අප සිහින දකින්නේ ඇයි? සිහින එන්නේ කොයිබින් ද?

Posted by

සිහින ගැන උනන්දුවක් නොදක්වන්නේ කවුද?  ඒ වගේම සිහින ගැන විවිධ ආකාරයේ පර්යේෂණත් බොහොමයක් සිදු කරලත් තියෙනවා. අපි දන්නවා සිහින දකින්න නින්ද යන්නම ඕන නෑ කියලා. ඒවාට අපි කියන්නේ ‘දවල් හීන’ කියලා.  ඒත් ඉතින් අපි නින්දට ගිය අවස්ථාවේ දකින සිහින ගැන කල්පනා කළොත් අපිට සිහින එන්නෙ කොයිබින් ද, අපි සිහින දකින්නේ ඇයි ද කියන ප්‍රශ්න අපිට මතුවෙනවා අද thathu.com ලිපියේ අපි සාකච්ඡා කරන්නේ අන්න ඒ කාරණා ගැනයි.

අදාළ රූපය

අපට සිහින එන්නේ කොයිබින් ද?

අප නිදාගත් විට අපට සිහින එන්නේ කොහෙන්දැයි පුද්ගලයන් විමසිලිමත්වන්නේ   බොහෝ කාලයක සිටයි. බොහෝ විට ළමා කාලයේ ඔය වගේ ප්‍රශ්න හිතට ආවත්, කල දවස ගෙවීගොහින් ලොකුමහත් වුනත් පිළිතුරක් නම් ලැබෙන්නේ නෑ. ඇත්තම  කියනවා නම් විද්‍යාඥයන් පවා තවම හරි හැටි වටහාගෙන නැහැ, සිහින එන්නේ කොහෙන්ද කියලා.  ඒත් ඒ ගැන අපිට අදහස්  කිහිපයක් තියනවා කියලා ඊඩිත් කොවන් විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යා කතිකාචාර්ය ෂේන් රොජර්ස් කියා සිටිනවා.

සිහින කියන්නේ හරියට අප නිදා ගන්නා විට ඇතිවන පරිකල්පන වගෙයි. එහෙම නම් අපට කියන්න පුළුවන් අපට සිහින එන්නේ අපේ පරිකල්පනය මගින් කියලා. අප කවුරුත් දන්නා අන්දමට අපේ පරිකල්පනාවන් බොහොම බලගතුයි — උදාහරනයකට,  අපේ ආසම කෑමක් ගැන පරිකල්පනය අවදිකරගෙන දිගටම හිතන්න පටන්ගත්තොත්, (පරිකලපනයේ බල මහිමය නිසා) අපට නොදැනුවත්වම වගේ කටට කෙළ උනන්නත් පටන්ගන්නවා.

නින්දට යනවා කියන්නේ, හරියට පරිගණකයක් ‘නිදි මාදිලියට'(sleep mode) යොමුකරනවා වගේ දෙයක්.   පරිගණකය සම්පූර්ණයෙන්ම සුවිචය නිවා දමා  නැහැ. ඒත් එය ඉස්සෙල්ල තරම් ‘මහන්සි වෙලා’ වැඩ කරන්නෙ නෑ. එච්චරයි. අපිත් ඔය කිව්ව විදිහට නින්දට වැටුණා ම නැත්තං ‘නිදි මාදිලියට යොමු වුණාහම’ අපට විවේක ගන්න, අපේ ශක්තිය ඉතුරු කරගන්න පුළුවන් උනත් අපි අපේ ‘සුවිචය’ සම්පූර්ණයෙන්ම නිවා දමා නෑ.  ඒ වගේම තමයි අපි නින්දට වැටුණහම  අපේ මොළය සම්පූර්ණයෙන්ම  නතර කර නැහැ. දිගටම වැඩ කරනවා, ක්‍රියා කරනවා. ඒත් අර සාමාන්‍ය තරම් තදින්ම නොවෙයි. අර කොම්පියුටරය  වගේම  අපි නින්දට ගියාට අපේ මොළයෙත් ‍ක්‍රියාකාරීත්වය නතර වන්නේ නෑ. ඒ නිසා නින්දට ගියහම අපේ පරිකල්පනයත් බාධාවකින්, අවහිරයකින් තොරව ක්‍රියාත්මකවෙනවා.

අපි සිහින දකින්නේ ඇයි?

අපි සිහින දකින්නේ ඇයි ද යන්න ගැන පර්යේෂණ කළ උදවිය බොහොම දෙනෙකුට පෙනීගොස් තියෙන්නේ අපි සිහින දකින්නේ මිතුරෙක් එක්ක කතා කරමින් සිටීම, ක්‍රීඩා කිරීම යනාදී වශයෙන් අපේ එදිනෙදා ජීවිතය සිදුවෙන සාමාන්‍ය දේවල් ගැන කියලයි. එහෙමත් නැත්නම් අපිට වැදගත්ම දේවල් — අපි හිතමුකෝ ළඟ එන මංගල්‍යයක් හරි  ඒ වගේ වෙනත් වැදගත් කාරණාවක් කියලා —  අන්න ඒවා ගැනත් අපි බහුලව සිහිනෙන් දකිනවා කියලා පර්යේෂකයන් කියනවා. සිහින දකින්නේ මිනිසුන් වන අප පමණක් නොවෙයි. සත්වයන්ටත් හීන පේණවා. ඒ අයත් සිහින දකින්නේ එදීනෙදා දේවල් ගැනයි. නිදසුනකට පූසන් නිතර සිහිනෙන් දකිනව යමක් ලුහුබැඳ යනවා. අවදියෙන් ඉන්නකොටත් පූසෝ කරන්නේ ඒකනේ.

අපි යම් කාරණාවක්, යම් දෙයක් ගැන හීන දකින කොට අපට ඒ දේ වඩා හොඳින් මතක තබාගැනීමට එය(ඒ හීන), අපට උපකාරී වෙනවා කියලා විද්‍යාඥයන් කල්පනාකරනවා. ඉතින්, අපෙ මතකයන් බලගන්වන්න සිහින උදව් වෙනවා විය හැකියි. එහෙම නම් කුඩා දරුවන්ට රාත්‍රියේ දී හොඳ නින්දක් ලබාදෙන එක වැදගත් වෙන්න පුළුවන්. සෑම දිනකම ඒ අය උගෙන ගන්නා දේවල් මතක තියා ගන්න රෑ නින්දෙන් දකින සිහින උදව් වේවි.

ප්‍රශ්න විසඳීම

අපට ප්‍රශ්න විසඳන්න සිහින උදව් වෙනවා කියලා තවත් සමහර විද්‍යාඥයන් අදහස් කරනවා. අපි හිතමුකෝ අපි පා පැදියක් පදින්න පුරුදුවෙනවා කියලා.  එදීනෙදා කරන දෙයක්, අපි කැමති දෙයක් නිසා අර අපි කලින් කීවා වගේ  ඔය ගන හීනෙන් දකින්න පුළුවන්.  හීනෙන් අපි පාපැදියක් පැදගෙන යන්න පුරුදුවෙනවා දකින්න පුළුවන්. පා පැදිය පදින්න පුරුදුවෙන්න ඔබ එක එක දේ අත්හදා බලන්න පුලුවන් හීනෙන්. බයිසිකලය  නියමාකාරව සමබරතාව තබාගන්නේ කොහොමද,  හැප්පෙන්නේ, බිම වැටෙන්නේ නැතුව කොහොමද පදින්නේ ආදී වශයෙන්.  ඒක හරියට අප නිදාගෙන ඉන්දෙද්දී බයිසිකලය පදින්න පුරුදු වෙනවා වගේ. ඔන්න දැන් අවදිවුනහම වඩා හොඳින් පාපැදි පදින ආකාරය ගැන අපට යම් අදහසක් පවා ඇති වෙන්න පුළුවන්.

දැන් කිව්වේ අපි දන්නා දෙයක් ගැන දකින සිහිනයක් ගැනනේ.  එතකොට අපි අමුතු, විකාර හීන දකින්නේ ඇයි? අපි නින්දට වැටුණහම අපේ හිතට එන එක එක අමුතු දේවල් තේරුම් බේරුම් කර ගැනීමට අපේ මොළය දරන උත්සාහයක ප්‍රතිඵලයක් වෙන්න පුළුවන් බාගදා අප දකින ඒ අන්දමේ අමුතු නැතිනම් ‘විකාර’ සිහින.

අදාළ රූපය

එතකොට බියකරු සිහින? සමහර විට විට ඒ වගේම බියකරු අත්දැකීමකින් යම් අර්ථයක් උකහා ගන්න අපි නිදාගෙන ඉන්න විට අපේ මොළය දරන උත්සහයක් වෙන්න පුළුවන් ඔය කිව්ව තාලේ බියකරු සිහින. ඒ වගේ බියකරු සිහින ගැන කලින්ම පරිකල්පනය කරලා ඒවායේ (බියකරු සිහිනවල) අවසානය තමනට  ඕන ආකාරයට  එක එක අන්දමට වෙනස් කරල  ලියා තබාගෙන නින්දට කලින් පෙරහූරුවක්  වුණහම රෑට හීනෙන් දකින බියකරු සිහිනවල ‘බිකරු බව’ අඩු කරගන්න සමහර පුද්ගලයන් සමත්වෙන්න පුළුවන් කියල පර්යේෂකයන් පෙන්නලා දීලා තියනවා.

සමහර විද්‍යාඥයෝ හිතන්නේ සිහින, අපේ මොළය කාර්ය බහුලව, ඒ වගේම විනෝදයෙන් තබාගෙන සිටීම මගින් අපේ සිරුරට වඩා හොඳ විවේකයක් ලබා දෙන්න අවස්ථාව සලසනවා කියලයි.

හොඳයි දැන් ඉතින් ඔබට අවබෝධයක් තියනවාද අපට සිහින එන්නේ එන්නේ කොයිබින්ද කියලා? නැහැ නේද?  ඇත්තම කියනවා නම් කිසි කෙනෙක්  ඒ ගැන හරි හැටි දන්නේ නැහ. ඒත් ඉතින් , බාගදා ඒකට පිළිතුරක් ඔබටම ඔබේ සිහිනෙකින්ම ලැබෙන්න පුලුවන්.  එතෙක් ඔබට සුබ සිහින දකින,  සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා.

 

Curious Kids(Posted by The conversation) හී පළවන Where do dreams come from?   යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.