කටු පතොක් මලකින් පරාග එකතු කරන පතොක් මී මැස්සෙක්

මෙම ආදරණීය කෘමීන්, පරාග සඳහා වන තරගයේදී තම වනගත නෑදෑයින් අභිබවා යමින් සිටීද? පහත කියැවෙන විප්ලවීය පර්යේෂණයක අරමුණ වූයේ එය සොයා බැලීමයි.

ටස්කනි වෙරළට ඔබ්බෙන් අඩ සඳක හැඩැති කුඩා දූපතක් පිහිටා ඇත. ඉතාලි ගොඩබිමේ සිට පැයක දුරින් පිහිටි ජානුට්‍රි (Giannutri) දූපතේ බෝට්ටු නැවැත්වීමට ඇත්තේ වෙරළ දෙකක් පමණි. ගිම්හානයේදී, සිය ගණනක් සංචාරකයින් එහි පැමිණ, එහි දකුණු කෙළවරේ ඇති රතු සහ සුදු ප්‍රදීපාගාරය වෙත පා ගමනින් ගොස්, පසුව පැහැදිලි දියඹට පනිති. ශීත ඍතුවේදී එහි ජනගහනය 10 දක්වා අඩු වේ. දූපතේ ගල් සහිත කඳු වැටි රෝස්මරී සහ ජුනිපර් පඳුරුවලින් වැසී ඇති අතර, උණුසුම් මාසවලදී මල් සුවඳින් සහ මී මැස්සන්ගේ මෘදු ගුමු ගුමුවෙන් වාතය සුවඳවත් වේ.

“මෙහි පදිංචිකරුවන් මසුන් ඇල්ලීමට, තනිව සිටීමට කැමති හෝ විශ්‍රාම ගිය අයයි,” යනුවෙන් ෆ්ලෝරන්ස් විශ්වවිද්‍යාලයේ සහකාර මහාචාර්ය ලියනාඩෝ ඩපෝටෝ පැවසීය.

විද්‍යාඥයින් මෙහි ආකර්ෂණය වූයේ ජානුට්‍රි දූපතේ හුදකලා බව නිසාය. පරිසර විද්‍යාඥයින් දිගු කලක් තිස්සේ කුතුහලයට පත් කළ ප්‍රශ්නයකට පිළිතුරු සෙවීම සඳහා ඔවුන් අද්විතීය එළිමහන් රසායනාගාරයක් සොයමින් සිටියහ: මී මැස්සන් (honeybees), ඔවුන්ගේ වනගත මී මැසි නෑදෑයින්ගේ ගහණය අඩු වීමට හේතු විය හැකිද?

මෙයට පිළිතුරු සැපයීම සඳහා ඔවුන් විප්ලවීය පර්යේෂණයක් සිදු කළහ. ජානුට්‍රි දූපත ගොඩබිමේ සිට මී මැස්සන්ට පියාඹා ඒමට නොහැකි තරම් දුරින් පිහිටා තිබුණ ද, 2018 දී දූපතේ මී මැසි පෙට්ටි 18ක් පිහිටුවන ලදී. පර්යේෂකයන් එම මී මැසි පෙට්ටි වසා දැමීමට අවසර ලබා ගත් අතර, එමගින් දූපතෙන් බොහෝ මී මැස්සන් ඵලදායී ලෙස ඉවත් කරන ලදී.

අධ්‍යයනය ආරම්භ වූ විට, විද්‍යාඥ කණ්ඩායම් පඳුරු සහිත බිම් පුරා විසිරී මී මැස්සන් ලුහුබැඳ යද්දී, දූපතේ මිනිස් ජනගහනය තාවකාලිකව දෙගුණ විය. ඉන්පසු තහනම පැමිණියේය: ඔවුන් මී මැස්සන් වැඩිපුරම ආහාර සොයන කාලය තුළ තෝරාගත් දිනවල මී මැසි පෙට්ටි වසා, දිනකට පැය 11ක් මී මැස්සන් ඔවුන්ගේ පෙට්ටි තුළම රඳවා තැබූහ. ප්‍රදේශවාසීන් මේ ගැන සැකයෙන් පසුවිය. නමුත් ප්‍රතිඵල සිත් ඇදගන්නා සුළු විය.

“‘වාව්!’ යන්න මගේ පළමු ප්‍රතිචාරය වුණා,” යැයි ෆ්ලෝරන්ස් විශ්වවිද්‍යාලයේ ප්‍රධාන පර්යේෂක ලොරෙන්සෝ පස්කුවාලි පැවසීය. දත්ත එකට ගත් විට, “සියලු ප්‍රතිඵල එකම දිශාවකට යොමු වෙමින් තිබුණා”.

මේ වසර මුලදී Current Biology සඟරාවේ පළ වූ මෙම සොයාගැනීම්වලින් හෙළි වූයේ, මී මැස්සන් හඳුන්වා දීමෙන් පසු වසර හතර තුළ, බම්බල්බී (bumblebees) සහ ඇන්තොෆෝරා (anthophora) යන අත්‍යවශ්‍ය වනගත පරාග කාරක මීමැසි දෙවර්ගයේ ගහණය “කනස්සල්ල දනවන” ලෙස 80% කින් පහත වැටී ඇති බවයි. මී මැස්සන් සිර කර තැබූ විට, අනෙකුත් පරාග කාරකයන් සඳහා 30% කින් වැඩි පරාග ප්‍රමාණයක් ඉතිරි වූ අතර, වනගත මී මැසි විශේෂ නිතර දක්නට ලැබුණි. මී මැස්සන් සිර කර තිබූ කාලය තුළ වනගත විශේෂයන්, වෙනස් ආහාර සෙවීමේ හැසිරීමක් ප්‍රදර්ශනය කරමින්, පරාගණය සඳහා වැඩි කාලයක් ගන්නා බව විද්‍යාඥයෝ නිරීක්ෂණය කළහ.

සංඛ්‍යාව අනුව, බටහිර මී මැස්සන් (Apis mellifera) යනු වනගත පරිසර පද්ධතිවල ලොව වැදගත්ම තනි පරාග කාරක විශේෂයයි. මුලින් අප්‍රිකාව, මැදපෙරදිග සහ දකුණු යුරෝපයට ආවේණික වූ මේ මී මැස්සන්, මිනිසුන් විසින් ඇන්ටාක්ටිකාව හැර අනෙකුත් සෑම මහාද්වීපයකටම ගෙන ගොස් ඇත. මෙම කුඩා ඉතාලි දූපතේ සිදුවන සටන්, ලොව පුරා සෑම පරිසර පද්ධතියකම ප්‍රතිරාවය වීමට ඉඩ ඇත.

වාණිජ මී මැසි පාලනය හේතුවෙන් මී මැස්සන්ගේ සංඛ්‍යාව වැඩි වෙමින් පවතින අතර, වාසස්ථාන අහිමි වීම, දේශගුණික විපර්යාස සහ කෘෂිකර්මාන්තයේ රසායනික ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් දේශීය පරාග කාරක මී මැස්සන් ගෝලීය වශයෙන් අඩුවෙමින් පවතී. නමුත් මී මැස්සන්ගේ මෙම ශීඝ්‍ර ව්‍යාප්තිය, වනගත පරාග කාරකයන්ට බලපාන්නේ කෙසේදැයි අප තේරුම් ගැනීමට පටන් ගෙන ඇත්තේ දැන් ය.

කැලිෆෝනියාවේ වාර්ෂික ආමන්ඩ් මල් පිපෙන සමයේදී, එක්සත් ජනපදයේ කළමනාකරණය කරන ලද මී මැස්සන්ගෙන් 90% ක් පමණ පරාගණය සඳහා යොදවනු ලබන අතර, මීමැසි පාලකයෝ ඉල්ලුම සපුරාලීම සඳහා රට පුරා මී මැසි පෙට්ටි ප්‍රවාහනය කරති. “මෙම දළ වශයෙන් මාසයක කාලය තුළ, දේශීය පරාග කාරකයන් මත මී මැස්සන්ගේ බලපෑම බොහෝ විට දැවැන්තයි,” යැයි සැන් ඩියාගෝ හි කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ ඩිලන් ට්‍රැවිස් පැවසීය. මී මැස්සන්ට අඩු ඉල්ලුමක් ඇති අනෙක් කාලවලදී, මීමැසි පාලකයෝ බොහෝ විට ඔවුන්ව වනගත පරිසර පද්ධතිවල තබති. “දේශීය පරාග කාරකයන්ට සීමිත ආහාර ප්‍රභවයන් සඳහා මිලියන ගණනක් මී මැස්සන් සමඟ තරඟ කිරීමට සිදු වෙනවා.”

තත්ත්වයන් සුදුසු නම්, මී මැස්සන් වල්වී (feral) වනගතව ජනපද පිහිටුවා ගනී. ස්වභාවික පරිසර පද්ධතිවල මී මැස්සන් සිටීම පිළිබඳව 2018 දී සිදු කරන ලද අධ්‍යයනයකින්, 89% ක ස්ථානවල ඔවුන් සිටින බව සොයා ගන්නා ලදී.

කැලිෆෝනියාවේ, ආමන්ඩ් වගාවන්ගෙන් සැතපුම් සිය ගණනක් ඈතින් පිහිටි ස්වභාවික පරිසර පද්ධතිවල, වල් බවට පත් වූ මී මැස්සන් විශාල සංඛ්‍යාවෙන් වැඩි වැඩියෙන් දක්නට ලැබේ.

සෑම වසන්තයකම, ශීත ඍතු වර්ෂාවෙන් පසුව, සැන්ඩියාගෝහි වෙරළබඩ පඳුරු සහිත භූ දර්ශනය ජීවයෙන් පිරී යයි. පෘථිවියේ ඇති සාරවත්ම මී මැසි වාසස්ථානයක් ලෙස පිළිගත් ජීව විද්‍යාඥයෙකු පැවසීමෙන් පසු, 2011 දී වයස අවුරුදු 22 දී උපාධි අපේක්ෂක ශිෂ්‍යයෙකු වූ කෙන්ග්-ලූ ජේම්ස් හන්ග්, දකුණු කැලිෆෝනියාවේ මෙම ප්‍රදේශය අධ්‍යයනය කිරීමට පටන් ගත්තේ එහිදීය.

මෙම භූ දර්ශනය, කිසිදු හානියක් නොවූ පරිසර පද්ධතියක සියලු ලක්ෂණ දරයි: කිසිදු ට්‍රැක්ටරයක් මෙම බිම සීසා නැත, ගවයින් තණකොළ කා නැත; මෙහි පය තබන්නේ මිනිසුන් ස්වල්ප දෙනෙකි. “මෙම පරිසර පද්ධතිය කෙතරම් නොඉඳුල් සහ නොකැළැල් ද යන්න, ඇමසෝනියානු වැසි වනාන්තරයකට සමාන කළ හැකියි,” හන්ග් පැවසීය.

හන්ග් සිය පර්යේෂණ ආරම්භ කළ විට, ඔහු සොයාගත් දෙයින් ඔහු මවිත විය. “මම මගේ ක්ෂේත්‍ර ස්ථානවලට ගියාම මම දැක්කේ මී මැස්සන් විතරයි,” ඔහු සිහිපත් කළේය. “එය කම්පනයක් වුණා.” මී මැස්සන් සෑම තැනකම සිටියහ — විදුලි රැහැන් පෙට්ටිවල, බිම් ලේනුන්ගේ ගුල්වල සහ ගල් කුහරවල කූඩු සාදාගෙන.

ජූලි මාසයේදී, — දැන් ඔක්ලහෝමා විශ්වවිද්‍යාලයේ සහකාර මහාචාර්යවරයෙකු වන — හන්ග්, එම ප්‍රදේශයේ ඇති සියලුම මී මැස්සන්ගේ ජෛව ස්කන්ධයෙන් (එනම් සියලුම මී මැස්සන්ගේ බර) 98% ක් වල් බවට පත් වූ මී මැස්සන් බව සොයා ගත් පර්යේෂණ පත්‍රිකාවක් ප්‍රකාශයට පත් කළේය. Insect Conservation and Diversity සඟරාවේ පළ වූ එම පත්‍රිකාවට අනුව, මලක් පිපුණු පළමු දිනයේම ඔවුන් පරාගවලින් 80% ක් පමණ ඉවත් කරති.

මෙතරම් ඉහළ පරාග ඉවත් කිරීමේ අනුපාතයක් නිසා, තම පැටවුන් ඇති දැඩි කිරීම සඳහා පරාග අවශ්‍ය වන කලාපයේ දේශීය මී මැසි විශේෂ 700 කට වඩා වැඩි ගණනකට ඉතිරි වන්නේ ඉතා සුළු පරාග ප්‍රමාණයකි. එම විශේෂවලින් සමහරක් දශක ගණනාවක් තිස්සේ දක්නට ලැබී නැත.

හන්ග් විශ්වාස කරන්නේ මී මැස්සන්ගේ සමාජ ව්‍යුහය ඔවුන්ට මෙම වාසිය ලබා දෙන බවයි. “කණ්ඩායම් බුද්ධිය” (hive mind) භාවිතා කරමින්, ඔවුන් ශාක පිහිටි ස්ථාන ගැන සන්නිවේදනය කරන අතර, දේශීය මී මැස්සන් ආහාර සෙවීම ආරම්භ කිරීමට පෙර, උදෑසනම පරාගවලින් වැඩි ප්‍රමාණයක් ඉවත් කරති. අනෙකුත් බොහෝ මී මැස්සන් තනි තනිව ක්‍රියාත්මක වන අතර, තීරණ ගනු ලබන්නේ හුදකලාවය.

කෙන්ග්-ලූ ජේම්ස් හන්ග්

ඔක්ලහෝමා විශ්වවිද්‍යාලය

“මේක හරියට වෝල්මාර්ට් (Walmart) වැනි දැවැන්ත සුපිරි වෙළඳසැලක් සමඟ තරඟ කිරීමට උත්සාහ කරන කුඩා ප්‍රාදේශීය සිල්ලර කඩයක් වගෙයි”

හන්ග් පැවසුවේ, “මේක හරියට වෝල්මාර්ට් (Walmart) වැනි දැවැන්ත සුපිරි වෙළඳසැලක් සමඟ තරඟ කිරීමට උත්සාහ කරන කුඩා ප්‍රාදේශීය සිල්ලර කඩයක් වගෙයි,” කියාය.

වාසස්ථාන ඛණ්ඩනය වීම, කෘෂිකර්මාන්තයේ රසායනික ද්‍රව්‍ය භාවිතය සහ ඉහළ යන උෂ්ණත්වය පරාග කාරකයන්ගේ ගහණය අඩුවීමට ප්‍රධාන හේතු වුවද, සැන් ඩියාගෝ වැනි ප්‍රදේශවල මී මැස්සන් ද සැලකිය යුතු දායකත්වයක් සපයන බව පෙනේ. එය දේශීය වනගත මී මැස්සන්ට නරක පමණක් නොව, එය සමස්ත පරිසර පද්ධතිය පුරාම බලපෑම් ඇති කළ හැකිය.

සැන් ඩියාගෝ ප්‍රාන්තයේ ශාක, ආවේණික නොවන මී මැස්සන් විසින් පරාගණය කළ විට සෞඛ්‍ය සම්පන්න බවින් අඩු බව අධ්‍යයනවලින් තහවුරු වී ඇත. විය හැකි බලපෑම් අතර, අඩු බීජ ප්‍රරෝහණය වීම සහ ප්‍රරෝහණය වන බීජ කුඩා වීම හා අඩු මල් නිපදවීම ඇතුළත් වේ. “මෙය ‘වඳවී යාමේ චක්‍රයක්’ (‘extinction vortex’) නිර්මාණය කළ හැකියි,” යැයි ට්‍රැවිස් පැවසීය. එහිදී අඩු සෞඛ්‍ය සම්පන්න ශාක පරම්පරා ගණනාවක් පුරා බෝ වී, අවසානයේදී නොනැසී පැවතිය නොහැකි තත්ත්වයට පත් වේ.

ඕස්ට්‍රේලියාවේ සහ ඇමරිකාවේ සමහර ප්‍රදේශවල — මී මැස්සන් ආවේණික නොවන — වර්ග කිලෝමීටරයකට ජනපද 100 ක් දක්වා ඝනත්වයකට ඔවුන් ළඟා විය හැකිය. යුරෝපය වැනි ඔවුන් ආවේණික කලාපවල, තත්ත්වය වෙනස් ය.

“යුරෝපයේ, මී මැස්සන් දේශීය විශේෂයක් වන අතර, වනගතව ජීවත් වන ජනපදවල අඩු ඝනත්වය බොහෝ පරිසර පද්ධතිවල ස්වභාවික සංරචක වේ,” යැයි සසෙක්ස් විශ්වවිද්‍යාලයේ පර්යේෂක ඔලිවර් විසික් පැවසීය. සසෙක්ස් සහ කෙන්ට් හි ඓතිහාසික මුවන් උද්‍යානවල වර්ග කිලෝමීටරයකට වනගත ජනපද හතරක් දක්වා ඝනත්වයක් ඔහු සොයාගෙන ඇත. “මෙම ඝනත්වයන්හිදී, වනගතව ජීවත් වන ජනපද අනෙකුත් පරාග කාරකයන්ට සෘණාත්මක බලපෑමක් ඇති කිරීමට ඉඩක් නැහැ,” ඔහු පැවසීය.

මී මැස්සන් හඳුන්වා දෙනු ලබන පරිසර පද්ධතිවල, දේශීය විශේෂයන්ට ඔවුන්ගේ බලපෑම අඩු කිරීම සඳහා, බෝග මල් පිපීමෙන් පසු මීමැසි පාලකයින් තම මී මැසි පෙට්ටි තැබිය යුත්තේ කොතැනද යන්න පිළිබඳව මඟ පෙන්වීමක් තිබිය යුතු බව විද්‍යාඥයෝ පවසති. දූපත් වැනි වෙනත් ප්‍රදේශවල, නැවත ස්ථානගත කිරීම හෝ ඉවත් කිරීම කළ හැකි විය හැකිය.

ජානුට්‍රි දූපතේ, පර්යේෂකයන් ජාතික වනෝද්‍යාන බලධාරීන්ට තම ප්‍රතිඵල පැවසූ විට, ඔවුන් මී මැසි පාලනය තහනම් කළහ. දූපත වසරකට වැඩි කාලයක් මී මැස්සන්ගෙන් තොරව පවතින අතර, මී මැස්සන් හඳුන්වා දීමට සැලසුම් කරන අනෙකුත් ආරක්ෂිත ප්‍රදේශවලට දැන් එය අනතුරු ඇඟවීමේ කතාවක් ලෙස සේවය කළ හැකිය. මී මැසි පෙට්ටි ඉවත් කළ දා සිට, විද්‍යාඥයින් නිරීක්ෂණය කරමින් සිටින විශේෂවලින් එකක්වත් සුළු වශයෙන් වැඩි වී ඇති බව පෙනේ.

මෙම කුඩා ඉතාලි දූපතේ සහ සැන් ඩියාගෝහි පඳුරු බිම්වල දිග හැරෙන කතාවෙන් පෙනී යන්නේ, මී මැස්සන් අප සිතන තරම් සර්ව-පරිසර හිතකාමී භාරකරුවන් නොවිය හැකි බවයි. පාලනයකින් තොරව, ඔවුන්ට බිඳෙනසුලු පරිසර පද්ධති මත දිගු සෙවණැල්ලක් හෙළිය හැකිය.


ෆීබි වෙස්ටන් (PHOEBE WESTON) ද ගාඩියන් වීක්ලි පුවත්පතෙනි

ෆීබි වෙස්ටන් යනු ද ගාඩියන් පුවත්පතේ ජෛව විවිධත්වය පිළිබඳ ලේඛිකාවකි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending