ස්පාඤ්ඤ බසින් එන එල්-නිනෝ (El Niño) යන නම ක්‍රිස්තු දරුවා යන තේරුම ගෙන දෙයි. බොහෝ විට නත්තල් සමයේ දී තම මුහුදු කලාපයේ හට ගන්නා උණුසුම් ජල ප්‍රවාහය හැඳින්වීමට එල්-නිනෝ යන නම දකුණු ඇමෙරිකාවේ පෙරුවියානු මසුන් මරන්නන් විසින් භාවිත කර තිබුණි. ලා-නිනා යන්නෙන් ගැහැණු දරුවා යන අදහස දෙන අතර ලා-නිනා (La Niña) යන්න දකුණු ඇමෙරිකාවට ඔබ්බෙන් සාගරයේ ජලය සිහිල් වන කාල පරිච්ඡේදය හැඳින්වීමට යෙදේ.
පැසිෆික් සාගරය හරහා හමන සුළඟ ලා-නිනා කාල පරිච්ඡෙදයේදී බටහිර අතට දිවෙන අතර සාගරය මතුපිට ඇති උණුසුම් ජලය එනිසා ඔස්ට්‍රෙලියානු වෙරළට සහ ඉන් උතුරේ පිහිටි සාගර කලාපයට තෙරපා හරිනු ලබයි. මෙසේ උණුසුම් ජලය බටහිර දිගට තල්ලු වීම නිසා ඉන් ඇතිවෙන හිඩැස පිරවීමට පැමිණෙන අධික සීතල ජල ප්‍රවාහය හැඳින්වෙන්නේ ‘හම්බෝල්ට් ප්‍රවාහය’ (Humboldt Current) යන නමිනි. පෝෂණ ද්‍රව්‍යයෙන් බෙහෙවින් සරු හම්බෝල්ට් ප්‍රවාහය දකුණු ඇමෙරිකානු වෙරළට ආසන්න පැසිෆික් සාගරයේ මතු වෙයි. හම්බෝල්ට් ප්‍රවාහයත් සමඟ ගලා එන අධි පෝෂ්‍යදායී ද්‍රව්‍ය ඇන්චොවෙට්ටා (anchovetta) යන නමින් හැඳින්වෙන මත්ස්‍ය වර්ගයෙන් වෙරළාසන්න මුහුද පිරී යාමට සලස්වයි. බෝවීමේ වේගය අතින් මේ මත්ස්‍ය විශේෂය මසුන් අතර ඉහළ ම තැන ගනියි.
මේ චක්‍රයේ එල්-නිනෝ කොටස ඇරඹෙන්නේ ඝර්ම කලාපීය සුළඟේ සැර බාල වීමත් සමඟයි. එවිට කලින් බටහිර දිගට තෙරපී ගිය උණුසුම් ජලය නැවත නැගෙනහිර දෙසට ගමන් කරමින් හම්බෝල්ට් ප්‍රවාහයෙන් ගෙන ආ ජලය යට කර දමයි. මෙසේ ආපසු එන උණුසුම් ජලය විසින් වාතයේ ආර්ද්‍රතාව වැඩි කිරීමත් සමග පෙරුවියානු ශුෂ්ක ප්‍රදේශවලට තද වැසි ඇතිවේ. මේ ක්‍රියාදාමයේ දී යට වෙන හම්බෝල්ට් ප්‍රවාහයේ සිසිල් ජලය දැන් බටහිර පැසිෆික් සයුරේ ඔස්ට්‍රෙලියානු වෙරළ දෙසට සේන්දුවෙයි. මේ සිසිල් ජලය උණුසුම් ජලය මෙන් පහසුවෙන් වාෂ්ප නොවන බැවින් වැසි මඳ වීමෙන් ඔස්ට්‍රේලියාවට සහ අග්නිදිග ආසියාවට නියඟය ඇතිවේ.
මේ අයුරින් ඇතිවෙන එල්-නිනෝ තත්ත්වය උත්සන්න වූ විට ඒ නිසා උද්ගත වන නියඟ, ගංවතුර සහ අනෙකුත් දේශගුණික වෙනස්කම් පෘථිවි තලයෙන් තුනෙන් දෙ කොටසකට බලපායි.
1997-98 එල්-නිනෝ සමය වඩා ප්‍රසිද්ධ වුයේ “ලෝකය ගිනිගත් වසර” (the year the world caught fire) යන නමින් ලෝක වන සත්ත්ව අරමුදළ විසින් එය හැඳින්වීම නිසාය. මෙකළ ඇතිවූ දැඩි නියඟය පෘථිවියෙන් වැඩි කොටසකට දරුණු ලෙස බල පෑවේය. ලෝකයේ බොහෝ ප්‍රදේශ වල ලැව් ගිනි ඇති වූ අතර ඝර්ම කලාපීය තෙත් වනාන්තර පවා ගිනි ගත්තේ ය. ප්‍රමාණය සැලකූ විට හෙක්ටයාර මිලියන දහයක ප්‍රදේශයක ඝර්ම කලාපීය වනාන්තර ගින්නෙන් විනාශ වූ අතර ඉන් අඩක් ම කාලාන්තරයක් තිස්සේ වැඩී පැවති ඝන වනාන්තරය. බෝර්නියෝ දූපතේ පමණක් ප්‍රමාණය අතින් මුළු නෙදර්ලන්තයට ම සමාන හෙක්ටයාර මිලියන පහක ඝන වනාන්තර ප්‍රදේශයක් ගිනි ගෙන විනාශ විය.
මෙසේ විනාශ වී ගිය වනාන්තර බොහෝමයක් ම යලි මිනිසුන්ට ඵල ප්‍රයෝජනයක් ගත හැකි කාල වකවානුවක් තුළ පුනරුත්ථාපනය වේ යැයි සිතීම උගහට ය. බොර්නියෝ වනාන්තරයට ආවේණික වූ ඇතැම් ශාක වර්ග යලි දැක ගැනීමට පවා හැකි නොවනු ඇත.
වායුගෝලයේ වැඩි වන හරිතාගාර වායු සංයුතිය නිසා නිරන්තරයෙන් ම එල්-නිනෝ වැනි තත්ත්ව අත්විඳීමට අපට සිදු වනු ඇත.
එල්-නිනෝ තත්ත්වය අතිශයින් තීව්‍ර වු විට දේශගුණය තිරසාර ලෙස ම වෙනස් වීමට පවා පුළුවන. 1998 එල්-නිනෝ ක්‍රියා දාමය ලෝක උෂ්ණත්වයේ සාමාන්‍යය අගය සෙන්ටිග්‍රෙඩ් 0.3° කින් වැඩි කිරීමට ප්‍රමාණවත් තාප ශක්තියක් මුදා හැරියේ ය. එදා සිට පැසිෆික් සාගරයේ බටහිර මැද කොටසේ නිරන්තර ජල උණුසුම සෙන්ටිග්‍රෙඩ් 30° ක් වූ අතර ජෙට් ස්ට්‍රීම් වායු ප්‍රවාහය උත්තර ධ්‍රැවය දෙසට බර වී ගමන් කරන්නට පටන් ගත්තේ ය. මේ නිසා බිහි වූ නව දේශගුණික රටාව පෙරට වඩා උග්‍ර එල්-නිනෝ තත්ත්‍ව ඇති කිරීමේ ප්‍රවණතාවක් දක්වයි.
වැඩිදුර කියවන්න





ප්‍රතිචාරයක් ලබාදෙන්න