සෛල න්‍යාය (Cell Theory)
ජීව විද්‍යාත්මක වාදයන් අතර සුවිශේෂී ස්ථානයක් සෛල න්‍යායට හිමිවේ. මෙම න්‍යායේ මූලාරම්භය දාහත්වන සියවසේදී අන්වීක්ෂය සොයාගැනීමත් සමග සිදුවිය. රොබට් හුක් (1635–1703) එකල ලන්ඩනයේ රාජකීය සංගමයේ පරීක්ෂණ භාරකරු ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටියේය. ඔහු විසින් නිර්මාණය කරන ලද විශිෂ්ට සංයුක්ත අන්වීක්ෂයක් භාවිතයෙන් කුඩා ජීවීන් නිරීක්ෂණය කළේය. හුක්, කිරළ ශාකයේ තුනී සිවියක් නිරීක්ෂණය කිරීමේදී එහි කුඩා පෙට්ටි වැනි ව්‍යුහයන් ඇතිබව දුටුවේය. ඒවා ආරාමයක ඇති කුඩා කුටි (cells) සිහිපත් කළ බැවින් ඔහු ඒවාට ‘සෛල’ (cells) යන නම තැබීය. ඉන් දශකයක් ඇතුළත, ඇන්ටන් වෑන් ලීවන්හුක්ගේ සොයාගැනීම් සමාලෝචනය කරන ලෙස රාජකීය සංගමය හුක්ගෙන් ඉල්ලා සිටියේය. ඒ වන විට ලීවන්හුක් විසින් පොකුණු ජලයේ සිටි ක්ෂුද්‍ර ජීවීන් නිරීක්ෂණය කිරීමේදී පණ ඇති සෛල දැක තිබුණි. 1665 දී රොබට් හුක් සිය නිරීක්ෂණ ඇතුළත් කර ‘මයික්‍රොග්‍රැෆියා’ (Micrographia) නමින් ග්‍රන්ථයක් ප්‍රකාශයට පත් කළේය. කෘමීන්, ශාක, පිහාටු සහ එම ප්‍රසිද්ධ කිරළ සෛලවල අන්වීක්ෂීය දර්ශනවල සවිස්තරාත්මක ඇඳීම්වලින් ඔහු එය විචිත්‍රවත් කළේය. සැමුවෙල් පීප්ස් (Samuel Pepys) එය අගය කරමින්, “…මා මගේ ජීවිතයේ කියවූ විශිෂ්ටතම ග්‍රන්ථය මෙයයි” යනුවෙන් පැවසීය.


1838 දී මැතියස් ශ්ලයිඩන්, කිරළ මෙන්ම සියලුම ශාක ද සෛල වලින් සෑදී ඇති බවට යෝජනා කළේය. වසරකට පසුව, තියඩෝර් ශ්වාන් එය තවත් ඉදිරියට ගෙන ගියේය. සියලුම ජීවීන්ගේ මූලික ක්‍රියාකාරී ඒකකය සෛලය බව ඔහු විශ්වාස කළේය. සෛල වාදය නිල වශයෙන් බිහිවූයේ 1868 දී, ව්‍යාධිවේදී රුඩොල්ෆ් වර්චෝ විසින් පෙර පැවති අදහස් ඒකාබද්ධ කර, සෛල ඇතිවන්නේ පූර්වයෙන් පැවති සෛල විභාජනය වීමෙන් බව පෙන්වා දීමත් සමඟය.

“ජීවය යාන්ත්‍රිකව ඇතිවී කුඩාම විස්තරය දක්වා ප්‍රචාරණය වන බව අප සොයා ගත්තද, එය සැමවිටම වෙනම දෙයක් ලෙස පවතිනු ඇත.”
– රුඩොල්ෆ් වර්චෝ, 1855

සෛලය යනු ජීවයේ සියලුම ක්‍රියාකාරකම් සිදු කළ හැකි පහළම මට්ටමේ ජීව විද්‍යාත්මක ව්‍යුහයයි. 1950 දශකයේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය සොයා ගැනීමත් සමඟ සෛලවල පාර ව්‍යුහය (ultrastructure) හඳුනා ගැනීමට අපට හැකි වී තිබේ. සියලුම සෛලවලට ප්ලාස්ම පටලයක් ඇති අතර, ඒවායේ වර්ධනයේ යම් අවධියකදී, DNA ලෙස වඩාත් ප්‍රචලිත ඩියොක්සිරයිබොනියුක්ලෙයික් අම්ලය අඩංගු වේ.
සෛල වර්ග
ව්‍යුහාත්මකව, සෛල ප්‍රධාන කාණ්ඩ දෙකකට බෙදිය හැකිය: එනම් ප්‍රාග්න්‍යෂ්ටික (prokaryotes) සහ සූන්‍යෂ්ටික (eukaryotes) වශයෙනි.
පෘථිවියේ පළමු සෛල වූයේ ප්‍රාග්න්‍යෂ්ටික සෛලයි. ආකීබැක්ටීරියා සහ බැක්ටීරියා යනු ප්‍රාග්න්‍යෂ්ටික සෛල වේ. ඒවා සාමාන්‍යයෙන් ප්‍රමාණයෙන් මයික්‍රොමීටර (µm) 0.1 ත් 10 ත් අතර වේ. ඒවායේ DNA, පටලයකින් වටවූ න්‍යෂ්ටියකින් සෛලයේ සෙසු කොටස් වලින් වෙන් වී නොමැති අතර, පටල වලින් වටවූ ඉන්ද්‍රයිකා ද නොමැත. බොහෝ ප්‍රාග්න්‍යෂ්ටික සෛලවලට ශක්තිමත් බාහිර සෛල බිත්ති ඇත. සෛල සැකිල්ලක් (සෛලයක් එකට තබා එහි හැඩය ලබා දෙන ප්‍රෝටීන ජාලයක්) හෝ සෛලප්ලාස්ම ප්‍රවාහයක් (සෛලයේ එක් ප්‍රදේශයක සිට තවත් ප්‍රදේශයකට සෛලප්ලාස්ම ගලා යාම) දක්නට නොමැත. සෛල වර්ගය සහ විශේෂය අනුව, පරිවෘත්තීය ක්‍රියා ඔක්සිජන් සහිතව (ස්වායු) හෝ රහිතව (නිර්වායු) සිදුවිය හැක. සෛල විභාජනය සිදුවන්නේ ද්විඛණ්ඩනය මගිනි.

  • µm = මයික්‍රොමීටරය, එනම් මීටරයකින් මිලියනයකින් කොටසකි.
    සූන්‍යෂ්ටික සෛලය මීට වසර බිලියන 1.5 කට පමණ පෙර පරිණාමය විය. ප්‍රොටිස්ටාවන්, දිලීර, ශාක සහ සතුන්ට සූන්‍යෂ්ටික සෛල ඇත. මෙම සෛල සාමාන්‍යයෙන් මයික්‍රොමීටර 10 ට වඩා විශාලය. බොහෝ ජානමය ද්‍රව්‍ය පටලයකින් වටවූ න්‍යෂ්ටියක් තුළ දක්නට ලැබෙන අතර, පටල සහිත ඉන්ද්‍රයිකා ද පවතී. සමහර විශේෂවල සෛල බිත්තියක් දක්නට ලැබෙන නමුත්, එහි රසායනික ව්‍යුහය ප්‍රාග්න්‍යෂ්ටික සෛලවලට වඩා බෙහෙවින් වෙනස් ය. සෛල සැකිල්ලක් මෙන්ම සෛලප්ලාස්ම ප්‍රවාහයක් ද පවතී. පරිවෘත්තීය ක්‍රියා සාමාන්‍යයෙන් ස්වායු වේ. සෛල විභාජනය සිදුවන්නේ අනූනන විභාජනය (mitosis) හෝ ඌනන විභාජනය (meiosis) මගිනි .
    පොදු ලක්ෂණ
    ප්‍රාග්න්‍යෂ්ටික සහ සූන්‍යෂ්ටික සෛල අතර සමානකම් ද ඇත. සියලුම සෛල, ප්‍රෝටීන සහ සාමාන්‍යයෙන් DNA සහ RNA වැනි න්‍යෂ්ටික අම්ල ආවරණය කරමින් පවතින ප්ලාස්ම පටලයකින් වටවී ඇත. මෙම සංරචක එක්ව, එන්සයිම නමැති විශේෂිත ප්‍රෝටීන මගින් පාලනය වන පරිවෘත්තීය ක්‍රියාකාරකම් හරහා සෛලයේ ශක්ති ප්‍රභවයන් මෙහෙයවයි.
  • සෛලප්ලාස්මය යනු සෛලයක් තුළ ඇති ජෙලි වැනි තරලයයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending