විදු නැන නුවණ – Science Literacy for All

ඩෝන් යානය සෙරීස් වාමන ග්‍රහයා වටා කක්ෂ ගත වෙයි.

සෙරීස් වාමන ග්‍ර‍හයා කිලෝමීටර් 48,000 කට ඈතින් දිස්වූ හැටි

නාසා ආයතනයේ ඩෝන් අභ්‍යාවකාශ යානය සත්වසරක අභ්‍යවකාශ චාරිකාව නිම කරමින් මාර්තු මුල් සතිය අගදී එහි ගමනාන්තය වෙත ළඟා විය. මාර්තු 06 දා මේ බමන යානාව සෙරීස් වාමන ග්‍රහයා වටා කක්ෂ ගතවීමත් සමගම වාමන ග්‍රහයකු වටා ගමන් කරන ප්‍රථම යානාව බවට ඩෝන් පත්වෙයි. සෙරෙස් අඟහරු හා බ්‍රහස්පති අතර සිට සූර්යයා වටා භ්‍රමණය වන කුඩා අයිස් ලෝකයකි. සිය ඓතිහාසික චාරිකාවේදී ඩෝන් වාමන යානාව වසර හතහමාරක් තුළ කිලෝමීටර බිලියන 4.9ක දුරක මග ගෙවීය. වාමන ග්‍රහයෙකු වටා කක්ෂ ගත වූ ප්‍රථම අභ්‍යාවකාශ යානාව වශයෙන් වාර්තාවක් තැබීමට අමතරව ඩෝන් යානාව පෘථිවියෙන් පිටත්ව ගිය පසු ලෝක දෙකක් වටා කක්ෂ ගත වූ ප්‍රථම යානාව බවටද පත්වෙයි. 2007 සැප්තැම්බරයේ අභ්‍යාවකාශ ගත කිරීමෙන් අනතුරුව ඩෝන් ප්‍රථමයෙන් වෙස්මා නම් විශාල ග්‍රහකය වෙත ගියේය. ඉන්ධන පිරවීම සඳහා නතර නොවී ඩෝන් යානාව ගමන් කළ දුරක් යාමට සාම්ප්‍රදායානුකූල රොකට් යානාවකට නොහැකියි. අභ්‍යවකාශ වස්තු කිහිපයක් වටා කක්ෂ ගතවෙමින් ගමන් කිරීමට ඩෝන් යානාවට හැකියාව ලැබුණේ ඉන්ධන කාර්යක්ෂමතාවයෙන් යුතු අයන ඇන්ජිම නිසාවෙනි. එම ඇන්ජිමට සූර්ය බලය සහ සෙනොන් කුඩා සංචිතයක් පමණක් යොදා ගනිමින් එක දිගට වසර ගණනාවක් මුළුල්ලේ දුර්වල ප්‍රචාලන බලයක් පවත්වාගෙන යා හැකියි. උපරිම තෙරපුමේදී ඩෝන් යානයේ  ඇන්ජිම නිපදවන්නේ, ඇද වැටෙන එක් තනි කඩදාසි කොළයක තරම් බලයක් පමණකි. එහෙත් ඩෝන් යානාව පෘථිවියෙන් පිටත්ව ගොස් ගතවූ වසර ගණනාව තුළ දී එම තෙරපුම වර්ධනය වී පැයකට කිලෝමීටර 39,600 ක වර්තා ගත වේගයක් බවට පත්විය.

1801 දී සොයා ගනු ලැබීමෙන් පසුව සෙරීස්, තාරක විද්‍යාඥයන් විමතියට පත්කිරීමට සමත්ව ඇති අතර වර්ගීකරණයද පහසු වූයේ නැත. එය වරෙක ග‍්‍රහයෙකු ලෙස ද තවත් වරෙක ග්‍රහකයක් ලෙසටද අනතුරුව මෑතක ප්ලූටෝ මෙන් වාමන ග‍්‍රහයෙකු ලෙස ද නම් කෙරිණ. සෙරීස් ග්‍රහයකුමෙන් රවුම් හැඩයකින් යුක්තය. එහෙත් ග්‍රහ මට්ටමෙන් සිතද්දී කුඩාය. එහි විෂ්කම්භය කිලෝමීටර් 950කට ආසන්න වන අතර දළ වශයෙන් ටෙක්සාස් තරම්වේ. එසේ වුවද, අඟහරු සහ බ්‍රහස්පති අතර පිහිටි ග්‍රහක පථයේ සමස්ත ස්කන්ධයෙන් සෙරීස් තුනෙන් එකක් පමණ වේ. සෙරීස් වාමන ග්‍රහයා මෙයට වසර බිලියන හතර හමාරකට පමණ පෙර මේ සෞර ග්‍රහ මණ්ඩලය ළදරු අවස්ථාවේ ග්‍රහයන් නිර්මාණය වූ කොටස්වලින් ඉතිරිවූවක් විය හැකියි.

සෙරිස් ආසන්නයේම සිට එම වාමන ග්‍රහයා ගැන හැදෑරිමෙන් එහි ඉතිහාසය අවබෝධ කර ගැනීමට පර්යේෂකයන්ට අවස්ථාව සැලසේ. එමගින් අපේ ග්‍රහ මණ්ඩලය සැදුණු ආකාරය මෙන්ම පරිණාමය වූ අන්දම ගැන හැදෑරීමට හැකිය. ඒ ආකාර අධ්‍යයනයන් මගින් පාර‍ භෞම (මේ ග්‍රහලෝකවලින් එහා) ජීවීන් ගැන කෙරෙන සොයා බැලීම් පුළුල් කිරීමට ද අවස්ථාව සැලසේ. ටෙලස්කෝප මගින් කෙරෙන මැනීම්වලින් පෙනී යන්නේ, සෙරීස් වාමන ග්‍රහයාෙග් ඝන, පාෂාණමය හරයට පිටතින් සුවිශාල ජල අයිස් ප්‍රාවරණයක් ඇති බවයි. කොපමණ ජලය ඇත්ද කියතහොත් සමහර විද්‍යාඥයන් සිතන්නේ පෘථිවියට සාගර ලැබුණේ සෙරිස් වැනි අභ්‍යවකාශ වස්තූන්ගෙන් කියාය. සෙරීස් වාමන ග්‍රහයාගේ මුල් කාලයේදී එයටත් සාගරයක් තිබෙන්නට ඇත. සෙරීස් සෙමින් සෙමින් සිසිල් වෙද්දී එම සාගරය මිදෙන්නට ඇත. එමෙන්ම එහි අයිස්මය පෘෂ්ඨය ඌර්ධ්වපාතනය වීමෙන් (ද්‍රව අවස්ථාවට නොපැමිණ, වාෂ්පයක් බවට පත්වීම) කාබනික ඛනිජවලින් සෑදි ඇළෙන සුළු ලුණිජ්ජයක් පමණක් ඉතිරි වන්නට ඇත. මෙම වාමන ග්‍රහයාගේ මතු පිට ඇති දෑ ගැන දැනටමත් පෘථිවි සහ අභ්‍යවකාශ ටෙලස්කෝප යොදා ගෙන විද්‍යාඥයන් විපරම් සිදු කොට ඇත.

අප්‍රියෙල් අගවන විට ඩෝන් වාමනයානය සෙරීස් ධ්‍රැවයට කිලෝමීටර 13,500ක් උඩින් කක්ෂයක ගමන් කරන අතර මෙම වාමන ග්‍රහලෝකයේ සිතියමක් තැනීම ආරම්භ කරනු ඇත. ඊළඟට එළැඹෙන්නේ කිලෝමීටර 4,400ක් උඩින් කක්ෂයක සමීක්ෂණයකි. ඉන් අනතුරුව, කිලෝමීටර 1,470 කට උඩින් උසස් විභේදන (high resolution) සිතියම් ගතකිරීමක් සිදු කෙරේ. අවසානයේ ඩෝන් යානය සෙරීන් මතුපිට හා ඒ එක්කම යටින් ඇති මූලද්‍රව්‍ය විසිරි ඇති ආකාරය සිතියම් ගත කිරීම පිණිස කිලෝමීටර් 375 ක උසකින් කක්ෂගත වේ.

Scientific American හි Dawn Spacecraft Arrives at Ceres, Becomes First to Orbit a Dwarf Planet ලිපිය ඇසුරෙනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: