
දශකයකට පෙර, මෙතෙක් සොයාගත් වඩාත්ම ජීවයට හිතකර බාහිර ග්‍රහලෝකය විය හැකි ග්‍රහලෝකයක් අපට නිරීක්ෂණය විය. ජීවය පවත්වා ගැනීම සඳහා ඊට අවශ්‍ය අවසාන තීරණාත්මක සාධකය ඇත්දැයි අප දැන් සොයා බැලීමට සූදානම් වෙමු.
පෘථිවියේ ප්‍රමාණයට සමාන ග්‍රහලෝක හතක් ඒවායේ කුඩා තරුව අසල මනාව පෙළගැසී ඇත. පළමුවැන්න ඉතාමත් උණුසුම් වන අතර එහි මතුපිට බොහෝ විට ලාවා වගුරු බිමක් විය හැකිය. හත්වන ග්‍රහලෝකය ඉතාමත් ශීතල වන අතර එය සම්පූර්ණයෙන්ම ඝන අයිස් බවට පත්වී තිබිය හැකිය. නමුත් මැද පිහිටි ග්‍රහලෝකය? එය හරියටම සුදුසු තත්ත්වයක තිබිය හැක. වෙනත් තරු වටා කක්ෂගත වෙමින් පවතින බවට අප මෙතෙක් සොයාගෙන ඇති දහස් ගණනක් වූ ග්‍රහලෝක අතරින්, ජීවය සෙවීම සඳහා වඩාත්ම බලාපොරොත්තු සහගත ස්ථානය මෙය විය හැකිය.
මීට දශකයකට පමණ පෙර මෙම ග්‍රහලෝක පද්ධතියේ පළමු සාමාජිකයින් සොයාගන්නා විට පවා, මෙය ඉතාමත් උද්‍යෝගිමත් සොයාගැනීමක් බව පැහැදිලි විය. ඒවා කක්ෂගත වන TRAPPIST-1 නමින් හැඳින්වෙන තරුව, කුඩාම සහ සිසිල්ම තරු වර්ගය වන ‘M වාමන තරුවක්’ (M dwarf) වේ. ඉන් අදහස් වූයේ එහි ග්‍රහලෝක පිළිබඳව සවිස්තරාත්මකව අධ්‍යයනය කිරීමට හොඳ අවස්ථාවක් ඇති බවයි. අභ්‍යවකාශ මිනුම් වලට අනුව එය තරමක් ආසන්නයේ, එනම් ආලෝක වර්ෂ 40ක් පමණ දුරින් පිහිටා ඇති අතර, අපට නිරීක්ෂණය කිරීමට හැකි වන පරිදි එහි කක්ෂය මනාව පෙළගැසී ඇත. “මෙවැනි තවත් පද්ධති සොයාගැනීමට විශාල උත්සාහයක් ගෙන ඇති නමුත්, අපට තවමත් එවැන්නක් හමු වී නැහැ” යනුවෙන් මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයේ (MIT) බාහිර ග්‍රහලෝක පිළිබඳ පර්යේෂක ඇනා ග්ලිඩන් (Ana Glidden) පවසයි.
තරුවේ සිට පිහිටි සිව්වන ග්‍රහලෝකය වන TRAPPIST-1e කෙරෙහි වැඩි අවධානයක් යොමු වී ඇත්තේ, එහි ඇති ජීවයට වඩාත්ම හිතකර වූ ‘ගෝල්ඩිලොක්ස්’ (Goldilocks) පිහිටීම නිසාවෙනි. නමුත් දිගු කලක සිට ඒ සම්බන්ධයෙන් වද දෙන ප්‍රශ්නයක් ඉතිරිව පවතී: එයට වායුගෝලයක් තිබේද? එසේ නම්, එය වායුගෝලයක් සහිත පළමු සෞම්‍ය, පාෂාණමය බාහිර ග්‍රහලෝකය වන බැවින් එය සුවිශේෂී සොයාගැනීමක් වනු ඇත. තවද, එය ජීවයට සුදුසු ලෝකයක් විය හැකි බවට ඇති විශ්වාසයට ලබා දෙන විශාල තල්ලුවක් වනු ඇත.
පුදුමාකාර ලෙස හුරුපුරුදුයි
ඔබට කෙසේ හෝ TRAPPIST-1 ග්‍රහලෝක වෙත ගොස් ඒවාට ඉහළින් පාවී සිටීමට හැකි වුවහොත්, ඔබට එකවරම හුරුපුරුදු මෙන්ම අතිශය අමුතු දසුනක් දැකගත හැකි වනු ඇත. පැහැදිලිවම කිවහොත්, අපට මෙම ලෝකයන් ඡායාරූපගත කළ නොහැකි බැවින්, ඒවා හරියටම කෙසේ දිස්වේදැයි අප දන්නේ නැත. නමුත් වක්‍ර නිරීක්ෂණ මගින් අපට පවසන්නේ ඒවා සියල්ලම පෘථිවියට සමාන ප්‍රමාණයේ පාෂාණමය හෝ අයිස් සහිත ග්‍රහලෝක බවයි. අනෙක් අතට, ඒවාට ඇත්තේ ඉතා කෙටි කක්ෂයන්ය. ඒවා සියල්ලම තම තරුවට සමීපව පිහිටා ඇත්තේ බුධ ග්‍රහයා සූර්යයාට පිහිටා ඇති දුරටත් වඩා ආසන්නයෙනි. කෙසේ වෙතත්, ඉන් ඒවා පිළිස්සුණු අඟුරු කැබලි බවක් ඉබේම අදහස් නොවේ. ඊට හේතුව අපේ තරුවට (සූර්යයාට) වඩා බොහෝ මෘදු ලෙස TRAPPIST-1 දැවෙන බැවිනි.
ඇත්ත වශයෙන්ම, තරුවෙන් නිකුත් වන විකිරණවලින් වැඩි ප්‍රමාණයක් වර්ණාවලියේ අධෝරක්ත (infrared) කොටසට අයත් යැයි සැලකේ. මෙයින් අදහස් වන්නේ ග්‍රහලෝකවලට තාපය ලැබෙන නමුත් වැඩි ආලෝකයක් නොලැබෙන බවයි. එබැවින් ඔබ එහි මතුපිට සිටගෙන සිටින්නේ නම්, පෘථිවියේ හිරු බැස යන මොහොතක අහසට වඩා වැඩි ආලෝකයක් බොහෝ විට එම අහසේ දැකගත නොහැකි වනු ඇත. තත්ත්වය තවත් සංකීර්ණ කරමින්, මෙම ග්‍රහලෝකවලට සිය තරුවෙන් දැනෙන ප්‍රබල ගුරුත්වාකර්ෂණ බලය නිසා, ඉන් සමහරක් හෝ සියල්ලම “උදම් අගුලකට” (tidally locked) හසුවී තිබිය හැක. මේ නිසා තරුව දෙසට ස්ථිරවම මුහුණ ලා ඇති දිවා පැත්තක් සහ අඳුරු අභ්‍යවකාශය දෙස බලා සිටින රාත්‍රී පැත්තක් ඒවාට හිමි වනු ඇත. මෙය එසේ නම්, එහි දෙපස සම්පූර්ණයෙන්ම වෙනස් උෂ්ණත්වයන් සහ තත්වයන් පවතිනු ඇත.
පෘථිවියේ ස්කන්ධයෙන් දළ වශයෙන් 90% ක් වන, සමාන ප්‍රමාණයකින් සහ ගුරුත්වාකර්ෂණයකින් යුත් TRAPPIST-1e, ජීවය පවත්වා ගත හැකි ග්‍රහලෝකයක් සඳහා වන ඉහළම අපේක්ෂකයෙකු ලෙස පුළුල්ව සැලකේ. එය කැපී පෙනෙන්නේ එය තරුවේ ජීවයට හිතකර කලාපයේ හරියටම මැද පිහිටා ඇති බැවිනි. එමෙන්ම එහි මතුපිට ද්‍රව ජලය රඳවා ගත හැකි වායුගෝලයක් පැවතීමේ විභවයක් ඊට ඇත. අප දන්නා තරමින්, ග්‍රහලෝකයක් මතුපිට ඇති ද්‍රව ජලය යනු ජීවය සඳහා අවශ්‍ය වැදගත්ම සාධක වලින් එකකි – සමහරවිට වඩාත්ම තීරණාත්මක සාධකය විය හැක.
බාහිර ග්‍රහලෝක සෙවීම
TRAPPIST-1 ලෝකයන් සොයා ගනු ලැබුවේ දශක දෙකකට වැඩි කාලයක් පුරා බාහිර ග්‍රහලෝක සෙවීමෙන් පසුවය. පළමු බාහිර ග්‍රහලෝකයන් සොයා ගන්නා ලද්දේ 1990 දශකයේ මුල් භාගයේදීය. බාහිර ග්‍රහලෝක අපට සෘජුවම ඡායාරූප ගත කිරීමට නොහැකි තරම් දුරින් පිහිටා ඇත. පළමු සොයාගැනීම් කිහිපය සිදු කරන ලද්දේ, කක්ෂගත වන ග්‍රහලෝකයක ගුරුත්වාකර්ෂණ බලය හේතුවෙන් තරු එළියේ ඇතිවන සුළු සෙලවීම් නිරීක්ෂණය කිරීමෙනි. සංක්‍රාන්ති ක්‍රමය (transit method) භාවිතයත් සමඟ මෙහි වේගය ඇත්ත වශයෙන්ම වැඩි වන්නට විය. තරුවක් සහ එහි ග්‍රහලෝකයක් මනාව එකෙල්ල වූ විට, පෘථිවිය සහ ඈතින් පිහිටි මව් තරුව අතරින් ග්‍රහලෝකය ගමන් කරමින් තරුවේ ආලෝකය වරින් වර අඳුරු කරන ආකාරය අපට ග්‍රහණය කරගත හැක. අප දන්නා බාහිර ග්‍රහලෝක අතිමහත් බහුතරයක් සොයාගනු ලැබුවේ මෙම ක්‍රමය භාවිතා කරමිනි. විශේෂයෙන් Transiting Exoplanet Survey Satellite (TESS) සහ කෙප්ලර් (Kepler) අභ්‍යවකාශ දුරේක්ෂය මගින් ඒවා වැඩි වශයෙන් සොයාගන්නා ලදී.
බාහිර ග්‍රහලෝකයක් යැයි අප සිතන නමුත් මෙතෙක් නිශ්චිතව තහවුරු කර නොමැති සංඥා එනම් බාහිර ග්‍රහලෝක අපේක්ෂකයින් 10,000 කට වඩා දැන් අපි සොයාගෙන ඇත්තෙමු. තහවුරු කරන ලද බාහිර ග්‍රහලෝක සොයාගැනීම් සම්බන්ධයෙන් ගත් කල, ඒවා 6000 කට වඩා ඇත – නමුත් මේවා අතර, TRAPPIST-1e අද්විතීය ලෙස උද්‍යෝගිමත් එකක් ලෙස පවතී. මීට එක් හේතුවක් වන්නේ පෘථිවියට සමාන පාෂාණමය ග්‍රහලෝක යනු කලාතුරකින් හමුවන සොයාගැනීම් වීමයි. නමුත් එම තෝරාගත් කණ්ඩායම අතර වුවද, මෙම ලෝකය කැපී පෙනේ. “සාමාන්‍යයෙන්, යමෙකු ග්‍රහලෝකයක ජීවය පැවතිය හැකි යැයි පවසන විට, ඔවුන්ට බොහෝ කොන්දේසි තිබෙනවා: ඉතා CO₂ බහුල වායුගෝලයක් තිබේ නම් පමණක්, CO₂ ඉතා අඩු වායුගෝලයක් තිබේ නම් පමණක් වගේ දේවල්,” යනුවෙන් ඇරිසෝනා විශ්වවිද්‍යාලයේ තාරකා ජීව විද්‍යාඥ සුක්‍රිට් රන්ජන් (Sukrit Ranjan) පවසයි. “නමුත් TRAPPIST-1e සඳහා, එම කොන්දේසි බොහොමයක් නැහැ.” මෙම ලෝකයේ යම් හෝ වායුගෝලයක් සහ ජලය ස්වල්පයක් තිබේ නම්, ජීවය සඳහා අවශ්‍ය සුදුසු තත්ත්වයන් එහි තිබෙන බවට බොහෝ දුරට නිසැකය.
නමුත් ග්‍රහලෝකය සොයාගෙන ගත වූ දශකය තුළ, එයට වායුගෝලයක් තිබේදැයි සොයා ගැනීම ඕනෑම අයෙකු අපේක්ෂා කළාට වඩා දුෂ්කර බව ඔප්පු වී ඇත. අපගේ අහස පොළොවේ සිට බලන කල කොතරම් විශාල ලෙස පෙනුනත්, වායුගෝලයන් ඇත්ත වශයෙන්ම ඉතා කුඩාය. සංක්‍රාන්ති ක්‍රමය භාවිතා කරමින් ග්‍රහලෝකයක් සොයාගත් විට, තරු එළියේ සිදුවන අඩුවීම් ඉතා සවිස්තරාත්මකව පරීක්ෂා කිරීමෙන් අප වායුගෝලයක් සෙවීමට උත්සාහ කරයි. වායුගෝලයක් තිබේ නම්, ග්‍රහලෝකය විසින් තරුවේ ආලෝකය අවහිර නොකරන නමුත් එහි වායුගෝලය මගින් ආලෝකය අවහිර කරන අවස්ථාවලදී එම ආලෝකය අඩුවීම් වල දෙපස කුඩා ගැටිති පැවතිය යුතුය. ඉන්පසු, අප වාසනාවන්ත නම්, සම්ප්‍රේෂණ වර්ණාවලීක්ෂණය (transmission spectroscopy) නම් වූ ඉතා දුෂ්කර ක්‍රියාවලියක් ඔස්සේ, එය කුමන ආලෝක තරංග ආයාමයන් අවහිර කරන්නේදැයි බැලීමෙන් වායුගෝලයේ ස්වභාවය අපට හඳුනාගත හැක.
ග්‍රහලෝකය විශාල වන තරමට සහ තරුව කුඩා වන තරමට මෙය පහසු වේ. මෑත වසරවලදී TRAPPIST-1 වැනි M වාමන තරු වටා ඇති ග්‍රහලෝක කෙරෙහි මෙතරම් අවධානයක් යොමු වී ඇත්තේ ඒ නිසාය. සූර්යයාට සමාන තරුවක් වටා කක්ෂගත වන පෘථිවියට සමාන ග්‍රහලෝකයක් සොයා ගැනීම ජීවයට සුදුසු ලෝකයන් සෙවීමේ විශාල ජයග්‍රහණයක් වනු ඇතත්, එවැනි ග්‍රහලෝකයක වායුගෝලය සෙවීමට තරම් දුරේක්ෂ විභේදනයක් අප සතුව නොමැත. කුඩා, පාෂාණමය ග්‍රහවස්තු කෙරෙහි අවධානය යොමු කරන MIT හි ග්‍රහලෝක විද්‍යාඥ සාරා සීගර් (Sara Seager) පවසන්නේ, “වායුගෝලයක් යනු ළූණු ගෙඩියක පිට පොත්ත වගේ දෙයක්, සූර්යයා වැනි තරුවක පසුබිමට සාපේක්ෂව එය ඉතා කුඩායි” යනුවෙනි. සරලව කිවහොත්, අපේ සූර්යයා තරම් ප්‍රමාණයේ තරුවක් ඉදිරියෙන් ග්‍රහලෝකයක් ගමන් කරන විට එහි ආලෝකය අඩුවීම හඳුනා ගැනීමට නොහැකි තරම් කුඩා වේ. නමුත් TRAPPIST-1 සමඟ ගත් කල, එහි ග්‍රහලෝක තරුවේ ආලෝකයෙන් වැඩි කොටසක් අවහිර කරයි.
TRAPPIST-1e යනු එහි තරුවට සාපේක්ෂව එහි ඇති විශාලත්වය නිසා අධ්‍යයනය කිරීමට සාපේක්ෂව පහසු බාහිර ග්‍රහලෝකයකි.
1:109 පෘථිවියේ විශ්කම්භය සූර්යයාගේ විශ්කම්භයට දක්වන අනුපාතය
1:10 TRAPPIST-1e හි විශ්කම්භය එහි මව් තරුවේ විශ්කම්භයට දක්වන අනුපාතය
කෙසේ වෙතත්, ඉන් මෙම ක්‍රියාවලිය පහසු බවක් අදහස් නොවේ. “තරුව නමැති ඝෝෂාකාරී මුහුදෙන් වායුගෝලය නමැති කුඩා සංඥාව බේරා ගැනීමට ඔබට බොහෝ වැඩ කිරීමට සිදුවෙනවා,” යනුවෙන් මේ සඳහා වන ප්‍රධාන ප්‍රයත්නයකට නායකත්වය දෙන, මේරිලන්ඩ් හි අභ්‍යවකාශ දුරේක්ෂ විද්‍යා ආයතනයේ (Space Telescope Science Institute) නෙස්ටර් එස්පිනෝසා (Néstor Espinoza) පවසයි. තවද M වාමන තරු අතිශයින්ම ක්‍රියාකාරී වන අතර, TRAPPIST-1 මතුපිට ඇති ගිනිදැල්, සූර්ය ලප සහ තවත් විවිධ සංසිද්ධීන් නිසා JWST වැනි බලවත් දුරේක්ෂයකින් වුවද වායුගෝලයක සංඥාවක් වෙන්කර හඳුනා ගැනීම දුෂ්කර කරයි. “TRAPPIST-1e සහ ඊට සමාන වස්තූන් සමඟ, ජේම්ස් වෙබ් දුරේක්ෂය ඇත්තටම අරගලයක යෙදෙනවා,” යනුවෙන් රන්ජන් පවසයි. “න්‍යායාත්මකව එයට එය කළ හැකියි, නමුත් එය ඇත්තටම දුරේක්ෂයේ සීමාවන් පරීක්ෂා කිරීමක්.”
දැනටමත් විශ්ලේෂණය කර ඇති TRAPPIST-1e හි නිරීක්ෂණ වලදී, මෙම තාරකා ක්‍රියාකාරකම් හේතුවෙන් එහි වායුගෝලයක් තිබේද යන්න නිසැකවම පැවසීම කළ නොහැක්කක් වී ඇත. “සියලුම නිරීක්ෂණ වල එක දිගට පවතින සංඥාවක් තිබුණා. එය වායුගෝලයක පෙනුමට සමානයි. නමුත් එය සියලුම නිරීක්ෂණ වල තිබෙන තරුවේම ස්ථිර ලක්ෂණයක් වීමටද පුළුවන්,” යනුවෙන් JWST මගින් TRAPPIST-1 පද්ධතිය අධ්‍යයනය කරන කණ්ඩායමේ සාමාජිකාවක් වන මේරිලන්ඩ් හි ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ නැටලි ඇලන් (Natalie Allen) පවසයි.
මුලදී මෙම සංඥාව වායුගෝලයේ ඇති මීතේන් වල සලකුණක් ලෙස පෙනී ගියද, TRAPPIST-1e මත පවතින විකිරණ මට්ටම් යටතේ මීතේන් වලට දිගු කලක් පැවතීමට ඇති ඉඩකඩ ඉතා අල්ප බව වැඩිදුර අධ්‍යයනයන්ගෙන් හෙළි විය. “එමගින් ඉඟි කරන්නේ මෙම කුඩා ගැටිති සහ සෙලවීම් තරුවේ බලපෑම් මිස සැබෑ වායුගෝලීය සංඥාවක් නොවන බවයි,” ග්ලිඩන් පවසයි. මේ වන විට ඇලන් සහ ඇගේ සගයන් කිහිප දෙනෙකු ප්‍රකාශ කරන්නේ, අප සතුව ඇති නිරීක්ෂණ අනුව TRAPPIST-1e හි වායුගෝලයක් තිබීමේ සම්භාවිතාව දළ වශයෙන් 50/50 ක් බවයි.
තරුවෙන් වන බාධාවන්ගේ ගැටලුව සඳහා ඇය සහ එස්පිනෝසා එක්ව ඉතා දක්ෂ විසඳුමක් ඉදිරිපත් කර ඇත. ඔවුන්ගේ මෙම උපක්‍රමය කළ හැකි වන්නේ TRAPPIST-1 ග්‍රහලෝක එකිනෙකට ඉතා සමාන වන බැවිනි. තරුවට සමීපතම ග්‍රහලෝකය වන TRAPPIST-1b තරුව හරහා ගමන් කරන විට පෙනුමෙන් TRAPPIST-1e ට බොහෝ දුරට සමාන විය යුතුය – නමුත් 1b තරුවට කොතරම් සමීපද යත් ඊට වායුගෝලයක් තිබිය නොහැකිය. එබැවින් අප මෙම ග්‍රහලෝක දෙකම පැය කිහිපයක් ඇතුළත නිරීක්ෂණය කළහොත්, 1b නිරීක්ෂණ වලදී අප දකින දේ 1e නිරීක්ෂණ වලින් සරලව අඩු කළ හැකිය. එවිට දත්ත කට්ටල දෙකෙහිම තිබිය හැකි තරුවේ බාධාවන් ඉවත් වී, 1e හි තිබිය හැකි වායුගෝලයේ සලකුණ පමණක් ඉතිරි වනු ඇත.
මෙය සිදු කිරීම සඳහා, ඔවුන්ගේ තරුව ඉදිරිපිට ග්‍රහලෝක වල සංක්‍රාන්ති 15 ක් ග්‍රහණය කර ගැනීමට JWST හි නිරීක්ෂණ කාලයෙන් පැය 100 කට වඩා කණ්ඩායමට අවශ්‍ය විය. ලොව ප්‍රමුඛතම නිරීක්ෂණාගාරය භාවිතා කිරීම සඳහා ඇති ඉල්ලුම සැලකූ විට එය විශාල ඉල්ලීමක් වුවද, එය අනුමත වූ අතර දත්ත විශ්ලේෂණය සඳහා සූදානම් වීමට පෙර දැන් ඉතිරිව ඇත්තේ එක් නිරීක්ෂණයක් පමණි. “මට හිතෙන්නේ වසර මැද භාගය වන විට අපට මූලික ප්‍රතිඵල ලැබෙනු ඇති අතර, වසර අවසන් වන විට අපට ඉතා ස්ථිර පිළිතුරක් ලබා ගත හැකි වනු ඇත,” යනුවෙන් එස්පිනෝසා පවසයි. එම උත්සාහයට සමගාමීව, අනෙකුත් කණ්ඩායම් TRAPPIST-1 සහ සාමාන්‍යයෙන් M-වාමන තරු වල වඩාත් සවිස්තරාත්මක ආකෘතියක් ගොඩනැගීමට උත්සාහ කරයි. එමගින් විය හැකි වායුගෝලීය සංඥාවෙන් තාරකා ක්‍රියාකාරකම් අඩු කිරීම වඩාත් පහසු වනු ඇත.
පෘථිවියට මෙන් ඝන වායුගෝලයක් එයට තිබුණද, TRAPPIST-1e කිසිසේත්ම අපගේ ග්‍රහලෝකයට සමාන වීමට ඉඩක් නැත: එහි ප්‍රමාණය සහ උෂ්ණත්වය බොහෝ විට එම සමානකම් අවසන් වන තැන විය හැකිය. “TRAPPIST-1e හි කුමන රසායන විද්‍යාවක් සිදුවෙමින් පැවතුනත් එය ඉතා වෙනස් වනු ඇත, මන්ද එය එහි තරුවට සමීපව පවතින නිසයි,” යනුවෙන් අභ්‍යවකාශ දුරේක්ෂ විද්‍යා ආයතනයේම හැනා ඩයමන්ඩ්-ලෝව් (Hannah Diamond-Lowe) පවසයි. වායුගෝලය හරහා ගමන් කරන තරුවෙන් නිකුත් වන විකිරණ, පෘථිවි වායුගෝලයේ සිදුවනවාට වඩා වෙනස් රසායනික විද්‍යාවක් නිර්මාණය කරනු ඇත. මෙයින් යෝජනා කරන්නේ එහිදී හමුවිය හැකි ඕනෑම ජීවියෙකු බොහෝ විට අප පුරුදු වී සිටින දෙයට වඩා බෙහෙවින් වෙනස් විය හැකි බවයි.
“එහිදී හමුවිය හැකි ඕනෑම ජීවියෙකු බොහෝ විට අප පුරුදු වී සිටින දෙයට වඩා බෙහෙවින් වෙනස් විය හැකිය”
ඇත්ත වශයෙන්ම, එම විකිරණ කොතරම් ප්‍රබලද යත්, ග්‍රහලෝකයේ ආරම්භක අවධියේදී එයට තිබූ ඕනෑම වායුගෝලයක් බොහෝ දුරට ඉවත් වී ගොස් තිබිය යුතුය. දැන් එහි වායුගෝලයක් තිබේ නම්, එය ග්‍රහලෝක විද්‍යාඥයින් “ද්විතියික වායුගෝලයක්” (secondary atmosphere) ලෙස හඳුන්වන දෙයක් විය යුතුය. එය ගිනිකඳු ක්‍රියාකාරකම් මගින් සහ ග්‍රහලෝකය තුළින්ම වායුව පිටවීමෙන් හෝ වල්ගාතරු ගැටීමෙන් ප්‍රතිෂ්ඨාපනය වූවක් විය යුතුය.
කෙසේ වෙතත්, එය අනිවාර්යයෙන්ම ගැටලුවක් නොවේ. “‘ද්විතියික වායුගෝල වලට ජීවය පවත්වා ගත හැකිද?’ යන්නට කෙටි පිළිතුර ‘ඔව්’ යන්නයි. අප එය දන්නේ අපටද පෘථිවිය මත ඇත්තේ ද්විතියික වායුගෝලයක් නිසායි,” යනුවෙන් රන්ජන් පවසයි. මීට වසර බිලියන 4.5 කට පමණ පෙර සඳ නිර්මාණය කළ ගැටුමෙන් අපගේ ප්‍රාථමික වායුගෝලයෙන් වැඩි කොටසක් ඉවත් වූ අතර, දැන් අපට ඇති වායුගෝලය නිර්මාණය වූයේ ලෝකයේ උණු වූ පෘෂ්ඨයෙන් පිටවූ වායූන් මගිනි. පසුව ජීවීන්ගේ වර්ධනයත් සමඟ ඒවා සැලකිය යුතු ලෙස වෙනස් විය.
TRAPPIST-1e මත ජීවය තිබුණද, JWST හෝ මීළඟ පරම්පරාවේ අභ්‍යවකාශ දුරේක්ෂවලින් පවා අපට එහි සලකුණු දැකගැනීමට හැකි නොවනු ඇත. මෙතරම් කුඩා පාෂාණමය ලෝකයක වායුගෝලයක් සොයා ගැනීම පවා මෙතෙක් කළ නොහැකි වී ඇත. එබැවින් ‘ජීව සලකුණු’ (biosignatures) එනම් ජීවය මගින් පමණක් නිපදවිය හැකි රසායනික සංයෝග වල සලකුණු අනාවරණය කළ හැකි ආකාරයේ සමීප විශ්ලේෂණයන් තවමත් අපගේ ළඟාවීමෙන් ඔබ්බට පවතී. කෙසේ වෙතත්, එවැනි ලෝකයක වායුගෝලයක් පැවතීම යනු ග්‍රහලෝකයක් ජීවය සඳහා සුදුසු බවටත් ඒ ගැන සෙවිය යුතු බවටත් අපට මෙතෙක් ලැබී ඇති හොඳම සලකුණ වනු ඇත.
එම වායුගෝලය කොතරම් හුරුපුරුදු එකක් වුවද නැතද එම තත්ත්වය එලෙසම පවතී. “විද්‍යාඥයා වන නෙස්ටර් ඔබට පවසන්නේ අප වඩාත්ම උද්‍යෝගිමත් වන තත්ත්වය වනුයේ පෘථිවියට සමාන වායුගෝලයක් හඳුනාගැනීම බවයි – එමගින් අපගේ සෞරග්‍රහ මණ්ඩලයට සමාන දෙයක් එහි ඇති බව ඉඟි කළ හැකියි,” යනුවෙන් එස්පිනෝසා පවසයි. “කෙසේ වෙතත්, මම හිතන්නේ මිනිසා වන නෙස්ටර් ඔබට පවසන්නේ සෞරග්‍රහ මණ්ඩලයේ ඇති ඕනෑම දෙයකට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් වායුගෝලයක් එහි පැවතීමේ හැකියාව ගැන ඔහු ඊටත් වඩා උද්‍යෝගිමත් වන බවයි.”
වෙනත් පිටසක්වළ අහස්
වායුගෝලයක් සහිත පාෂාණමය ග්‍රහලෝකයක් සඳහා වන අපගේ හොඳම බලාපොරොත්තුව TRAPPIST-1e විය හැකි වුවද, එය එකම එක නොවේ. “ළඟා වීමට අපහසු, නමුත් වායුගෝලයක පැවැත්ම වඩාත් විය හැකි, පාෂාණමය ග්‍රහලෝක සහිත තවත් M වාමන තරු ගහනයක් සිටිනවා,” යනුවෙන් ඩයමන්ඩ්-ලෝව් පවසයි. ඇය සහ එස්පිනෝසා එක්ව ‘Rocky Worlds’ සමීක්ෂණය නමින් හැඳින්වෙන ව්‍යාපෘතියක් මෙහෙයවන අතර, එය හරියටම එම හැකියාව පිළිබඳව සොයා බලයි. M වාමන තරු වටා කක්ෂගත වන වායුගෝලයක් පැවතීමේ හැකියාව ඇති කුඩා බාහිර ග්‍රහලෝක නවයක ලැයිස්තුවක් ඔවුන් සතුව ඇත. ඒවා සියල්ලම TRAPPIST-1e ට වඩා නිරීක්ෂණය කිරීමට අපහසුය – ඊට ප්‍රධාන හේතුව ඒවා පෘථිවියේ සිට බොහෝ දුරින් පිහිටා තිබීම සහ සංක්‍රාන්ති නිරීක්ෂණ සඳහා මනාව පෙළගැසී නොතිබීමට ඉඩ ඇති බැවිනි – නමුත් බොහොමයක් කක්ෂගත වන්නේ අඩු ක්‍රියාකාරීත්වයක් ඇති තරු වටා වන අතර එබැවින් එහි තිබිය හැකි කිසිදු වායුගෝලයක් විනාශ වී යාමේ සම්භාවිතාව අඩුය. මේ වන විට එම නවයෙන් නිරීක්ෂණය කර ඇත්තේ එකක් පමණි (ඒ JWST සහ හබල් අභ්‍යවකාශ දුරේක්ෂය මගිනි). 2025 දී නිකුත් කරන ලද සොයාගැනීම් වලට අනුව එය වාතය නොමැති නිසරු පාෂාණයක් බව පෙනේ.
ඉදිරි වසර කිහිපය තුළ නිරීක්ෂණය කිරීමට නියමිත අනෙකුත් ග්‍රහලෝක ගැන මෙන්ම අනාගත මිනුම් සඳහා ඉලක්ක විය හැකි දීර්ඝ ලැයිස්තුවක් පිළිබඳව බලාපොරොත්තු තවමත් ඉහළින් පවතී. නමුත් ‘Rocky Worlds’ සමීක්ෂණයේ පළමු ප්‍රතිඵල මගින් කුඩා සැකයක් ඇති කළ බව ප්‍රතික්ෂේප කළ නොහැක. “මෙම M වාමන තරු මගින් සපයන කටුක පරිසරයෙන් ගැලවීමක් නොමැතිවා වෙන්නට පුළුවන්,” යනුවෙන් ඩයමන්ඩ්-ලෝව් පවසයි. “අපි එම හැකියාවට මුහුණ දීමට සූදානම් විය යුතුයි.” කෙසේ වෙතත්, M වාමන තරු යනු මන්දාකිනියේ බහුලවම දක්නට ලැබෙන තරු වර්ගයයි. එබැවින් JWST මගින් අපට M වාමන තරුවක් වටා කක්ෂගත වන සැබවින්ම ජීවයට සුදුසු ලෝකයක් සොයාගත නොහැකි නම් – සහ ඒ සඳහා අපට ඇති හොඳම අවස්ථාව වන්නේ TRAPPIST-1 පද්ධතියයි – අපට තවත් එවැනි අවස්ථාවක් ලැබීමට දශක ගණනාවක් ගත විය හැකිය.
මාස කිහිපයක් ඇතුළත TRAPPIST-1e හී වායුගෝලයක් ඇති බව ප්‍රකාශ කළහොත්, එම උද්‍යෝගය ඉතා ඉක්මනින් තවත් ප්‍රශ්න සඳහා මග පාදනු ඇත. ග්‍රහලෝක විද්‍යාඥයින්ට එම සාක්ෂිය ලබා දෙන්න, එවිට ඔවුන් එය කුමකින් සෑදී ඇත්දැයි සොයා ගැනීමට උත්සාහ කරනු ඇත. ඒ සඳහා තවදුරටත් සංවේදීතාවයක් මෙන්ම තාරකා බලපෑම් වඩාත් පෙරීමක් අවශ්‍ය වේ. යම් ආකාරයක ජීවියෙකු විසින් නිරන්තරයෙන් පුරවනු ලබන්නේ නම් මිස පැවතිය නොහැකි ආකාරයේ වායු සංයෝග හරහා ජීවයේ සලකුණු සෙවීමටත්, මතුපිට ස්වභාවය කෙසේ විය හැකිදැයි අවබෝධයක් ලබා ගැනීමටත් අප සතුව දැනට පවතින එකම මාර්ගය වන්නේ වායුගෝලයේ ලක්ෂණ හඳුනා ගැනීමයි. “ඔබට මතුපිට සහ වායුගෝලය යන දෙකම එකවර සෘජුවම ලබා ගත නොහැකියි, මොකද බොහෝ විට වලාකුළු සහ වෙනත් දේවල් නිසා මතුපිට දැකීම අපහසු විය හැකි නිසා,” ග්ලිඩන් පවසයි.
කුමක් සිදු වුවද, TRAPPIST-1e වෙනත් ලෝකවල ජීවය සෙවීමේ කාර්යය විද්‍යාත්මක සත්‍යයේ තලයට ඇද දමමින් සිටියි. එමෙන්ම, මේ මොහොතේ එසේ කිරීමට සමත් යැයි අප දන්නා එකම ලෝකයද එයයි. “මම හිතනවා තවත් TRAPPIST පද්ධති එහි ඇති කියලා,” යනුවෙන් සීගර් පවසයි.
New Scientist Magazine ලීයා ක්‍රේන් (Leah Crane) විසිනි




ප්‍රතිචාරයක් ලබාදෙන්න