-4e81-be3c-254731238bf6_f

ප‍්‍රථමයෙන් ළමා බැබුන් කොපමණ පීඩාකාරී සිද්ධි අත් වින්දේ දැයි පර්යේෂකයන් සොයා බැලූ අතර පසුව එම බැබුන් වැඩිවියට එළඹීමෙන් පසුව සිදුවන දේවල් නිරීක්ෂණය කෙරිණ. බැබුන් ජීවත් වන්නේ විශාල සමාජ කණ්ඩායම් වශයෙනි. ලිංගික වශයෙන් පරිණත භාවයට පත්වන පිරිමි සත්තු රැළ අත්හැර යාමට පෙළඹෙති. ගැහැණු සත්තු එහිම රැඳෙති. මේ හේතුව නිසා පිරිමි සතුන් ගැන පරීක්ෂාවෙන් පසුවීම අපහසු හෙයින් පර්යේෂකයන් අවධානය යොමු කළේ ගැහැණු සතුන් කෙරෙහිය.

සිය ළමා කාලයේ දී විපත්තිදායක සිදුවීම් තුනකට හෝ වැඩි ගණනකට මුහුණ දුන් බැබුන් සතුන්ට වඩා,  අසීරු සිදුවීම් රහිතව සිය ළමා කාලය ගෙවූ බැබුන් සත්තු වැඩිවියට පත්වීමෙන් පසුව වසර දහයක් වැඩිපුර ජීවත් වූහ. මෙය සැලකිය යුතු වෙනසකැයි ව්‍යාපෘතියේ විද්‍යාඥවරියක වන, ඩියුක් සරසවියේ පරිණාමීය ජීව විද්‍යාඥ සුසාන් ඇල්බර්ට්ස් පවසයි.

බැබුන් සහ මානවයන් වැනි ප‍්‍රිමා ටේස් විශේෂයන්(primate species), ළමා කාලයේ පීඩාවන්ට ගෙදුරු වීමේ හැකියාව පරිණාමීය ඉතිහාසයෙහි ගැඹුරට මුල් බැස් ගත්තක් බව පර්යේෂකයෝ කියා සිටිති. මෙලෙස කුඩා අවධියේ අසීරුතාවලට මුහුණ දීම පුද්ගලයාගේ් ජීවිතයේ ඉතිරි කොටසෙහි සෞඛ්‍යයට බලපාන අයුරින් මොළයේ සහ සිරුරේ වර්ධනය වෙනස්කම් වලට ලක් කරයි. ළමා කාලයේ බැබුන් බෙහෙවින් පීඩාකාරී සිදුවීම්වලට මුහුණ දුන් විට, අසීරු තත්ත්වයන් යටතේ ජීවත්වීමට හැඩ ගැසෙන ආකාරයට ඔවුහු සිය වර්ධනය වෙනස් කර ගනිති. එවිට එම හැඩගැසීම් තම වැඩැහිටි පැවැත්මට  කෙටිකාලීනව වාසිදායක වුවත් දිගුකාලීනව අයහපත් ලෙස එම වෙනස්කම් වක‍්‍ර ආකාරය කින් ආයු කාලය කෙරෙහි බලපෑ හැකි බව පර්යේෂකයන්ගේ අදහසයි.

මෙය බැබුන් ගැන කෙරුණු අධ්‍යයනයක් වුවත් එම පර්යේෂණයෙන් හැඟවන්නේ දුම්කොළ හා මද්‍යසාරය තහනම් කොට යහපත් සෞඛ්‍ය සේවාවක් සියළු දෙනාට ම ලබා දීම වැඩි ආයු කාලයක් භුක්ති විඳීම පිණිස සෑම දෙනාටම එක හා සමාන අවස්ථාවක් ලබාදීම සඳහා ප‍්‍රමාණවත් නොවන බව යයි ඩියුක් සරසවියේ ම පරිණාමීය මානව විද්‍යාඥවරියක (evolutionary anthropologist) වන ජෙනී ට‍්‍රන්ග් පවසයි. ‘සතුන් යොදාගෙන කෙරෙන පර්යේෂණ වලින් හැඟවෙන්නේ මෙය හුදෙක් සෞඛ්‍ය ප‍්‍රතිපත්තිය පිළිබඳ ප‍්‍රශ්නයක් ම හැටියට පමණක් නොව ජීවීන්ගේ භෞතවේදය සහ ජිවවිද්‍යාත්මක පැත්ත ගැන සලකා බැලී මේදී ද  වැදගත්’ යයි ඇය කියා සිටින්නීය.

Smithsonian.com හි පළවූ For Baboons, a Tough Childhood Can Lead to a Short Life   ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending