ලිංගිකත්වය (හෝ සහකරු සොයා ගැනීම) සඳහා අඩු ශක්තියක් වැය කරන සහ දරුවන් ඇති දැඩි කිරීම සඳහා වැඩි කාලයක් යොදවන පිරිමින් වැඩි කල් ජීවත් වීමට නැඹුරු වේ.

ජර්මනියේ මැක්ස් ප්ලාන්ක් පරිණාමීය මානව විද්‍යා ආයතනයේ (Max Planck Institute for Evolutionary Anthropology) පර්යේෂකයන් පිරිසක් පිරිමින් කාන්තාවන්ට වඩා අඩු කාලයක් ජීවත් වීමට නැඹුරු වන්නේ මන්දැයි සොයා බැලීමට උත්සාහ කරමින් සිටිති.

‘Science Advances’ සඟරාවේ පළ වූ ඔවුන්ගේ අධ්‍යයනය මගින්, එක් ලිංග වර්ගයක් අනෙකාට වඩා වැඩි කාලයක් ජීවත් වීමට නැඹුරු වන විශේෂවල (Species) පොදු පරිණාමීය ලක්ෂණ සොයා ගැනීම සඳහා සතුන් 1,000කට අධික සංඛ්‍යාවක් පරීක්ෂා කරන ලදී.

ජාන විද්‍යාව මේ සඳහා කාර්යභාරයක් ඉටු කරන බව පෙනෙන්නට තිබුණද, ඒක-විවාහික බව (එක් සහකරුවෙකු පමණක් සිටීම/Monogamy) සහ දරුවන් ඇති දැඩි කිරීම ද ආයු කාලය කෙරෙහි බලපාන බව ඔවුන් සොයා ගත්හ.

මිනිසුන් අතර, කාන්තාවන් පිරිමින්ට වඩා සාමාන්‍යයෙන් වසර 5.4ක් වැඩි කාලයක් ජීවත් වේ. නමුත් මෙය සිදුවන එකම විශේෂය අප නොවේ. ඇත්ත වශයෙන්ම, ක්ෂීරපායී සතුන්ගෙන් සියයට 72ක් අතර, ගැහැණු සතුන් ඔවුන්ගේ පිරිමි සතුන්ට වඩා සාමාන්‍යයෙන් සියයට 12ක් වැඩි කාලයක් ජීවත් වේ.

කෙසේ වෙතත්, පක්ෂීන් අතර වැඩි කාලයක් ජීවත් වීමට නැඹුරු වන්නේ පිරිමි සතුන්ය. බොහෝ පක්ෂි විශේෂවල පිරිමි සතුන් ගැහැණු සතුන්ට වඩා සාමාන්‍යයෙන් සියයට පහකින් පමණ වැඩි කාලයක් ජීවත් වේ.Image of human X and Y chromosomes

Shutterstock

මේ සඳහා වන ප්‍රධාන පැහැදිලි කිරීමක් වන්නේ වර්ණදේහයි (Chromosomes). ක්ෂීරපායීන් තුළ ගැහැණු සතුන්ට X වර්ණදේහ දෙකක් ඇති අතර පිරිමි සතුන්ට ඇත්තේ එක් X වර්ණදේහයක් සහ එක් Y වර්ණදේහයකි.

එක් X වර්ණදේහයක් පමණක් ඇති විට, හානිකර විකෘති (Mutations) වල බලපෑම වැඩි විය හැක. මන්ද එම අඩුපාඩු පිරවීමට (Compensate) දෙවන පිටපතක් නොමැති බැවිනි. මේ අතර, ‘විෂ සහිත Y’ (Toxic Y) කල්පිතය යෝජනා කරන්නේ Y වර්ණදේහය සෞඛ්‍යයට සහ වයසට යාමට හානිකර බලපෑම් ඇති කළ හැකි බවයි.

පක්ෂීන් සම්බන්ධයෙන් ගත් කල, පිරිමි සතුන්ට Z වර්ණදේහ දෙකක් ඇති අතර ගැහැණු සතුන්ට ඇත්තේ එක් Z එකක් සහ කෙටි W වර්ණදේහයකි. එහෙත්, සියලුම පක්ෂි විශේෂවල පිරිමි සතුන් වැඩි ආයු කාලයක් නොපෙන්වන බැවින්, තවත් සාධකයක් ක්‍රියාත්මක විය යුතුය. පර්යේෂකයන් සිතන්නේ එය සංසර්ගය (Mating) හෝ සහකරු තෝරාගැනීමේ රටාව විය හැකි බවයි. මන්ද පක්ෂීන් සාමාන්‍යයෙන් එක් සහකරුවෙකු (Monogamous) පමණක් ඇසුරු කිරීමට නැඹුරු වන අතර, ක්ෂීරපායීන්ගෙන් එක් සහකරුවෙකු සමඟ පමණක් සිටින්නේ ඉතා සුළු ප්‍රතිශතයකි.

“ප්‍රජනනය සඳහා පිරිමින් බොහෝ විට වන්දි ගෙවනු ලබයි,” යැයි අධ්‍යයනයේ ප්‍රධානී ආචාර්ය ජොහානා ස්ටාර්ක් (Dr. Johanna Stärk) බීබීසී සයන්ස් ෆෝකස් (BBC Science Focus) වෙත පැවසුවාය.

“සහකරුවන් දිනා ගැනීම සඳහා, ඔවුන් කේසර (Manes) හෝ අං තට්ටු (Antlers) වැනි ලක්ෂණ සඳහා ආයෝජනය කරන අතර ප්‍රතිවාදීන් සමඟ සටන් කිරීමට ශක්තිය වැය කරයි. එමගින් තුවාල වීමේ අවදානම වැඩි කරන අතර ඔවුන්ගේ ආයු කාලය කෙටි කරයි.”

දරුවන් ඇති දැඩි කිරීම ද බලපෑමක් ඇති කරන බව පර්යේෂකයන් සොයා ගත්හ. ඕනෑම දෙමාපියෙකුගෙන් විමසුවහොත් දරුවන් බිහි කිරීමට සහ ඇති දැඩි කිරීමට විශාල ශක්තියක් වැය වන බව ඔබට වැටහෙනු ඇත. එබැවින් දරුවන් ඇති දැඩි කිරීම භාරව සිටින පාර්ශවයේ ආයු කාලය කෙටි වනු ඇතැයි ඔබ අපේක්ෂා කරනු ඇත.

“නමුත් අප සොයා ගත්තේ ඊට ප්‍රතිවිරුද්ධ දෙයයි. එනම් රැකවරණය ලබා දෙන පාර්ශවය බොහෝ විට වැඩි කාලයක් ජීවත් වන බවයි,” ස්ටාර්ක් පැවසුවාය. “මෙය විශේෂයෙන්ම ප්‍රයිමේටාවන් (වඳුරන් වැනි සතුන්) වැනි විශේෂයන්ට සත්‍ය වන බව පෙනේ. මන්ද ඔවුන්ගේ පැටවුන් දිගු කාලයක් දෙමාපියන් මත යැපෙන බැවිනි.”

මේ අනුව බලන විට පෙනී යන්නේ, විශ්වාසවන්ත සහකරුවෙකු වීම සහ හොඳ පියෙකු වීම පිරිමින්ට දීර්ඝ ආයුෂ ලැබීමට ඇති ප්‍රධාන මාර්ග බවයි. අවම වශයෙන් පරිණාමීය දෘෂ්ටි කෝණයෙන් බලන විට එය එසේ ය.

BBC Science Focus සඟරාවෙන්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending