සතුන්ගේ සම් විවිධ ප‍්‍රයෝජන සඳහා භාවිතයට ගත්තත්, මත්ස්‍ය හෙවත් මාළුන්ගේ සම වෙනත් ප‍්‍රයෝජනයක් සඳහා ගැනීමට තබා බොහෝ දෙනෙකුට ආහාරයට ගැනීමටවත් රුචියක් දනවන්නක් නොවෙයි. එහෙත් සමේ තුවාලයක් සුව කිරීමට හොඳම ක‍්‍රමය මාළු සම් ප්‍රෝටීන ස්වල්පයක් යෙදීම යයි ඔබට කීවොත් පිළිගැනීමට අපහසුද? හැබැයි, චීන පර්යේෂකයන් කණ්ඩායමක් සිදු කර ඇති පර්යේෂණයකින් මෙය කළ හැක්කක් බව තහවුරු කර ගෙන ඇත.

සත්ව සම්බන්ධක පටකවල ඇති ප‍්‍රධාන ව්‍යුහමය ප්‍රෝටීනය කොලැජන්ය. තුවාල සුවවීමේදී එහි සඵලතාව මනාව තහවුරු වුවකි. කොලැජන් ලබාගැනීමේදී මෙතෙක් අවධානය යොමුවී තිබුණේ ක්‍ෂීරපායි මුලයන් විශේෂයෙන්ම උෘරන්ගේ සහ දෙනුන්ගේ කොලැජන් කොලැජනා කෙරෙහිය. එහෙත් ප්‍රෝටීනවල තිබෙන අපද්‍රව්‍යය හේතුවෙන් ක්‍ෂීරපායි මුලයන් ගෙන් ලබාගන්නා කොලැජන් මාර්ගයෙන් රෝග බෝවීමේ අවදානම ඇත. කෙසේ වෙතත්, මත්ස්‍ය කොලැජන්වල මේ අවදානම අඩුය. ඊට හේතුව, මත්ස්‍යයන්ට බලපාන්නේ මිනිසුන්ට වඩා වෙනස් බෝවෙන රෝග කාරකයන් වීමයි. එහෙයින්, පර්යේෂකයෝ මෙම අධ්‍යයනය සඳහා මත්ස්‍ය සම තෝරා ගත්හ. තෝරා ගැණුනු මත්ස්‍ය වර්ගය තිලාපියා යි. පර්යේෂණය සිදු කරනු ලබන්නේ ෂැංහයි ජියා ඕවොං සරසවියේ වෛද්‍ය විද්‍යාලයේ ජියාම් සුං ප‍්‍රමුඛ කණ්ඩායමකි.

පර්යේෂකයන් ස්පොන්ජියක් සාදා ගැනීම පිණිස තිලාපියා මත්ස්‍යාගෙන් රසායනිකව කොලැජන් ලබාගත් අතර පසුව ඔවුහු එය නැනෝ තන්තු ( Nano fibres) ලෙස ගෙතුුහ. තුවාල සුවකිරීමේදී භාවිත කරනු වස් නැනෝ තන්තුවලට සුදුසුම භෞතික ගතිලක්‍ෂණ පවතින බව පරීක්‍ෂණ වලින් හෙළිවී ඇත. ආතන්‍ය ප‍්‍රබලතාව ඉන් එක් ලක්‍ෂණයකි. ඒවා ජල මිතුරු ද වේ. මත්ස්‍ය කොලැජන් සිරුරේ උෂ්ණත්වයේදී (380 C)එහි ස්වභාවය වෙනස් නොවීම ද තවත් වාසියකි. අනතුරුව සිදුකෙරුණු පරීක්‍ෂණ වලින් හෙළිවුයේ මීයන් තුළ මත්ස්‍ය කොලජන් මගින් ප‍්‍රතිශක්ති ප‍්‍රතික්‍රියාවක් (ඒ කියන්නේ ප‍්‍රතිදේහ ජනකවලට ශරීරය දක්වන ප‍්‍රතික‍්‍රියාවයි) නොපෙන්වන බවයි. ඒ අනුව පර්යේෂකයන් මත්සය කොලැජන් වලින් ගෙතු නැනෝ තන්තු තුවාලවලට යෙදුවේ තුවාල සුවවීමෙහි වර්ධනයක් ඇති කරන්නේ ද යන්න සෙවීමටයි. නැනෝ තන්තු යොදා මීයන්ගේ තුවාල වලට පිළියම් කිරීමේදී පිළියම් නොකළ මීයන්ගේ හෝ වෙනත් බෙහෙත් වෙලීමක් සිදු කල මීයන්ගේ හෝ තුවාල වලට වඩා වේගයෙන් සුවවු බව පර්යේෂණයේදී හෙළිවිය.

මෙම අධ්‍යනයේ වඩාත්ම වටිනාම අංගය වනුයේ ඇතිපදම් ආරම්භන මූල ද්‍රව්‍යය තිබීමත් ඒ වගේම දරුණු තුවාල සඳහා පිලියම් යෙදීමේදී පිරිවැය ඵලදායී වීමත් යයි එක්සත් රාජධානියේ ලීඞ්ස් සරසවියේ ජීව විද්‍යා ද්‍රව්‍ය විශේෂඥයෙකු වන ජී. ට්‍රොන්කි පවසයි. කොලැජන් පදනම් කරගත් වානිජ මට්ටමේ තුවාල වෙළුම් හා සසඳන විට මෙම නව ක‍්‍රමයෙන් ඇතිවිය හැකි සමේ පුනර්වර්ධන හැකියාව ගැන සොයා බැලීම වටිනේ යයි ද ඔහු පෙන්වා දෙයි.

මත්ස්‍ය කොලැජන් පාදක කරගෙන තුවාල පිළියම් කිරීමේ නිෂ්පාදන වානිජ  මට්ටමින් නිපදවීමේ හැකියාව ඇති බව පර්යේෂණ කණ්ඩායමේ සාමාජික ක්සිමෙයි මෝ පවසයි. එහෙත් ඊට පළමු වඩාත් විශාල සතුන් උපයෝගී කරගෙන තවත් පර්යේෂණ සිදුකළ යුතුය. පර්යේෂකයන් දැන් යොමුවී ඇත්තේ එම කටයුත්ත කෙරෙහිය. මත්ස්‍ය හමෙන් උකහා ගන්නා නැනෝ තන්තු වලට ප‍්‍රතික්‍ෂුද්‍ර ජීවී ගුණය එක්කිරීම ගැන ද පර්යේෂකයන්ගේ සැලකිල්ල යොමු වී ඇත.

 

Scientific American හි Fish Skin Bandages Helps Heal Wounds ලිපිය ඇසුරෙනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending