ෆෙරමෝන (Pheromones) යනු මොනවාද?

ෆෙරමෝන යනු එක් ජීවියෙකු විසින් පරිසරයට මුදා හරිනු ලබන රසායනික සංඥාවකි. එම රසායනිකය, එම විශේෂයටම අයත් තවත් ජීවියෙකුගේ මොළයට බලපෑම් කර, නිශ්චිත චර්යාත්මක හෝ ශරීර විද්‍යාත්මක ප්‍රතිචාරයක් ඇති කරයි. සරලව කිවහොත්, එය එකම විශේෂයේ ජීවීන් අතර සන්නිවේදනය සඳහා භාවිතා කරන නොපෙනෙන රසායනික භාෂාවකි. “ෆෙරමෝන” යන වචනය පැමිණෙන්නේ ග්‍රීක භාෂාවෙනි; එහි pherein යන්නෙහි තේරුම “රැගෙන යාම” සහ horman යන්නෙහි තේරුම “උත්තේජනය කිරීම” යන්නයි.

සත්ව ලෝකයේ ෆෙරමෝන ක්‍රියාකාරීත්වය හොඳින් තහවුරු වී ඇත:

  • කූඹින් තම ගමන් මාර්ග සලකුණු කිරීමට සහ අනෙකුත් කූඹින්ට ආහාර ඇති ස්ථාන දැන්වීමට ෆෙරමෝන මංපෙත් භාවිතා කරයි.
  • සලබයින් වැනි කෘමීන්, සහකරුවන් ආකර්ෂණය කර ගැනීම සඳහා වාතයට ෆෙරමෝන මුදා හරියි.
  • බල්ලන් වැනි සතුන්, මුත්‍රා වල අඩංගු ෆෙරමෝන මගින් තම බල ප්‍රදේශ සලකුණු කරයි.

මෙම ප්‍රතිචාර බොහෝ විට සහජයෙන්ම, එනම් සවිඥානික පාලනයකින් තොරව සිදු වේ. මිනිසුන් තුළ ද මෙවැනි ෆෙරමෝන ක්‍රියාකාරීත්වයක් පවතින්නේද යන්න විද්‍යාඥයන් දශක ගණනාවක් තිස්සේ ගවේෂණය කරමින් සිටින අතර, පහත ලිපියෙන් ඒ පිළිබඳව ගැඹුරින් විමසා බලයි.


අපට නොපෙනෙන රසායනික සංඥා මගින්, අප නොදැනුවත්වම අපගේ චර්යාවට හෝ අප ආකර්ෂණය වන පුද්ගලයාට බලපෑම් කළ හැකිද?

ෆෙරමෝන නමින් හැඳින්වෙන රසායනික සංඥා මාර්ගයෙන් මිනිසුන් සන්නිවේදනය කරනු ඇතැයි යන අදහස දශක ගණනාවක් තිස්සේ විද්‍යාඥයන්ගේ සහ මහජනතාවගේ සිත් ඇද බැඳගෙන ඇති අතර, ඒ පිළිබඳ සාක්ෂි සෙවීම සඳහා විද්‍යාත්මක අධ්‍යයනයන් සිදු කිරීමට එය හේතු වී තිබේ. සතුන් තුළ ෆෙරමෝන ක්‍රියාකාරීත්වය හොඳින් වටහාගෙන ඇත. කූඹින් රසායනික මංපෙත් අනුගමනය කරමින් ගමන් කරන අතර සන්නිවේදනය කරයි, බල්ලන් තම බල ප්‍රදේශ සුවඳ සංඥා මගින් සලකුණු කරයි, සහ සලබයින් සහකරුවන් ආකර්ෂණය කර ගැනීම සඳහා වාතයට ෆෙරමෝන මුදා හරියි.

නමුත් මිනිසුන් ද එසේ කරන්නේද යන්න වඩාත් සංකීර්ණ ප්‍රශ්නයකි. යමෙකුට සැබවින්ම, වෙනත් පුද්ගලයෙකු නොදැනුවත්වම ඔවුන් තුළ ශාරීරික හෝ චිත්තවේගීය ප්‍රතික්‍රියාවක් ඇති කළ හැකිද? එය ආකර්ෂණයේ තරාදිය එක් පැත්තකට නැඹුරු කළ හැකිද? වසර 60කට අධික කාලයක් පුරා සිදු කළ ගවේෂණයකින් පසුව ද, පිළිතුර තවමත් පැහැදිලි නැත – එහෙත් නව සොයාගැනීම්වලින් ඇඟවෙන්නේ අප අවසානයේ ඊට සමීප වෙමින් සිටින බවයි.

පළමු සුවඳ

1959 දී, ඇඩොල්ෆ් බුටනන්ඩ් සහ ඔහුගේ කණ්ඩායම විසින් පළමු ෆෙරමෝනය වන බොම්බිකෝල් (bombykol) සොයා ගන්නා ලදී. එය පිරිමි සේද පණුවන් ආකර්ෂණය කර ගැනීම සඳහා ගැහැණු සේද පණුවන් විසින් මුදා හරින රසායනිකයකි. ඉන් අනතුරුව, එක් ජීවියෙකු විසින් මුදා හරින ලද, එම විශේෂයේම තවත් සාමාජිකයෙකු තුළ නිශ්චිත ප්‍රතිචාරයක් ඇති කරන රසායනික සංඥාවක් විස්තර කිරීම සඳහා විද්‍යාඥයන් ‘ෆෙරමෝන’ යන යෙදුම නිර්මාණය කළහ. ඉන්පසු මිනිස් ෆෙරමෝන සෙවීමේ ගවේෂණය සඳහා දොරටු විවර විය.

“ඔබ මිනිසුන් දෙස තවත් එක් සතෙකු ලෙස බැලුවහොත්, අපට ෆෙරමෝන නොතිබුණා නම් එය පුදුමයට කරුණක් වේවි.”

පළමු ඉහළ පෙළේ මානව ෆෙරමෝන ප්‍රකාශයක් 1971 දී සිදු වූයේ, මාර්තා මැක්ක්ලින්ටොක් විසින් විශ්වවිද්‍යාල නේවාසිකාගාරයක සිටි කාන්තාවන් 135 දෙනෙකුගේ ඔසප් චක්‍ර වසරක් පුරා සමමුහුර්ත වන බවට වාර්තා කරමින් අධ්‍යයනයක් ප්‍රකාශයට පත් කිරීමත් සමඟය. මෙම සංසිද්ධිය ‘මැක්ක්ලින්ටොක් ආචරණය’ ලෙස ප්‍රසිද්ධ වූ අතර, එය මානව ෆෙරමෝන සඳහා සාක්ෂියක් ලෙස පුළුල් ලෙස පිළිගැනුණි. කෙසේ වෙතත්, වෙනත් අධ්‍යයනයන් මගින් එය නැවත තහවුරු කිරීමට අපොහොසත් වීම සහ පෙනෙන සමමුහුර්තකරණය අහම්බෙන් සිදු විය හැකි බව විද්‍යාඥයන් පෙන්වා දීමත් සමඟ මෙම සොයාගැනීම පසුකාලීන පරීක්ෂණ හමුවේ බිඳ වැටුණි.

වසර ගණනාවක් පුරා, විද්‍යාඥයන් ප්‍රධාන වශයෙන් රසායනික ද්‍රව්‍ය හතරක් විය හැකි මානව ෆෙරමෝන ලෙස අවධානය යොමු කර ඇත. ඇන්ඩ්‍රොස්ටෙනෝන් (Androstenone) සහ ඇන්ඩ්‍රොස්ටෙනෝල් (androstenol) සමාජ සංජානනය සහ ලිංගික ආකර්ෂණය සමඟ සම්බන්ධ කර ඇත. ඇන්ඩ්‍රොස්ටැඩිනෝන් (Androstadienone) කාන්තාවන්ගේ මනෝභාවය සහ අවධානය කෙරෙහි ඇති විය හැකි බලපෑම් පිළිබඳව අධ්‍යයනය කර ඇති අතර, එස්ට්‍රාටෙට්‍රේනෝල් (oestratetraenol) පිරිමින් කාන්තාවන්ව දකින ආකාරය කෙරෙහි බලපෑම් කරන බවට සැලකේ.

එහෙත් මෙම කිසිදු සංයෝගයක් සැබෑ මානව ෆෙරමෝනයක් බව නිශ්චිතවම ඔප්පු කර නොමැත. අධ්‍යයනයන් බොහෝ විට ඒවා පරීක්ෂා කරන්නේ ශරීරය ස්වභාවිකව නිපදවන ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි මාත්‍රාවලින් වන අතර, එමගින් ප්‍රතිඵල විශ්වාස කළ නොහැකි වේ. තවද, බොහෝ පර්යේෂණ සැලසුම් දෝෂ සහ දුර්වල සංඛ්‍යාලේඛනවලින් පිරී ඇති අතර, එය නොගැලපෙන සහ නිශ්චිත නොවන සොයාගැනීම්වලට මඟ පාදා ඇත.

ටී-ෂර්ට් පරීක්ෂණය

ඔබ කවදා හෝ මානව ෆෙරමෝන පිළිබඳ සාකච්ඡාවකට පිවිසෙන්නේ නම්, 1995 දී මහාචාර්ය ක්ලවුස් වෙඩෙකින්ඩ්ගේ ‘දහඩිය සහිත ටී-ෂර්ට් අධ්‍යයනය’ ගැන බොහෝ විට සඳහන් වනු ඇත. මෙම පරීක්ෂණයේදී, කාන්තාවන්ට පිරිමින් විසින් පැළඳ සිටි ටී-ෂර්ට්වල සුවඳ බැලීමට සහ ඔවුන් වඩාත් කැමති සුවඳ කුමක්දැයි ශ්‍රේණිගත කිරීමට ඉල්ලා සිටියේය.

සිත්ගන්නා කරුණ නම්, උපත් පාලන පෙති නොගත් කාන්තාවන්, තමන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ජානවලට (MHC ජාන ලෙස හැඳින්වෙන) වඩාත්ම වෙනස් ජාන ඇති පිරිමින්ගේ සුවඳට වැඩි කැමැත්තක් දැක්වීමයි. පරිණාමීය වශයෙන්, මෙය අර්ථවත්ය, මන්ද වෙනස් ප්‍රතිශක්තිකරණ ජාන ඇති සහකරුවෙකු තෝරා ගැනීමෙන් දරුවන්ට රෝගවලට එරෙහිව පුළුල් ආරක්ෂාවක් ලබා දිය හැකිය.

මෙම අධ්‍යයනය නැවත සිදු කර ඇති අතර, ශරීර ගන්ධයන් සමාජීය හෝ ජීව විද්‍යාත්මක තොරතුරු සම්ප්‍රේෂණය කරන ක්‍රියාවලියක් වන මානව රසායනික සංඥාකරණය (human chemosignalling) සඳහා ප්‍රබල උදාහරණයක් ලෙස නිතර උපුටා දක්වයි. ගැටලුව වන්නේ, මෙම අධ්‍යයනයට සම්බන්ධ සුවඳ ෆෙරමෝනයක දැඩි අර්ථ දැක්වීමට නොගැලපීමයි.

පළමුව, එය එක් රසායනිකයක් වෙනුවට, පුද්ගලයෙකුගේ සංකීර්ණ පෞද්ගලික ‘ගන්ධ මුද්‍රාව’ තුළ රසායනික ද්‍රව්‍ය කිහිපයක් අඩංගු වේ. දෙවනුව, ෆෙරමෝන මගින් හෝමෝන මට්ටම් වෙනස් වීම හෝ සහජ චර්යා වැනි ස්වයංක්‍රීය, සිහිසුන් වෙනස්කම් ඇති කළ හැකි නමුත්, මෙම ආකාරයේ සුවඳ ක්‍රියා කරන්නේ වෙනස් ආකාරයකටය. එය පාලනය කළ නොහැකි සහජ ප්‍රතික්‍රියාවකට වඩා, සවිඥානිකව සහ පුද්ගල මනාපයන් මත පදනම් වූවකි.

නොපෙනෙන හෝඩුවාවන්

සුප්‍රසිද්ධ ටී-ෂර්ට් අධ්‍යයනයෙන් මානව ෆෙරමෝන පිළිබඳ සිද්ධිය ඔප්පු කිරීමට නොහැකි වුවද, සමහර විද්‍යාඥයන් සිතන්නේ මෙම ගවේෂණය තවමත් අවසන් වී නොමැති බවයි. ඔවුන් අතර ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ සත්ව විද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ සාමාජිකයෙකු වන ආචාර්ය ට්‍රිස්ට්‍රම් වයට් ද වේ. ඔහු සිය වෘත්තීය ජීවිතය ෆෙරමෝන පරිණාමය වූ ආකාරය ගවේෂණය කිරීමට කැප කර ඇත.

“ඔබ මිනිසුන් දෙස තවත් එක් සතෙකු ලෙස බැලුවහොත්, අපට ෆෙරමෝන නොතිබුණා නම් එය පුදුමයට කරුණක් වේවි,” ඔහු පවසයි. “උදාහරණයක් ලෙස, අපගේ ශරීර ගන්ධය වැඩිවියට පත් වූ විට වෙනස් වන අතර, අප ලිංගික පරිණතභාවයට පත්වන අවස්ථාවේදීම අපගේ ශරීරයෙන් වැඩි ගන්ධයක් නිකුත් වේ. වෙනත් සතුන් තුළ, එම ආකාරයේ ගන්ධයන් බොහෝ විට වැදගත් සංඥා රැගෙන යයි. එබැවින් මිනිසුන්ට ද ඒවා තිබීමට බොහෝ දුරට ඉඩ ඇත. අපි එය තවමත් ඔප්පු කර නැහැ.”

මෙම සම්භාවිතාව තිබියදීත්, මානව ෆෙරමෝනයක් විශ්වාසදායක ලෙස තහවුරු කිරීම අතිශයින් දුෂ්කර වී ඇත. “මානව ෆෙරමෝන අධ්‍යයනය කිරීම පිදුරු ගොඩක ඉඳිකටුවක් සෙවීමක් වැනියි,” වයට් පවසයි. “මිනිසුන් සුවඳැති අණු දහස් ගණනක් විමෝචනය කරනවා. එබැවින් බලපෑම ඇති කරන්නේ කුමන අණුවද යන්න නිශ්චිතව හඳුනා ගැනීම අපහසුයි.”

“ඊට අමතරව, ගන්ධයන්ට අප දක්වන ප්‍රතිචාර සංස්කෘතිය, මනෝභාවය සහ පුද්ගල වෙනස්කම් මගින් හැඩගැසෙනවා. එමගින් චර්යාව ඉතා නොගැලපෙනසුලු වෙනවා. විශ්වාසනීය ජෛව-පරීක්ෂණයක් – එනම් සුවඳකට දක්වන පැහැදිලි, මැනිය හැකි ප්‍රතිචාරයක් – නොමැතිව, සැබෑ ෆෙරමෝනයක් හඳුනා ගැනීම බොහෝ දුරට කළ නොහැකියි.”

ඉන්පසු ප්‍රතිනිෂ්පාදනය කිරීමේ ගැටලු ද ඇත. බොහෝ ෆෙරමෝන අධ්‍යයනයන් පදනම් වී ඇත්තේ ඉතා කුඩා නියැදි ප්‍රමාණ මත වන අතර, එමගින් ඒවායේ ප්‍රතිඵල සංඛ්‍යානමය වශයෙන් දුර්වල වන අතර ව්‍යාජ ධනාත්මක ප්‍රතිඵලවලට නැඹුරු වේ. මුල්කාලීන පර්යේෂණවල බොහෝ විට දැඩි පාලනයන් නොතිබූ අතර, ධනාත්මක ප්‍රතිඵල පමණක් සඟරාවල පළ වීමේ නැඹුරුවක් ද (publication bias) මෙම ක්ෂේත්‍රයේ පවතී.

ප්‍රතිඵලය කුමක්ද? සැබවින්ම පවතිනවාට වඩා ශක්තිමත් බවක් පෙනෙන සාක්ෂි පදනමකි: එනම්, කුතුහලය දනවන නමුත් විශ්වාස කළ නොහැකි සොයාගැනීම්වල එකතුවකි. නැවත පරීක්ෂා කළ විට ඉන් ස්ථාවරව පවතින්නේ ස්වල්පයක් පමණි.

බලාපොරොත්තු සහගත නව මාවත්

දශක ගණනාවක කලකිරීම් මධ්‍යයේ වුවද, වයට් තවමත් සුබවාදීව බලන අතර, මානව ෆෙරමෝනයක් හඳුනා ගැනීම සඳහා මෙතෙක් තැබූ සමීපතම පියවර විය හැකි ප්‍රංශ අධ්‍යයනයකින් ඔහු විශේෂයෙන් දිරිමත් වී සිටී. මෙම පර්යේෂණය, කිරි දෙන මව්වරුන්ගේ තන පුඩුව වටා ඇති කුඩා ග්‍රන්ථි (Montgomery’s glands) වලින් නිකුත් වන ස්‍රාවයන් කෙරෙහි අවධානය යොමු කළේය.

පර්යේෂකයන් මෙම ස්‍රාවයන්වල සුවඳ අලුත උපන් බිළිඳුන්ට ඉදිරිපත් කළ විට, ළදරුවන් සහජයෙන්ම හිස හරවා, තන පුඩුව සෙවීමේ සහ උරා බීමේ චර්යාවන් ප්‍රදර්ශනය කරන බව ඔවුන් සොයා ගත්හ.

“මෙය අපට මෙතෙක් ලැබී ඇති වඩාත්ම සිත්ගන්නාසුලු හෝඩුවාවයි,” වයට් පවසයි. “ඕනෑම ළදරුවෙකු මෙම ස්‍රාවයන්ට ප්‍රතිචාර දක්වනවා, ඒවා වෙනත් මවකගෙන් පැමිණියත්. එම ආකාරයේ විශ්වීය, සහජ ප්‍රතික්‍රියාවක් තමයි අපි සැබෑ ෆෙරමෝනයකින් බලාපොරොත්තු වෙන්නේ. “මෙම බලපෑමට වගකිව යුතු නිශ්චිත සංයෝග හඳුනාගත හැකි නම්, එය අවසානයේ අපට පළමු ඔප්පු කළ මානව ෆෙරමෝනය ලබා දෙනු ඇත.”

ෆෙරමෝන පර්යේෂණයේ තවත් මෑතකාලීන ඉදිරි ගමනක් 2023 දී සිදු වූයේ, ඊශ්‍රායලයේ Weizmann Institute of Science හි විද්‍යාඥයන් කාන්තාවන් විසින් හෙළන ලද කඳුළුවල බලපෑම අධ්‍යයනය කිරීමත් සමඟය. දුක්බර චිත්‍රපටයක් නැරඹූ කාන්තාවන්ගේ කඳුළුවල සුවඳ පිරිමින්ට ආඝ්‍රාණය කිරීමට සැලැස්වූ විට, ඔවුන්ගේ ටෙස්ටොස්ටෙරෝන් මට්ටම පහත වැටුණු අතර, මොළයේ ස්කෑන් පරීක්ෂණවලින් ආක්‍රමණශීලීත්වය සහ සුවඳ යන දෙකටම සම්බන්ධ ප්‍රදේශවල වෙනස්කම් පෙන්නුම් කළේය. පර්යේෂකයන් නාසයේ ඇති ප්‍රතිග්‍රාහක හතරක් පවා හඳුනා ගත් අතර, ඒවා කඳුළුවල ඇති රසායනික සංඥාව හඳුනා ගත්තේය.

පර්යේෂකයන් දැන් මෙම බලපෑම ඇති කරන කඳුළුවල ඇති නිශ්චිත අණු හඳුනා ගැනීමට කටයුතු කරමින් සිටින අතර, ආක්‍රමණශීලීත්වය මැඩපැවැත්වීම සඳහා ඒවා නිෂ්පාදනය කිරීමට පවා හැකි වනු ඇත.

එහෙත්, මිනිසුන් සමාජීය සහ ලිංගික සන්දර්භයන් තුළ සුවඳ භාවිතා කරන බවට සාක්ෂි තිබුණද, අප ෆෙරමෝන හරහා සන්නිවේදනය කරන බව තවමත් ඔප්පු කර නොමැත.

“මානව ෆෙරමෝන පවතින්නේද යන්න අවසාන වශයෙන් ඔප්පු කිරීමට අපට අවශ්‍ය නම්, අපි ඒවා නිසි ලෙස අධ්‍යයනය කළ යුතුයි,” වයට් පවසයි. “එයින් අදහස් කරන්නේ ස්ථාවර ප්‍රතිචාර පෙන්වන පැහැදිලි පරීක්ෂණ, විශාල සහ වඩා හොඳින් සැලසුම් කළ අධ්‍යයනයන්, සහ පැරණි, ඔප්පු නොකළ අණු වලින් ඔබ්බට යාමයි. ප්‍රවේශම් සහගත, සාක්ෂි මත පදනම් වූ පර්යේෂණ පමණක් අපට සැබෑ පිළිතුරු ලබා දෙනු ඇත.”

“සැබෑ මානව ෆෙරමෝනයක් සඳහා වන සෙවීම දැන් ආරම්භ වී ඇතිවා පමණයි,” ඔහු පවසයි. “නමුත් අපට මඟ පෙන්වීම සඳහා නිවැරදි ක්‍රමවේද සමඟ, අපට අවසානයේ එය සොයා ගැනීමේ මාවතේ ගමන් කළ හැකිය.”

හොලී මැක්හියු විසිනි (සයන්ස් ෆෝකස් සඟරාවෙන්)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending