ප්‍රධාන චරිත:
- හයවන චාල්ස් රජු: ප්‍රංශයේ රජතුමා
- බැවේරියාවේ ඉසබෝ: ඔහුගේ බිසව
- හියුගට් ද ගුසේන්: රජුගේ හිතවතෙකු වූ දරුණු පුද්ගලයෙක්
කතාව:
1392 වසරේ එක්තරා දිනයක, ප්‍රංශයේ හයවන චාල්ස් රජු වනාන්තරයකදී හදිසි මානසික වියවුලකට පත්විය. එහිදී ඔහු තම පවුලේ අයට සහ මිතුරන්ට පහර දීමට පටන් ගත්තේය. මේ සිදුවීමෙන් පසු, ඔහුව පැරිස් නුවරට ගෙනැවිත්, ශීත කාලය පුරාම විශේෂ වෛද්‍ය ප්‍රතිකාර යටතේ තබන ලදී. ඔහුගේ මනස සුවපත් කිරීමේ අරමුණින්, රජවාසල නොනවතින උත්සව මාලාවක් සංවිධානය කෙරිණි.
උත්සවයක් පැවැත්වීමට හොඳම හේතුව විවාහ මංගල්‍යයකි. 1393 ජනවාරි 28 වන දින, චාල්ස් රජුගේ බිසව වූ ඉසබෝ රැජින, ඇගේ ප්‍රියතම පිරිවර ස්ත්‍රියකගේ තුන්වන විවාහ මංගල්‍යය සමරමින් සිටියාය. එකල පැවති සිරිතට අනුව, දෙවන හෝ තුන්වන විවාහයන් සැමරුවේ ඉතාමත් දඟකාරී සහ කලහකාරී ලෙසය.
මෙම අමුත්තන් අතර හියුගට් ද ගුසේන් නමැති ඉතා අප්‍රසන්න පුද්ගලයෙක්ද විය. ඔහුගේ එක් නින්දිත විනෝදාංශයක් වූයේ, සේවකයෙකු බිම දමා, ඔහුගේ පිට මත තම උල් සහිත පාවහන් තබා, “බුරනු, බල්ලෝ, බුරනු!” යැයි කෑගැසීමයි.
එදින රාත්‍රියේ හියුගට්, ගස් වැල් වලින් සැරසුණු වනචාරීන් ලෙස වෙස්වලා ගැනීම විනෝදජනක වනු ඇතැයි තීරණය කළේය. ඒ අනුව, රජු ඇතුළු හය දෙනෙක්, වෙස් මුහුණු පැළඳ, අධික ලෙස ගිනිගන්නා සුළු තාර සහ කංසා කෙඳි වැනි දේ වලින් තම සිරුරු ආවරණය කරගෙන, රැජින සහ ඇගේ පිරිවර කාන්තාවන් උත්සවය සමරමින් සිටි ශාලාවට කඩා වැදුණහ.
සියල්ල හොඳින් සිදුවෙමින් තිබියදී, මඳක් මත් වී සිටි රජුගේ සහෝදරයා වූ ඕර්ලියන්ස් ආදිපාදවරයා පන්දමක් අතැතිව ශාලාවට ඇතුළු විය. එක්වරම, පන්දමෙන් විසිවූ ගිනි පුපුරක් එක් අයෙකුගේ ඇඳුමේ ඇලවූ තාර මතට වැටුණි. හූස්! කියා ගිනි ඇවිලී ගියේය! වෙස්මුහුණු පැළඳ සිටි නටන වනචාරීන් අතර තම සැමියාද සිටින බව දැන සිටි රැජින වියරුවෙන් කෑගැසුවාය.
එවෙලේම, වයස අවුරුදු පහළොවක් පමණක් වූ චාල්ස් රජුගේ නැන්දණිය වූ බෙරී ආදිපාදවරිය, ගිනිදැල් වලින් තම බෑණනුවන්ව ආරක්ෂා කරගැනීම සඳහා ඇගේ විශාල ගවුම ඔහු මතට විසි කළාය. තවත් නර්තන ශිල්පියෙකු වූ සියර් ද නැන්ටූලෙට්, වයින් පිරවූ විශාල භාජනයකට පැන තම ජීවිතය බේරා ගත්තේය.
නමුත් ඉටිපන්දම් මෙන් දැවී ගිය අනෙක් අයට එතරම් වාසනාවක් තිබුණේ නැත. එක් අයෙකු එම ස්ථානයේදීම මිය ගියේය. තවත් දෙදෙනෙක් දින දෙකක් පුරා පිළිස්සුම් තුවාල වලින් දුක් විඳ මිය ගියහ. දරුණු හියුගට් ද ගුසේන් දින තුනක් දුක් විඳ මරණයට පත් විය.
පසුව, ඔහුගේ මිනී පෙට්ටිය පැරිස් නුවර වීදි දිගේ ගෙන යන විට, රැස්ව සිටි ජනතාව එක හඬින් කෑ ගැසුවේ, ‘බුරනු, බල්ලෝ, බුරනු!’ යනුවෙනි.
ටොම් හොලන්ඩ් ලියූ Rest is History කෘතියෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න