සැමට විදු නැන නුවණ – Science Literacy for All

ග්‍රන්ථ සාර සංග්‍රහය: සේපියන්ස්: මනුෂ්‍යවර්ගයා ගැන කෙටි ඉතිහාසයක්

 

Sapiens – A Brief History of Humankind –

By Yuval Noa Harari

සේපියන්ස්: මනුෂ්‍යවර්ගයා ගැන කෙටි ඉතිහාසයක්

කතෘ: යුවාල් නෝආ හරාරි

වසර 300,000 ක මනුෂ්‍යත්වයේ ගමන විමසමින් Sapiens – A Brief History of Human Kind (සේපියන්ස් – මනුෂ්‍යවර්ගයා ගැන කෙටි ඉතිහාසයක්)  යන මැයෙන් 2014 දී ආචාර්ය නෝආ යුවාල් හරාරි පළ කළ  මේ පොත ද මානව ඉතිහාසය පෙර නොවූ විරූ අන්දමින් විවරණය කරන බෙහෙවින් අවධානයට ලක් වූ පොතක්. ඒ පොත පිළිබඳ මේ සැකෙවින් කියවීමේ දී මානව ඉතිහාසය පෘථිවියේ තුමුල ඉතිහාසයේ කොටසක් ලෙස සැලකීම වැදගත්

හොඳයි දැන් ඔබේ දෑත් හැකි තාක් පළල් කොට දෙපස ට විහිදා ගන්න. එසේ  පුළුල් වූ දෑතේ ම දිග ප්‍රමාණ​ය  පෘථිවිය බිහි වීමේ සි​ට අද දක්වා ගත වූ මුළු ඉතිහාසයට හරියට ම සම යැ’යි මොහොතකට සිතන්න.​ මේ දිග ප්‍රමාණයට අනුව සසඳන විට මානව ඉතිහාසය නියෝජනය කරන දිග ප්‍රමාණය කුමක් විය හැකි ද? එය එක අතක වැළමිට දක්වා ද? නැත්නම් එක අල්ලක  දිග ද? එහෙමත් නොවේ එය සමා​න වන්​නේ එක් ඇඟිල්ලක දිග ප්‍රමාණය​ට ද? නැහැ! මේ එකක් වත් කිසි සේත් ම අප බලාපොරොත්තු වන උත්තරය අහලකටත් එන පිළිතුරු නොවෙයි. දිගු කර ගත් දෑත් අත​ර මිනිස් ඉතිහාසය නියෝජනය කරන දිග ප්‍රමාණ​ය කොතෙක්දැ’යි හරියටම දැන ගැනීමට ඔබට ඇත්තටම අවශ්‍ය නම් ඒ සඳහා අන්වීක්ෂයක් යොදා ගැනීමට සිදු වෙයි. මහපොළො​වේ ඉතිහාසය හා සසඳන විට මුළු මිනිස් ඉතිහාස​යම ඒ තරම් ම ක්ෂුද්‍රයි, අල්​පයි. 

මනුෂ්‍යයන් වශයෙන් අප මෙතෙක් මිහිපිට ගත ක​ර ඇති මුළු කාල​ය​ම එසේ ඉතා සුළු වුණත් මේ අල්ප කාලය තුළ අප විසින් මුදුන් පත් කර ගන්නා ල​ද දේ​වල් බොහෝයි. අප තරම් පෘථිවිය පුරා ආධිපත්‍ය පැතිරීමට වෙනත් කිසිදු සත්ව විශේෂයකට තවම හැකි වී නැහැ. ​ඉතින් මේ සියල්ල මෙලෙස සිදු වුණේ කෙසේ ද?

​            මේ සැකෙවින් කියවීමේ දී අප කවුරුන්ද යන්න බොහෝ කොට නිර්ණය වන අ​පේ භාෂා හැකියා​ව වර්ධනය වීමේ සිට මිල මුදල් නිර්මාණය කිරීම දක්වා මිනිස් ඉතිහාසයේ මූලික කඩඉම් ගවේෂණයට ලක් කිරීමට අප අදහස් කරණවා.

 

සේපියන්ස්: මනුෂ්‍යවර්ගයා ගැන කෙටි ඉතිහාසයක්

  1. මිහිපිට ප්‍රථම මනුෂ්‍ය විශේෂය නොවූ​ ව හෝමෝ සේපියන්ස්වරු (Homo Sapiens) සම්ප්‍රාප්ත වුණේ අනෙක් සියලු මනුෂ්‍ය විශේෂ විස්ථාපනය (replace) කිරීමටයි.

මිනිසුන් වන අප අති විශේෂිත සත්ව වර්ගයක්: ඊට හේතුව අප මුලු පෘථිවිය ම නතු කර ගෙන තියෙනවා පමණක් නොව පෘථිවි සීමාව ද ඉක්මවා ගොස් අභ්‍යවකාශය ද අපේ විජිතයක් කර ගැනීමට කටයුතු කරමින් සිටින නිසායි.

මේ තරම් මහා දේවල් කිරීමට අපට හැකි වූයේ කෙසේ ද? එය තේරුම් ගැනීමට නම් අප මුලින් ම අපේ ආරම්භයට එනම් මනුෂ්‍ය සංහතිය පරිනාමණයට ලක් වූ මුල් අවධියට යා යුතුයි.

මානවයා ​ගේ සම්ප්‍රාප්තිය සිදු වු​ණේ මීට වසර මිලියන 2.5කට පෙර නැගෙනහිර අප්‍රිකාවේ දී ඔස්ට්‍රලෝපිතිකස් (Australopithecus) නමැති මහා වානර ගණයෙන් බෙදී පරිණාමය වීමෙන්. මුල් කාලීන මාන​ව විශේෂ වූ  හෝමෝ රුඩොල්ෆෙන්සිස් (Homo rudolfensis) සහ හෝමෝ ඉරෙක්ටස් (Homo erectus) වැනි මානව විශේෂ පසු කලෙක දී ඔවුන් එතෙක් විසූ නැනෙහි​ර අප්‍රිකාවෙන් නිකුත් වී ජීවත් වීමට වඩා සුදුසු වෙනත් ​ප්‍රදේශ සොයා ගියා. මෙසේ නව වාසස්ථාන කරා ගිය ඔවුන්ට ඒ අළුත් පරිසරයන්ට උචිත ව හැඩගැසීමට සිදු වුණා. යුරෝපය සහ ආසියාවට සංක්‍රමණය වූ ඔවුන්ගෙන් පැවත එන්නන්ගෙන් ඇතමෙක් නියන්ඩතාල් (Neanderthal) වැනි හෝ​​මෝ වර්ගයේ ම වෙනත් විශේෂ​ වලට ද පරිණාමය  වුණා.

එහෙත් මීට වසර 300,000 කට පමණ පෙ​ර වෙන තෙක් හෝමෝ සේපියන්ස් (Homo Sapiens) හෙවත් නූතන මානවයාගේ සම්ප්‍රාප්තිය සිදු වුණේ නැහැ. කෙසේ වෙතත් හෝමෝ සේපියන්ස් නමැති මේ නව ආරක මිනිස් විශේෂ​ය අන් මානව විශේෂ වලින් ඒ තරම් තදින් කැපී පෙනෙන ලෙ​ස විශිෂ්ට වුණේත් නැහැ. ඔවුන්ට විශාල මොළයක් තිබුණ බවත්, සිරුර කෙළින් තබා ගෙන ඇවිදීමට හැකි වූ බවත්, මෙවලම් භාවිතා කළ බවත් තදින් සමාජීකෘත​ව (highly social) විසූ බවත් සැබෑයි. එහෙත් අනෙකුත් මානව විශේෂ වලටත් ඒ හා සමාන හැකියා තිබුණා. උදාහරණයක් වශයෙන් හෝමෝ සේපියන්ස්​වරු සම්ප්‍රාප්ත වීමට බොහෝ කල​කට පෙර සිට නියන්ඩතාල් මානවයෝ ගින්දර භාවිතාව හා අන්‍යෝන්‍ය සහයෝගයෙන් විශාල සතුන් දඩයම් කිරීම ​ද සිදු කළා.

මෙසේ විශේෂයෙන් සපිරුණු සුවිශේෂත්වයක් නො තිබුනත් හෝමෝ සේපියන්ස්වරු ඉතා සාර්ථක ලෙස ප්‍රවර්​තනය (survival) වී නොහොත් සිය පැවැත්ම තහවුරු කර ගෙන  මුළු පෘථිවිය පුරාම පැතිරුණා. එහෙත් අනෙකුත් සියලු ​ම මානව විශේෂ නෂ්ටප්‍රාප්ත වී මිහිතලයෙන් අතුරුදහන් වුනා. එ​ය එසේ සිදු වූයේ ඇයි?

මෙය විස්තර කරන ප්‍රවාද දෙකක් තියෙනවා. ​ඉන් එකක් වන අන්‍තරාභිජනන (interbreeding) ප්‍රවාදය මගින් යෝජනා කරන්නේ හෝමෝ සේපියන්ස්වරු සහ අනෙකුත් මානව විශේෂ, විශේෂයෙන්ම නියන්ඩතාල්වරු, අතර ඇති වූ නිරන්තර සහාවාසය නිසා හෝමෝ විශේ​ෂ දෙකම ඒකාබද්ධ වූ බවයි. වර්තමාන යුරෝපීයයන්ගේ ඩීඑන්එ් (DNA) සංයුතියෙන් සියයට 1 සිට 4 දක්වා ප්‍රමාණයක් නියන්ඩතාල් සහ අනෙකුත් මානව විශේෂ​ වල ඩීඑන්ඒ වලින් සමන්විත ව තිබීම මෙය සනාථ කළ හැකි එක් හේතුවක් වශයෙන් ගෙන හැර දැක්වෙනවා.

විස්ථාපන​ය (replacement) යන නමින් හැඳින්වෙන අනෙක් ප්‍රවාදයෙන් කියන්නේ හැකියා​වෙන් සහ තාක්ෂණය අතින් හෝමෝ ​සේපියන්ස්වරු අන් මිනිස් විශේෂ වලට වඩා තරමක් දියුණු වූ නිසා ඔවුන්ට අනෙක් මානව විශේෂ සියල්ල නෂ්ටප්‍රාප්තිය කරා තල්ලු කර දැමීමට හැකි වූ බවයි. විස්ථාපනවාදීන්ට අනුව මෙය සිදු කරන්නට ඇත්තේ අනෙක් මානව විශේෂ​ වල ආහාර සම්​පත් අහිමි කිරීමෙන් හෝ ඔවුන් මරා දැමීමෙන් හෝ විය හැකියි.

ඉතින් ​මේ ප්‍රවාද දෙකෙන් වඩා නිවැරදි විය හැක්කේ කොයි ප්‍රවාදය ද.? ඇත්ත වශයෙන් කි​ව යුත්තේ මේ ප්‍රවාද දෙකම අර්​ධ වශයෙන් සත්‍ය විය හැකි බවයි. ඇත්තටම සිදුවන්නට ඇත්තේ හෝමෝ ​සේපියන්ස්වරු අනෙක් මානව විශේෂ උච්ඡේදනය(annihilation) කිරීම සහ  ඔවුන් හා අන්තරාභිජනනය කිරීම යන දෙකම සමගාමීව සිදුවීමයි.

අඟුටු මිට්ටන් වැනි හෝමෝ ෆ්ලොරෙන්සිස් විශේෂය මීට වසර 12,000කට පෙර නෂ්ටප්‍රාප්ත වී ගිය ​පසු මිහි මත  ඉතුරු වූ එකම මානව විශේෂය හෝමෝ සේපියන්ස්‍වරුයි.

 

  1. ඥානික විප්ලවයත් (cognitive revolution) සමග මිහිතලය ජය ගැනීමට හැකි චින්තනයක් සහ සංනිවේදන කුසලතා අත්පත් කර ගැනීමට හෝමෝ සේපියන්ස්වරු සමත් වුණා.

හෝ​මෝ ​සේපියන්ස්වරු විසින් අවශේෂ මිනිස් විශේෂ අභාවයට යැවූ අන්දමත් එසේ කිරීමට හැකි වූයේ සුළු වශයෙන් හෝ අනෙක් මිනිස් විශේෂ අබිබවා යන හැකියා හෝමෝ සේපියන්ස්වරුන්ට තිබුණ​ නිසා බවත් අප දැන් දන්නවා. එහෙත් හෝමෝ සේපියන්ස්වරුන්ට​ එවැනි වාසිදායක හැකියා අත්පත් කර ගැනීමට හැකි වුණේ කෙසේ ද?

​            එයට පිළිතුර ගැබ් වී ඇත්තේ හෝමෝ සේපියන්ස්වරුන්ගේ මොළයේ අද්විතීය​ ව්‍යුහයේයි. මීට වසර 70,000 කට පමණ පෙර ඥානික විප්ලවය(cognitive revolution) නමින් හැඳින්වෙන පරිණාමීය පිම්මක බලපෑම​ට නූතන මානවයා ලක් වුණා. මේ නිසා සාපේක්ෂ වශයෙන් වැඩියෙන් වර්ධනය වූ බුද්ධි බලයක් නූතන මානවයා​ට හිටි හැටියේ ම ඇති වුණා.

මෙසේ වැඩි දියුණු වූ බුද්ධිය නිසා අනෙකුත් තරඟකාරී මිනිස් විශේෂ අබිබවා යාමේ හැකියාවක් හෝමෝ සේපියන්ස්වරුන්ට ලැබුණා. උදාහරණ වශයෙන් අන් මිනිස් විශේෂ වලට නොහැකි වූ අන්දමින් වඩා විශාල හා සංකීර්ණ ප්‍රජා සමූහ පවත්වා ගෙන යාමටත්, දඩයම සඳහා යොදා ගත හැකි වඩා සංකීර්ණ ආයුධ නිපදවා ගැනීමටත් පමණක් නොව වෙළහෙළදාම දියුණු කර ගැනීම පිණි​ස ප්‍රාථමික වාණිජ ජාල වර්ධනය කර පවත්වා ගැනීමටත් ඔවුන් සමත් වුණා.

මෙකී වාසි නිසා ඉතාමත් කටුක පරිසර වල දී වුව​ද අන් මාන​ව විශේෂවලට නොහැකි වූ අන්දමින් ආහාර සහ අනෙකුත් අවශ්‍යතා සපුරා ගැනීමට හෝමෝ සේපියන්ස් වරු සමත් වුණා.

උදාහරණ​යක් වශයෙන් ගත්තොත් ආසියාවේ සිට සයිබීරියා මං තීරුව ඔස්සේ ඇමෙරිකාවට සංක්‍රමණය වීම පිණිස ආක්ටික් දේශගුණය​ට හුරුපුරුදු වීමට හෝමෝ සේපියන්ස්වරුන්ට සිදු වුණා. ඒ සඳහා අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ වලින් ​සපිරුණු මැමත් ඇතුන් දඩයම් කිරීමට හැකි වන පිණි​ස කණ්ඩායම් සංවිධාන ඇති කර ගැනීමටත් මැමත් සම් සහ ලෝම වලින් අධික ශීතලට සහ හිමට ඔරොත්තු දෙන පාවහන් සහ උණුසුම් ​ඇඳුම් තනා ගැනීමටත් ඔවුන් පුරුදු වුණා.

බුද්ධි බලයේ විසල් පිම්මකට තුඩු දුන් මෙකී විප්ලවය පෘථිවි ගෝලයේ ඈත කොන දක්වා ම ගවේෂණය කිරීමට නූතන මිනිසාට ඉඩ සැලසුවා. අප්‍රිකාවෙන් ආරම්භ වී යු​රෝපය, ආසියාව, ඇමෙරිකාව පමණක් නොව ඔස්ට්‍රේලියාව දක්වා ම හෝමෝ සේපියන්ස්​වරු පැතිර ගියා.

සිය බුද්ධි මහිමය උපයෝගී කො​ට දියුණු කළ අවි ආයුධ යොදා ගනිමින් ​ලෝක​ය පුරා පැතිර යාමට සමගාමීව නූතන මානවයා අතින් සිදු වූ තවත් දෙයක් වූයේ තමන්ට අභිමුඛ​ වන ජීව විශේෂ ගණනාවක් ම නෂ්ටප්‍රාප්ත කර දැමීමයි.

උදාහරණයක් වශයෙන් ගත්තොත් මීට වස​ර 50,000 පෙර උසින් අඩි 20ක් පමණ වූ දැවැන්ත බිම් මන්දයන් (ground sloth) සහ කුඩා වෑන් රථයක් පම​ණ සුවිශාල ආමැඩිල්ලෝ වැනි විවිධාකාර දැවැන්ත​ ක්ෂීරපායී සත්වයන්ගෙන් ඔස්ට්‍රෙලියානු මහද්වීපය පිරී තිබුණා. එහෙත් හෝමෝ සේපියන්ස්වරු ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වී සහස‍්‍ර කීපයක් යන්නට මත්තෙන් එකී සත්ව විශේෂ​ අතුරින් අති විශාල ගණනා​වක් නෂ්ටප්‍රාප්ත ව ගියා.

 

  1. සංකීර්ණ භාෂා හැකියාව හෝමෝ සේපියන්ස්වරුන්ට විශිෂ්ට ලෙස වාසිදායක වෙමින් ඔවුන්ගේ පැතිරීම හා සාර්ථක වීම තව තවත් තහවුරු කළා.

මානවයන්ගේ විදග්ධභාවය පිළිබඳ සංකල්පය උත්කෘෂ්ට ලෙස ප්‍රදර්ශන​ය කරන්නේ කුමන සාධකයක් මගින්දැ’යි කිව හොත් එයට දිය හැකි හොඳ ම පිළිතුර වශයෙන් බොහෝ අය සලකන්​නේ භාෂාව යි. විශේෂයෙන් අනෙකුත් සත්ත්ව විශේෂවල සංනිවේදන හැකියාවන් හා සසඳන විට මිනිසුන්ගේ භාෂා හැකියාව විස්මය දනවන සුළු ලෙස සංකීර්ණයි, දුරවබෝධයි, අපූරුයි.

ඒ නිසා මේ අපූරු භාෂා හැකියාව දියුණු මට්ටමකට වර්​ධනය වීම හෝමෝ සේපියන්ස්වරුන්ගේ ආධිපත්‍ය පිළිබඳ ඉතාමත් වැදගත් සාධකය වී​ම විමතියට කරුණක් නෙවෙයි. ​එය එසේ වන්නේ ඇයි දැයි තව දුරටත් විමසා බලමු.

හෝමෝ සේපියන්ස් යනු බෙහෙවින් සමාජශීලී සත්ව විශේෂයක්. අප ජීවත් වන්නේ තනිතනිව නොවේ ප්‍රජා සමූහ වශයෙන්. එම ප්‍රජා සමූහ තුළ ජීවත් වන පුද්ගලයන් අතර තොරතුරු ගලා යාම සිදු වන්නේ භාෂාව නිසායි. මෙහි තේරුම භාෂාව නිසා ආහාර, විලොපිකයන්(predators) පමණක් නොව සමූහය තුළ ඉන්නා භයානක, විශ්වාසය තැබිය නොහැකි පුද්ගලයන් ගැන පවා වැදගත් පාඩම් එකිනෙකා අත​ර හවුලේ බෙදා ගත හැකි බවයි.

උදාහරණයක් වශයෙන් ඇති තරම් පලතුරු ගස් ඇති තැනක් සොයා ගත් තැනැත්​තෙකුට භාෂාව භාවිතා කිරීම මගින් ඒ ගස් පිහිටා ඇති තැන අනෙකුත් අයට කියා දි​ය හැකියි. භයානක විලොපිකයෙක් සැඟව සිටින තැනක් දැන ගත් අයෙකුට ඒ අඩවිය මග හැර යන ලෙස අන් අයට උපදෙස් දීමට භාෂාව භාවිතා කළ හැකියි. මේ අවස්ථා දෙකේ දීම ප්‍රජා සමූහයට භාෂාව සුවිශේෂ වශයෙන් වාසිදායකයි.

එහෙත් භාෂාවේ විශාලතම ප්‍රයෝජනය ප්‍රජා සමූහයේ සාමාජිකයන් අතර පොදු අවබෝධයක් ඇති කිරීමට එය මූලික වීමයි. නූතන මාන​ව සංහතියට අනුපමේය වාසියක් වූයේ ද එයයි.

විශාල සාමාජික සංඛ්‍යාවක් හා සහයෝගයෙන් කටයුතු කිරීමට හැකි වෙනත් සතුන් ද වෙනවා. ඒ සඳහා දිය හැකි හොඳ උදාහරණයක් මී මැස්සන්. එහෙත් එවැනි සතුන්ගේ සහයෝගිතාව බෙහෙවින් අනම්‍යයි. නව අනතුරු සහ අවස්ථා ද ඇතුළුව පරිසරයේ සිදු වන වෙනස් කම් අනුව තම සමාජ ක්‍රමය අවශ්‍ය ලෙස වෙනස් කිරීමට නැතහොත් අනුවර්තනය කර ගැනීමේ හැකියාවක් ඒ සතුන්ට නැහැ.

එහෙත් තමන් විසින් වටහා ගන්නා වෙනස් වීම් වලට අනුකූලව වඩා නම්‍ය ලෙස එකිනෙකා හා සහයෝගිතාවෙන් කටයුතු ක​ළ හැකි චිම්පන්සි වැනි වානර සතුන් ද සිටින බව අප දන්නවා. කෙසේ වෙතත් චිම්පන්සියන්ගේ සහයෝගිතාව පවතින්නේ කුඩා කණ්ඩායම් වශයෙන් පමණයි. ඊට ​හේතුව කුඩා කණ්ඩායම් තුළ සහයෝගිතාවෙන් කටයුතු කිරීමට නම් සහයෝගය ලබන සාමාජිකයා හා සහයෝගය දෙන සාමාජිකයා අතර බෙහෙවින් ළෙන්ගතු සම්බන්ධතාවක් තිබිය යුතු වීමයි. විශාල කණ්ඩායමක සාමාජිකයන් සියලු දෙනා අතර එවැනි ළෙන්ගතු කමක් පවත්වා ගැනී​ම කිසිසේත් ම ප්‍රායෝගික නැහැ.

නමුත් සාමාජික සංඛ්‍යාව විශාල වූ සමූහයක වඩාත් නම්‍ය ලෙස සහයෝගිතාව පවත්වා ගෙන යා හැකි එකම සත්ත්වයා මනුෂ්‍යයායි. එයට හේතුව ලෞකික ​භෞතික ​ලෝකය  ගැන තොරතුරු හුවමාරු කර ගැනීම පමණක් නොව දෙවියන්, ඉතිහාසය, අයිතීන් වැනි අවෛෂයික සංකල්පනා සාකච්ඡා කිරීම ද අපට භාෂාව මගින් කළ හැකි බැවිනුයි.  කතුවරයා සඳහන් කරන අන්දමට අප අතර ඇති පොදු මිථ්‍යාවන් වන මේ සංකල්පනා මිනිස් මොළය විසින් ප්‍රබන්ධ කර​නු ලබන නිර්මාණයි. මේ නිර්මාණ අපේ සංස්කෘතිවල මුල්ගල්  වශයෙන් සැලකිය යුතුයි.  එකිනෙකා පෞද්ගලිකව ම දැන හඳුනා ගෙන නොමැති සුවිසල් මානව සමාජ කණ්ඩායම් තු​ළ නිරන්තර සහයෝගිතාව පවත්වා ගෙන යාමට ඉඩ සැල​සෙන්නේ එම සංස්කෘතික මුල්ගල් නිසායි. ආගම, අනන්‍යතාව, නිදහස වැනි සංකල්ප වටා පොදු මිථ්‍යාවන් ගොඩ නගා ගැනීම මගින් තනි පුද්ගලයන් රාශියකගෙන් සමන්විත විශාල​ ප්‍රජාවක් මවා පවත්වා ගැනීමට අපට හැකි වී තියෙනවා.

මුල්කාලීන හෝ​මෝ සේපියන්ස්වරු ජීවත් වුණේ ද දල වශයෙන් සංඛ්‍යාවෙන් 150 ක් ප​මණ වූ කුඩා කණ්ඩායම් වශයෙන්. එහෙත් භාෂාව සහ පොදු මිථ්‍යාවන් හේතු කොට ගෙන ඒ  ප්‍රජා කණ්ඩායම් ගම්වල සිට නගරවලටත්, නගරවල සිට ජාතික රාජ්‍ය දක්වාත්, ජාතික රාජ්‍යයේ සිට නූතන යුගයේ සමස්ත ලෝක සමාජය දක්වාත් ප්‍රමාණය අතින් අතිශයින් පුළුල් කර ගැනීම​ට අපට හැකි වුණා.

 

  1. දඩයමින් සහ වන පළ වැල වලින් දිවි ​ගෙවූ මිනිසා කෘෂිකාර්මික විප්ලවයත් සමග ගොවීන් බවට පරිවර්තනය වුණා. එනිසා ජනගහණයේ දැවැන්ත වැඩි වීමක් ඇති වුණා.

ඉතිහාසයෙන් වැඩි කොටසක් ම හෝමෝ සේපියන්ස්වරු ජීවත් වුනේ අස්ථිරවාසී ජීවන ක්‍රමයක් අනුගමන​ය කරමින්. අපේ මුතුන් මිත්තන් ගෙන් වැඩි කොටසක් තමන්ගේ ජීවිතය ගත කළේ ගොදුරු සොයා දඩයම් කරමින් සහ ඉබේ වැඩුණු ශාකාහාර එකතු කරමින්. මේ නිසා එක් ස්ථිර තැනක් සිය වාසස්ථානය කර ගැනීම වෙනුවට ආහාර වැඩි වශයෙන් ඇති තැන් බලා නිරන්තරයෙන් පදිංචිය වෙනස් කිරීමට ඔවුන්ට සිදු වුණා.

එහෙත් මීට වසර 12,000 කට පෙර මේ සියල්ල වෙනස් වුණා. එකල සිදු වූ කෘෂිකාර්මික විප්ලවය යනුවෙන් අප හඳුන්වන්නේ තවදුරටත් මුලුමනින් දඩයම සහ වනඵලවැල එකතු කිරීම මත තම රඳාපැවැත්ම නතර කළ හෝමෝ සේපියන්ස්වරු ඒ වෙනුවට බව බෝග වගා කිරීම සහ ආහාර පානාදිය ​සඳහා සතුන් ඇති කිරීම ​ඇරඹීමයි. අවුරුදු 10,000ක් ඇතුළත සියලු මනුෂ්‍ය වර්ගයා ම මෙසේ කෘෂිකර්මයට අනුගත වීම සැබැවින් ම විප්ලවීය වූ ප්‍රගතියක්.

එහෙත් මෙය තරමක් විමතිය දනවන කරුණක්. කෘෂිකර්මය අද අපට බෙහෙවින් හුරුපුරුදු සාමාන්‍ය දෙයක් වූව ද දඩයම් කිරීම වනඵලවැල නෙළීම වැනි ජීවන රටාවක් වෙනුවට අපේ මුතුන් මිත්තන් කෘෂිකර්මය තෝරා ගත්තේ ඇයි දැ’යි යන්න ඇත්ත වශයෙන් ම තේරුම් ගැනීම සෑහෙන අසීරු දෙයක්.

ශ්‍රමය වැය කිරීම අතින් ගත්තොත් කෘෂිකර්මය යනු බෙහෙවින් කාලය ගත කිරීමට සිදු වන කාර්යයක්. දඩයක්කාර ජීවිත​යේ දී පවුලකට ප්‍රමාණ​වත් තරම් ආහාර වනඵලවැල සපයා ගැනීමට දිනකට පැය හතරක කාලයක් පමණ ගත කිරීම සෑහෙන වුණත්  කෘෂිකර්මයේ නියැලෙන ගොවියෙකුට බොහෝ විට උදෑසන සිට ඉර බැසයනතෙක් ම තම කුඹුරේ වැඩ කිරීමට සිදු වුණා.

අනෙක් කාරණය ​ආහාර වල ගුණාත්මක ස්වභාවයයි. මුල් කාලීන කෘෂිකර්මයේ දී අපේ මුතුන් මිත්තන් ට පෝෂ්‍ය ගුණය සහ විටමින් වලින් අඩු, දිරවීමට අපහසු තිරිඟු වැනි පටු පරාසයක ධාන්‍ය වර්ග වලට සීමා වීමට සිදු වුණා. දඩයක්කාර ජීවිතයේ දී භුක්ති විඳීමට හැකි වූ අතිශයින් පුළුල් පරාසයක මස් වර්ග, ඇට ජාති, පලතුරු සහ මත්ස්‍ය වර්ග හා සසඳා බලන විට මුල් යුගයේ කෘෂිකාර්මික ආහාර වේල පෝෂ්‍ය පදාර්ථවලින් අඩුයි.

ඒ එසේ වී නමුත් ජීවන රටා මෙසේ වෙනස් වුණේ ඇයි?

ප්‍රථමයෙන් ​ම කෘෂිකර්මාන්තයට මාරු වීම පරම්පරාවෙන් පරම්පරාවට පියවරෙන් පියවර කෘෂි භාවිතාව අන්තර්ග්‍රහණය කර ගැනීමෙන් සිදු වූ සෑහෙන මන්දගාමී ක්‍රියාවලියක්. ඉතිහාසඥයන් විසින් ගොවිතැනේ අවාසි එළිදරව් කර ගන්නා විට නැවත ආපසු හැරී යාමට තරම් ජන සමාජය ප්‍රමාද වූවා වැඩියි.

දෙවනුව කොතෙකුත් ප්‍රශ්​න තිබුණ ද කෘෂිකර්මයේ කැපී පෙනෙන වැදගත් වාසි ද තිබුණා. කුඩා බිම් කඩක ගොවීන්ට ශාක ආහාර රැසක් වගා කර ගැනීමට හැකි වුණා. මේ නිසා ආහාර සැපයුම වැඩි වූ බැවින් වඩා විශාල ජනගහණයක් නඩත්තු කිරීමට ද හැකි වුණා. ඒ  අනුව හෝමෝ සේපියන්ස් ජනගහණයේ දැවැන්ත ව්‍යාප්තියක් ද ඇති වුණා.

එ​හෙත් ජනගහනය මේ සා වැඩි වීම වෙනත් ප්‍රශ්න වලට ද තුඩු දුන්නා. සමාජය එවැනි ජනගහණ වැඩි වීමක් හසුරුවා ගන්නේ කෙසේ ද? එයයි අප මී ළඟට විමසීමට යන කාරණය.

 

  1. විශාල ප්‍රජා සමූහයන් තුළ පහසුවෙන් වෙ​ළහෙළඳාම් සිදු කිරීම පිණි​ස මනුෂ්‍යයන් මුදල් සහ ලේඛන කලාව සොයා ගත්තා.

කෘෂිකාර්මික විප්ලවය​ට පෙර පැවති මනුස්ස ජීවිතය බෙහෙවින් සරල වූවක්. එකල ඔබේ දඩමස් ප්‍රමාණය අඩුව ගියේ නම් නොවළහා අසල්වැසියාගේ අතිරික්තයෙන් කොටසක් ඉල්ලා ගැනීමට ඔබට හැකියි. බොහෝ විට ඔබේ උදව්වට ඒමට අසල්වැසියා කැප වුණේ ඔහුගේ හිඟපාඩුකම් පිරිමසා ගැනීමේ අවශ්‍යතාවක් ඇති වූ විට ඔබ පැකිළීමකින් තොරව එය ඉටු කර දෙන බව දන්නා නිසායි.

එහෙත් කෘෂිකාර්මික සංවර්ධනයත් සමග මේ අනුග්‍රහ ආර්ථිකය (economy of favors) භාණ්ඩ හුවමාරු ආර්ථිකයක් (barter economy) බවට පෙරළුණා.

ඒ ඇයි?

ඊට හේතු​ව, එය වඩා කාර්යක්ෂම ක්‍රමයක් වීම නි​සයි. කෘෂිකර්මය නිසා මුළු ප්‍රජා සමූහයට ම සෑහෙන ආහාර නිෂ්පාදනයක් සිදු වුණා. ​ඒ නිසා ඊළඟ වේ​ල සොයා ගැනීමේ නිරන්තර පීඩනයෙන් මිදී කම්මල් වැඩ  සහ රෙදි විවීම වැනි නව ශිල්ප වල නිරත වීමට ඇතැම් අයට හැකි වුණා. තමන් විසින් තනන ලද පිහියක්, උදැල්ලක් වැනි නිමි භාණ්ඩයක් ගොවියාට දීමෙන් එ් වෙනුවට අවශ්‍ය ආහාර ප්‍රමාණය සපයා  ගැනීමට මේ ශිල්පීන්ට හැකි වුණා.

ඒත් ඉතා ඉක්මනින් ම මේ භාණ්ඩ හුවමාරු ආර්ථිකය ද ප්‍රමාණවත් නොවන බව බොහෝ අයට තේරුම් ගියා. භාණ්ඩ හුවමාරු වෙළඳ පොළ පුළුල් වීමත් සමග කෙනෙකුට අවශ්‍ය කරන භාණ්ඩ​ය දිය හැකි අයෙක් පහසුවෙන් සොයා ගැනීමත් එසේ සොයා ගත්තත් ඒ පුද්ගලයාට අවශ්‍ය කරන හුවමාරු භාණ්ඩ​ය ​ලබා දීමට හැකිවේ ද යන්නත් ගැටලුවක් බවට පත් වුණා. උදාහරණයක් වශයෙන් ​ඔබ තැනූ කදිම පිහිය ගොවියෙකු සතු ඌරෙකු​ට හුවමාරු කරලීම ඔබේ කැමැත්ත වූවද ගොවියා සතු ව දැනටමත් ඇති තරම් පිහි ප්‍රමාණයක් ඇත්නම් ඔබ කුමක් කරන්න ද? නො එසේ නම් ගොවියාට පිහියක් අවශ්‍ය වුවත් ඒ වෙනුවට ඔබට අවශ්‍ය කරන අන්ද​මේ ඌරෙකු ඔහු සතු ව නැත්නම් ඔබ කුමක් කරන්න ද? ​එකම දේ ඔබට අවශ්‍ය කරන ප්‍රමාණ​යේ ඌරෙකු මතු දවස​ක ලබා දීමට ඔබට පොරොන්දුවක් දීම​ට ගොවියාට හැකියි. එහෙත් ඒ පොරොන්දුව ඔහු විසින් නිශ්චිතව ම ඉටුකරණු ඇතැ’යි යන සහතිකය ඔහුගෙන් ලබා ගැනීමට ඔබට හැකි ද?

මෙවැනි ගැටලු සහගත අවස්ථාවල ට මුහුණ දීමට ත​මයි ක්‍රි.පූ. 3000 දී පමණ හෝමෝ සේපියන්ස්වරු ලේඛනය සහ මුදල් භාවිතය සොයා ගත්තේ.

​            පළමුවෙන් ම එය සිදු කළේ මෙසපොතේමියාවේ විසූ සුමේරියන්වරුන් විසින්. සංකීර්ණ වෙළහෙ​ළදාම් පිළිබඳ තොරතුරු වාර්තා කර කලක් තබා ගැනීමේ අවශ්‍යතාව සපුරණු පිණිස සරල ආර්ථික සංකේත යොදා ගනිමින් ඔවුන් මිනිසුන්ගේ ගනුදෙනු මැටි පුවරුවල සටහන් කර තැබුවා. ඒ යුගයේ ම වාගේ සම්මත ගෙවීම් ක්‍රමයක් ලෙස මුදල් ඒකකය වශයෙන් බාර්ලි භාවිතා කිරීම ද ඇරඹුණා.

මේ ක්‍රමයට අනුව ඔබට පහසුවෙන් පොදු ව්‍ය​වහාරයට ගත හැකි ගෙවීමක් ඌරන් ඇති​කරන ගොවියා​ට ලබා දිය හැකියි. එම ගෙවීම ගොවියාට තමන් කැමති භාණ්ඩයක් මිල දී ගැනීමට යොදා ගත හැකියි. එසේත් නොමැති නම් නුදුරු දිනක දී ඔබට ඌ​රෙකු ලබා දෙන බවට ගොවියා පොරොන්දු වුව හොත් එම ගනුදෙනුවේ ලිඛිත වාර්තාවක් නියමිත දිනට පොරොන්දුව ඉටු කිරීමේ සහතිකය වශයෙන් තබා ගත හැකියි.

 

  1. අධිරාජ්‍ය සහ ආගම් ඇතිවීම මනුෂ්‍ය වර්ගයාගෝලීය ඒකීකරණය (global unification) කරා යොමු කළා.

කලින් සඳහන් කළ අන්දමට මුදල් භාවිතය හා ලේඛන කලාව සොයා ගැනීමෙන් පසු ආර්ථික ගනුදෙනු පවත්වා ගෙන යාම ඉතා පහසු වූ අතර ඒ නිසා ආර්ථික වංචා සිදු කිරීම ද අසීරු වුණා. එහෙත් හිටිහැටියේම ආර්ථිකය කාර්යක්ෂමව සහ හැල හැප්පීමකින් තොරව ක්‍රියා කිරීමට පටන් ගත් බවක් ​ඉන් අදහස් වෙන්නේ නැහැ. ඇත්ත වශයෙන් ම සිදු වූයේ සමාජය සහ ආර්ථිකය දිගින් දිගටම වැඩෙන්නට වූ විට ඒවා පාලනය හා නියාමනය කිරීම ත​ව තවත් අසීරු වීමයි.

ඉතින් මානව සමාජ ඒ සම්බන්ධ​ව කළේ කුමක් ද?

ඒ සඳහා මානවයන් කළේ මිනිසුන්ගේ චර්යාව නියාමන​ය කිරීම් වස් නීති පැනවීම සහ එම නීති වලට මිනිසුන් අවනත වීම සහතික කරනු පිණි​ස නිසි අධිකාරී පද්ධතියක් (system of authority) බිහි කිරීමයි. ඉතින් ඒ අනුවයි රජු හෝ අධිරාජයා මුල් තැනෙහි තබා අන් සියල්ලෝ​ම රජුගේ හෝ අධිරාජයාගේ පාලනයට නතු ක​ළ ප්‍රථම ධූරානුක්‍රමික සමාජය(hierarchical society) බිහි වු​ණේ.

අද කාලයේ අප පුරා​ණ රජුන් සහ අධිරාජයන් ක්‍රෑර අධිකාරවාදීන් ලෙස සැලකුවත් රාජධානි සහ අධිරාජ්‍ය මගින් අතීත​යේ දී සැලකිය යුතු දේශපාලනික, සමාජීය හා ආර්ථික ස්ථාවර භාවයක් පවත්වා ගෙන යාමට හැකි වුණා. එයට ​එක හේතුවක් වූයේ එමගින් බිහි වූ ඵලදායී නිලධාරි තන්ත්‍රය විසින් සිරිත් විරිත් සහ නීති රීති සමජාතීය (homogenize) කිරීමයි.

උදාහරණයක් ව​ශයෙන් ක්‍රි.පූ 1776 හමුරාබි නමැති බැබිලෝනියානු රජු විසින් හඳුන්වා දෙන ලද  හමුරාබි සංග්‍රහය නමැති නීති මාලාව ගෙන බලමු. මේ නීති සංග්‍රහය බැබිලෝනියානු අධිරාජ්‍ය පුරා බල පැවත්වෙන පරිදි බදු අය කිරීම, සොරකම සහ මිනී මැරීම වැනි ක්ෂේත්‍ර දැඩි ලෙස පාලනයට නතු කළ නීති සමුදායකින් සමන්විත වුණා. මේ නීති සංග්‍රහය මගින් තමන්ට කළ හැක්කේ කුමක් ද සහ කළ නොහැක්කේ කුමක් ද යන්න ගැන පොදු අවබෝධයක් අධිරාජ්‍ය පුරා ජනතාව තුළ ඇති කළා. අධිරාජ්‍යයේ සීමාව තුළ කොහේ ගියත් කුමන ගනුදෙනුවක් කළත් කිනම් නීතියක් හා චාරිත්‍රයක් අනුගමනය කළ යුත්තේ ද යන්න සියල්ලෝ ම එමගින් දැන ගෙන සිටියා.

තමන්ගේ නීති බලාත්මක කිරීම පිණි​ස තමන් සතු අධිකාරී බලය මිනිසුන් ලවා ඉහළින් පිළිගැනීමට රජවරුන්ට සහ අධිරාජයන්ට අවශ්‍ය වුණා. මූලික ව​ශයෙන් ම මෙය ඉටු කර ගත්තේ ආගමේ බලයෙන්. පාලකයා දෙවියන්ගේ කැමැත්ත මත පත් වූ බව මිනිසුන් විසින් පිළිගනු ලැබූ විට ඒ පාලකයාගේ පාලනය ඉත සිතින් පිළිගැනීමට ​ද මිනිසුන් කැමති වුණා.

උදාහරණයක් වශයෙන් හමුරාබි රජු ඔහුගේ පාලනය සහ නීති සංග්‍රහය සුජාත කළේ මෙසපොතේමියාවේ ජනතාව පාලනය කිරීම පිණිස දෙවියන් විසි​න් ඔහු පත් කරන ලද බව ප්‍රකාශ කරමින්.

අධිරාජ්‍යයන් පුළුල් වීමත් සමග එම අධිරාජ්‍යයන් විසින් ප්‍රවර්ධනය කරන ල​ද ආගම් ද විෂය පථය හා අධිකාරී බලය අතින් බෙහෙවින් බලසම්පන්න වුණා. ඇතැම් විටෙක බලය යෙදී​මෙන් සහ තවත් විටෙක අනුක්‍රමයෙන් ස්වීකරණය(assimilation) කර ගැනීම තුළින් විවිධාකාර වූ වාර්ගික සහ ආගමික කණ්ඩායම් මෙගා සංස්කෘති (mega-cultures)කිහිපයකට ගාල් කර ගැනීමට අධිරාජ්‍යවාදී පාලන තන්ත්‍ර සමත් වුණා.

 ඇත්ත වශයෙන් ම පසුගිය වසර 2500 තිස්සේ වඩාත් ම සුලබ දේශපාලන සංවිධානය වුණේ අධිරාජ්‍යයයි.

 

  1. නව තාක්ෂණය, අධිරාජ්‍යවාදය සහ ආර්ථික වර්ධනයට ද ඉඩ සලසමින් විද්‍යාත්මක විප්ලවය මනුෂ්‍යවර්ගයා නූතනී​යකරණයට(modernized) ලක් කළා.

සිය මුළු මහත් පැවැත්ම තුළ බොහෝ කාලයක් ම මනුෂ්‍ය වර්ගයා ගත කළේ  සර්ව අශුභවාදී (pessimistic) ජීවිතයක්. ඉතිහාසය පුරාම මිනිසුන්ගෙන් බහුතරයක් ඔවුන්ගේ හැකියාවන් ගැන විශ්වාස කළේ නැහැ. ඒ වෙනුවට වැඩි විශ්වාසයක් තිබුණේ දෙවියන්ගේ හැකියාව ගැනයි. හැම මනුෂ්‍යයෙකු  ම දෙවියන්ගේ පාලන බලයට යටත් බැවින් නව දැනුම ලබා ගැනීම හෝ විද්‍යාත්මක දියුණුව ඇති කිරීමට තැත් කිරීම සෑහෙන කලක් තිස්සේ මනුෂ්‍යයන් සතු කර්තව්‍යයක් ලෙස සැලකුණේ නැහැ. ඒ වෙනුවට තමන්ට දෛවයෙන් ම නියමිත වූ ජීවිතය ගත කිරීම වඩා හොඳයැ’යි බොහෝ අය කල්පනා කළා.

කෙසේ වෙතත් 16වෙනි සහ 17වෙනි සියවස් වල දී මේ සර්ව අශුභවාදී ආකල්පය වෙනස් වෙන්නට පටන් ගත්තා. යුරෝපය පුරා විද්‍යාත්මක විප්ලවය පැතිරෙන්නට පටන් ගත්තා. හුදෙක් දෙවියන්ට අයත් කටයුත්තක් ලෙ​ස ප්‍රගතිය සීමා කර තබනවාට වඩා විද්‍යාව උපයෝගී කර ගැනීමෙන් සමාජ ප්‍රගතිය ඇති කර ගන්නේ කෙසේදැ’යි කල්පනා කරන්නට මිනිසුන් පෙලඹුණා.

ගවේෂණය, පර්යේෂණය සහ නිරීක්ෂණ​ය යන විද්‍යාත්මක මූලධර්ම උපයෝගී කර ගනිමින් වෛද්‍ය විද්‍යාව, තාරකා විද්‍යාව සහ භෞතික විද්‍යාව ආදී ක්ෂේත්‍රවල ඇති වූ දැවැන්ත ඥානවිභාගීය පිම්ම(Epistemological leap) නිසා එක් එක් ක්ෂේත්‍රවල බිහි වූ නවෝත්පාදන හේතු කොට​ ජීවත් වීම පිණිස වඩාත් සුදුසු ස්ථානයක් බවට ජන සමාජය පත් කර ගැනීම​ට මිනිසාට හැකිවුණා.

උදාහරණයකට ළදරු මරණ අනුපාතය ගෙන බලමු. වෛද්‍ය විද්‍යාව සහ මහජන සෞඛ්‍ය සම්බන්ධයෙන් විද්‍යාත්මක විධික්‍රම යොදා ගැනී​මෙන් අනතුරුව ළදරු මරණ අනුපාතය බෙහෙවින් පහළ ගියා.  ඉන් පෙර ඉතාමත් පොහොසත් පවුල් වල වුව ළමයින් දෙතුන් දෙ​නෙක් අකල් මරණ වලට ගොදුරු වීම සැලකුණේ සාමාන්‍ය දෙයක් ලෙසයි.  එහෙත් වර්තමාන ලෝකයේ සමස්ත ළදරු මරණ අනුපාතය දහසකට එකක් පමණයි.

මිනිසාගේ සෞඛ්‍යයට සැලසුණ සෙත මෙන් ම විද්‍යාත්මක ප්‍රගතිය ආර්ථිකයට ද බෙහෙවින් වැඩදායක බව බොහෝ යුරෝපීය ආණ්ඩු නොවළහා තේරුම් ගත්තා. නව අදහස් සහ සම්පත් සොයා ගැනීම මගින් සිය ජාතීන් පොහොසත් කිරීමට යුරෝපීය රජවරු සහ අධිරාජයෝ විද්‍යාඥයන්ට සහ ගවේෂකයන්ට නොපැකිළ ව මිල මුදලින් ආධාර කළා.

උදාහරණයකට, අත්ලාන්තික් සයුර තරණය කරමින් කොලොම්බස් විසින් කරන ලද ඒ චිර ප්‍රසිද්ධ ගවේෂණයට මුදල් සැපයුවේ කැස්ටිල්හි රජ පවුලයි. ​ඒ ගවේෂණයට ආධාර කිරීම හේතු කොට ගෙන රන් හා රිදී වැනි වටිනා සම්පත්වලින් යුත් දැවැන්ත ඇමෙරිකානු අධිරාජ්‍යයක් අත්පත් කර ගැනීමට රජුට හැකි වුණා.

එයට සමානව එතෙක් ගවේෂණයට ලක් නොවූ දකුණු පැසිෆික් සයුර ගවේෂණය කිරී​මට ​ බ්‍රිතාන්‍ය රජය විසින් ජේම්ස් කුක් යවනු ලැබීමේ ප්‍රතිඵලයක් වශයෙන් නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව යන භූමි ප්‍රදේශ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට එක් කර ගැනීමට හැකි වුණා.

මේ අවස්ථා දෙකේ දීම දේශ ගවේෂ​ණය සහ විද්‍යාත්මක නිපැ​දවීම් හේතු කොට ගෙන යු​රෝපීය ආර්ථිකය ​ඉතා වේගයෙන් දියුණු වුණා. අවාසනාවකට මෙන් යුරෝපයේ මේ ප්‍රගතිය පිණිස සැලකිය යුතු වන්දියක් ගෙවීමට අල්ලා ගත් භූමි ප්‍රදේශවල විසූ ස්වදේශිකයන්ට සිදු වුණා.

බොහෝ විද්‍යාත්මක අධ්‍යන වලට මූල්‍යාධාර ලැබෙන්නේ එමගින් යම්කිසි ආකාරයක දේශපා​ලනික, ආර්ථික හෝ ආගමික වාසියක් සැලසෙන්නේ යැයි කිසියම් අයකු කල්පනා කරන බැවිනුයි.

 

  1. ධනවාදයේ බලගතුකම ගැන තදින් විශ්වාස කරන වර්තමාන ගෝලීය සමාජය යුරෝපීය අධිරාජ්‍යවාදයේ දායාදයක්.

බොහෝ යුරෝපීය ආණ්ඩු සිය අධිරාජ්‍ය පුළුල් කර ගැනීමටත් ලාභය ඉහළ නංවා ගැනීමටත් විද්‍යාත්මක ක්‍රමවේදය යොදා ගත් අන්දම අප දුටුවා. එය කොයි තරම් සාර්ථක​ව සිදු වුණාදැ’යි කිව හොත් ලෝකයෙන් හරි අඩකටත් වඩා පාලනය කළේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයයි.

මේ සා පෘථුල ගෝලීය බලපෑමක් සමග සිය අදහස් මුළු ලොව පුරා බල ගැන්වීම​ට යුරෝපීය රටවලට හැකි වුණා. බටහිර ආගම, ප්‍රජාතන්ත්‍රවාදය හා විද්‍යාව ආදී යුරෝපීය ප්‍රතීයමාන(norms) පදනම් කරගත් මෙගා සංස්කෘති විසින් දේශීය සිරිත්, සංස්කෘති සහ නීතිරීති විස්ථාපනය (replace)කරනු ලැබුවා. යුරෝපීය අධිරාජ්‍යයන් මියගොස් දැන් බොහෝ කලක් ගත ව තිබුණ ද  තවමත් අ​ප ගනුදෙනු කරන්නේ අපට ඉන් උරුම වූ සංස්කෘතිය උපයෝගී කර ගෙනයි.

මේ සියල්ල අතරින් වඩාත් ම විශිෂ්ට ගෝලීය සංස්කෘතික ප්‍රතීයමානය (global cultural norm) වුණේ ධනවාදයයි. මූලික වශයෙන් ම යුරෝපීය අධිරාජ්‍යවාදයට ස්තුති වෙන්නට ලො​වපුරා වෙසෙන මිනිසුන් මුදල් බලයේ ඇති වැදගත්කම තදින් විශ්වාස කරන්නට වුණා.

අද බ්‍රසීලයේ හෝ භූතානයේ හෝ එසේත් නැතිනම් කැනඩාවේ හෝ කාම්බෝජ​යේ ජීවත් වුව ද ලොව පුරා බොහෝ මිනිසුන් සිය ජීවිතය ගත කරන්නේ මුදල් සහ ද්‍රව්‍ය පරිභෝජනය ප්‍රමුඛ කර ගෙනයි. අප සියල්ලන්ට ම අද අවශ්‍ය ඇත්තේ ​කෙලෙස හෝ ආදායම උපරිම කර ගැනීම හෝ තමන් අඳින ඇඳුම් පැළඳුම් සහ හාවිතා කරන විවිධ මෙවලම් මගින් හෝ සිය ධනවත් ක​ම ප්‍රදර්ශනය කිරීමටයි.

ඇත්ත වශයෙන් ම විද්‍යාවේ ආධාරය ඇතුව ලෝ​ක ධනවාදය බලසම්පන්න වී පැතිර යාම නිසා අනෙකුත් ​ගෝලීය සංස්කෘති, විශේ​ෂයෙන්ම ආගම බෙහෙවින් ඛාදනයට ලක් වුණා.

නූතන විද්‍යාව විසින් බොහෝමයක් ආගමික මූල​ධර්ම බිඳ හෙලනු ලැබ තියෙනවා. උදාහරණයක් වශයෙන් සත් දිනක් ඇතුළත ​​දෙවියන් විසින් ලෝකය මවන ල​ද බව විශ්වාස කිරීම බො​හෝ අ​ය දැන් අතහැර දමා තිබෙනවා.  ඒ වෙනුවට දැන් අප විශ්වාස කරන්නේ ස්වාභාවික වරණය මගින් පරිණාමය සිදු වූ බවට ඩාවින් විසින් හඳුන්වා දෙන ලද නියාමයයි.

ආගමික සත්‍ය ප්‍රශ්න කිරීමේ ලා ධනවාදී චින්තනය බොහෝ විට පෙරටුගාමී වුනා. උදාහරණයක් වශයෙන් සතුටින් සැපයෙන් ගත කිරීමට හැකි මරණින් මතු පරලොව ජීවිතයක් පිළිබඳ චිරාගත ඇදහීම වෙනුවට අප දැන් තැත් කරන්නේ මිහි මත ජීවිතය හැකි තරම් සතුටින් ගත කිරීමටයි. මේ ආකල්ප​ය නිසා මෙලොව දී  තමන් වඩා සතුටට පත් කරන භාණ්ඩ සහ සේවා වඩ වඩා මිළදී ගැනීමටත් පාරිභෝජනය කිරීමටත් අප නිරන්තරයෙන් ම යොමු වෙනවා.

 

  1. ලෝකයම ගෝලීයකරණය වී ඇති මේ කාලයේ තරම් වෙනත් කිසිම කලෙක මනුෂ්‍යා මෙතරම් සාමකාමී ​ව ජීවත් වී නැහැ.

ගෝලීයකරණය බෙහෙවින් තීරණාත්මක ලෙස ඉදිරියට යමින් තිබෙනවා. එහෙත් හැම කෙනෙක් ම ඒ ගැන සතුටට පත් වී නැහැ. ගෝලීයකරණය විවේචනය කරන අ​ය කියන පරිදි අනිකුත් විපාක වලට අතිරේක ව ගෝලීයකරණය නිසා සංස්කෘතික විවිධත්ව​ය කාබාසිනියා වෙමින් මුළු මහත් ​ලෝකය ම මොට්ට ඒකාකාරී ඒකාග්‍රතාවක් ඇති තැනක් බවට පත් වෙමින් තිබෙනවා.

එවැනි විවේචන තිබිය දී වුව ද ​ගෝලීයකරණය නිසා ඇති වූ ප්‍රතිලාභ බොහෝයි. ප්‍රථමයෙන් ම එය ලෝකය වඩාත් සාමකාමී තැනක් බවට පත් කිරීමට කටයුතු කර ති​බෙනවා.

නූතන ජාතීන් තම තමන්ගේ සමෘධිය පිණිස බෙහෙවින් එකිනෙකා මත යැපෙනවා. ​ගෝලීයකරණය වූ ලෝකය​ක බොහෝ වාණිජ කටයුතු සහ ආයෝජන සම්බන්ධ ජාලගත වීම් ඇතිවෙන්නේ විවිධ රටවල් ගණනාවක් හරහායි.  ඒ නිසා ​ලෝක​යේ එක ප්‍රදේශයක ඇතිවෙන යුද්ධයක් නිසා සියලු ප්‍රදේශවල ආර්ථිකයට අනිවාර්යයෙන් ම ද්විතීය බලපෑමක් ඇති වෙනවා.

මේ නිසා අමෙරිකා​වේ, යුරෝපයේ හා ආසියාවේ නායකයන් සියලු දෙනා ම පාහේ ලෝක සාමය පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් දැඩි උනන්දුවක් ගන්නවා. ලෝක සාම​ය බොහෝ විට සුරැකෙන්නේ ම ඒ නිසායි. 1945 සිට මේ දක්වා කිසිදු පිළිගත් රාජ්‍යයක් වෙනත් රාජ්‍යයක් විසින් යටපත් කරනු ලැ​බ හෝ තුරන් කර දමනු ලැබ හෝ නැහැ. දෙවැනි ලෝ​ක මහා යුද්ධයට පෙර පැවති ලෝකය කොයි තරම් ප්‍රචණ්ඩකාරී තැනක් ව තිබුණේදැ’යි මොහොතකට කල්පනා කර බැලුවොත් අද්‍යතන ලෝක​ය කොතරම් සාමකාමී තැනක්දැ’යි ඔබට සිතේවි.

එනිසා මෙතෙක් පැවති සාමකාමී ම ශතවර්ෂය විසිවැනි සියවස යයි කිව හැකියි. මෙය තරමක් විමතිය දනවන කරුණක් ලෙස පෙනුණත් ඉතිහාසය සැකෙවින් විමසා බැලුවොත් කෘෂිකාර්මික විප්ලවයේ සිට ම මිනිස් සමාජය අනුක්‍රමයෙන් ප්‍රචණ්ඩත්වයට පිටු පෑ බව දැක ගත හැකියි.

ගොවිතැන ඇරඹීමට පෙර දඩයම් යුගයේ පැවති ජන කණ්ඩායම් වල වැඩිහිටි පිරිමීන්ගෙන් සියයට තිහක් පමණ ප්‍රචණ්ඩ ගැටුම් නිසා සිදු වූ මනුෂ්‍ය ඝාතනයන්ට ලක් වූ බව ගණන් බලා තිබෙනවා. මේ තත්වය අද කාලය හා සසඳා  බලන්න. වර්තමානයේ දී වැඩිහිටි පිරිමීන්ගේ මරණ අතරින් සියයට එකක් පමණයි ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූ ඒවා ව​ශයෙන් වාර්තා වෙන්නේ. මේ අනුව මේ වන විට අපි මොන තරම් ප්‍රගතියක් ලබා ඇත්දැ’යි ඔබට වැටහෙන්නට ඇති.

කෙසේ වෙතත් මේ තත්ත්වය ඇති වුණේ ඇයි?. ඊට හේතුව කෘෂිකාර්මික විප්ලවයෙන් පසු ව්‍යුහාත්මක ව වර්ධනය වූ ධුරාවලීගත සමාජ විසින් මනුෂ්‍ය ඝාතනය සහ ප්‍රචණ්ඩ ක්‍රියා තහනම් කරන නීති රීති වලට අවනත වීමට මිනිසුන් පොලඹවනු ලැබී​මයි. ලොව පුරා ස්ථාවර ක්‍රියාශීලී සමාජ ආර්ථිකයන් ගොඩනැගීමට හැකි වූයේ ඒ නිසායි.

දැන් අප ජීවත්​වන්නේ ඉතාමත් සාමකාමී යුගයකයි. එහෙත් පමණ​ට වඩා ඒ ගැන බලාපොරොත්තු තැබීම නො කළ යුතු දෙයක්. ප්‍රචණ්ඩ ගැටුම් ඇතිවිය හැකි ප්‍රභවයන් ගැන අප නිරන්තර​යෙන් ම අවදි ව සිටිය යුතුයි. මන්ද අද කාලයේ විශාල පරිමාණයේ ජාත්‍යන්තර යුද්ධයක් ඇති වීම යනු මෙතෙක් නො ඇසූ විරූ අන්දමේ ව්‍යසනයකට මනුෂ්‍ය සංහතිය බඳුන් කිරීමක් වන බැවිනි. ඉතින් මේ අමිල සාමය හැකි තාක් කල් විඳ ගනිමු. ඒ අතරම මේ සාමය නො බිඳ පවත්වා ගෙන යාමට අවශ්‍ය පියවර ගත යුතු බව ද නිරන්තරයෙන් මතක් කර ගනිමු.

 

  1. ඉතිහාසය යනු හොඳ දෙයක් වත් නරක් දෙයක් වත් නොවෙයි. ඉතිහාසයේ හැම ​ඇඹරීමක් ම හැම හැරවීමක් ම බොහෝ වි​ට අපේ පුද්ගල බද්ධ සංතුෂ්ඨිය​ සම්බන්ධයෙන් කිසි සේත් ම අදා​ළ නැහැ.

හෝමෝ සේපියන්ස්වරුන්ගේ ඉතිහාසය ඔස්සේ අප ගිය ගමන දැන් නිමාවට ළඟා වී තියෙනවා.  එහිදී නැගෙනහිර ​අප්‍රිකාවේ සැවැන්නා තණබිම් වල සි​ට ​ගෝලීයකරණය වූ නූතන ලෝකය දක්වා වසර 300,000 කිට්ටු කාලයක් ආවරණය කිරීමට අපට හැකිවුණා.

ඒ අනුව මානව ඉතිහාසයට පසුබිම් වූ පොදු ප්‍රවණතා ගැන අඩු වැඩි වශයෙන් වටහාගත් හොඳ අවබෝධයක් දැන් අපට තියෙනවා.  ​එහෙත් පුද්ගලයන් වශයෙන් එම ප්‍රවණතා අපට බලපාන අන්දම ගැන අප ඒ තරම් දුරට කතා කළේ නැහැ. අපේ සෞඛ්‍යය, ධන සම්පත් සහ නැන නුව​ණ විශාල වශයෙන් වැඩි දියුණු වී තිබුණත් ඇත්තටම අපි ඒ නිසා වඩ වඩා සතුටට පත් වී ඇත් ද?

ඒක පුද්ගල මට්ටමෙන් සැලකුවොත් බො​හෝ විට එම පැනයට පිළිතුර විය හැක්කේ නැත යන්නයි. එහෙත් අප එසේ සතුටට පත් නො වන්නේ ඇයි?

ම​නෝවිද්‍යඥයන් විසින් පුද්ගල සුබසාධනය සම්බන්ධයෙන් නිකුත් කරන ​ලද ප්‍රශ්නාවලි ගණනාවකට ලැබුණු පිළිතුරු විමසා බැලීමේ දී දැනෙන්නේ සතුට සහ දුක සම්බන්ධයෙන් සැනෙකින් ඉහළ පහ​ළ යන කෙටි කාලීන ප්‍රතිචාරයන් මිනිසුන් අතර සුලබ​ බවයි. එහෙත් ඒ සමගම නිරීක්ෂණය වූ  අනෙක් වැදගත් කරුණ නම් දීර්ඝකාලීනව බැලුවොත් පෙනී යන්නේ අපේ සංතුෂ්ඨිය හැමදා මත් එකම මට්ටමක රැඳෙමින් සුනංගු වෙන බවයි.

උදාහරණයක් වශයෙන් ඔබට තිබුණු එකම රැකියාව හදිසියේ නැති වීම ඔබේ සතුට තියුණු ලෙස අඩු වී යාමට හේතුවක් වන්න​ට පුළුවන්. එනිසා ඇතිවෙන අතෘප්තික​ර හැඟීම සදාකාලිකව ම පවතී​ය යන බියක් ඔබට ඇතිවීමට ද පුළුවන්. එහෙත් ​ඒ දැවැන්ත සිද්ධියෙන් මසක් ගතවන විට ඔබේ ​සංතුෂ්ඨියේ මට්ටම නැවතත් “සාමාන්‍ය තත්ත්වයට” එළඹෙනු නියතයි.

ඒ සම්බන්ධයෙන් ඉතිහාසයෙන් ම උදාහරණයක් ගෙන බලමු. ප්‍රංශ විප්ලව සමයේ දී ප්‍රංශයේ ගොවීන් තමන් පීඩාවට ලක් කළ රදලයන්ගේ ආධිපත්‍යයෙන් නිදහස් වීමට ඉඩ ලැබී​ම ගැන බෙහෙවින් සතුටට පවත්වන්නට ඇති. එහෙත් ඒ  දැවැන්ත සිදුවීමෙන් පසු වැඩිකලක් ගත වීමට පෙර සාමාන්‍ය ගොවියෙකුට නැවතත් තම රස්තියාදු කාර පුත්‍රයා ගැන හෝ ඊළඟ  කන්නයේ අස්වැන්න ගැන හෝ කරදර වීමට සිදු​වෙන්නට ඇති.

තෘප්තිමත් වීම සහ බලාපොරොත්තු සුන් කර ගැනීම අතර කිසියම් සමතුලිත බවක් පවත්වා ගැනීම පිණිස හෝමෝ සේපියන්ස්වරු පරිණාමය වන්නට ඇති. ඊට හේතුව වේදනාකාරී සිදුවීමකින් සදාකාලිකව පරාජයට පත් නො වීමට මෙන්​ම තව තවත් වැඩි දියුණු ක​ළ යුතු දේවල් හඹා නො යාමට පෙලඹෙන තරම් උපරිම වූ මට්ටමක ස්වයං තෘප්තියක් මිනිසාට ඇති නො වීමත් එකී අනිවාර්ය පරිණාමීය අවශ්‍යතාව නිසා සිදුවන ඒවා විය හැකියි.

ඉතිං ඒ අනුව පුද්ගල මට්ටමෙන් ගත්තොත් බොහෝ විට අප ඒ තරම්ම සන්තෝෂයට පත් වී නැති බව සැබෑවක් විය හැකියි. එහෙත් සමාජීය මට්ටමින් ගත්තොත් එය කෙසේ වේද? අපේ ජන ජීවිතයේ ගුණාත්මක පැත්ත සම්බන්​ධව ලබා ඇති දියුණුව සලකා බැලුවොත් නිසැක වම අපට කලින් සිටි පරම්පරාවට වඩා අප සතුටට පත් ව ඇති බව සැබෑවක් නො වේ ද?

හොඳයි! එය සැබෑ ද නැද්ද යන්න තීරණය වන්නේ ඔබ කවුද යන කාරණය මතයි. මිනිසාගේ දියුණුවේ ඵලයක් ලෙස හට ගත් සශ්‍රීකත්වයෙන් වැඩි කොටසකින් සුදු මිනිසුන් අතලොස්සක ගේ සාක්කු පිරී තිබෙනවා. ස්වදේශික ගෝත්‍රිකයන් ​හෝ කාන්තාවන් හෝ සුදු නොවන මිනිසුන් හෝ වේවා මේ වරප්‍රසාද ලත් කණ්ඩායමෙන් බැහැර වූ අයගේ ජීවිත අර සුදු මිනිසුන් අතලොස්සේ අහළ පස්මානයකට වත් දියුණු වී නැහැ. මෙ​තුවක් කල් විටින් විට ඓතිහාසික අධිරාජ්‍යවාදයේ සහ ධනවාදී බලවේග වල වින්දිතයන් වී සිටි ඔවුන් දැන් තමයි සමානාත්මතාව ​දිනා ගැනීම අරඹා ඇත්තේ.

 

  1. නුදුරු අනාගතයේ දී හෝමෝ සේපියන්ස්වරු සිය ජී​ව විද්‍යාත්මක සීමා අබිබවා ගොස් තමන් වෙනුවට මුලුමනින් අළුත් සත්ව වි​​ශේ​ෂයක් ආදේශ කර ගැනීමට ඉඩ තියෙනවා.

අපේ අතීතය අප හොඳින් දන්නා වූ දෙයක්. ​එහෙත් අපේ අනාගතය කෙබඳු විය හැකිද? විද්‍යාවේ දියුණුව සම​ග ඇති වෙමින් යන සෞභාග්‍ය ඉදිරි දශක කිහිපය තුළ අප රැගෙන යන්නේ කිනම් දිසාවකට ද? මේ සම්බන්ධයෙන් පිළිතුරු දීමට උදව් වන හෝඩුවා බෙහෙවින් රඳා පවතින්නේ විද්‍යාඥයින් දැනටමත් සිදු කර ගෙන යන ක්‍රියාකාරකම් මතයි.

​            ඒ සම්බන්ධයෙන් විම​සන විට බයෝනික තාක්ෂණය (bionic technology) සහ වයස්ගත වීම වැළැක්වීම යන ක්ෂේත්‍රවල සැලකිය යුතු ප්‍රගතියක් විද්‍යාඥයන් විසින් දැනටමත් අත්පත් කර ගනු ලැබ තිබීම ඉතා වැදගත්.

බයෝනික තාක්ෂණ ක්ෂේත්‍ර​ය තු​ළ මනුෂ්‍යයන් සහ යන්ත්‍ර ඒකාබද්ධ කිරීමට ඇති හැකියාව  පිළිබඳව​ද කැපී පෙනෙන දියුණුවක් ඇති වෙමින් තියෙනවා. ඇමෙරිකානු විදුලි ශිල්පියෙකු වූ ජෙසී සලිවන්ගේ දෑත ම අනතුරකට ලක් වීමෙන් පසු ඒ වෙනුවට​ ඔහුගේ සිතුවිලි සහ ස්නායු පද්ධතිය මගින් කෙළින්ම මෙහෙය විය හැකි බයෝනික දෑතක් ඔහු​ට ලබා දීමට හැකි වීම මේ සම්බන්ධයෙන් දිය හැකි හොඳ උදාහරණයක්.

වයස්ගත වීම වැළැක්වීමේ හැකියාවන් සම්බන්ධයෙන් ද විද්‍යාඥයන් විසින් වේගවත් ප්‍රගති​යක් අත්පත් කරනු ලැ​බ තිබෙනවා.  පර්යේෂණ වල දී භාවිතා කරන C. elegans ව​ට පණුවන්ගේ ජාන වෙනස් කිරීම මගින් උන්ගේ ජීවිත කාලය දෙගුණ කිරීමට විද්‍යාඥයන් සමත් වී තිබෙනවා. එවැනි ම ජාන වෙනස් කිරීමක් මගින් මීයන්ගේ ආයු කා​ලය වැඩි කිරීම පිණිස පැවැත්වෙන​ පර්යේෂණ ද සාර්ථක වීමට ආසන්නයි. ඒ අනුව විය පත්වීමේ ජාන​ය මිනිසුන්ගෙන් උද්ධරණය කර වෙනස් කර ගැනීමට විද්‍යාඥයන්ට තව ​එතරම් කාලයක් ගත වෙන එකක් නැහැ?

වයස්ගත වීම වැළැක්වීම සහ බයෝනික තාක්ෂණය වැඩි දියුණු කිරීම යන එකී ප්‍රයත්න දෙකම ක්‍රියාත්මක වන්නේ සදාකාලික ජීවිතයක් සොයා ගැනීමේ අභිලාෂයෙන් දියත් කළ ගිල්ගමේෂ් ව්‍යාපෘතිය (Gilgamesh project) යන නමින් හැඳින්වෙන විද්‍යා ව්‍යාපෘතිය යටතේයි.

ඉදින් මෙවැනි ප්‍රයත්න වලින් අප වළක්වන්නේ කවුරුන් ද? පවතින තත්ත්වයන් යටතේ මේ ක්ෂේත්‍රවල විද්‍යාත්මක පර්යේෂණ කටයුතු බොහෝ විට සීමා වී ද ඇත්තේ හුදෙක් සදාචාරාත්මක කරුණු මත පණවා ඇති විවිධ නීතිමය බාධක නිසායි.

එහෙත් මේ බාධක හැමදා මත් පවතින එකක් නැහැ. සදාකාලිකව ජීවත් වීමේ අල්ප වූ හැකියාවක් හෝ ඇති කර ගැනීමට මිනිසුන්ට හැකි වුව හොත් ඔවුන් ඒ සියලු බාධක පෙරළා දමන බව නිසැකයි.

නොබෝ කලකදී අ​පගේ සිරු​ර කෙතෙක් දුරට විද්‍යාව මගින් අපට වෙනස් කර ගත හැකිවේදැ’යි කිව හොත් තව දුරටත් තාක්ෂණික ව හෝමෝ සේපියන්ස්වරු වශයෙන් අප හඳුන්වා ගනු ලැබී​ම උගහට වීමට ඉඩ තියෙනවා. බොහෝ විට සිදු විය හැක්කේ අඩක් ඉන්ද්‍රීය වුත් අඩක් බයෝනික වූත් නව සත්ව විශේ​ෂයක් බවට අප පත් වීමයි.

නුදුරු අනාගතයේ දී මේ නව සුපිරිමානව විශේෂය බිහි වීම​ට ඇති ඉඩ කඩ බොහෝයි. එකම ප්‍රශ්නය එය සිදු වන්නේ හරියටම කවදා ද යන්න පමණයි.

මානව විශේෂ ගණනාවක් අතරින් එක් හුදු මානව වි​ශේෂයක් වීමේ සි​ට වසර 300,000 කාල පරාසයක් තුළ හෝමෝ සේපියන්ස්වරු මිහි මත සැරිසරන ප්‍රමුඛතම සත්ව විශේෂය බවට පත් වුණා.  භාෂාව ප්‍රවර්ධනය කර ගැනීමෙන් ආරම්​භ වූ මානව ශිෂ්ටාචාරය කල් යාමේ දී අද අප ජීවත් වන බෙහෙවින් අන්තර් සම්බන්ධිත ගෝලීය ග්‍රාමය (interconnected global village) දක්වා වඩ වඩාත් විදග්ධ (sophisticated) මට්ටමකට වර්ධන​ය වූවා.

 සැකසුම: විජයානන්ද ජයවීර

thathu.com

 

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: