විදු නැන නුවණ – Science Literacy for All

අපේ ජාන වලින් ක්‍රියාකාරී 8.2%ක් පමණයි!.

කිසියම් වැදගැම්ම්කට ඇති කටයුත්තක් ඉටුවන්නේ අපේ ජාන ප්‍ර‍මාණයෙන් 8.2%ක් වැනි සුළුතරයකින් පමණක් බව ආචාර්ය ගර්ට්න් ලුන්ටර්ගේ ප්‍ර‍ධානත්වයෙන් ඔක්ස්ෆර්ඩ් සරසවියේ  මිනිස් ජාන පිළිබඳ වෙල්කම් ට්‍ර‍ස්ට් මධ්‍යස්තානයේ විද්‍යාඥයන් කණ්ඩායමක් කළ පර්යේෂණ වලට අනුව හෙලිවෙයි. මේ ප්‍ර‍මාණය 1912දී ඩීඑන්ඒ විශ්වකෝෂ ව්‍යාපෘතියේ පර්යේෂකයන් විසින් පළ කළ ප්‍ර‍මාණයට වඩා බෙහෙවින් අඩුය. ඩීඑන්ඒ විශ්වකෝෂ ව්‍යාපෘතියට අනුව මිනිස් ජාන වලින් 80%ක්ම ක්‍රියාත්මකව පවතී.

ජාන (genes) යනු සිය පරපුරේ ආවේනික ලක්ෂණ උරුම කරගන්නා ක්‍ර‍මය ක්‍රියාත්මක කිරීම පිණිස ජීවි ශෛල තුල පිහිටා ඇති ඒකක විශේෂයකි. ජාන විද්‍යාවෙන් (Genetics)කෙරෙන්නේ එසේ උරුමයට යන ලක්ෂණ කවරේද යන්න හඳුනා ගැනීම සහ එම ලක්ෂණ පරපුරෙන් පරපුරට උරුම වන්නේ කෙසේද යන්න විස්තර කිරීමයි.

ඩීඑන්ඒ විශ්වකෝෂ ව්‍යාපෘති පර්යේෂණයේදී ජාන ක්‍රියාකාරිත්වය ජීව රසායනික වශයෙන් නිර්වචනය කළ අන්දම බෙහෙවින් පළල් වූ බවත් ඵලප්‍රයෝජනයක් නැති ජානක්‍රියාකාරකම් පවා එයට අඩංගු වූ බවට ඇතැමුන් චෝදනා කළහ. එහෙත් නව පර්යේෂණයේදී ජාන ක්‍රියාකාරිත්වය යනුවෙන් සැලැකුවේ කිසියම් නිශ්චිත ප්‍ර‍තිඵලයන් ගෙන එන ජානක්‍රියාකාරකම් පමණි.

ජෙනෝමය (Genome) යන්නෙන් අදහස් කරන්නේ ජීවියාගේ ජාන සමස්තයටයි. එය ඩීඑන්ඒ වලින් කේතාංකනය (encode) වී ඇත. ( බොහෝ වයිරසයන්ගේ ජෙනොමය ආර්එන්ඒ වළින් කේතාංකනය වෙයි)ජෙනෝමයට ජාන මෙන්ම ඩීඑන්ඒ/ආර්එන්ඒ වල කේතාංකනය නොවෙන අනුපිළවෙළද අයත්වේ.

තම නිගමන වලට පැමිණිමේදී ආචාර්ය ගර්ටන් ලුන්ටර් සහ ඔහුගේ කණ්ඩායම මානව පරිණාමය සිදුවීමේදී වැදගත් වූ හා වැදගත්නොවූ ජානක්‍රියාකාරිත්වයන් මොනවාද යන්න මත වැදගත්යැයි සැලකිය හැකි ජාන ක්‍රියාකාරිකම් හඳුනාගෙන තිබේ. වසර මිලියන 100ක කාලයක් තුල ක්ෂීරපායී සත්වයන්ගේ සිට පරිණාමය වීමේදී අපේ ජෙනෝමයෙන් (Genome) කවර ප්‍රමාණයක් නිරන්තර වෙනස්කම් වලට භාජනය වීමෙන් වැලැකී සිටියේද යන්න හඳුනාගැනීම මේ පර්යේෂණයේදී අතිශයින් වැදගත් විය. ඊට හේතුව එසේ වෙනස් නොවූ ජානවල ආවේනික ක්‍රියාකාරිත්වය නොකඩවා පවත්වාගෙන යාම පරිණාමීය ක්‍රියාවලියට වැදගත් වන බැවිනි.

මීයන්, හාවුන්, සුනඛයන්, අශ්වයන් සහ මනුෂයන් වැනි ක්ෂිරපායී සත්ව විශේෂයන්ගේ පරිගණක ගත කළ පූර්ණ ජාන අනුපිළිවෙල එකිනෙක හා සසඳා බැලීමෙන් ආවේණිය පවත්වා ගැනීමේදී වඩා වැදගත් වන ජාන ක්‍රියාකාරිත්වයන් හඳුනා ගත හැකි විය.

“සිය පූර්වජයන්ගේ (ancestor) සිට පරිණාමය වීමේදී මේ සත්ව විශේෂ වලට අයත් ඇතැම් ඩීඑන්ඒ වල විකෘතිවීම් ඇතිවෙනවා. ඒත් ඒ සත්වයන්ගේ ප්‍රයෝජනවත් ජාන අණුපිළිවෙල විකෘතිවීම් වලින් වලක්වා තබාගැනීමට පරිණාමයට මුල්වන ස්වාභාවිකවරණය වග බලාගන්නවා”  යනුවෙන් තම පර්යේෂණය පිළිබඳව PLoS Genetics විද්‍යා සඟරාවට ලිපියක් ලියමින් අචාර්ය ලුන්ටර් විස්තර කරනවා..ඔහුගේ ලිපියට අනුව මෙහිදී ක්ෂීරපායී සත්වයන්ගේ ජෙනෝමය තුළ ඩීඑන්ඒ පදාසයන් ඉවත් වී හෝ ඇතුළත් වී ඇති ආකාරය හඳුනා ගැනීම වැදගත් විය. ඩීඑන්ඒ අනුපිළිවෙල තුළ එනිසා ඇති වන අහඹු වෙනස්වීම් හැරෙන කොට ඉතිරිය ස්වාභාවිකවරණය විසින් සුරකිව තබාගත් ක්‍රියාකාරී ඩීඒන්ඒ වශයෙන් සැලැකිය හැකි බව ආචාර්ය ලුන්ටර්ගේ මතය විය.

“අපේ මිනිස් ජෙනෝමයේ ක්‍රියාකාරී කොටස 8.2%ක් බව අප දැනගත්තා. ඒත්  ඒ ප්‍ර‍තිශතයට අයත් හැම කොටසක්ම ජෙනෝමය තුළ පිහිටා තියෙන්නේ කොතැනද යන්න අපට කිව නොහැකියි. කෙසේ වෙතත් අප යොදාගත් විධික්‍ර‍මය හුදෙක් උපකල්පන මුල්කොටගත් එකක් නොවේ. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපේ පර්යේෂණය ජෙනෝමය පිළිබඳ අපේ නිශ්චිත දැනුම හෝ ජාන වල ජීව විදයාත්මක ක්‍රියා හඳුනා ගැනීමට කිනම් ආකාරයක පරීක්ෂණ කළ යුතුද යන්න මත පදනම් වුවක්ද නොවේ” යැ‘යි˜ ද අචාර්ය ලුන්තර් පවසයි.

ඔක්ස්ෆර්ඩ් සරසවි පර්යේෂණයේ මුල් නියමුවා වන ආචාර්ය ක්‍රිස් රාන්ඩ් පවසන අන්දමට මේ 8.2%ට අයත් හැම ජානයක්ම එක සමානව වැදගත් නැහැ. ශරීරය තුළ සිදුවන තීරණාත්මක ජීව විද්‍යාත්මක ක්‍රියාවන් වලට අවශ්‍යවන ප්‍රෝටීන් වලට හේතුවන්නේ මිනිස් ජාන වලින් 1%ක් පමණයි.  ඊළඟට වැදගත් වන අනෙක් 7%න් කෙරෙන්නේ ප්‍රෝටීන් කේතාංකනය කිරීමේදී  අවශ්‍ය පරිදි ශරීරයේ විවිධ කොටස්වල විවිධ අවස්ථා හා තත්වයන් යටතේ ජාන ක්‍රියාකරව‍න හා ක්‍රියාවිරහිත කරවන යතුරු මෙන් තටයුතු කිරීමයි. කොටින් කිව්වොත් මේ ජාන හුදෙක් පාලන හා නියාමන කටයුතු වල යෙදෙන ඒවායි.

ආචාර්ය ලුන්තර් පවසන අන්දමට අපේ ජෙනෝමයේ ඇති ඉතිරි කොටස් ඇත්තටම වෙනස්වීම් වලට භාජනය වී පරිණාමයෙන් ශේෂවී ගිය ඩීඑන්ඒ කේත (code) වලින් යුත් ඉඳුල්ය.

PLoS Genetics සඟරාව ඇසුරෙන්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: