ක්ෂීරපථයේ බොහෝ ග්‍රහලෝක උපත ලබන්නේ ‘ඉදිමුණු’ ස්වභාවයෙනි.

එහෙත් එම ග්‍රහලෝක අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ දක්නට ලැබෙන කිසිදු ග්‍රහලෝකයකට සමාන නොවේ.

අපගේ මන්දාකිනියේ (Galaxy) බහුලවම දක්නට ලැබෙන ග්‍රහලෝක වර්ග වර්ධනය වන්නේ කෙසේදැයි තාරකා විද්‍යාඥයින් විසින් අනාවරණය කරගෙන ඇති බව ‘Nature’ සඟරාවේ පළ වූ නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබේ. මෙම ග්‍රහලෝක තම ආරම්භක අවධියේදී ‘ඉදිමුණු’ (bloated) ස්වභාවයක් ගන්නා නමුත්, ඉතා ඉක්මනින් ඒවායේ ඝන වායුගෝලයෙන් වැඩි ප්‍රමාණයක් අහිමි කර ගන්නා බවට තාරකා විද්‍යාඥයින් විසින් ඉදිරිපත් කර තිබූ න්‍යායන් මෙම සොයාගැනීම මගින් තහවුරු කරයි.

පර්යේෂකයන් විසින් V1298 Tau පද්ධතියේ ඇති ළදරු බාහිර ග්‍රහලෝක (exoplanets) හතරක් නිරීක්ෂණය කරන ලදී. ඒවායේ මව් තරුවට වයස අවුරුදු මිලියන 20ක් පමණක් වන අතර, විශ්වීය කාල පරිමාණයට අනුව එය හරියට මාස පහක කුඩා දරුවෙකුට සමාන වේ.

මෙම ග්‍රහලෝකවල අරය පෘථිවියේ අරය මෙන් 5 ත් 10 ත් අතර ගුණයක් විශාල වන නමුත්, ඒවායේ ස්කන්ධය පෘථිවිය මෙන් 5 ත් 15 ත් අතර ගුණයක් පමණක් වේ. මේ නිසා ඒවාට ලැබී ඇත්තේ ඝනත්වයෙන් අඩු පොලිස්ටයිරින් ෆෝම් (රිජිෆෝම්) වලට සමාන ඝනත්වයකි.

මෙම ග්‍රහලෝක ‘පිම්බුණු’ ස්වභාවයක් ගන්නේ ඒවායේ ළදරු තරුවේ තාපය සහ ආලෝකය හේතුවෙන් ඒවායේ වායුගෝලය අතිශයින් ප්‍රසාරණය වීම නිසාය. මෙහි ප්‍රතිඵලය වන්නේ මෙම ග්‍රහලෝකවලින් විශාල වායු ප්‍රමාණයක් අභ්‍යවකාශයට අහිමි වීමයි. මේ හේතුවෙන් අවසානයේදී ඒවා සංකෝචනය වී පෘථිවිය සහ නෙප්චූන් යන ග්‍රහලෝක අතර ප්‍රමාණයකට පත්වනු ඇත.

සුපර්-අර්ත්ස් (super-Earths / සුපිරි පෘථිවි) සහ සබ්-නෙප්චූන්ස් (sub-Neptunes / උප නෙප්චූන්) ලෙසද හැඳින්වෙන මෙම ප්‍රමාණයේ ග්‍රහලෝක තවත් බොහෝ තරු වටා සොයාගෙන ඇති අතර ඒවා දැනට අප දන්නා වඩාත්ම සුලභ ග්‍රහලෝක වර්ගය වේ. නමුත් ඒවා කිසිසේත්ම සොයාගත නොහැකි එක් ස්ථානයක් වන්නේ අපගේ සෞරග්‍රහ මණ්ඩලයයි.

මෙවැනි අතරමැදි ලෝකයක් පිළිබඳව සමීපව අධ්‍යයනය කිරීමට අපට උදාහරණයක් නොමැති වීම නිසා, ග්‍රහලෝක වර්ධනය වන්නේ සහ නිර්මාණය වන්නේ කෙසේද යන්න පිළිබඳ අපගේ අවබෝධය තුළ ඒවා එක්තරා ආකාරයක ‘අතුරුදහන් වූ පුරුකක්’ (missing link) බවට පත්ව තිබුණි.

“V1298 Tau පද්ධතිය යනු අපට අහස පුරා දැකිය හැකි තරු සහ ග්‍රහලෝක සාදන නිහාරිකා (nebulae) සහ අප විසින් මේ වන විට දහස් ගණනින් සොයාගෙන ඇති පරිණත ග්‍රහ මණ්ඩල අතර ඇති තීරණාත්මක සම්බන්ධතාවයක්,” යැයි මෙම අධ්‍යයනයේ එක් කතුවරයෙකු වන මහාචාර්ය එරික් පෙටිගුරා (Prof Erik Petigura) පැවසීය.

ළදරු ග්‍රහලෝක මෙලෙස වර්ධනය වන බවට තාරකා විද්‍යාඥයින් මින් පෙර න්‍යායාත්මකව පෙන්වා දී තිබුණද, මෙම ක්‍රියාවලිය සිදුවන ආකාරය සජීවීව නිරීක්ෂණය කිරීමට ඔවුන් සමත් වූ ප්‍රථම අවස්ථාව මෙයයි.

“මෙම ග්‍රහලෝක මේ වන විටත් නාටකාකාර පරිවර්තනයකට ලක්ව ඇති අතර, ඒවායේ මුල් වායුගෝලයෙන් වැඩි ප්‍රමාණයක් වේගයෙන් අහිමි කර ගනිමින්, සම්මත ආකෘතිවලින් අප බලාපොරොත්තු වනවාට වඩා වේගයෙන් සිසිල් වෙමින් පවතිනවා,” යැයි සම කර්තෘ මහාචාර්ය ජේම්ස් ඕවන් (Prof James Owen) ප්‍රකාශ කළේය.

“නමුත් ඒවා තවමත් පරිණාමය වෙමින් පවතිනවා. ඉදිරි වසර බිලියන කිහිපය තුළදී, ඒවායේ වායුගෝලය තවදුරටත් අහිමි වී සංකෝචනය වීම සිදුවනු ඇති අතර, අපට මන්දාකිනිය පුරා දැකිය හැකි සුපර්-අර්ත් සහ සබ්-නෙප්චූන් වැනි සංයුක්ත පද්ධති බවට ඒවා පරිවර්තනය වනු ඇත.” ■

බීබීසි සයන්ස් ෆෝකස් සඟරාවෙන්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending