🌍🌡️
ගංවතුර, නියඟය, දරාගන්න බැරි උණුසුම, ඇට මිදුළු දක්වා දැනෙන සීතල කුණාටු… මේ හැමදේකටම හේතුව “උණුසුම” කිව්වොත් ඔබ පුදුම වෙයිද? අපි මේ ගැන සරලව තේරුම් ගනිමු.
උණුසුමේ විද්‍යාව: එකම හේතුව, විවිධ ප්‍රතිඵල
උණුසුම් තරංග (Heat Waves) කියන්නේ මොකක්ද කියලා තේරුම්ගන්න හරිම ලේසියි. ලෝකයේ උෂ්ණත්වය ඉහළ යන විට, විශේෂයෙන්ම ග්‍රීෂ්ම කාලයට, දවල් සහ රාත්‍රී කාලය වඩාත් උණුසුම් වෙනවා. රාත්‍රියට උෂ්ණත්වය හරියට අඩු නොවී පැවතීම තමයි මෙහි භයානකම දේ. එවිට උණුසුම එක දිගටම වැඩි වෙනවා.
ඒත් උණුසුම කාලගුණයට බලපාන්නේ කොහොමද? හිතන්න, උණුසුම් වාතය කියන්නේ ලොකු ස්පොන්ජ් එකක් වගේ කියලා. ඒකට ගොඩක් වතුර (ජල වාෂ්ප) උරාගන්න පුළුවන්.
- නියඟය සහ ලැව්ගිනි 🔥: උණුසුම් වාතය පොළොවෙන් සහ ගස්වලින් වැඩිපුර වතුර උරාගන්නවා (වාෂ්පීකරණය). මේ නිසා පොළොව සහ ගස්කොළන් වේළිලා ගිහින් නියඟය තවත් දරුණු වෙනවා. මෙසේ වේළුණු ගස්කොළන් ලැව්ගිනිවලට හසුවීමේ අවදානම ඉතාම වැඩියි.
- ගංවතුර සහ හිම කුණාටු 🌊: වායුගෝලයේ එකතු වෙන මේ අමතර ජල වාෂ්ප වර්ෂාව හෝ හිම ලෙස පතිත වන විට, එය සාමාන්‍ය ප්‍රමාණයට වඩා අධික වෙනවා. මේ නිසා හදිසි ගංවතුර හෝ දරුණු හිම කුණාටු ඇතිවෙනවා.
- දරුණු කුණාටු 🌪️: සාගරයට ඉහළින් ඇති වාතය උණුසුම් හා තෙත් වීම නිසා, සුළි කුණාටු (hurricanes, cyclones, typhoons) වැනි දේ වඩාත් බලවත් හා විනාශකාරී වෙනවා.
වැනෙන ජෙට් ප්‍රවාහය: ලෝකය රත්වෙද්දී සීතල දැනෙන්නේ ඇයි?
අහසේ ඉහළින්, සීතල සහ උණුසුම් වාතය හමුවන තැන්වල “ජෙට් ප්‍රවාහ” (jet streams) නමින් වේගවත් වායු දහරා ගලා යනවා. හිතන්න, මේවා අහසේ තියෙන ගංගා වගේ කියලා. මේවා තමයි ලොව පුරා කාලගුණික පද්ධති එහා මෙහා ගෙනියන්නේ.
පෘථිවියේ අනෙක් ප්‍රදේශවලට වඩා ආක්ටික් ප්‍රදේශය (උත්තර ධ්‍රැවය) ඉතා වේගයෙන් උණුසුම් වෙනවා. මේ නිසා උතුරු ජෙට් ප්‍රවාහය දුර්වල වෙලා, හරියට වැනෙන බඹරයක් වගේ වෙනවා. එය දකුණට වැනෙන විට, ආක්ටික් ප්‍රදේශයේ අධික සීතල වාතය පහළට ගෙන එනවා. ලෝකය සාමාන්‍යයෙන් උණුසුම් වෙමින් පැවතියත්, සමහර ප්‍රදේශවලට හදිසි අධික ශීත කාලගුණයක් ඇතිවෙන්නේ මේ නිසයි.
දේශගුණික විපර්යාස කියන්නේ අලුත් දෙයක් නෙවෙයි. පෘථිවියේ දේශගුණය මීට පෙරත් බොහෝ වතාවක් වෙනස් වෙලා තියෙනවා. මීට වසර 20,000කට කලින් හිම යුගයක් තිබුණා. ඩයිනෝසරයන්ගේ කාලයේදී ලෝකය අදට වඩා ගොඩක් උණුසුම්ව තිබුණා.
ඉතින්, අද තියෙන වෙනස මොකක්ද?
මේ වතාවේ වෙනසට හේතුව අපි. පසුගිය හිම යුගය අවසන් වීමෙන් පසුවයි මිනිස් ශිෂ්ටාචාරය දියුණු වුණේ. අද සිදුවන මේ වේගවත් වෙනසට ප්‍රධානම හේතුව මිනිස් ක්‍රියාකාරකම්. නාසා (NASA) ආයතනයට අනුව, වර්තමාන උණුසුම් වීමේ ප්‍රවණතාවයෙන් 95%කට වඩා වැඩි ප්‍රමාණයක් මිනිසා විසින් ඇති කරන ලද්දක්.
- හරිතාගාර ආචරණය (Greenhouse Effect): සීත කාලයට පැළෑටි වගා උණුසුම් ව තබා ගැනීමට යොදන වහලට වීදුරු යොදන මඩුවලට කියන්නෙ ග්‍රීන් හවුස් (greenhouses) හෙවත් හරිතාගාර කිය. පිටත සීතල වුණත් ඇතුළත පැළෑටි වවන්න උණුසුම රඳවාගන්න ඒවා හදලා තියෙනවා. වායුගෝලයේ තියෙන සමහර වායු වර්ගත් (කාබන් ඩයොක්සයිඩ් වැනි) මේ වගේම වැඩ කරනවා. ඒවා සූර්යයාගෙන් එන තාපය පෘථිවිය මතුපිට රඳවා ගන්නවා. අපි ෆොසිල ඉන්ධන (පෙට්‍රල්, ඩීසල්) දහනය කරන විට, වනාන්තර කපන විට, මේ “හරිතාගාර වායු” වායුගෝලයට එකතු වෙනවා. වායු ප්‍රමාණය වැඩිවෙන තරමට, වැඩිපුර තාපය රඳවාගෙන පෘථිවිය උණුසුම් වෙනවා.

## අනාගතය දෙස එබී බැලීම: හැරවුම් ලක්ෂ්‍ය සහ ප්‍රතිපෝෂණ වළලු
විද්‍යාඥයන් අනාගතය ගැන අනාවැකි කියන්නේ කොහොමද? ඔවුන් පරිගණක ආකෘති (computer models) භාවිතා කරනවා. මේවා හරියට පෘථිවියේ දේශගුණය අනුකරණය කරන සුපිරි පරිගණක ක්‍රීඩා වගෙයි. විවිධ “what if” (මොකද වෙන්නේ?) ප්‍රශ්නවලට උත්තර හොයන්න ඔවුන්ට පුළුවන්.
නමුත් මේ අනාවැකිවලට බලපාන සංකීර්ණ දේවල් දෙකක් තියෙනවා:
1. හැරවුම් ලක්ෂ්‍ය (Tipping Points)
හිතන්න, ඔබ එක පැත්තකට හිමින් හිමින් ඇලවෙනවා කියලා. යම් සීමාවක් පැන්න ගමන් ඔබ එකපාරටම වැටෙනවා. ආපහු කෙළින් වෙන්න බෑ. දේශගුණයත් ඒ වගේ තමයි. සමහර වෙනස්කම් යම් සීමාවක් පැන්නට පස්සේ ආපහු හැරවිය නොහැකි විදිහට වේගවත් වෙනවා. බටහිර ඇන්ටාක්ටික් අයිස් තට්ටුව දියවීම මෙයට උදාහරණයක්. එය සම්පූර්ණයෙන්ම දියවී ගියොත්, ලෝකයේ මුහුදු මට්ටම මීටර් 3-5ත් අතර ප්‍රමාණයකින් ඉහළ යන්න පුළුවන්.
2. ප්‍රතිපෝෂණ වළලු (Feedback Loops)
මේවා එකක් අනෙක වේගවත් කරන විෂම චක්‍ර වගෙයි.
- මුහුදු අයිස්: සුදු පාට අයිස්, කණ්ණාඩියක් වගේ සූර්ය තාපය ආපහු පරාවර්තනය කරනවා. නමුත් තද පැහැති මුහුදු ජලය, කළු ටී-ෂර්ට් එකක් වගේ තාපය උරාගන්නවා. උණුසුම නිසා අයිස් දියවෙන විට, තාපය උරාගන්නා තද පැහැති ජලය වැඩිවෙනවා. මේ නිසා තවත් උණුසුම් වෙලා, තවත් අයිස් දියවෙනවා.
- නිත්‍ය හිම (Permafrost): සීතල ප්‍රදේශවල පොළොව යට අවුරුද්ද පුරාම මිදී පවතින පස තමයි නිත්‍ය හිම. මේක හරියට පරණ ගස්කොළන් දාලා තියෙන ලොකු අධිශීතකරණයක් වගේ. උණුසුම නිසා මේ පස දියවෙන විට, එහි ඇති දේ කුණුවී මීතේන් සහ කාබන් ඩයොක්සයිඩ් වැනි හරිතාගාර වායු පිටවෙනවා. මේ වායු නිසා තවත් උණුසුම් වෙලා, තවත් පස දියවෙනවා.
ක්‍රියාත්මක වීමට කාලයයි! 💪
මේ ප්‍රශ්නය බරපතලයි, ඒත් අපට බලාපොරොත්තු නැතිවෙලා නෑ. නරක ආරංචිය තමයි මේකට වගකියන්න ඕන අපි වීම. හොඳ ආරංචිය තමයි මේක විසඳන්න පුළුවන් අපිටම වීම. අපිට අවශ්‍ය දැනුම, මෙවලම් සහ තාක්ෂණය දැනටමත් තියෙනවා.
ඔබ ඇතුළු අද ලෝකයේ ඉන්න තරුණ පරම්පරාව මේ දේශගුණික විපර්යාස ඇස් පනාපිට දකිමින් හැදී වැඩෙනවා. ඒ නිසා, මේ අභියෝගයට මුහුණ දීමේදී සහ විසඳුම් සෙවීමේදී ඔබට විශේෂ කාර්යභාරයක් තියෙනවා. මෙය අනතුරක් වගේම, යහපත් ලෝකයක් ගොඩනැගීමට ලැබුණු විශිෂ්ට අවස්ථාවක්.





ප්‍රතිචාරයක් ලබාදෙන්න